පළිඟු මන්දිර -21

0
870

තමන් කළේ කුමක් දැයි පළිඟු තිගැස්සී ගියේ හොඳට ම ඉකි බින්දායින් පසුව ය. මහත් හිස් කමක් ඇයට දැනෙන්නට විය. සියල්ල ඒ කඳුළු ත් එක්කම හේදී ගියා මෙනි. තවමත් කිසල් අක්ෂි ට ආදරේ යයි ඇය කියූවා නොවේද? අක්ෂි යළි කිසල් වෙත යාම ඉක්මන් කරවන පාලම වීම ගැන අනුවණ ක්‍රියාවක් කරන්නට තරම් සිතුණේ කවර උන්මාදයක් නිසාවෙන් දැයි ඊළඟට ඇයට ම දොස් නගා ගත්තා ය.

“ඔලමොට්ටල බූරු පැටිය. දාන පාරමිතා පුරන්න හදන්නෙ බුදු වෙන්න හිතාගෙන වෙන්නැති. බලමුකො බුදු වෙන හැටි! දුක ඉවසගන්න බැරුව පපුව පැලිල මැරෙන්නයි වෙන්නෙ…කන්ථක වගේ…”

නමුත් ඇය ට සහනයක් දැනිණ. අඩු ම තරමින් ඕ එය කීවා ය. නො කියා හංගා ගෙන හිටියත් ඔවුන් අතර යමක් සිදු වන්නට නියමිත නම් එය අවුරා හිඳිනට තරම් තමන් පොහොසත් නොවන බව පළිඟු දැන සිටියා ය.

ආදරය යනු කිසි දා උදුරා ගත හැකි හෝ සොරා ගත හැකි හෝ බලෙන් පිළිගැන්විය හැකි හැඟීමක් නොවේ. එය එතරම් අසිරිමත් වන්නේ එබැවිනි. ආදරය ඇති වෙන ආකාරයක් හෝ පවතින ආකාරයක් ගැන කිසි දා කිසිවෙකු ට අනාවැකි පළ කළ නො හැකි ය. එය ඉරණමේ රහසිගත සැලැස්මක් වන නිසාවෙනි. ඒ සැලැස්මට අවනත වීමෙන්, අඩු තරමින් දැන් පළිඟු ට සැනසිය හැකි ය. ඇය කිසිවෙකු ගෙන් කිසිවක් උදුරා ගැනීමේ පාප කර්මයට හවුල් නොවූවා ය.

දේශනයක් නැති නිදහස් වෙලාවක පළිඟු ට උතුම් හමු විය. ඒ අහම්බෙන් ද නැත්නම් ඔහු හිතා මතා ම එවන් හමු වීමක් සිදු කළා ද කියා ඇය දන්නේ නැත.

“මං ඔයාව හම්බ වෙන්න ඕන කියලමයි හිත හිත හිටියෙ. මේක හොඳ වෙලාවක් වුණා”

ඇහැල මල් ගහ යට බංකුව,ළඟ ට  එන්නැයි ඇමතුවා සේ ය. පළිඟු බංකුව මත වූ මල් පෙති හෙමිහිට ඇඟිලි තුඩගින් එක් කොට එහි හිඳ ගත්තා ය. මේ විදිහට මල් පර වී වැටීම ගැන ඈ තුළ වන්නේ වචන වලින් විස්තර කළ නො හැකි විදිහේ සන්තාප සිතිවිල්ලකි. එය අද ඊයේක නොව කුඩා සාවියේ පටන් ඈ පාරන මතකයකි. මලක ඉරණම ගැන කවදාවත් ඇය තෘප්තිමත් නැත!

“අක්ෂි ඇණයක් වෙලාද තියෙන්නෙ…”

පළිඟු වහා හිස නගා උතුම් දෙස බැලුවා ය.

