(අ)හිමි සිහින -182

අපි ලියන කොතෙකුත් දේ තිබුණත් අත්සනක තරම් බලයක් ඒ කිසිවකට ලැබෙන්නෙ නැහැ කීවොත් සත්‍යයක්.කෙනෙකුගේ අත්සනක් ඒ තරමටම නෛතික කටයුතු වලදී වැදගත්.ජීවත්ව ඉන්නා විට මෙන්ම මරණයෙන් පසුව ද  වැදගත් වන මේ අත්සන තබන සෑම මොහොතකම එය නිවැරදි ලෙසත් වගකීමෙනුත් තැබීම  ඔබ ඉතා සිහියෙන් හා බුද්ධිමත්ව සිදුකලයුතු කාර්යයක්.

ඔබ කෙදිනකවත් හිස් කඩදාසි මත ඔබේ අත්සන යොදා පිටස්තර පුද්ගලයෙකුට ලබාදෙනවා දැයි මා ඇසුවොත් ඔබ දෙන පිළිතුර මා දන්නවා.

“ආපෝ කවදාවත් මං නං ඒ වැඩේ කරන්නේ නැහැ.ඒක භයානක අවදානම් සහිත දෙයක් “

ඔව්! ඒක තමයි ඔබේ පිළිතුර.ඒත් සුධාරක මට ඔහුගේ අත්සන යෙදු හිස් කඩදාසි හයක් දීලා තිබුණා.දැන් ඔබ  “අපෝ හරි මෝඩ වැඩක් නේ”කියමින් ඔහුට දොස් නඟයි.ඔව්,ඒක ඉතාමත් මෝඩ ක්‍රියාවක්  ඒ විශ්වාසය කඩන කපටි මානසිකත්වයක් ඇති කෙනෙකුට එය ලැබුණානම්.නමුත් ඔහු ඒවා ලබා දුන්නේ මට,අනුරාධාට.ඔහු ජීවිතයේ වඩාත්ම විශ්වාස කළ කෙනාට.ඒ නිසා ඒවා කෙසේ මා පාවිච්චි කරාවිදැයි ඔහුට කිසිදු සැකයක් තිබුණේ නැහැ.

සුධාරක යනු රාජකාරී ජීවිතයෙන් බැහැරව සාමාන්‍ය ජීවිතයේදී ඉතා නින්දිත සහ දරුණු ලෙස  විශ්වාසය කඩවීම් වලට ජීවිත කාලයක් පුරාවට මුහුණ දුන් කෙනෙක්. තමාගේම මිනිස්සු සහ තමාට ලබැඳි යැයි සිතූ මිනිසුන්ම දරුණු ලෙස ඔහුව එතැනට තල්ලු කර තිබුණා.

මා මේ කතාව පුරාවට කිසිවකුගේ වැරදි කියා නැහැ. සුධාරකගේ මව සහෝදරියන් දිල්හානි වැනි චරිත තුල ඔවුන් කළ කී දෑ කිසිවක් ඔබ දන්නේ නැහැ. ඒ මා ඔවුන් විවේචනය වන කිසිවක් ඔබ හමුවේ නොතැබූ නිසා. දිල්හානිට බොහෝ මිනිසුන් අනුකම්පා කර මට දොස් පවරද්දී වුණත් මා ඇගේ චරිතය විවේචනය කළේ නැහැ. එහෙත් සුධාරකගේ විශ්වාසය දිල්හානි රැකගෙන තිබුණු ආකාරය ගැන එක් කතාවක් මට ඔබට පවසන්නට තිබෙනවා. ඇයගේ විශ්වාසය රැකීම ගැන මා පවසන්නේ එයම පමණයි.ඒ කියවා බලා එය තීරණය කිරීම ඔබ අත පවතිනවා.

කාලයකට ඉහතදී සුධාරක ඔහුගේ මුදලින් දිල්හානිගේ මවගේ නමට මෝටර්රථයක් මිලට ගෙන තිබුණා. ඒ රාජකාරී ස්ථානයට පවරාගෙන ඔවුන්ට ලබාදෙන නිලරථය වෙනුවට භාවිතා කිරීම සඳහා.නිලධාරියෙකුගේ නමට ගත් වාහනයක් ආයතනය තුළ තමාටම පාවිච්චි කිරීමට හැකියාවක් නැති ලෙස තිබූ නීති නිසා එය දිල්හානිගේ මවගේ නමට මිලට ගන්නට ඔහුට සිදුවී තිබුණා.

යුද්ධය අවසන් සටනින් නිමවන තුරු ඉදිරිපෙළ නිලධාරියෙකු වූ සුධාරක දිල්හානිට පෞද්ගලික ජීවිතයේ වගකීම් පවරා තිබුණා.මෙය ඕනෑම හමුදා නිලධාරියෙකුගේ හෝ සෙබලෙකුගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක්.වෛවාහක නිවසේ සියලු වගකීම් බිරිඳ මත තැබෙනවා.ඒ ඔවුන්ගේ රාජකාරි ස්වභාවය මතයි.ඉතින් සුධාරක මිලදී ගත් මෝටර් රථය කිසිදු හේතුවක් නැතිව කඩිනමින් විකුණා දමන්නට දිල්හානිට අවශ්‍යව තිබුණා.එය ඔහුගේ අනුදැනුමකින් තොරව විකුණා දමන්නට ඇයට පහසු වුණේ එය ඇගේ මවගේ නමට තිබීම නිසාමයි. මෝටර්රථය විකුණා දැමූ පසු දිල්හානි සුධාරකට පවසා තිබුණේ මෙවන් දෙයක්.

“කාර් එක ලක්ෂ 25 කට වික්කා.ලක්ෂ 20 ක් ෆිනෑන්ස් එක ගෙවන්න වුණා”

සුධාරක අසා තිබුණේ එක් ප්‍රශ්නයක් පමණයි.

“අයියෝ මොන අපරාධයක් ද ඒ? අනික ඒක හරි නොවටිනා ගාණක් නේ.”

තමා දුක් මහන්සි වී උපයාගන්නා දෙයෙහි වටිනාකම දැනෙන්නේ තමාටයි.සුධාරක එය හොඳින්ම දන්නා කෙනෙක්. එහෙත් දිල්හානිගේ හිතුවක්කාර තීරණ ඔහුට වළකාලන්නට හැකියාවක් තිබුණේ නැහැ.ඇය ඒකමතික තීරණ වලම එල්ලීගෙන ජීවිතය ගත කළ තැනැත්තියක්.ඉතා වටිනා මෝටර් රථයක් නොවටිනා ගණනකට විකිණීම ගැන ඔහුට කෝපයකට වඩා කලකිරීමක් තිබුණා.එහෙත් ඔහුට කරන්නට දෙයක් තිබුණේ නැහැ.ඔහුට තිබුණේ ඇයට බනින්න හෝ පහරදෙන්නට බව ඔබ පවසන්නටත් පුලුවන්.එහෙත් ඔහු එසේ කළේ නැහැ.ඒ ඔහු නිවට නිසාවත් බියගුලු නිසා වත් නොවෙයි.ඔහු සාමකාමී අහිංසක කරුණාවන්ත මිනිසෙකු වූ නිසාමයි.ඔබ කුමන අදහසක් දැරුවත් නොගැළපෙන චරිත ඒකාත්මික කරන්නට විවාහයකට ඇති හැකියාවක් නැහැ.

ඉතින් මෝටර් රථය විකිණූ මුදලින් අතට ඉතිරිවූවා යැයි දිල්හානි පැවසූ ලක්ෂ පහේ මුදලටත් පසුව වුණු දෙයක් නැතිවී තිබුණා. එහෙත් හොඳම කොටස මෙය නොවෙයි.දිල්හානි දරුවන්ද රැගෙන රටින් පලාගොස් දින කිහිපයකට පසුව සුධාරකගේ එක් අතකින් ඥාති මෙන්ම හොඳ මිතුරෙකු ද වූ අයියා කෙනෙක් ඔහු ඇමතුවා. සුධාරක බොහෝවිට දුරකථන ඇමතුම් ලවුඩ් ස්පීකරය දමා අමතන්නට පුරුදුවී සිටියා. ඒ නිසා ඒ දෙබස් මට අද වගේ මතකයි.දිල්හානි හා සුධාරක අතර ගැටුම ඔහුට දැනගන්නට ලැබුණු බවත් ඔහු ඒ ගැන කණගාටුවන බවත් ඒ ඥාතියා සුධාරකට පැවසුවා. දිල්හානිගේ නාස්තිකාර වැඩත් අපිලිවෙළ ජීවිතයත් ගැන ඔහුට ඒ අවස්ථාවේදී පැවසූ සුධාරක

“කරන කිසිම දෙයක තේරුමක් නැහැ.බලන්න අයියා අර අච්චර වටින වාහනයක් ලක්ෂ විසි පහකටනෙ විකුණලා තියෙන්නෙ. ඒකෙ සල්ලි වලට මොනවා වුණාද අදටත් මම දන්නෙ නැහැ” කියද්දී ඥාතියා පුදුමයෙන් හඬ අවදි කළා.

“ආ!!මොනවා?මමනෙ ඒක විකුණලා දුන්නේ.කාර් එක වික්කේ ලක්ෂ තිස් දෙකකට”

සුධාරකගේ දෑස් නළලට ගිය හැටි මට තවම මතකයි.

“නෑ …මම ඒ ගැන මොනවත්ම දන්නේ නෑ”

සුධාරකත් මමත් මුහුණට මුහුණ බලාගත්තා. එය සුධාරකට මරු පහරක් වූ බව මට හොඳින්ම පෙනුණා. මේ තරම් රැවටීමක්??ඔව් එය කවදාවත් අපිට තේරෙන එකක් නැහැ.එය දන්නේ දිල්හානි පමණයි.නමුත් සිහිය නැති සුධාරකගේ නීත්‍යානුකූල අයිතිය වෙනුවෙන් පෙනී සිටි ඈ ඔහුට සිහි තිබෙද්දී සැමියාගේ විශ්වාසයට දී තිබුනු වටිනාකම එවැනි එකක් වුණා. මේ එවන් සිද්ධි ගණනාවකින් එකක් පමණයි.ඇය මේ සියලු දේ සිදුකර තිබුණේ ඔවුන්ගේ විවාහය ඉතා හොඳින් පවතිනවායැයි ලෝකයාට පෙන්වමින් සිටි අවධියේදීයි.මගේ සෙවනැල්ලක් හෝ ඔවුන්ගේ ජීවිත වලට නොවැටී තිබූ අවධියේදී.ඇය කෙතරම් හොඳින් බිරිඳගේ භූමිකාව ගතකොට ඇත්දැයි තක්සේරු කිරීම ඔබට බාරයි.

මෙසේ නිත්‍යානුකූල බිරිඳගෙන්ම මහා විශ්වාසභංගත්වයට පත්ව ඉද්දී ඔහු මට අත්සන යෙදූ හිස් කඩදාසි ලබාදීම ගැන ඔබට පුදුම ඇති.

“විවාහ සහතිකය අතේ තබාගෙන හිටි බිරිඳ මෙහෙම කළාට පස්සෙ දික්කසාද සහතිකය තියෙන බිරිඳ විශ්වාස කරන්න සුධාරකට ඔලුව හොඳ නැද්ද” 

ඒත් විශ්වාසය ගැන මට ඔබට කියන්නට ඇත්තේ එක දෙයයි. මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා.කෙනෙක් තමා විශ්වාස කරන බව දැනගත් විට ඒ විශ්වාසය අයුතු ලෙස යොදාගෙන අනිකා රවටන මිනිසුන් හා කෙනෙක් තමාව විශ්වාස කරනවා යැයි දැනගත් විට දිවි හිමියෙන් එය සුරක්ෂා කරමින් කෙනෙකුගේ මරණයෙන් මතුත් එය එකසේ රැකගෙන ඉදිරියට යන මිනිසුන් ලෙස ඒ දෙකොටස වෙන් කළ හැකියි.

ඔබ අයත් වන්නේ මේ කුමන කොටසටදැයි දන්නේ ද ඔබම පමණයි. එහෙත් තවදුරටත් කෙනෙකුගේ විශ්වාසය රකින්නට ඔබට කුමන හෝ අපහසුතාවයක් තිබේනම් ඔබ කළ යුත්තේ එක් දෙයයි.ඒ කෙනෙකු අමු අමුවේ නොරවටා ඒ සබඳකමට හෝ ගනුදෙනුවට තිත තබන්නට කෙසේ හෝ හැකියාවක් ලබා ගැනීමයි. එය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව මම තරයේ විශ්වාස කරනවා. විශ්වාසයක් නැති තැන කිසිවෙකු හෝ කිසිවක් සුරක්ෂිත නැහැ.

ප්‍රේමය සහ විවාහය තරමටම විශ්වාසය ද සංකීර්ණ බව ඔබ අමතක කළ යුතුම නැහැ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles