පළිඟු මන්දිර – 27

2
469

මහමෙරුව හදවත මත පැටවී ඇතිවා වන් බරක් වත්සලා ට දැනෙමින් තිබිණ. ඇය අමාරුවෙන් හුස්ම ගත්තා ය. මේ පපුවේ හිර වීම, ඔහු ගැන හිතනා බොහෝ අවස්ථාවන් හි ඈ අත්විඳින්නී ය. තව එක ම එක වතාවකට ඔහු ගේ සැප දුක විමසන්නට ඇයට උවමනා ය. නමුත් ඒ පණිවිඩය යවන්නට තරම් අතැඟිල්ල වාරු කර ගත නො හැකි වූ තැන ඕ ‘ඩිලීට්’ සලකුණෙහි මහපටැඟිල්ල තැබුවා ය. මේ එසේ සිදු වූ ප්‍රථම වතාව නොවේ. අවසාන අවස්ථාව ද නො වනු ඇත.

පෙනහළු පත්ලෙන් ම සුසුමක් පිට කළ වත්සලා දුරකතනය අතහැරෙන්නට හැරියා ය. පපුව පැලී එක්වන ම මිය යන එක, මෙහෙම මැරි මැරී ජීවත් වනවාට වඩා පහසු ය.

ඇය ට ඔහු හමු වූයේ ගෙට සමීපව වූ ගසක් කපා දැමීමේ කටයුත්තකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය දවසක ය. මුල් හමු වීම තුළ ම වත්සලා තිගැස්මකට බඳුන් වූවා ය. ආදරය කියන හැඟීම එක වර අදාල දෙපාර්ශවයට ම සංවේදනය වෙනවා නම්, ඔහුටත් යමක් දැනෙන්නට ඇත. ඔහු වත්සලාගේ පෞද්ගලික විස්තර විමසා සිටියදී ඈ නිරායාසයෙන් ම සිය ජීවිතය ඔහු ඉදිරියේ නිරාවරණය කර සිටියා ය. නන්නාඳුනන පුරුෂයෙකු හට එලෙස විවෘත වීම කෙතරම් මුග්ධ කමක් දැයි වත්සලා නො දැන සිටියා නොවේ. දැන දැන ම එය සිදු වෙන්නට හැරියා පමණි. එහෙම අවස්ථා අපේ ජීවිත වලට උදා වන්නේ ය. එය මගහැර යන්නට උවමනාවෙන් ම අපි පසු බාන්නෙමු. 

ඔහු හදවතේ පෙරළියක් කරන්නට වූයේ රාජකාරී අවශ්‍යතාවයන්ගෙන් තොරව ද දුරකතන ඇමතුම් එත්දී ය. දවසකට වතාවක් හෝ ඔහු හා කෙටි පිළිසඳරක නොයෙදීම අපහසු වූ වාතාවරණයකදීය ඈ දැනගත්තේ ඔහු ගේ විවාහයට සය මසක් හෝ ගෙවී නැති බව. වත්සලා මුළුමනින් ම කඩා වැටුණා ය.

“මං ඔයාව රවට්ටන්නවත් වංචාවක් කරන්නවත් හිතුවෙ නෑ. හැබැයි ඔයාට මං ආදරේ කරන්න පටං අරගෙන කියල මං දැනං හිටිය. කසාද බැඳපු ගමං මිනිහෙක්ගෙ වුණත් හිතේ වෙන කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියල ඇත්තටම මං දැනගත්තෙත් ඔයා නිසා”

හෙතෙම පාපොච්චාරණයක් කළේ ය. නමුත් වත්සලා වෙත නම් තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි එක නිදසහට කරුණකුදු නොවිණ. ඒ විදිහට අතහැරී මගහැරී යන්නට නම් අතර මගකදී ආදරයක් හමු වන්නේ ඇයි කියන ප්‍රශ්නයට අද අද වන තුරා පිළිතුරක් සොයා ගන්නට ඇය සමත් වී නැත. කෙසේ වතුදු ඔවුන් ගේ යුග දිවිය මැද්දේ තුන් වැනියෙකු ව සිට ගන්නට කිසිසේත් ඇයට උවමනා නොවිණි. මේ මොහොතේත් වත්සලා ඒ දවස් කිහිපයක ප්‍රේමය හදවතින් දරා හිඳින්නී ය. සැමියා ගේ මිය යාමෙන් පසුත් ඈ ජීවත් වන බව වත්සලා තේරුම් ගත්තේ හදිසියේ පහල වූ මේ ප්‍රේමය නිසාවෙනි. එයත් නොවිණි නම් ඇගේ තරුණ හිත මේ වෙත්දීත් අකලට මහළු වන්නට තිබිණි.

පළිඟු ට නම් ඒ සා විසල් වේදනාවක් ප්‍රේමය නිසා හිමි විය යුතු නැතැයි වත්සලා තදින් විශ්වාස කළා ය. එහෙම හුස්ම ගන්නවාට වඩා හුස්ම හිර වී මියෙන එක පහසු ය.

රාත්‍රියේ වර්ෂා පළිඟු ට දුරකතනයෙන් කතා කළා ය. ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පස්සේ ඈ අසන්නට ඕනකම තිබූ ප්‍රශ්නය නැගුවා ය.

කියවන්න :  පළිඟු මන්දිර - 16

“අපේ අයිය මොකද කියන්නෙ…”

පළිඟු තත්පර කිහිපයක් නතර වී සිතුවා ය.

“විශේෂ දෙයක් නෑ. අම්මට අක්ෂි කියල තිබුණ වෙලාවෙත් එයා කලබල වුණෙ නෑනෙ. ඒ අපි අතරෙ එහෙම දෙයක් නැති නිසා”

වර්ෂා එපමණකින් නිහඬ වූවා ය. නමුත් ඕ කිසල් හමු වෙන්නට ඔහු ගේ කාමරයට ගියා ය. වෙනදා මෙන් නොව නැගණියගේ මූණ දෙස කෙළින් බලන්නට බැරි කමක් කිසල් ට දැනුණේ ය.

“තාම අක්ෂි ගැනද හිතන්නෙ…”

ඇය කෙලින් ම ප්‍රශ්නය ඇසුවා ය.

“පිස්සුද හලෝ…”

කියා ගෙන යහනෙන් නැගිටගත් කිසල් කාමරයෙන් නික්මෙන්නට ගියේ ය. වර්ෂා වහා ඔහු ගේ අතකින් අල්ලා නතර කළා ය.

“අයියා. තමංගෙම හිතට හොරෙං ජීවත් වෙන්න හදන එක ලොකු විහිළුවක්. ඔක්කෝටම ඉස්සෙල්ල අපි අපිට අවංක වෙන්න ඕනෙ. අපිට ඕනෙ මොනාද කියන එක තේරුං අරගන්න ඕනෙ. එහෙම නොකරනතාක් කල් අපිට ජීවත් වෙන්න වෙන්නෙ කිසි දෙයක් පැහැදිළි නැති අඳුරු ගුහාවක”

වර්ෂා ගේ ඇස් වල තියුණු බවක් විය. ඒ තියුණු මුවහත එක එල්ලේ විඳ ගන්නට ඇතැම් විට කිසල් අපොහොසත් වූවා වන්නට ඇත. ඔහු වර්ෂා ගේ අත මුදා ලමින් කාමරයෙන් එළියට බැස්සේ ය. දිගු අඩි තබා කොරිඩෝරය දිග ඇවිද යන්නට පටන් ගත්තේ ය.

“ඒයි මෝඩයා”

කාමරයේ දොරකඩින් වර්ෂා ගේ හඬ මතු විය. පටු කොරිඩෝරයෙහි ඒ හඬ දෝංකාර නැංවෙන්නා සේ ය කිසල් ට දැනුණේ. ඔහු ගේ දෙපා නතර විය. වර්ෂා දිව විත් කිසල් ගේ මග අවුරා සිට ගත්තා ය.

“ආදරේ කරන්නෙ කාටද අපිට ඕනෙ කාවද කියල හරියට අඳුරගන්න බැරි වුණොත් වෙන්නෙ විඳවන්න. විඳවන්න”

ඈ එය අවධාරණය කොට පඩි පෙළ දිගේ පහළ මාලයට ගියා ය. කිසල් හෙමි හෙමිහිට ටෙරස් එකට ගියේ ය. 

සුළඟ පෙම්වත් විය. පළිඟු ගේ තරු ඇස් කිසල් ගේ හිතේ නිවි නිවි දිළෙමින් තිබිණි. ඇයත් එක්ක මෙතැන ආහාර ගත් පෙර දාක රාත්‍රියේ වූ රහසිගත තිගැස්ම මේ සීතල අඳුර විසින් ඔහු ට යළි සිහිපත් කරන්නට විය. කිසල් පළිඟු ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

“හෙලෝ…”

ඇගේ ස්වරයේ වූයේ ප්‍රශ්නාර්ථයකි. සාමාන්‍යයෙන් ඔහු ගෙන් ඇමතුමක් එනවා නම් බැණුම් අහන්නට යමක් වන බව මේ ටික කාලයට පළිඟු අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටියා ය.

“මොකද කරන්නෙ…”

ඇමතුමක් ගත්තා ට කියන්නට යමක් නොවන බව ඔහු ට දැනුණේ පමා වී ය. කතා කළ මෝඩ කමකැයි ඔහු පසුතැවුණේ ය. නමුත් පළිඟු ගේ මුව සිනහ මලක් විකසිත වෙමින් තිබිණ.

“අහස දිහා බලං ඉන්නව”

යුවතිය කුඩා දැරියකගේ හුරතලයෙන් කතා කළා ය.

“මාත්”

කීවා නොව ඔහු ට එහෙම කියවිණ.

“ඔයා ටෙරස් එකේද…ඔරායන්ව දැක්කද…”

“මොකා…”

“ඔරායන් අනේ…එඬේරා”

“මං ඔය එඬේරු ගොපල්ලො අඳුරන්නෑ”

‘තියන උද්දච්ච කම’ යි කියන්නට ඕන වුණත් පළිඟු එහෙම නොකීවේ මේ මොහොත දිව්‍යමය නිමේෂයක් බවට පත් කර ගන්නට ඈ තුළ වූ ඕනෑකම හින්දා ම ය. සමහර විට ඔවුන් දකිමින් සිටිනු ඇත්තේ එක ම තරුවක් විය හැකි ය. මේ හද ගැස්ම විතරක් ඔහු ට නො දැනී, පරිසරයේ වන සියල් චමත්කාරයන් මෙලෙසින් ම ඔහු ට දැනෙනවා නම් ඈ රිසි ය.

කියවන්න :  පළිඟු මන්දිර - 13

“මං දන්නව මං වැරදියි කියල”

අන්තිමට ඔහු කොඳුරා ගත්තේ ය. යුවතිය ඇස් පියා ඔහු ගේ හද ගැස්ම සමගින් සමපාත වීමේ උත්සාහයක් දැරුවා ය.

“ඇයි…”

“ඔයාව මේකට පටලගත්ත එක වැරදියි”

“මං කැමැත්තෙං පැටළුණා කියල හිතන්න”

වචන පිට වූයේ පළිඟු ගේ උගුර යටිනි. ඉකි බිඳ හැඬීමේ උවමනාවක් ඇයට දැනිණි. මේ තාරකා වියන යට වැතිරී, අහසින් වැටෙන පිනි කැට එක්ක මුහු වෙමින් කඳුළු සලන්නට ඇයට ඕනෑ විය. අවන්හලට අහම්බෙන් පැමිණි අහංකාර කොල්ලා නිසා ගැහැනු හදවතක මේ සා දරුනු තුවාලයක් ඇති වෙන්නට නියමිත ව තිබුණ බව එදා නිකමට හෝ දැනුණා නම්! දැනුණත් ඒ තුවාලය ප්‍රතික්ෂේප කොට පලා යාමේ සූදානමක් ඇති කර ගන්නට ඇයට හැකි වනු ඇත්ද? ඈ මේ තුවාල රිදුම දරා ගන්නට සූදානම් වූයේ ආත්ම ගණනක් තිස්සේ විය නො හැකි ද? 

“ඔයාට වදයක් වෙන්න ඇති”

“කොහොමත් ඔයා හිතල ඔයා තීන්දු දෙන එකනෙ සිද්ද වෙන්නෙ”

පිට වෙන්නට ආ සුසුම හදවතේ ම හිර කර ගෙන ඕ ඉන් තැම්බුණා ය. දැවුණා ය. රිදුම් වින්දා ය.

“මං මොකද්ද කරන්න ඕනෙ…”

පළිඟු ට දැනුණේ එය වරයක් සේ ය. මේ මොහොතේ ඕනෑ ම වරයක් ඉල්ලිය හැක. 

මල් පෙත්තේ, මල් පෙත්තේ 

උතුරු දෙසට දකුණු දෙසට

 බටහිරටත් නැගෙනහිරට

ඉගිල ඉගිල මෙ හැම  දෙසට 

කැරකීලා ඇවිත් බිමට

ම කියන දෙය කර දෙන් මට…

ශේන්යා හත් පෙති මලේ අන්තිම පෙත්තෙන් හරවත් යමක් කරන්නට සිතුවා සේ පළිඟු ත් සිතුවා ය. ආයේ ම ඔහු හමු වෙන්නට පෙර සිටි පළිඟු ගේ තත්වයට පත් වන වරයක් ඉල්ලා සිටිය යුතු ද? නමුත් ඕ වහාම සිතින් ඒ ප්‍රතික්ෂේප කළා ය. ඇයට යළි මුලට යන්නට ඕනෑ නැත. මේ මන්දර කන්ද වන් දුක් ගොන්න ඉදිරි ජීවිත කාලය පුරාවට උහුලා ගන්නට ඈ තමන්ට ම පිළින දුන්නා ය. දුකින් විර්මුක්ත වූ ප්‍රේමයක් මෙලොව පැවතිය නො හැකි ය.

“ඔයා කැමති දෙයක්…”

අන්තිමට ඇය කෙඳිරුවා ය.

“හ්ම්..”

සුසුමක තැවරුන ඒ බර ඇයට දැනුණේ දුරකතන තරංග ඔස්සේ පැමිණ නොව සුළඟත් එක්ක මුහුව ඇවිත් වාගේ ය.

“මං කිව්වොත් ඒ ඇග්‍රිමන්ට් එක තව ටික දවසක් කන්ටිනිව් කරමු කියල…”

“ප්‍රශ්නයක් නෑ. එහෙම කරමු”

ඒ හඬ කිසල් ට පැහැදිළි ව ඇසුණාද කියාත් සැක සහිත ය. 

යුවතිය නිර්වින්දනයක් බඳු නිද්‍රාවකට පත් වූවා ය. ඒ තුළ කිසිදු ආකාරයක හෝ වේදනාවක් වූයේ නැත.

ආයේම මල් පිපී තිබිණි. සරසවි බිම දීප්තිමත් හරිත පැහැයෙන් අලංකෘත වූයේ ය. වර්ෂා හා  උතුම් අවන්හලේ වැඩට උදව් වෙමින් සිටිත්දී කිසල් ද හවුලට ආවේ ය. ජීවිතය කියන්නේ මිහිරි තනුවක් යොදා ගැයිය යුතු විරහ ගීතයකැයි පළිඟු සිනහවකින් යුතුව සිතුවා ය.

සුඛෝපභෝගී මෝටර් රථය අවන්හල ඉදිරියේ නතර වූයේ, සිනහවෙන් හා කතාවෙන් හාත්පස පිරීතිරී තිබි වෙලාවක ය. ඉන් පිටතට තැබුණු උස් අඩි සහිත පාවහන් දැමූ දෙපා දෙස පළිඟු බලා හිටියා ය. එතකොටත් වර්ෂා නම් හිටියේ කැළඹීගෙනයි. මොරීන් සිය අහංකාර බැල්මෙන් හා උජාරු ලීලාවෙන් යුතු ව අවන්හල වෙත පිය තබන්නට වූවා ය.

4 4 votes
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
Madhushika Vitharana
5 days ago

අයියෝ..

Dinushi Perera
5 days ago

Me mokada kale…..????