“ඇයි අයිය එහෙම ඇහුවෙ…”

“නෑ…මට දැනුණ ඒ වගේ”

යුවතිය ඇහැල මල් පෙත්තක් ඇඟිල්ලකින් පිරිමදිමින් ඈත අවකාශය දෙස බැලුවා ය. මේ සියල්ල සිදු වූයේ කොහෙත් ම ඈ සිතා සිටි හෝ දැන සිටි ආකාරයට නොවේ. මේ කිසිත් ඇගේ සැලසුමක් මත වූවා ද නොවේ. ඇතැම් විට ප්‍රේමය යන හැඟීම කෙතරම් සියුම් හා හදවත ට බර දනවන්නක් දැයි ඉගෙන ගැනීම පිණිස ඉරණම ඇයට ලබා දුන් අවස්ථාව මේ වන්නට පිළිවන. මීට පෙර ද වතාවක් ඉරණම ඇගේ දරා ගැනීමේ ශක්තිය උර ගා බැලුවේ ය. ඒ, ඇය ව සිය පවුලෙන් පිටිවහල් කිරීමෙනි. සැබවින් දෛවයේ පරීක්ෂණ පහසු නැත. ඇස් තෙත් වී ගෙන ආවත් පළිඟු ඊට නො සතුටු වූයෙන් ඉක්මන් ඇස් පිය කිහිපයක් ගසා ඇස් මත්තේ ම එකඳුළ ගබ් සා කොට දැම්මා ය. 

“පළිඟු”

උතුම් සුසුමක් හෙළුවේ ය. පළිඟු ට මහත් සිත් බරක් දැනිණ. ඇය ඇස් බිමට ම හරවා ගෙන සිටියා ය. උතුම් දෙස බැලුවේ වුව ඒ ඇස් හරවා මිස හිස එසවීමකින් නොවේ.

“මට හිතාගන්න පුළුවන් ඔයා ඉන්න තත්වෙ. ඒක ලේසි නෑ. ඇත්තට ම ඒක හරි අමාරුයි. උං දෙන්නා බ්‍රේක් අප් වෙලා වැඩි දවසක් නෑ. දැං අක්ෂි ආයෙ තනියම. ඒ මදිවට අක්ෂි ඔයාට ලං වෙන්න ට්‍රයි කරනව. මනුස්සයෙක්නෙ…රහත් වෙලා නෑනෙ…ඔයාට මේක හැන්ඩ්ල් කරන්න අමාරුයි. අනිත් අතට අක්ෂි මොනා ඔයාගෙ ඔළුවට දානවද දන්නෙත් නෑ. මට කියන්න ඕනෙ…හිත අවුල් කර ගන්නෙ නැතුව ඉන්න කියලයි”

කියවන්න :  පළිඟු මන්දිර - 35

යුවතිය මඳහසක් නගා ගන්නට උත්සාහ කළා ය. සැබවින් මේ විදිහේ කතා බහක් ඇගේ ආත්මය දැඩි ව ඉල්ලා සිටියේ ය. උතුම් ආවේ එවැන්නක් කෙසේ කරන්නදැයි ඈ නො දැන සිටි වෙලාවක ය.මේ මොහොත, සිය වේදනාත්මක හදවත මුදු ව පිරිමදිමින් ඔසු ගල්වන නිමේෂයක් සේ පළිඟු ට දැනිණ. කෙසේ වෙතත් වචන තෝරා බේරා ගත යුතු වූවේ ප්‍රවේසමෙනි. උතුම් නො දන්නා දෙයක් ද ඔවුන් අතර වන බැවිනි.

“මං හිතන්නෙ…දැං ඒ දෙන්න ඈත් වෙලා හිටිය ඇති කියලයි. නේද උතුම් අයියෙ…”

ස්වර තන්තු කම්පිත ව ඇගේ හඬ වෙව්ලා ගියේ ය. පළිඟු යටි තොල කොනක් සපා ගත්තා ය. ඒ, දෙතොල් පවා වෙව්ලනු ඇයට දැනුණ බැවිනි.

ඔහු ඇදෙස බැලුවේ තිගැස්සීගෙන ය. මෙවන් ඉතා සංවේදී වූ සිදුවීමකට මැදිහත් වන්නට වීමේ තැවුලෙන් උතුම් සියුම් ව කම්පිත වී සිටියේ ය.

“ඒ දෙන්නා අතරෙ තියෙන්නෙ ආදරේනෙ. අතරමගදි පුංචි බිඳීමක් වුණා කියල…සමහර බැඳීම් නැති වෙලාම යන්නෑනෙ”

“කොහොමද පළිඟු ඔහොම හිතන්නෙ…ආයෙ අක්ෂි කිසල් ළඟට එනව කියන එක දරා ගන්න ඔයාට පුළුවන් ද…ඒක ඔයාට වේදනාවක් නෙවෙයිද…”

යුවතිය සිනහ වුණා ය. සිනහවක් යට කෙතරම් නම් කතා සැඟවී තිබිය හැකි ද? පළිඟු ගේ ඒ සිනහව යට අසම සම රිදුමක් තිබෙනවා උතුම් ට දැනුණේ ය. එවන් රිදුමක් අතරින් සිනහ වෙන්නට පුළුවන් කම තිබෙනවා කියන්නේ ඇය මොන විදිහේ කෙල්ලක් ද? 

‘කොහොමත් එයා මට ආදරේ නෙවෙයි. අක්ෂි වෙනුවෙං එයා මාව පාවිච්චි කරනව විතරයි’

හිතින් හිතුවාට ඇය ඒ බවක් උතුම් ට කීවේ නැත.

භෝජනාගාරය වෙනදා ට වඩා වෙනස් බවක් පළිඟු ට දැනෙන්නට විය. වෙනදා ට සැබවින් නොව රංගනයක් වශයෙන් හෝ කිසල් සමීපයේ ඉන්නා එකේ මිහිරක් විය. නමුත් අද එහෙම දැනෙන්නේ නැත. අද තියෙන්නේ බරැති හැඟීමකි. කිසිදු සැහැල්ලුවක් නැත්තේ ය.

“කනවද…අතගානවනෙ…”

වතාවක් කිසල් පළිඟු ට සැර වූයේ ය. ඒ වෙලාවේ ඈ ඔහු දෙස බැලූ බැල්මේ වූ අසරණ කම උතුම් හොඳට ම දුටුවේ ය. ආදරය කරන මිනිසා ඉදිරියේ ඈ එතරම් අසරණ නොවිය යුතු ය කියා සිතුණත්, උතුම් ඒ බවක් කියන්නට නො ගියේ ය.

“මේ දවස් වල මට කන්න බෑ. එහෙම තමයි…කාලෙකට මට එහෙම වෙනව”

“පණු බෙහෙත් බොන්න වෙයි”

කිසල් මොන තරම් මොට්ටයෙක් දැයි උතුම් සිතුවේ ය. ඔහු මේ කෙල්ලව තේරුම් ගන්නේ ම නැත. ඇත්තට ම දැන් ඔහු ටත් ඕනෑ අක්ෂි ගේ සමීප වීමද?

“හායි ගයිස්…”

අක්ෂි ඔවුන් හිඳ උන් මේසය වෙත පැමිණියේ අකුණක් පුපුරුවා ගෙන ය.

“අද ඩිසර්ට් මගෙං…”

ඇය අයිස් කෝන් තුනක් මේසය මතින් තැබුවා ය. කිසල් වහා ම අසුනෙන් නැගිට ගත්තේ ය.

“කිසල්…”

පළිඟු ගේ සිත දහස් වරක් මිමිණූ වදන අක්ෂි ගේ මුවින් පිටවිණි. නමුත් යෞවනයා එය නෑසුණ සෙයින් නික්ම ගියේ ය.

‘හරියට කෑවෙත් නෑ’

පළිඟු තැවුණා ය.

‘හැමදාම ඔයාට ඔහොම කරන්න බෑනෙ’

අක්ෂි තෘප්තිමත් ව සිටියා ය. කිසල් කේන්තියෙන් බව දැන සිටියත් අයිස් ක්‍රීම් එක කන්නට පළිඟු ට සිදු විය. දැන් රංගනය කියන්නේ අලුත් දෙයක් නොවේ. හැම මොහොතක ම රඟපාන්නට ඇය ට සිදු ව තියේ.

“අක්ෂි එක්ක මීට පස්සෙ කිසිම ගනුදෙනුවක් තියාගන්න බෑ. කොටිංම කතා කරන්නවත් ඕනකමක් නෑ”

හැන්දෑවේ කිසල් ගෝරනාඩු කළේ ය.

“එහෙම කරනව කියල පොරොන්දු වෙන්න මට බෑ. එයා කතා කළොත් මට කතා කරන්න වෙනව”

පළිඟු හිතුවක්කාර වූවා ය. කිසල් ගේ කෝපය ඉහ වහා ගියේ ය. කොහොමත් ඔහු කේන්ති කාරයෙකි. දැන් දැන් පළිඟු ඒ කේන්තියේ සීමා මායිම් අතික්‍රමණය කරමින් සිටින්නී ය.

“එයත් එක්ක කතා කරන්න තහනමක් ඇග්‍රිමන්ට් එකේ තිබුණෙ නෑනෙ. දැං අලුත් කෑලි ඇඩ් කරන්න බෑ”

කියවන්න :  පළිඟු මන්දිර - 36

“මට ඕන්නං පුළුවන්. මට ඕන දෙයක් මං අලුතෙනුත් එකතු කරනව”

“එහෙනං මටත් දේවල් අලුතෙන් එකතු කරන්න පුළුවන්නෙ. ඔයත් අක්ෂි එක්ක මීට පස්සෙ කිසිම සම්බන්ධකමක් තියාගන්න බෑ”

අහස සක්වල මොහොතකට කැළඹිණි. පෘථිවියේ භ්‍රමණයත් පරිභ්‍රමණයත් දෙක ම නිමේෂයකට නතර විය. හිස මත ම අකුණක් පුපුරා ගිය සෙයින් දෙදෙන ම උනුන් දෙස බලා ගත්හ. තමන් කීවේ කවරක් දැයි පළිඟු ට සිහිපත් වූයේ තත්පර කිහිපයකට පස්සේ ය.

“සො…රි…”

ඇය කොඳුරා ගත්තා ය. කිසල් නො කියා ම යන්නට ගියේ ය.

ගෙදර ගිහින් ඇඳුම් මාරු නො කර ම යහනේ පෙරළෙත්දීත් ඔහු යථා තත්වයට පත් ව සිටියේ නැත. කිසිත් නිරවුල් ව සිතන්නට පවා අපහසු තරමට ඔහු වියවුල් ව සිටියේ ය. පළිඟු ඒ විදිහට අභියෝග කරන්නේ කෙසේ ද? ඒ තරම් ශක්තියක් ඇය ට කොයින් ද? ඇගේ ඒ ස්ත්‍රී පෞරුෂය හමුවේ සිය කුදු බව කෙතෙක් විය හැකි දැයි හෙතෙම සිතින් මිනුම් කළේ ය.

කිසල් ට කතා කළ ආකාරය ගැන පළිඟු හදවතින් ම පසුතැවෙමින් සිටියා ය. අත්‍යවශ්‍ය විෂයානුබද්ධ පොතක් ගන්නට නගරයට ගිය ඕ, හිතේ අසහනයෙන් යුතු ව සිහිනයෙන් වාගේ ඇවිදිමින් සිටියදී, ත්‍රීරෝද රියකට නැගෙන්නට සැරසෙන යුවතියක ගේ මුදල් පසුම්බියක් බිම වැටෙනු දුටුවා ය. පළිඟු සිහි එළවා ගනිමින් අත්පුඩියක් ගසා කෑ ගැසුව ද නගරයේ අනේකවිධ ඝෝෂාවන් අතරේ ඒ හඬ යටපත් ව ගියේ ය. මුදල් පසුම්බිය අතට ගත් ඕ, වහාම ත්‍රීරෝද රියකට අත දමා එහි නැග ගත්තා ය. පසුම්බිය අයිතිකාරී අල්ලා ගැනීමට ටිකක් දුර හඹා යා යුතු විය.

“අපි මොනා හරි බොන ගමං කතා කරමු”

පළිඟු කෙතෙක් ප්‍රතික්ෂේප කළත් වර්ෂා ගෙන් මිදී යා නො හැකි විය. ප්‍රකට අවන්හලකට ගොඩ වී ඇය අයිස් කෝපි ඇනවුම් කළා ය. පළිඟු සිය මවු වන මොරීන් අධ්‍යක්ෂ ධූරයක් හොබවන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ සිසුවියක් බව, ඈ දුටු ගමන් වර්ෂා දැන ගත්තේ ඇය හැඳ සිටි ටී බැනියමෙනි. නමුත් අම්මා ගේ නෑ කම් ගැන කියන්නට ඇයට ඕන වුණේ නැත.

“මගෙ ළඟත් තියනව ඇහිඳපු පර්ස් එකක්. ඒකෙ අයි ඩී එකක්වත් කන්ටැක්ට් නම්බර් එකක්වත් මුකුත් නෑ. ඩොක්ට කෙනෙක්ගෙ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් තිබුණා. එක්දාස් හයසිය ගාණක් සල්ලි තිබුණා. ඒත් ඒකත් ඒ මනුස්සයට කොච්චර වටිනව ඇද්ද කියල වෙලාවකට මට හිතෙනව. ඒක අයිති කෙනාට දීගන්න විදිහක් නැති වුණ එක ගැන මගෙ හිතේ තියෙන්නෙ සනීප වෙන්නැති රිදිල්ලක්. මාව අල්ලගන්න බැරි වුණානං ඔයාටත් ඒක දැනෙයි. මොකද මේකෙ මගෙ අයි ඩී එක නෑ”

යුවතිය කියවා ගෙන ගියා ය. ඇයත් හරියට තමන් වගේ යයි පළිඟු ට සිතිණ.

“මාත් ඔයාගෙ කැම්පස් එකට එන්න ඉන්නෙ. ඊළඟ සිමෙස්ටර් එකේ ඉඳං. ඔයාව අඳුර ගන්න මට ඕන වුණේ ඒක නිසාමයි”

“මන්නං ස්කොල් එකකිං ඉගෙන ගන්නෙ”

“අපිට හොඳ යාළුවො වෙන්න පුළුවන්”

පළිඟු තුළ ඇති වූයේ වචන වලින් පැහැදිය නො හැකි තරමේ සැනසිල්ලකි. යාළුවෙක්! ඇය කවදත් හොඳ යාළුවන් ඇති කර ගැනීම අතින් දුර්වල වූවා ය. එක අතකට ඒ දුර්වල කමක් ම නොව ඇය හා සමපාත විය හැකි සිතිවිලි සහිත මිතුරියක් ඇයට හමු වූයේ ම නැති නිසාවෙනි. ඕනෑම කෙනෙකු සමග මිතුරු වූ ඇයට කිසි දා ක හොඳ ම යෙහෙළියක් හිඳ නැත.

“මං ඔයාට කෝල් කරන්නං”

වර්ෂා සමු ගෙන ගියේ පළිඟු ට ඒ පොරොන්දුව දෙමිනි.

“ඕගොල්ලංගෙ කැම්පස් එකේ ළමයෙක් අද මගෙ පර්ස් එක ඇහිඳල දුන්න”

කෑම කන ගමන් වර්ෂා කිසල් ට කීවා ය. නමුත් ඔහු එය තඹයකට මායිම් නොකර දුරකතනය දෙස බලා ගත්තෙන්, වර්ෂා ට ඊට වැඩි යමක් කිව හැකි වූයේ නැත.

4.3 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments