පළිඟු මන්දිර – 47

0
629

සනත් කෙළින් ම රිය පැදවූයේ චමල් ගේ නිවස්නය වෙත ය. මොරීන් ගේ සොයුරා වූවාට, චමල් ගේ ලාබාල වියේ සිට ම සනත් ඔහු ට ළෙංගතු ව සිටියේ ය. ගෙදර ඇවිල යන ගින්න ගැන පොඩි මස්සිනා සමග කතා බහ කිරීමෙන් හිතට සැහැල්ලුවක් උදා කර ගත හැකි බව ඔහු දනී. චමල් ගේ විවාහයට පෙරත්, මොරින් ගේ හිතුවක්කාරකම් ගැන චමල් විවේචනය කළේ සනත් සමග ය. එදා චමල් ට නොවූ දිරියක් අද කිසල් ට වීම ගැන සනත් ගේ හදවතේ ඉසිහින් ආඩම්බරයක් විය.

“අයිය…”

චමල් සනත් ව ගෙතුලට කැඳවූයේ තරමක කුහුලකිනි. සනත් කියන්නේ නිහඬ පුද්ගලයෙකි. ඔහු යමක් කරන්නේ අනිවාර්ය හේතුවක් ඇතිව ය.  නිතර මේ වගේ ගමන් නො එන ඔහු මෙහි එන්නට ඇත්තේ නිකං ම නො වන බව චමල් ගේ හිත වහ වහා නිගමනය කරන ලදී.

“අයිය මේ වෙලාවෙ…”

“අනේ මන්දා බං…අන්තෝ ජටා බහි ජටා…”

කොයි තරම් වියවුල් තිබුණත් සනත් ගේ මුවග නලියන මේ මඳහස දැකිය නො හැකි වන්නේ නැත. කොළඹ කලාපයේ දඩබ්බර කොල්ලන්ගේ අපමණ නො මනා කම් ඒ මඳහස ළඟ පසු බසින්නට හේතුව කිසිවෙකුට සිතා ගත නො හැකි ය. දඬුවමෙන් කළ නො හැකි බොහොමයක් දෑ ඒ මඳහසින් කර ගන්නට සනත් සමත් වූයේ ය.

“අයියට මේ පැත්තෙ එන්න හිතුණේ…”

“නෑ නෑ එහෙම සෙට් වෙන්න ආව නෙවෙයි බං. මට අර ගෑනු ළමයගෙ ගෙදරට යන්න ඕනෙ. චමල් ගේ දන්න නිසයි මං මෙහෙං ආවෙ”

“මොන ගෑනු ළමයගෙද අයියෙ…පළිඟු ගෙද…”

“අන්න හරි. අපේ කිසල් පැටලිල්ලක් හදං ඉන්නෙ ඒ ළමය එක්කනෙ…”

“ඒ ගමන අක්කගෙ සිස්ටම් එකට ඔයත් වැඩ කරන්න පටං ගත්තද…”

චමල් ගේ මුව සමච්චල් සිනහවකට ඇද විය. 

“මට ඕනෙ අපේ කිසල්ව මෙහෙම වෙනස් කරපු කෙල්ල කවුද බලන්න විතරයි බං. නැතුව මේ ඒ ගෙදරට ගිහිං යුද්ද ප්‍රකාශ කරන්න නෙවෙයි”

චමල් දිගු සුසුමක් හෙළුවේ ය. ඒ සුසුම තුළ දිය ව ගිය මස්සිනා දෙස සනත් බැලුවේ නෙතගිනි.

“අයියට මතකද සැරයක් මං ගෑනු ළමයෙක් ගැන කිව්ව…”

“අර…වැඩක් කර ගන්න ඔෆිස් එකට ආපු…මොකද බං අමතක…වත්සලා නෙ නම…උඹ වෙන කිසි කෙල්ලෙක් ගැන කියල නෑනෙ මට. ඒ තමයි කියපු එක ම එක. එයා…එහෙමම නිශ්ශබ්ද වුණා කිව්ව නේද…”

“අයියෙ…මට ආයෙ වත්සලා මුණගැහුණා”

“මොනව…”

“වත්සලා කියන්නෙ පළිඟු ගෙ පුංචි අම්ම අයියෙ. පොඩි කාලෙ ඉඳලම පළිඟු ව හදාගෙන තියෙන්නෙ වත්සලා”

“දෙවියනේ…මේ මොනවද චමල් මේ සිද්ද වෙන්නෙ…”

“මට වෙච්ච දේ අපේ කොල්ලට වෙන්න ඕනෙ නෑ අයියෙ. කිසල්ගෙ හිත කඩල දාන්න අක්කට ඉඩ දෙන්න එපා”

“මගේ මැදිහත් වීමක් නැතත් කිසල් මොරීන් ට ඒක කරන්න දෙන්නෙ නෑ චමල්. කොල්ලා දැං ජොබ් හොයනව කියල මං දන්නව. මට බය එක දෙයක් ගැනයි”

“ඒ මොකද්ද අයියෙ…”

“කිසල් ගෙදරිං යයි කියල. මොරින් කොල්ලව එතනටයි තල්ලු කරගෙනයි යන්නෙ. මට මේ ගෑනු ළමයව ටිකක් දැනුවත් කරන්න ඕනෙ චමල්. කිසල්ව සන්සුන් කරගන්න…”

“මං අයියව එක්කගෙන යන්නං”

“උඹ පැනල ඒ වැඩේ බාර ගත්තෙනං වත්සලාව බලන්න යන්න”

සනත් හඬ නගා හිනැහුණේ ය. චමල් ගේ සිනහවේ වූයේ මළානික බවකි.

“දැං ඉතිං එයාව දැක්කා කියලත් මොනා කරන්නද අයියෙ…ඒත් වත්සලා දකිනකොට මට හීල්ලෙනව. අපතේ ගිය මගෙ ජීවිතේ ලස්සන ම කාලෙ ගැන පුදුම දුකක් දැනෙනව…”

කියවන්න :  පළිඟු මන්දිර - 18

කිසල් ඒ දුක කිසි දා විඳිය යුතු නැතැයි සනත් හිතුවේ ය. චමල් ගැන හැමදාමත් සනත් ට වූයේ සිහින් දුකක් නොවේ. ඔහු ගේ විවාහය බිඳ වැටීමෙන් පස්සේ වත්සලා ගැන සොයා බලන ලෙසට සනත් කිහිප වර කීවේ ය. නමුත් චමල් ඒ ගැන උනන්දු නොවූයේ, වත්සලා ඔහු වෙතින් දුරස් වූයේ ඔහු පිළිබඳව පිළිකුලෙනැයි සිතීම නිසාවෙනි. මොරීන් සමග ගත කරන සනත් ගේ යුග දිවිය සතුටෙන් පිරී ගිය එකකැයි පිළිගත නො හැකි ය. ඇගේ සිතිවිලි කිසි දා ඔහු ගේ සිතිවිලි සමගින් සමපාත නොවූ බව සනත් දනී. මුල් කාලයේ දී ඒ මත බොහෝ ගැටුම් ඇති විය. නමුත් පහු වෙත්දී ඔහු ගෙතුළ දී බෙහෙවින් නිහඬ චරිතයක් බවට පත් විය. චමල් හා තමන් ව සසඳා ගනිමින් සනත් සිතුවේ විවාහය බිඳ ගන්නවාට වඩා ඒ අයුරින් හෝ පවුලක් ඇතුළේ සිටිනා එක යහපත් බව ය. නමුත් ඒ අසීමිත නිදහස නිසා සිදු වූයේ මොරීන් තව තවත් හිතුවක්කාර හා මුරණ්ඩු ලෙස සිය ආධිපත්‍යය පතුරුවන්නට ගැනීමයි. 

මීට පෙර දෙවතාවක් ම පැමිණ තිබුණද, පළිඟු ගේ ගෙදොරකඩ රිය නැවතෙත්දී චමල් අලුතෙන් ම ගැස්සිණි. මේ කිසල් ගේ පියා බව ඉවෙන් වාගේ හැඳිනගත් පළිඟු, දොර උළුවස්ස උඩ ගල් ගැසී බලා උන්නා ය. ඇගේ උරයට මතින් පෑයූ වත්සලා ගේ ඇස්, බියපත් තාරුකා මෙන් ගැස්සුණේ ය.

“මේ…අපේ අයිය. කිසල්ගෙ තාත්ත. පළිඟු දුවට කතා කරන්න ඕනෙ කිව්ව”

“අ…එන්න ඇතුළට”

ඇරයුම වත්සලා ගෙනි. ස්ත්‍රී හදවත් යුග්මයෙහි ම වූයේ එක ම රිද්මයක ස්ඵන්දනයකි. පළිඟු වත්සලා පසුපසට වූවා ය. අම්මා දුර වුණත් වත්සලා ඈ ළඟින් හිටියා ය. අක්කලා ගේ දරුවන් හඬත්දී නංගිලා ට කිරි එරෙනවා යි කතාවක් ජනවහරේ තිබේ. වත්සලා නිසා අම්මා නැති සන්තාප සිතිවිලි යටපත් කර දමන්නට පළිඟු ට හැකි විය. කෙමෙන් අම්මා ඇගේ හදවතේ ඈතට ම ගියා ය. ළඟ ම හිටියේ පුංචා ය. 

නමුත් තාත්තා කියන සංකල්පය ඇගේ හදවතෙහි වූයේ ඊට වෙනස් ස්වරූපයකිනි. වත්සලා ගේ සැමියා, බාප්පා වශයෙන් වැඩි මතකයක් පළිඟු ගේ හිතේ ඉතිරි කොට ගියේ නැත. ඊට පෙර, තාත්තා ගැන වුව විසල් බැඳීමක් තිබුණු මතකයක් ඇය ට නැත. හදවතේ තාත්තා ට හිමි තැන සදා හිස් ව පැවතෙන්නට ඇත. ඒ හිස්තැන පියවා ගත හැකි තරම් පිය සෙනෙහසක් කිසිවෙකු වෙතින් ඇය ට ලැබුණේ නැත. පළිඟු කොතැනකිනිදු එවැන්නක් හෙව්වේ ද නැත. මේ ටික කාලයට, තාත්තා සේ ම සහෝදරයන් ද වෙනුවෙන් හදවතේ වූ සියලු ඉඩ කඩ කිසල් විසින් අයිති කර ගත් බව නම් ඕ දැන සිටියා ය. කිසල් ගේ පියා දෙස කෙසේ බැලිය යුතු දැයි පළිඟු ට නො වැටහුණේ එනිසාවෙන් වන්නට ඇත.

සනත් පළිඟු වෙතට ම පැමිණියේ ය. යුවතිය ගැහෙන හදවත අමාරුවෙන් සඟවා ගෙන ඒ පීතෘ පෞරුෂය දෙස නෙතු විදා බැලුවා ය. සනත් ගේ මුවග වූ මඳහස ඇගේ හදවත පත්ලට ම ගොස් නැවතිණ.

“ස්..සර්…”

“සර්….”

සනත් පළිඟු ගේ හිස මත සුරත තබා පිරිමැද්දේ ය.

කියවන්න :  පළිඟු මන්දිර - 43

“කොයි ලේලිද දරුවො මාමණ්ඩිට සර් කියල කතා කළේ. එහෙම කතා කරන තැනම ඇති වෙන්නෙ දුරස්ත හැඟීමක්නෙ. කිසල් මගෙ පුතා වෙද්දි ඔයා මට වෙන්නෙ දුවනෙ”

“තාත්ත”

පළිඟු එහෙම ම පහත් වී සනත් ගේ දෙපා අල්ලා වැන්දා ය. ඈ තුළ ක්ෂණික ව දෝරෙ ගලන්නට වූ හැඟුම් සමුදාය අතිශය උණුහුම් වූයේ ය. මතක ඇති කාලයක විඳ නැති පිය සෙනෙහස ගැන අසීමිත හැඟීමකින් සිත වාං දමන්නට විය. සනත් ගේ මන්දස්මිතය සිත් සොරොව් බිඳ දමන්නට සමත් වූයේ ය.

“දුව”

පළිඟු සනත් ගේ පපුවට වාරු වූයේත් ඔහු ඇය වැළඳ ගත්තේත් කිසිවෙකු ගේ පෙර දැනුම් දීමකින් තොර ව සංසාර පුරුද්දකට සේ ය. වත්සලා ගේ ඇස් වලට කඳුළක් පුරා දිළිණි. 

“පළිඟුවක් නේන්නං මේ. මේ වගේ කෙලි පොඩිත්තක් ලේලි කර ගන්න මේ ලෝකෙ කිසි තාත්තෙක් අකමැති වෙයි කියල මන්නං හිතන්නෑ”

“අනේ තාත්ත”

පළිඟු කඳුළු අතරින් සිනහ වූවා ය. ඒ වගේ සිනහව කඳුළේ දිය වෙන හෝරාවන් ජීවිත වලට අලුත් බලාපොරොත්තු එක් කරයි. අපේක්ෂාවන් දල්වාලයි. ජීවිතාශාව තීව්‍ර කරන්නට සමත් වෙයි.

“මේක ඉරණමට කරන්න  ඕන කරල තිබුණ දෙයක්. මේ පවුල් දෙක එකතු වෙන්න නියමිත වෙලා තිබුණෙ අද හෙට නෙවෙයි. මීට කාලෙකට කලිං”

සනත් අසුනකට බර වූයේ උගුර පාදා එහෙම කියමිනි. වත්සලා ගේ දෑස් බිමට හැරවිණ. යටගිය ඒ අතීතය යළි හාරා අවුස්සන්නට වත්සලා ට දැන් කිසිදු ඕනෑ කමක් නැත. කාලයේ වැලි තලා අතරේ සැඟවී ගිය දේවල් ඒ තැන් වල ම මිහිදන් ව තියෙනා එක හොඳ ය. පළිඟු ගේ හෙට දවසට සාධාරණයක් වෙනවා නම් වත්සලා ට ඕනෑ එපමණකි.

“මං බොන්න දෙයක් ලෑස්ති කරන්නං”

වත්සලා ආලින්දයෙන් නික්මුණා ය. 

“කිසල්ගෙ අම්ම හිතන විදිහ ටිකක් වෙනස් දරුවො. ඔයා එයා කියන කරන දේවල් ගැන හිත කළබල කරගන්න එපා. විශේෂයෙංම අපේ පුතණ්ඩියට මේ වෙලාවෙ කලබල වෙන්න දෙන්නත් එපා”

“මං…කිසල්ට නිතරම කියනව තාත්ත”

“ඔය වයසට වැඩ කරන්නෙ ආවේග  වලට වාල් වෙලානෙ. මං කියන්නෙ මේ මොරින් ට එකඟ වෙන්න ඕනයි කියන එක නෙමෙයි. මේ වෙලාවෙ අපි තීන්දු තීරණ ගන්න ඕනෙ බුද්ධියෙන්”

“ඔව් තාත්ත”

“කිසල් කොල්ලෙක්නෙ. එයාට මේ වෙලාවෙ ඕනෙ අම්මගෙ පදේට නටන්නෙ නැතුව තනි තීරණ ගන්න පුළුවන් පිරිමියෙක් කියල පෙන්නන්නයි. ඒ වෙනුවෙං එයා ගෙදර අතෑරල වුණත් යයි. ඒත් ඒක නෙවෙයි පුතා මේ වෙලාවෙ වෙන්න ඕනෙ”

“මට තේරෙනව තාත්තෙ”

“ඔයානෙ දැං එයාගෙ ජීවිතේට ලං වෙලා ඉන්න කෙනා. ඒක නිසා ඔයා කියන දේ තමයි එයා පිළිගන්නෙ. තේරුං කරල දෙන්න අම්මට වෛර කරන එක නෙවෙයි මේ වෙලාවෙ කරන්න ඕන කියල”

“හොඳයි තාත්තෙ”

“දුව මාව විශ්වාස කරන්න. මං කවදාවත් හිතන්නෑ ඔය දෙන්නව වෙන් කරන්න. හැබැයි අපිට ටිකක් කාලෙ ඕන වෙයි මේ ප්‍රශ්න විසඳගන්න. කිසල් කියයි කවුරු අකමැති වුණත් මැරි කරමුයි කියල. මං කියන්නෙ ඔය දෙන්නට තව වයස තියනව. නේද…”

“තේ එකක් බීල ඉමු අයියෙ”

වත්සලා තේ බන්දේසියත් ගෙන පැමිණියා ය. චමල් හිටියේ මිදුලේ අඹ ගහ යට බංකුවේ ය. වත්සලා හෙමි හෙමිහිට එහි ගියා ය. නමුත් ඒ යන්නට තබන පියවරක් පාසා ඇගේ හදවත දෙගිඩියාවේ ගැහිණි.

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments