පළිඟු මන්දිර – 32

0
811

පිනි බර හිමිදිරිය වඩාත් සිහිළැල් හා සුව දායක වූයේ ය. සේපාලිකා මල් සුවඳ හාත්පස ඉහිරෙමින් තිබිණ. උතුම් විසින් යළි මතක් කරනු ලබනට පෙර රියෙහි ඉදිරි අසුනට ගොඩ වූ කිසල් අඩ නෙතින් පිටුපස හැරී බැලුවේ ය. ඔහු ගේ ඇස් පළිඟු ගේ ඇස් වල පැටලී ගෙන තත්පර කිහිපයක නිමේෂයක් පැවතිණි. විදුලි කෙටුවේ හදවත් ඇතුළේ ය. යුවතිය ගේ රතදර අතර නැවුම් වූ මුදු මඳහසක් විය. ඒ මන්දස්මිතයෙන් ඔහු දෙස මිස වෙන කිසිවෙකු දෙස බලන්නට ඇය නො දන්නවා ඇත. 

“යං යං එහෙනං…කවුරුත් සාදුකාරයක් දෙමු ළමයි…සාදු සාදු සා…දු…”

උතුම් ආරම්භය සලකුණු කළේ ය. වර්ෂා ඔහු ගේ සාදුකාරයට අත්වැල් ඇල්ලුවා ය. පළිඟු සිනා සිසී බලා සිටියා ය. නමුත් පිටුපස අසුනේ උතුම් සමගින් හිඳ උන් වත්සලා නම් තවමත් හිටියේ ගල් වී ගෙන ම ය.

සමහර දේවල් සිදු වෙන්නේ හරි පුදුම විදිහට ය. හරි අමුතු විදිහට ය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී රාජකාරී කටයුත්තක් වෙනුවෙන් හමු වූ චමල්, හීන් රිදුමක් ලෙස තවමත් ඈ සිතේ ජීවත් වෙමින් සිටියේ ය. ඔහු ඇගේ ස්ත්‍රී ආත්මය මත තැවරූ චමත්කාරය තවමත් මුළුමනින් මැකී ගොස් නැත. ඇරඹුමේදී ම අවාසනාවන්ත ලෙස වෙන් වන්නට සිදු කළ ඉරණම ගැන වත්සලා කිසි දිනෙක වෛරී සිතකින් පසු නො වූවා ය. පමා වී මුණ ගැසී අතර මගකදී වෙන් ව ගිය හදවත් වල තිබිය හැකි වේදනා රසය පමණක් ඈ තනියට ළඟ තියා ගත්තා ය. නමුත් මෙහෙව් අහඹු හමුවක් නම් ඇය කිසි සේත් අපේක්ෂා කළේ නැත.

“පුංචා මොකද එක පාරටම සයිලන්ස් වුණේ…”

උතුම් වත්සලා ගේ වෙනස හැඳිනූ ප්‍රථමයා ය. රියෙහි ඉදිරි කැඩපත, චමල් ගේ හා වත්සලා ගේ ඇස් වලට ක්ෂණික හමු වීමක් සඳහා ඉඩ සලසා දුන්නේ ය. වත්සලා ඉක්මන් සිනහවක් හෙළුවා ය. නමුත් ඒ සිනහව ඇගේ සජීවී හා ස්වභාවික නොවේ. 

“ඕගොල්ලො ගියානං ඉවරනෙ ළමයි. මට ගෙදරට වෙලා වැඩක් කර ගන්න තිබුණා”

කතා කළේ හිතේ තිබුණ ඇත්ත ම හැඟීම ද නැත්ද කියා ඇය ම නො දත්තා ය. ආගන්තුක ගැස්මක් ඈ සසල කරවමින් පවතින බව නම් වත්සලා දැන සිටියා ය.

“පුංචා නැතුව මොන ට්‍රිප්ද…මේ හාල් කෑලි දෙක එක්ක ගමං යනවට වඩා හොඳයි…”

“හාල් කෑලි…”

උතුම් ට කියා නිම කරන්නට ඉඩ ලැබුණා නොවේ. වර්ෂා පිටුපස අසුනට නැඹුරු වී ඔහු ට පහරක් ගැසුවා ය.

“මේ පේනවනෙ….පුරුෂ හිංසනය…අපේ කිසලය පවු අප්ප. ඒකමයි මං ඌව ඉස්සරහ සීට් එකට දැම්මෙ. අදවත් හිංසනයට ලක් නොවී පාඩුවෙ ගමන යන්න. පව් අහිංසකය”

සිනහවක් ඉහිර ගියේ ය. කිසල් පිටුපස හැරී මිතුරා ට රැව්වේ ය.

“ආ චූටි මාමා දන්නෑනෙ”

උතුම් ගේ හඬින් චමල් පිටුපස බැලූයේ කැඩපත තුළිනි. වත්සලා ගේ දිළිසෙන ඇස් මිස වෙන කිසිවෙකු ඔහු දුටුවේ නැත.

“මේ පළිඟු තමයි ඔයාගෙ ලේලි හරිද…ඔයාගෙ අක්කණ්ඩි එක්ක ෆයිට් එකක් දෙන්න අපිට ඔයාගෙ සපෝට් එකත් ඕන හරී..”

වමල් මඳහසක් නගා ගත්තේ ය. ඒ සිනහව මොන තරම් අසරණද කියා සිතුවේ වර්ෂා පමණි. මොරීන් සිය සිහින අද සිය දරුවන් මතින් හැබෑ කර ගන්නට යනවා සේ එදා සිය බාල සහෝදරයාව ඒ සඳහා පාවිච්චි කළා ය. චමල් අද ජීවිතය මැද්දේ තනි වී සිටින්නේ එනිසාවෙනි.

“අක්කා හිතන්නෙ එයාගෙ අයගෙ ජීවිත වල ඉරණම ලියන අයිතිය තියෙන්නෙ එයාටයි කියලනෙ. උඹල උඹලට ඕනයි කියල හිතෙන දේ කරපල්ල. තමන්ට ඕන දේ කරල වැරදුණත් ඒ තරං දුකක් දැනෙන්නෑ. මොකද ඒක තමන්ට ඕන කරපු දේනෙ. ඒ කරපු දේ නිසා අපි ටික කලක් හරි සතුටෙන් ඉන්නවනෙ..”

චමල් මාමා සිය යුග දිවියේ එක දවසක් හෝ සතුටෙන් ගත කරන්නට නැති බව වර්ෂා වටහා ගත්තා ය. අම්මා ට එය නො දැනෙන්නේ මන්දැයි ඇය ට සිතා ගත නො හැකි ය. සනත් සමග ගෙවූ මොරීන් ගේ යුග දිවිය කෙබඳු විය හැකි දැයි වර්ෂා සිතුවා ය. ඔවුන් දෙදෙනා මුළුමනින් ප්‍රතිවිරුද්ධ ගති පැවතුම් වලින් හෙබි දෙදෙනෙකි. කිසල් කෙසේ වෙතත් වර්ෂා නම් කුඩා කල පටන් වැඩිපුර සමීප පියාට ය. අම්මා ගේ ගති ගුණ ඈ අවඥාවෙන් බැහැර කළා ය. හැඩහුරුකම් අතින් ඇය මොරීන් ට සමානයි කියා කිසිවෙකු කියනවා ට පවා නො සතුටු වූ ඕ, සනත් වාගේ කියා අසන්නට මතක ඇති කාලයේ පටන් කැමති වූවා ය. කිසි දා යා නො වන ලෙසින් සමාන්තර ව දිවෙන රේල් පීලි දෙකක් බඳු වූ සිය මවු පිය දෙදෙනා එක්ව වසර විසි ගණනක් පවුලක් නඩත්තු කළේ කෙසේ දැයි වර්ෂා ඕනෑ තරම් සිතා තිබේ. පිරිමි පාසල් ගණනාවක විදුහල්පති ධුරය හෙබවූ සනත්, ගෘහ පාලනය ස්ව කැමැත්තෙන් ම මොරීන් ට පිරිනමා තිබුණෙන් පවුලක් වශයෙන් නො බිඳී එය රැකුණු බව දැන් දැන් වර්ෂා ට අවබෝධ කළ හැකි ය. 

කියවන්න :  පළිඟු මන්දිර - 42

“ඇත්තට ම චූටි මාමට ඉන්ට්‍රඩියුස් කරන්නත් බැරි වුණානෙ.”

කරන්නට පමා වූ දෙයක් හදිසියේ සිහිපත් වී වර්ෂා කතා කළා ය.

” චූටි මාමා මේ  පළිඟු ගෙ පුංචි…වත්සලා ආන්ටි. මෙයත් ඔයා වගේ තමයි. මං මෙයාට හරී ආදරෙයි”

නැවතත් ඇස් අතර විදුලි කෙටීමකි. චමල් යන්තමින් හිස සැලුවේ ය. වත්සලා ලොකු හුස්මක් ගත්තා ය.

“අපිව එක්කං යන්න කියල වද කරල තමයි මෙයාව ගෙන්නගත්තෙ. ආවෙ නැත්තං මං ආයෙ කතා කරන්නෙවත් නෑ කියල තර්ජනේ කළහමයි ඔය ආවෙ”

වර්ෂා මඳක් ඉදිරියට නැඹුරු වී චමල් ගේ හිස කේ අවුල් කළා ය.

“මෙහෙම හිටියට මෙයා හරි ගණං”

ඒ දවස උදා වී තිබුණේ ඔවුන් වෙනුවෙනි. රිය තුළ සිනා හා කතා දෝරෙ ගැලුවේ ය. හදවතෙහි බරක් පැටවී තිබුණත්, වත්සලා හැකි තාක් සාමාන්‍ය පරිදි හැසිරීමේ උත්සාහයක් ගත්තා ය. උදෙන් ම දළදා වැඳගත් ඔවුහු සැලසුම් කර තිබූ පරිදි පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ දී උපන් දිනය සැමරූහ. මහවැලි ගඟ සරැලි නගමින් ගලා බැස්සා ය. අනිත් අයට මඳක් පසු පසින් ගමන් කළ කිසල්, කාටත් නො දැනෙන්නට පළිඟු ගේ අතැඟිල්ලකින් අල්ලා ඇය ව නතර කර ගත්තේ ය. වර්ෂා ඔවුන් පමා වනු දුටුවත් උතුම් ගේ වක්කඩ බිඳෙන වචන ගැන දන්නා නිසා ඒ ගැන කිසිත් නො කියා නිහඬ වූවා ය.

“මේ බර්ත් ඩේ එකේ ඉඳල ජීවිතේ පුරාම හැම බර්ත් ඩේ එකකදිම ඔයා ළඟින් මෙහෙම ඉන්න මට ඕනෙ පළිඟු “

යුවතිය තොල් පට සපා ගෙන බිම බැලුවා ය. කවදා වන තුරු එසේ කළ හැකි ද කියා ඇය ට සිතා ගත නො හැකි ය. ඇතැම් විට ඊළඟ අවුරුද්දේ මේ දිනය වන්නට පෙර ඔවුන් වෙන් කරන්නට මොරින් කටයුතු කරන්නට පුළුවන. 

“මං දන්නෑ කිසල්. දුර අනාගතයක් ගැන හිතන්නවත් බැරි තරං ඒක මට දුරයි කියල දැනෙනව. ඒත් මෙතනිං පස්සෙ එන හැම උපන් දිනේකදිම මේ මතකෙ මගෙ ළඟ තියෙනව කියල මං දන්නව. ඔයා මං ළඟ නැති වුණත් මේ සුවඳ හැමදාම ඉතුරු වෙලා තියෙයි”

කුඩා මංජුසාවකින් පිටතට ගත් රන් මුදුවක්, කිසල් පළිඟු ගේ අතැඟිල්ලකට දැමුවේ ය.

පළිඟු ලොකු හුස්මක් ගත්තා ය.

“ඔයා මේ රිං එක පරිස්සං කරන්න ඕනෙ. අපි අතරෙ තියෙන විශ්වාසෙ වගේ…අපි අතරෙ තියෙන ආදරේ වගේ”

ඒ ස්වරය තුළ බරපතල ප්‍රේමයක් සේ ම  තරමක දැඩි බවක් ද සනිටුහන්  ව තිබුණේ ය. ඔහු වෙතින් විද්‍යමාන වූ ඒ සියල්ල කෙරේ ඈ මහත් වූ තෘෂ්ණාවකින් ආශක්ත වෙමින් සිටියා ය. ඉස්සර ඉස්කෝලේ යන කාලයේ මිතුරු මිතුරියන් වෙතින් දැකිය නො හැකි වූ තරම් බරක් ප්‍රේමය කියන හැඟීම තුළ වෙතැයි පළිඟු ට දැනෙන්නේ දැන් ය. එය දෙදෙනෙකු අතර ඇති විය හැකි ආකර්ෂණයට වඩා ගැඹුරැති හැඟීමකි. එය විශ්වාසය මත පදනම් ව ඇති හැඟීමකි. එය සමාව දීම මත රැඳී ඇති හැඟීමකි.

ගං ඉවුර දිග ඇවිද ගිය අනිත් කණ්ඩායමෙන්, වත්සලා අතර මගකදී නතර වෙන්නට උත්සාහ කළා ය. 

“මං මෙතනිං ඉන්නං. ඕගොල්ලො ඇවිදල එන්න”

මහ තුරක් ළඟ වූ ලොකු ගලකට බර වෙමින් ඇය නතර  වූවා ය. නමුත් උතුම් ගෙන් ඊට ඉඩක් ලැබුණා නොවේ.

“එහෙනං අපිත් මෙතන ටිකක් ඉමු”

“උතුම් අයිය මගෙ ෆොටෝස් ටිකක් ගන්නකො ගඟ ළඟදි”

කියවන්න :  පළිඟු මන්දිර - 34

වර්ෂා ගේ ඒ ඉල්ලීම මත ඔවුන් දෙදෙන ගඟ පහළට බසිත්දී චමල් එතැන හුදෙකලා වූයේ ය. වත්සලා ගේ හදවත මත ඇවිළෙමින් තිබි ගින්දර නිවා දමන්නට මහවැලිය පිස හැමු සුළඟත් අපොහොසත් වූ තරමි. ඇය වඩාත් බිය වූයේ චමල් දෙස බලන්නටයි. එදා නතර වූ තැන දී දැනුණ හද ගැස්ම අද අදටත් නොවෙනස් ය. කාලය වසර ගණනකින් ගෙවී ගොස් තිබුණාට හැඟීම් වල කිසිදු වෙනසක් සිදු ව නැත්තේ ය. 

“මං දන්නව වත්සලා මගෙ මූණ බලන්නවත් කැමති නෑ කියල”

චමල් ගේ පිරිමිකාර හඬ වත්සලා සසල කරවූයේ ය. ඇය අමාරුවෙන් ඔහු දෙසට ඉක්මන් බැල්මක් හෙළා ඉවත බලා ගත්තා ය. ඔහු ව මේ විදිහට යළි මුණ ගැස්වීම දෛවයේ සරදමක් වී ද, සිය හදවත ආයේ ම වතාවක් සරදමට ලක් වෙනවා දකින්නට ඇය ට උවමනා නැත.

“නෑ…එහෙම දෙයක් නෑ…”

ඇය උගුර යටින් වාගේ කියා ගත්තා ය. නමුත් අතරින් පතර ඇතැම් වචන උගුරේ හිර වී පිටතට නෑවිත් සිටියේ ය. ප්‍රශ්නය තියෙන්නේ මූණ බලන්නට කැමති ද නැති ද යන එකෙහි නොවේ. එදා මෙදා තුර එක සීරුවට ඇය විසින් දරා ගන්නා ලද ආදරයෙහි ය. ඒ ගින්දරෙහි ය.

“මට තාමත් හිතා ගන්න බෑ මේ විදිහට ඔයා ආයෙ මුණගැහුණ එක”

වත්සලා අඩ සිනහවක් හෙළුවා ය. ජීවිතය කියන්නේ හිතා ගන්නට බැරි දේවල් සිදු වෙන තැනකට බව ඇය ඔහු ට කියා දෙන්නට ගියේ නැත.

“මං දන්නව මගෙං සිද්ද වුණේ වරදක් කියල. කසාද බැඳල හිටිය මිනිහෙක් විදිහට ඔයාට බලාපොරොත්තු දීපු එක වැරදියි. ඒත් ඒ වෙනකොට ආදරේ මටත් බලාපොරොත්තු දීලයි තිබුණෙ. ඇත්තටම..ආදරේ කියන්නෙ අපිට ඕන වෙලාවට අපිව හොයං එන දෙයක් නෙවෙයි”

ඔහු ගේ ස්වරයේ වේදනාවක් විය. ඔහු ගේ අතීත තුවාල පෑරී තිබිණි. ජීවිතය පිළිබඳව මහත් ම පසුතැවීමකින් ඔහු ගේ සන්තානය ඇදුම් කන්නට විය.

“ඔයා හදන්නෙ සමාව ඉල්ලන්නනං…එහෙම කරන්න ඕන නෑ”

වත්සලා හිත තද කරගෙන කීවා ය.

“මොකද ඔයා කළේ වරදක්නං…මාත් ඒ වරදම කරලනෙ තිබුණෙ”

“මට තේරෙනව ඔයා තාමත් තරහෙං කියල”

වත්සලා වහා ම තුර පාමුලින් නැගිට ගත්තා ය. හනි හනික ගඟ දෙසට අඩි කිහිපයක් පල්ලම් බැස්සා ය. ඔහු ගේ ප්‍රකාශය නිවැරදි කරන්නට ගියේ වී නම් ඇයට හඬන්නට වෙනවා නිසැක ය. ඇය තවමත් තරහෙන් යයි ඔහු කියයි. නමුත් ඇය එක තත්පරයකට හෝ ඔහු පිළිබඳව තරහකින් පසු වූවා නොවේ. එදා, ඔහු පිළිබඳ ප්‍රේමයෙන් හදවත පණ ගැහෙන්නට පටන් ගත් දා පටන් ඈ හිටියේ දුකෙනි. ඒ දුකෙන් ඇතුළාන්තය තැම්බී තිබිණි. නමුත් ඇය ලෝකයට පේන්නට හිනා වී හිටියා ය.

මේ අහඹු මොහොතේත් වත්සලා කළ යුතුව තිබුණේ එයයි. හැම කඳුළක් ම ඇස් වල හංගා ගෙන, හැම සුසුමක් ම හිතේ ගුලි කර ගෙන ලෝකයට පේන්නට හිනා වී ඉන්නා එකයි. ගැහැනියකට පමණක් කළ හැකි ඒ අසිරිමත් රංගනය තුළින් බොහෝ ස්ත්‍රීන් සේ ඕ ආත්ම තෘප්තියට ද පත් වූවා ය.

ඒ දවස පළිඟු ගේ ජීවිතයේ අමරණීය ම දිනය ලෙස ඇගේ හද සන්තානයෙහි සනිටුහන් විය. දවස නිමාවේ ඈ රියෙන් බැස්සේ මේ දවස තව කල්පයක් තරම් දිගු වූවා නම් යයි සිතමිනි. කිසල් වෙතින් වෙන් ව යන්නට බැරි තරම් දැවැන්ත බැඳීමකින් ඕ ඔහු වෙත බැඳී සිටියා ය. මේ අත් භවයේදී පමණකුදු නොව මින් මතු ආත්ම ගණනකට ඔහු ගෙන් මිදිය නො හැකි හැඟීමකි එය. මේ අත් භවයේදී පමණකුදු නොව මින් පෙර ආත්ම ගණනාවකදී ත් ඔහු ට ලං ව උන් බවට මතක තිගැස්මකි එය. 

“හරි හරි…යන්න බෑ වගේ දැනුණට දැන්ම ඌව මෙහෙ නවත්තගන්න බෑ”

උතුම් කට කියෙව්වේ ය. වර්ෂා ඔහු ගේ උරහිසට පහරක් ගැසුවා ය.

“බහිමු ඉතිං කට්ටියම. ගේ දොරකඩට ඇවිත් හැරිල යන්න දෙන්න බෑනෙ. තේ එකක් බීල යමු”

වත්සලා ඇරයුම් කළේ චමල් දෙස නො බලා ම වුණත්, මේ විශේෂිත තේ එක ඔහු වෙනුවෙන් ම සාදන්නක් බව ඇගේ යටි හිත දැන සිටියේ ය. 

5 4 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments