මනුස්සකම

නර්මදා උදේ පාන්දර තේ බොන්න හිතාගෙන කුස්සියට එද්දි ඇගේ අම්මා මාලනී කල්පනා සහගතව ලිපේ තිබුණු ව්‍යාංජනයක් හැඳි ගාමින් හිටියා

” අම්මා? මොකද අනේ ? “

” ආ.. චූටි.. තේ එක මේසේ උඩ “

” මම ඇහුවේ තේ එකක් ගැන නෙමෙයි.ඔයා මොකද නිකන් අවුලෙන් වගෙ කියලා ?”

” ලොකූ ඔයාගේ කසාදෙට එන්නේ නෑ කියන්නේ “

මාලනී කිව්වේ ඇහෙන නෑහෙන ගානට

” ආ. ඒ මොකද ? “

“එයා අමල්ට කැමති නෑ. එයා දික්කසාද උන කෙනෙක් කියලා “

” අනේ ඇත්තට ? එහෙනම් අම්මේ එයාට කියන්න , එයා නාවා කියලා මගේ කසාදේ නවතින්නෙත් නෑ කියලා.ඇයි අනේ දික්කසාද උන මනුස්සයෙක්ට ආපහු කසාද බඳින්න බැරිද? අපෙ අක්කට නම් මනුස්සකමක් කියලා දෙයක් ගෑවිලා වත් නෑ “

නර්මදා කුස්සියෙන් එලියට ආවේ කෝපයෙන්. මාස කීපයක විවාහයකින් වෙන්වෙනු කෙනෙක් තමන්ගේ පෙම්වතා වුන එක ගැන නර්මදා මොහොතකට වත් පසුතැවුනේ නෑ.

” අපේ පවුල් වල කිසිම කෙනෙක් ඔහොම කසාදයක් කර ගෙන නෑ.අනික අම්මේ මම කොහොමද රුවන්ගේ නෑදෑයන්ට කටක් ඇරලා කියන්නේ මගෙ නංගි බඳින්නේ දික්කසාද වෙච්ච මනුස්සයෙක් කියලා ?”

” ඒක චූටී කැමැත්තනෙ ලොකූ.අමල් කියන්නෙ නරක ළමයෙක් නෙමෙයි “

” අම්මා තමයි උන් දෙන්නට උඩින්ම කැමත්ත දීලා ලොකුම වැරද්ද කර ගත්තේ. දැන් ඉතින් හරිනේ “

” අමල් මනුස්සකම් දන්න හරි අහිංසක ළමයෙක් ලොකූ.ඔයා එක දවසක් හරි අමල් එක්ක කතා කරානම් ඔහොම කියන එකක් නැහැ. “

” අනේ ? මම මොකටද එයා එක්ක කතා කරන්නේ ? කවුද දන්නෙ ඔය හදිසියේ කලින් කසාදේ කැඩුනේ මොනා වෙලාද කියලා ? අපේ එක්කෙනා විහින් අමාරුවේ වැටෙන්න තමයි ඔය හදන්නේ “

” මොනවද ලොකූ ඔයා ඔය කියන කතා ? “

” මම මොනවද කියන්නේ කියලා අම්මලාට ටික කාලයක් ගියාම තේරෙයි . අමල් කියන්නේ මහා කපටි මිනිහෙක් මට පේන විදියට. නංගිගේ දේපල ගන්න කසාද බඳින්න ලෑස්ති වෙනවා වෙන්නත් බැරි නැහැ “

මාලනී ඇගෙ වැඩිමහල් දියණිය වුන ප්‍රියංවදාගේ දුරකථන ඇමතුම අවසන් කලේ හිතේ බරින්. නර්මදා ඉතා සතුටින් ඇගේ විවාහයට සූදානම් වුණත් ඇගේ අක්කාවුන ප්‍රියංවදා ගෙන් නම් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ

” ඔයා ලොකු ට කතා කරාද චූටි ? “

” මම මොකටද අම්මෙ කතා කරන්නේ තව? එයා හිතාගෙන ඉන්නේ එයා කැමති දේ අපි කරන්න ඕනේ කියලා.එහෙම කරන්න තාමත් අපි පොඩි ළමයි නෙමෙයි නේ “

නර්මදාගේ මුහුණ අඳුරු වෙලා තිබුණා.පහුවදා නර්මදා රැකියාවට ගිය වෙලාවේ ප්‍රියංවදා මහ ගෙදරට ආවා

” අම්මා තමයි නංගිගේ හිතුවක්කාරකම් වලට උදව් කරන්නේ “

ප්‍රියංවදා සුපුරුදු පරිදි මාලනිට චෝදනා කරා

” ඒ ළමයා හිතුවක්කාර කමක් කලා වෙන්නේ ,කසාද බැඳපු මනුස්සයෙකුගෙ ඇඟේ එල්ලුනා නම්.අමල් කියන්නේ පිළිවෙලකට කසාදෙන් අයින් වෙච්ච ළමයෙක් “

මාලනී කිව්වේ තරමක් දැඩි හඬින්

” අනේ මම දන්නැහැ ඕවා.මේ කිසි කෙනෙක් මම කියන දේ අහන්න නැති හැටි ඇත්තටම “

” ඇයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? “

” නංගි වගේම තමයි රුවනුත්. මම කියන කිසිදෙයක් කණකට ගන්නෙ නැහැ “

” ඔයා හැමදේටම කේන්ති ගන්න එක නතර කරන්න ලොකූ. නිකං බොරුවට රුවන් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න එපා “

” එයා තමයි අනවශ්‍ය ප්‍රශ්න ගේ තුළට ගේන්නේ අම්මේ. මම නෙමෙයි “

ප්‍රියංවදා කියන කිසි දෙයක පැහැදිලි කමක් මාලනීට දැනුනේ නැහැ.හේතුවක් නැතිව හැමදේටම තරහ ගන්න ඇයගෙන් මාලනී තවදුරටත් දේවල් අහන්න ගියේ නැහැ

එක හවස් වරුවක මාලනි නර්මදා එක්ක ඉස්තෝප්පුවට වෙලා කතා කරමින් ඉන්න කොට ගේට්ටුවෙන් ඇතුළුවුන රුවන්ගේ මෝටර් සයිකලය ඇවිත් නිවස ඉදිරිපිට නතර කළා

” මම අම්මව හම්බවෙන්න ආවෙ “

රුවන් කිව්වේ හෙල්මට් එක ගලවන ගමන්. ඔහු ඉන්නේ ඒ තරම් හොඳින් නෙමෙයි කියලා නර්මදාට ඔහුව දැක්ක ගමන්ම හිතුනා. නර්මදා නැගිටලා ගේ ඇතුලට යන්න සූදානම් වුණා

” නංගි හිටියට කමක් නැහැ “

රුවන් කිව්වේ මද හිනාවක් එක්ක

” අයියා ආවේ අපේ අක්කගේ පණිවුඩයක් අරගෙනද ? “

” අනේ නැහැ.අම්මා එක්ක කතා කරන්න ආවේ. ප්‍රශ්න වලින් ඔලුව නිදහස් කර ගන්න බැරිම තැන “

” ඇයි දරුවෝ මොකද වෙලා තියෙන්නෙ ? “

මාලනී ඇහුවෙ තරමක් තැතිගැන්මෙන්

” ප්‍රියංවදා හැමවෙලේම මාත් එක්ක රණ්ඩු.මට තේරෙන්නේ නැහැ අම්මේ මොනවා කරන්නද කියලා.මේක දැන් මට හිසරදයක් වෙලා “

අහිංසක ගති පැවතුම් ඇති රුවන් දිහා නර්මදා බැලූවේ අනුකම්පාවෙන්

” ලොකූ කිව්වේ එයා කියන දෙයක් ඔයා අහන්නේ නෑ කියලා පුතේ. මම ඉතින් වැඩිය මොකුත් අහන්න ගියේ නැහැ. අපේ එක්කෙනාගෙ හැටි මම දන්නවනේ “

” අම්මා දන්නවද එයා ඔය මම අහන්නේ නෑ කියලා කියන්නේ මොනවද කියලා ?”

” මොනවද ? “

” මේ දවස්වල අපේ අම්මා අසනීපෙන්.එයාව දොස්තර ළඟට අරන් යන එක කරන්න වෙලා තියෙන්නෙ මට. අක්කට බබා හම්බුනේ ලඟදි නිසා එයාට යන්න විදිහක් නෑ හස්බන්ඩ් එක්ක.ප්‍රියංවදා මට කියනවා අම්මව එක්කං යන්න එපාලු .ඕනේ නම් අක්කට යන්න කියන්නලු “

” මොන අසාධාරණ කතාවක්ද දරුවෝ ඒක ? “

” බෙහෙත් වලට අම්මලාට වියදම් කරන්න ඕනේ නැහැල්ලු.ඒවා අක්කලා කරයි ලු. ගෙදර එකම පිරිමි ළමයා හැටියට මටත් වගකීමක් තියෙනවා නේද අම්මේ.ඒ විදිහට දෙමව්පියන්ව අත ඇරලා දාන්න පුලුවන්ද මට ? “

රුවන්ගේ කටහඬේ තැවරිලා තිබුණෙ ශෝකයක්.

” අනේ අයියේ මේ? ඔයා නං අපේ අක්කා කියන විදියට නටන්න තියාගන්න එපා “

” මම ප්‍රියංවදා එක්ක කතා කරලා බලන්නම් පුතේ.ඔයා ඕවා එච්චර හිතන්න එපා.එයා අකමැති වුනා කියලා ඔයාගේ දෙමව්පියන්ව නොබලා ඉන්න ඔයාට බැහැනේ “

රුවන් පිටවෙලා ගියාට පස්සේ මාලනි ලොකු සුසුමක් මුදාහැරියා.වැඩිමහල් දියණියගේ හැසිරීම ගැන ඇයට දැනුනේ ලැජ්ජාවක්

” අම්මට දැන් තේරෙනවා දක්කා කියන්නේ මොන තරම් ආත්මාර්ථකාමී කෙනෙක් ද කියලා ? “

” අනේ මන්දා චූටි මේ ළමයට තියෙන්නේ කාගේ ගතිගුණද කියලා “

මහ ගෙදරින් පිටවෙලා ගිය රුවන් ගැන පැය කිහිපයකට පස්සෙ ලැබුනේ එතරම් හොඳ ආරංචියක් නෙවෙයි.

” ඒ මනුස්සයා ඔය ප්‍රශ්න ගැන කල්පනා කර කර යන්න ඇත්තේ අම්මේ.accident වෙන එක අහන්නත් දෙයක්ද ? “

නර්මදා කතා කළේම කෝපයෙන්. මහගෙදර ඉඳලා යන ගමනේදී හදිසි අනතුරකට ලක්වෙලා හිටපු රුවන්ව බලන්න මාලනි නර්මදා එක්ක ඒ රාත්‍රියේදීම රෝහලට ගියා.ඔවුන්ගේ ගමනට නර්මදාගේ පෙම්වතා වුණ අමලුත් එකතු වුණා

” පේශන්ට් ට ලේ දෙන්න වෙයි.ගොඩක් ලේ ගිහින් තියෙනවා “

හදිසි ප්‍රතිකාර ඒකකයෙන් එළියට ආව වෛද්‍යවරයා කිව්වේ බැරෑරුම් මුහුණකින් යුතුව

” blood group එක O positive. මේ වෙලාවේ අපේ හොස්පිට්ල් එකෙන් නම් මේ blood group එක හොයාගන්න බැරි වෙයි.ඔයාලට පුළුවන් ඉක්මනින් හොයලා දෙන්න බලන්න “

වෛද්‍යවරයා කතා කළේ හැම දෙනාගේම මුහුණ බලන ගමන්.කළයුත්තේ මොකක්ද කියලා කල්පනා නොකර ප්‍රියංවදා කලේ දිගටම හඬපු එක විතරයි

” මම O Positive ඩොක්ටර්.මම බ්ලඩ් දෙන්නම් අයියට “

රුවන්ට අවශ්‍ය ලේ පරිත්‍යාග කිරීම සඳහා වහාම ඉදිරිපත් වුණේ අමල්.කිසිවෙකුටත් කිසිවක්ම කියන්න ඉඩ නොතියාම අමල් වෛද්‍යවරයා එක්ක කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියා.ප්‍රියංවදා පසුතැවීමකින් වගේ මාලනී දිහාත් නර්මදා දිහාත් බැලුවේ අමල් රෝහල් කොරිඩෝවෙන් නොපෙනී යද්දිමයි

More Stories

Don't Miss


Latest Articles