පසුදින රාත්‍රියේ චායා සස්මිතගේ කාමරය තුලට යනු දුටු බවත්, ඉන් පැය භාගයක් පමණ ඉක්ම යන තුරුත් ඇය කාමරයෙන් පිටතට නොපැමිණි බවත්, මුලුතැන්ගෙයෙහි සේවය කරන කරන ලතා චරක සමඟ පැවසූයේ සැබැවින්ම චායා කෙරෙහි දැක්වූ සෙනෙහස නිසාමය. සස්මිත විදෙස් රටක සේවය කර පැමිණ, දැන් මෙහි සේවය කරන රියැදුරෙකි. ඔහු කෙරෙන් යම් සීමාව ඉක්මවායන හැසිරීම් රටාද පෙනෙයි. ඔහු නිසාවෙන් චායාගේ ජීවිතයට යම් අනතුරක් වෙන්නට ඇති බව දැනුන පලමු මොහොතේම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම තම වගකීම බව, ලතා සිතුවාය.
” බබාගෙන් එකපාර අහලා කලබල කරන්නෙපා අපේ සර් .. හෙමින් සීරුවේ හොයලා බලමූ ..”
චරක කාමරය වෙත ඇවිද ගියේ ගිණි ගත් හිසිනි. බණ්ඩාරවෙල ගොස් ඔවුන් දෙදෙනා රැයක් පහන් කෙරූ මතකය එක්වරම චරකගේ හිස මත ගිණි ජාලාවක් මැවුවේය. තමාගෙ ජීවිතයේ වූ සම්බන්ධතා සිහි ව, සස්මිතටද එවැනි සම්බන්ධතා නඩත්තු කිරීමට ඇති හැකියාව පිළිබඳව ඔහු කල්පනා කලේ හුස්ම පවා හිරව ගිය සෙයිනි. මේ පිළිබඳව විහගි හා සමඟින් කතා කිරීමට තමාට කිසිලෙසකින්වත් ඉඩක් නොමැති බව, සිහිව චරක කාමරය මඟැර උඩු මහලේ බැල්කනිය වෙත ගියේය
සස්මිත අද හදිසි අවශ්‍යතාවයක් බව පවසා සවස එකට පමණ නිවාඩු ඉල්ලා , අනුමැතිය ලබා පිටව ගිය බවත්, තවම චායාද නිවසේ නොමැති බවත් සිහිව චරක එක්වරම අකුනක් වැදුණු සෙයින් තිගැස්සුණේය්.
” අම්මේ .. නංගී කෝ…?”
” වැඩකට යනවා කිව්වා… “
” කීයට විතරද ගියේ ?..”
” දොළහ පහු වෙලා.. කන්නේත් නැතුව ගියේ…”
” කා එක්කද ?..”
” තනියම පුතේ .. ඇයි ?…”
” නෑ .. එයාගේ අර ඩොකියුමන්ට් වැඩ ටිකක් ඉවර කරගන්න අද එනවා කියලා තිබුණේ මිනිස්ට්‍රි එකට .. ආවේ නෑනේ .. ඒකයි .. ෆෝන් එක ආන්සර් කරන්නේත් නෑ..”
” ටිකක් රෑ වේවි කියලා කිව්වා….”
චරක මිදුලට බැස්සේය. සස්මිතගේ කාමරය වෙත ගොස් සියල්ල අවුස්සා දැමීමට අවශ්‍ය බව සිතුණේය. සැනින් ඔහු ඒ අදහස යටපත් කර දැම්මේය. මේ ඉතා කල්පනාවෙන් කටයුතු කල යුතු අවස්තාවක් ය. චායාද හිතුවක්කාර බවෙහි උපරිමයට ලං විය හැකි අයෙක් බව චරක දනී.
චායා සහ සස්මිත ගල්කිස්සේ වූ තරු පහේ හෝටලයක් තුළට පිවිසියේ වෙන වෙනමය. සස්මිත නමින් වෙන් කිරීම සිදු කරවාගෙන තිබුණි.චායා ඇතුලු වූයේ සස්මිත එහි ගොස් ඇමතුම ලබාදී විනාඩි පහලොවකට පමණ පසුවය.
සස්මිත ඇය වැළඳගෙන සිප ගත්තේය. චායාද පෙරලා ඔහු සිප ගත්තාය.
” කාලා ඉමූ නේද ?..”
” හා ..”
” මම රූම් ඕර්ඩර් කලා..”
” හා … ඔයාගේ අකවුන්ට් නම්බර් එකක් දැන්වත් දෙන්නකෝ සස්මිත … ඔයා මේ දාස් ගනන් වලින් වියදම් කරනවානේ….”
” අතේ සල්ලි තියෙනවා කෙල්ල … ඔයාට වියදම් නොකරන සල්ලි ආයේ මට මොකටද මැණිකේ..”
සස්මිත සුව පහසු සෙටියේ හිඳගනිමින්, චායාද ඒ මතට ඇද ගත්තේය.
” මහ වැස්සකට පස්සේ හද ලස්සනට පේනවා කියලා මිනිස්සු කවි ලියලා තියෙන්නේ ඇයි කියලා මට දැන් තමයි තේරෙන්නේ…”
ඔහු චායාගේ ගෙල පාමුල හාදුවක් තැබුවේය. චායා ඇස් හීනි කරගෙනම සස්මිත දෙස බලා උන්නාය.
” මොකක්ද ඒ කියන්නේ ?…”
චායා සස්මිත දෙසට වන්නට තවත් හැරී හිඳගත්තාය.
” ඊයේ යක්සනියෙක් වගේ නේ රූම් එකට කඩන් පැන්නේ.. ඊට පස්සේ කොහොමද ටෝක් කරේ ඉතින් ….”
” ආහ් … හොඳ වෙලාවට මේ මහත්තයා ඊයේ වොශ් දාලා , සෙක්සි ලුක් එකෙන් හිටියේ .. එහෙම නොවෙන්න බලන්න තිබුනා මම නටන්න ආව නාඩගම … ඇත්තමයි, ඔයාව එහෙම දැකල මගේ හිත සැලුනා සස්මිත .. සත්තයි අනේ… ඔයා නාකි වෙන්න වෙන්න හැඩ වෙන ජාතියේ…”
” නාකි කියන්නෙපා ගෑණියේ .. තිස් පහක් වුනා විතරයි …”
චායා සිනාසෙමින් සස්මිතගේ දෑතින්ම අල්ලා ගත්තාය. ඉම්බාය.
” මට හැමදාම පේන්නේ, මම වාහනෙන් බහිනකල්, මට පේන මානෙන් ඉඳන් බලන් උන්න කොල්ලව.. කොච්චර නාකි වුනත් …”
ආහාර ගැනීමෙන් පසු, දෙදෙනා ගත දොවාගෙන යහනේ වැතිරුනහ.
” හය වෙද්දී චෙක් අවුට් වෙමු හොඳේ …”
” දැනටම හතරයිනේ …”
චායා නෝක්කාඩු කීවා වුවද, එය එලෙසින් වීම යහපත් බව ඇයටද සිතුණි.
” කෙල්ල …”
“ම්ම්ම්….”
” එදා ඇහුවා නේද, අම්මලා අක්කලා කෝ කියලා …”
සස්මිතගේ හඬෙහි ඇති පරාජිත බව චායා ට හොඳින්ම වැටහුණා වුවද ඇය ඒ බවක් එතරම් ගණනකට නොගෙන , මෙන් මදක් හැරී සස්මිත දෙස බලා උන්නාය. චායා තම ජීවිතය තුළින් නික්මෙන්නේ නැති බව තවත් සැක සංකා නොමැතිවම පිළිගත හැකි බව සස්මිත අවසානයේ තීරණය කලේය. ඇය එලෙසින් තමා හා සමග සිටිනවා නම්, ඇගේ ජීවිතය තම ජීවිතය හා හාවෙනවා නම්, ඇය තම ජීවිතයේ අහු කොන් ගැන ඇති සැක සංකාවන්ගෙන් මුදවා ගත යුතු බව සස්මිත තීරණය කර තිබුනේය.
ඒ සැක සංකා දුරු කරන්නට සැබෑ සත්‍යම පැවසීමට තමාට හැකියාවක් නැතිවා නම්, මුසාවන් හෝ ගලපා, සැබෑ තත්වය පමනක් ඇයට පහදා දීම කල යුතු බවද ඔහු තීරණය කර තිබුණේය.
“ම්ම්ම්..”
” තනි මම ඔයාට කොහොමද දැනෙන්නේ චායා ?…”
” මට තේරුනේ නෑ…”
” අම්මෙක්, තාත්තෙක් , අක්කෙක් නැති මාව ඔයාට කොහොමද දැනෙන්නේ කියලා අහන්නේ ?…”
චායා තිගැස්සුණාය. ඇයට ඒ තිගැස්ම සඟවාගෙන සිටින්නට හැකි වූයේ නැත. ඕ වහා කෙලින්වී හිඳ ගත්තාය. සස්මිත කොට්ටය මදක් සකසාගෙන ඇඳ වියලට වාරු වූවේය.
” මොකක්ද අහන්නේ ඔයා ?..”
” කියන්නකෝ ඉතින් … ඔයා මගේ ජීවිතේ අල්ලගන්නවා නම්, අපි මේ සමහර දේවල් කතා කරන්නෝනා මැණිකේ …”
“මොකක්ද ඉතින් ?… මට ඔයාවයි වටින්නේ.. ඔයාවය් ඕනේ.. මම අනෙක් කිසිම දෙයක් කන්සර්න් කරන්නේ නෑ සස්මිත .. අපේ අම්මලා වුනත්, අයියා වුනත් .. මම ෆයිට් කරනවා ..ඔයා වෙනුවෙන් …”
” ඒක නෙවෙයිනේ මම අහන්නේ?… මම පවුලෙන් අතෑරපු අනාතයෙක් නම්, එතකොට ඔයා මොකද කරන්නේ ?… කොහොමද ඔයාව ඒක ඔයාගේ පවුලේ අය එක්ක බෙදාගන්න හයිය හදාගන්නේ?..”
” අනේ මාව පිස්සු වට්ටන්නේ නැතුව, ඔයාට කියන්න ඕනි දේ කියලා ඉන්න රත්තරන් … ඔයා මේ මාව එක්කන් ආවේ අඬවන්නද ?..”
” අඬවන්න නෙවෙයි .. ඒත් , මෙව්වා නොකියා බැහැ.. අහන්නේ නැතුව බැහැ … මේ වගේ හැම කතාවක්ම අහද්දී කියද්දී ඔයා අඬනවා නම්, මම හරියට අසරණ වෙනවා මගේ නෝනා ….”
චායා එය එසේ නොවන බව පෙන්වමින් හිස දෙපසට සැලුවාය.


