ලොව පුරා පාඨක සිත් මෝහනය කළ Little house කතා පෙළ.

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් කියන්නේ ගැහැණු ළමයෙක් මුණ ගැසිය යුතුම චරිතයක්. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ඔබ කොහොමටත් අසා ඇති. අද අපි ඔබට කියන්නේ ලෝරාගේ අපූරු ජීවිත අන්දරය ගැන යි.

මේ පොත් පෙළ ලියැවෙන්නේ කතාවේ ප්‍රධාන චරිතය ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් අතින් මයි. සිතුවම් නිර්මාණය කරන්නේ Garth Williams විසින්. එක්සත් ජනපදයේ දී මේ පොත් පෙළ මුද්‍රණය වන්නේ 1932 -1943 අතර කාලයේ දී යි.

මීට වසර හැටකට එපිට, එකෝමත් එක කාලයක, විස්කොන්සින් මහ වනයේ ලී කොටවලින් තැනූ කුඩා අළු පැහැති නිවසක කුඩා දැරියක් ජීවත් වුවාය.”

පරිවර්තන පොත් පෙළ ආරම්භ වෙන්නේ එහෙම. එය පරිවර්තනය කරන්නේ ලංකාවේ පරිවර්තකයන් අතර සැබෑ ස්මාර්ට් පරිවර්තිකාවක වූ ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද මහත්මිය විසින්.

කවුද මේ ලෝරා?

ලෝරාගේ පවුලේ ඡායාරූපයක්

ලොව පුරා පාඨකයන් පුදුමාකාර ආදරයකින් වැළඳගත් ලිට්ල් හවුස් කතා මාලාව ලියු ලෝරා ඉන්ගල්ස් 1867 පෙබරවාරි 07 දින චාල්ස් ඉන්ගල්ස් හා කැරෝලයින් ඉන්ගල්ස් මව්පියන්ට දාව විස්කොසින් මහ වනයේදී උපත ලබා තිබෙනවා දරු දැරියන් පස්දෙනෙකුගෙන් සමන්විත වූ පවුලේ දෙවනියා වෙන්නේ ලෝරා යි. 1886 දෙසැම්බර් පස් වෙනිදා අල්මන්සෝ වයිල්ඩර් සමඟ විවාහ වන ලෝරාගේ එකම දියණිය වෙන්නේ රෝස්. 1957 පෙබරවාරි දහ වැනිදා මිය යන ලෝරා මිය යද්දී ලෝකයම ආදරයෙන් වැළඳ ගත් ලේඛිකාවක්. ඈ ජීවත් වූ නගරවල ඈ සිහි වීම සඳහා කෞතුකාගාර පවා ඉදිවී තිබෙනවා.

ලෝරා ලියූ ඇගේ ජීවිත කතාව.

ලෝරා Little House in the Big Woods කෘතිය සදහා පාදක කර ගන්නේ විස්කොන්සින් මහ වනයේදී ඔවුන් ගෙවූ ජීවිත කතාන්දරය යි. වෘකයන් වලසුන් ,කැලෑ බළලුන්, නරින්, මුවන් හා තව විවිධාකර සතුන් සමඟ මේ පවුල ගෙවන ජීවිතය ගැන ඇති මේ කෘතියේ සිංහල පරිවර්තනය “වන අරණක කුඩා නිවස” යි.

විස්කොන්සින් වනය අතහැර යනකුඩා ලෝරා මව්පියන් සමඟ ඉන්ඩිපෙන්ඩන්ටස් මිටියාවතේ පදිංචි වෙනවා.Little House On The Prairie කෘතියට පසුබිම් වන්නේ මේ මිටියාවතේ වාසය කළ කාලයයි. සිංහල පරිවර්තනය “තැනිතලාවේ පිහිටි කුඩා නිවස” යි.

One the bank of plum creek කෘතියේ සඳහන් වෙන්නේ ලෝරාගේ පවුල මිදි ඔය අසබඩ අපූරු බිම් ගෙයක ජීවිතය ගෙවන අන්දමයි. “මිදි ඔය අසබඩ” එහි සිංහල පරිවර්තනය යි.

ඊළඟ කෘතිය By the Shores og Silver Lake වන අතර පරිවර්තනය රිදී විල් තෙර වෙනවා. ලෝරාගේ ආදර අක්කා මේරි උණ රෝගයට ගොදුරුව අන්ධ වන්නේ මේ පොතේ සඳහන් කාලයේ දී යි.

පස්වැන්න The Long Winter. ඔබ ජීවිතය ගැන ධෛර්යමත් වීමට කියවිය යුතුම පොතක් ලෙස හැඳින්විය හැකි මෙහි සිංහල පරිවර්තනය “සීතලෙන් සීත වූ සීත සමය” යි.මාස හතක් පුරා දරුණු සීත කාලයකට මැදිව කුඩා නගරයක සිරවී හිඳින ලෝරාගේ පවුල ගැන මේ කතාවත් ඔබ කියවිය යුතු ම පොතක්.

දීර්ඝ සීත සමයෙන් පසු “ඔයා නගරෙට ගිහින් වැඩ කරන්න කැමති ද ලෝරා? ” ලෙස අප්පච්චි ලෝරාගෙන් අහන්නේ හයවැනි පොතේ දී.Little Town on the Prairie කෘතිය සිංහල පරිවර්තනයට ලක් වන්නේ “තැනිතලාවේ පිහිටි කුඩා නගරය” ලෙස යි.

හැම ගැහැණු ළමයෙකුටම වගේ වසන්තය ලෝරා සොයා එන්නේ හත්වැනි පොතේ දී. These Happy Golden Years කෘතියේ දී ඇය ගුරුවරියක් බවට පත් වෙනවා. ආදර අල්මන්සෝ ඇය විවාහ කරගන්නේ ද මේ කෘතියේ දී. “මේ මිහිරැති සොඳුරු සමය” එහි සිංහල පරිවර්තනය වෙනවා.

ලෝරා සහ අල්මන්සෝ නිහඬව අරඹන අලුත් ජීවිතය අලුත විවාහ වූ හැම ගැහැණු ළමයෙකුම කියවිය යුතු පොතක්. විවාහයේ මුල්ම වසර හතර The Frist Four Years නමින් ඇය රචනා කරද්දී සිංහල පරිවර්තනය පළමු සිව් වසර යි.

මේ පොත් වලට අමතරව Farmer Boy හෙවත් අල්මන්සෝ පුංචි ගොවියා කෘතිය ද ලිට්ල් හවුස් පොත් පෙළට අයිතියි. ලෝරා ඇගේ ආදර සැමියා වූ අල්මන්සෝගේ කතාව ලියා තබන්නේ එහි යි.

ලෝරා ජීවිත කතාවක් පමණක් නොවේ. ගැහැනු දරුවෙකු සතු ආත්ම ශක්තිය, අභිමානය, ධෛර්යය සහ සටන් කිරීමේ ගුණය වගේම ගෘහ පාලනය සහ පවුල වෙනුවෙන් කටයුතු කිරීම අපූර්ව ලෙස කියා පාන පොත් පෙළක්. ස්මාර්ට්ලේඩි කෙනෙක් හැටියට ඔබ මෙය කියවිය යුතුම වෙන්නේ ඒ නිසා..

Related Articles

Don't Miss


Latest Articles