සුළං සීනු – 10

මගේ හැඟීම් බෙදා ගන්නට කවුරු හෝ මට ඕනෑ විය.දේවක කෙරෙහි මහත් ප්‍රේමයකින් වසර ගණනාවක් දුක් ඉහිලූ හදවත ගලක් බවට පත් කර මම සංකල්පගේ බිරිඳ වූයෙමි.තවම මා හිඳින්නේ ඒ ගල් ගැසීමෙනි.

“ඇයි කෙල්ලෙක්ට තනියම ඉන්න බැරි.. මට උපාධියක් තියනවා. රස්සාවක් තියනවා. ගෙයක් හදාගෙන වාහනයක් අරන් තනියම ඉන්නං අම්මා මම.. නැත්නම් වෙන රටකට යන්නං…”

අම්මා නොනවත්වා විවාහ යෝජනා සොයද්දී මම අම්මාට කන්නලව් කළෙමි.

“අවුරුදු ගාණක් ආදරේ කරපු කොල්ලා නැති වුණාට පස්සෙ ඔයා නොබැඳ හිටියම රටේ මිනිස්සු අපට පස්ස පැත්තෙනුත් හිනා වෙයි. කසාද බඳින්න බැරි තැනට වැඩ සිද්ද කරන් කියයි. නංගිටවත් කසාදයක් කර ගන්න බැරි වෙනවා..”

අම්මාගේ කතාව මා කෝප ගන්වන්නට සමත් වූ කතාවකි. ඈ කියන අන්දමට ප්‍රේම සම්බන්ධයක් විවාහයකින් කෙළවර කරගත නොහැකි වූයේ නම් අනිවාර්යයෙන් ඉක්මනින් වෙනත් තරුණයෙකු හා විවාහ විය යුතු ය. නැතිනම් ලෝකයාට සිතන්නට බොහෝ දේ ඇත.කන්‍යාවකම විවාහයට පතමින් එතෙක් බොහෝ අවකල් ක්‍රියා කරන පිරිමින් පිරුණු රටක අම්මාට එසේ සිතන්නට ඕනෑවටත් වඩා හේතු තිබෙන්නට ඇත. නමුත් දේවකගේත් මගේත් සම්බන්ධයේ ගැඹුර අප දෙදෙනා දැන සිටීම ප්‍රමාණවත් ය. ආදර කතාවක් යනු ශාරීරික සම්බන්ධයක්ම පමණක් යැයි සිතන ලෝකයක් ගැන ඉමහත් කලකිරීමට පත් මම අම්මාට ඕනෑ එකක් කර ගන්නට ඉඩ හැරියෙමි. එහෙත් ඇයට නොනවත්වා තර්ජනය කළෙමි.

“හරි.. අම්මට ඕන මට වෙන මිනිහෙක් එක්ක යන්න බැරි නෑ.. පෝරුවේ කලන්තේ දාන්නේ නෑ කියලා ලෝකෙට ඔප්පු කරන්නනෙ.. අම්මට ඕන මිනිහෙක් තෝරන්නකො. මං බඳින්නං.. හැබැයි බැඳලා ඩිවෝස් උනෑකිනෙ.. මං ඒ මිනිහට ජීවිතෙත් එපා කරලා ඉක්මනින් ඩිවෝස් වෙනවා..”

අම්මා මගේ කියවිල්ලට කෝපත් වූවා ය. බියට පත් වූවා ය. අනතුරුව දේවාල ගාණේ යන්නට පටන් ගත්තා ය. ඇය අදටත් විශ්වාස කරන්නේ සංකල්ප වැනි නිහඬ සුන්දර මිනිසෙකු ලොකු බෑනා කර ගන්නට ඇයට දෙවියන් උදව් කළ බව ය.

“මං චාරුනීට හරියට ආදරේ කළා. ඒත් එයාට මාව හරි ගියේ නෑ.. ඒත් මට හිතෙනවා මට චාරුට වඩා ඔයාට ආදරේ කරන්න පුලුවන් වෙයි..”

සංකල්පගේ විවාහ යෝජනාව ස්ථිර කර ඔහුට මා හමු වන්නට දුන් අවස්ථාවක ඔහු නොසඟවා ඔහුගේ අතීතය මට හෙළි කළේ ය. වෙනත් ඕනෑම කෙල්ලක සේ “චාරුනී ලස්සනද, මට එයාගේ ෆොටෝ එකක් පෙන්නන්න පුලුවන් ද ” වැනි කතා අසන්නට මට ඕනෑ වූයේ නැත. මට දේවක හදවතේ දරන්නට හැකි නම් ඔහුට චාරුනී දරා හිඳින්නට ඉඩ දිය යුතු ය. මම එසේ සිතුවෙමි.

“ඔයාගෙ ඔය බුම්මගෙන ඉඳිල්ලයි, වචන සල්ලිවලට ගන්නවා කියලා හිතිල්ලයි හින්දා අර චාරුනීට නං එපා වෙන්න ඇත්තේ..”

මධු සමයේ දී මම හදිසියේ සංකල්පට පැවසුවෙමි.ඔහු සිනා සී මගේ හිස අත ගෑවේ ය.

හිත හදා ගන්නට කාලයක් නොදී මා හදිසි විවාහයක පැටලීමෙන් අම්මලා වඩා අසාධාරණයක් කළේ සංකල්පට ය.ඔහු බිඳුණු ගැහැනියක දරා සිටියි. මට සුව වන්නට ඕනෑකමක් වූයේම නැත. නිසල්ගේ දීප්තිමත් දෑස දකිනතුරුම මට එවැනි ඕනෑකමක් වූයේ නැත.

“අම්මලා මහ ගේ විකුණන්න යනවනෙ පවී..”

සංකල්ප එසේ පැවසූ දිනය මා වඩා කෝප ගැන්වූ දවසකි. ඔවුන් මා අතැර දමා නංගී සමඟ හිඳිනවා මදිවාට කරන්නේ ම එහෙම දේ ය.

“ඇත්ත කතාව ඔයා ඒ ගෙදර ගියාම දේවක මතක් කරලා දුක් වෙන එකනෙ. අම්මලා ඒකට ආස නෑ බබා..”

එකල සීනුට යාන්තම් වසරක් පමණ වූ කාලය ය. මම අම්මලා සමඟ ඇති වූ කෝපයද සංකල්පට එල්ල කළෙමි.

“එහෙනං තමුසෙ තමා ඔය අදහස දාන්න ඇත්තෙ අම්මලට. මම දේවකට ආදරේ එක ඔහෙට උහුලන්න බෑනෙ. බොරු සිල් මූණක් පෙන්නුවට..”

මම තවත් බොහෝ පහත් කතා කියමින් ඔහුට බැන වැදුණෙමි. ඔහු සීනු තුරුලු කරගෙන පහත මාලයට වී සිටියේ ය.

“සංකයියා ගේ විකුණනවට කැමැත්තක් නෑ වගේ. අම්මලට එපාම කිව්වෙ.අපරාදේ විකුණලා සල්ලි දෙකට බෙදන්න තාත්තා හැදුවේ.සංකයියා කියන්නෙ මට සල්ලි ඕනනම් ඒ ගාණ දෙන්නං ගේ තිබ්බදෙන් කියලා..”

වීඩියෝ ඇමතුමක හිඳ ඕපාදූප කියවූ නංගි ඊළඟට මුහුණ රහස් පරීක්ෂකවරියකට හරව ගත්තා ය.

“ඔයා නේද ඕක විකුණන්න බෑ කියලා අම්මට කියන්න අයියව ඇවිස්සුවෙ..”

සංකල්ප ද මා ද අතර ඇත්තේ එහෙව් අතීතයකි.ඔහු සියල්ල දරා හිඳින්නෙකි.වඩා ඉවසන්නෙකි.නමුත් ආදරයක් නැති කාන්තාර ලෝකයක මා සිරව ඇති බව මට දැනේ.ඒ කාන්තාරයට වැස්සක් ව ඇද හැලෙන්නට නිසල්ට හැකිනම් මා ඔහු ප්‍රතික්ෂේප කරන්නට හේතුවක් ඇත්තේ නැත.

නමුත් නිසල් මට එවැනි යෝජනාවක් එක එල්ලේ ඉදිරිපත් කළේ නැත.දින සති ගෙවී ගියේ ය. නමුත් ඔහු ඉතා කිට්ටුවන්ත සම්බන්ධය තුළ ඉතා ප්‍රේමණීය වූවා මිස ආදරයක් ගැන වචනයක්වත් මිමිණුවේ නැත.

“වස්තුවේ.. ටෙස්ට් වගයක් කර ගන්න තියේ. උඹට ආවැකිද මාත් එක්ක?”

කෙදිනක හෝ මවක් වන හීනය නොනවත්වා හඹා යමින් හුන් ලෝචනා දිනක් හවස් වරුවේ මගෙන් ඉල්ලුවා ය.ඇය මවක් වන දිනය දකින්නට ඈට වඩා උවමනා වූයේ මට ය.එනිසා ම මා ඇය සමඟ ගියේ ඉතා කැමැත්තෙනි. ලෝචනා වෛද්‍ය හමුවට ගිය පසු මම පෞද්ගලික රෝහල් ආලින්දයේ පුටුවකට බරව දුරකථනය ඔබමින් හුන්නෙමි. එතැනින් යන්නට ආ තරුණ වෛද්‍යවරියක මා දෙස වඩා විමසුම් නෙත් හෙළුවේ ඒ මොහොතේ ය.ඇය කොහේ හෝ දැක ඇති බව සිතමින් මම ද ඈ දෙස බැලීමි.

මට ඈ කවුදැයි වහා සිහිපත් වූයේ ඒ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles