මන්දාරම් හැන්දෑවක – 3

පෙරදා තමන් හුන්නේ දැඩි මානසික පීඩාවක වග මේඝාට සිහිපත් විණි.පෙර පාසලේ ඉගැන්වීම් ඇරඹූ දිනයේ ම ඇය තමන්ටම පොරොන්දුවක් වූවා ය.ඒ කිසිදු දරුවෙකුට සැරවැර නොකරන්නට ය.ඊයේ ඒ ගිවිසුම ඈ අතින් බිඳි ගියේ ය.අතිශය මානසික පීඩාවක හිඳිද්දී පවා ගුරුවරියක අතින් නොවිය යුතු ඒ අත්වැරැද්ද ගැන කුඩා ඉයන්ගේ අම්මා සෙසු අම්මලා අතර පවසන්නට ඇත.”අම්මලාගේ වට්ස් ඇප් ගෘප්” ඕපාදූප ව්‍යාප්තියට ද ඉනිමං තනන්නකි.දැන් ඒ පැල්ලම මකා දැමීම පහසු නොවේ.

පෙර පාසලේ පාලිකාව මේඝා ඉදිරියේ පෙනී සිටියේ ඈ නළල ඇඟිලි තුඩුවලින් තද කරගෙන පුටුවකට වැටී කල්පනාවේ හිඳිද්දී ය.

“අද ඔයාට නෑවිත් ඉන්නනෙ තිබ්බෙ මේඝා.මෙච්චර ප්‍රශ්නයක් වෙලා. ඇයි ඔයා ආවේ?”

ප්‍රධාන පාලිකාව වූ රත්නවීර මහත්මිය මුහුණේ නොපහන් බැලුම් තවරා ගනිමින් මේඝාගෙන් ඇසුවා ය.මේඝා අසරණ සිනාවක් නඟා ගන්නට යත්න දැරූවද එය සාර්ථක වූයේ නැත.

“මං ටිකක් අවුලින් හිටියෙ මැඩම්.. මෙච්චර ප්‍රශ්නයක් ඇති වෙයි හිතුවේ නෑ..”

ඇය අසීරුවෙන් කියා ගත්තා ය.

“ඔයාලා ඔය වැරදි කරද්දි නම් මේඝා ප්‍රශ්නයක් වෙයි කියල නිකංවත් හිතන් නෑ..ඊට පස්සෙ තමයි ඔයාලට තේරෙන්නෙ.අඩුම තරමේ අපි ඔයාව ආයේ ගෙන්නනවද නැද්ද කියල තීරණයක් ගන්නකම් ඔයාට ගෙදර ඉන්න තිබ්බනෙ.. කිසිම වැරැද්දක් නෑ වගේ මෙහෙම ආවේ කොහොමද?”

මේඝා වියවුලට පත් වූවා ය.කුඩා ඉයන් ඒ මොහොතේ වැළපුණු බව ඇත්තකි. ඔහු ගෙදර ගොස් අම්මාට පැමිණිලි කරන්නට ඇති බවත් ඒ අම්මා පෙර පාසල් පාලනාධිකාරිය දැනුවත් කර ඇති වගත් දැන් ඇයට පැහැදිලි ය.නමුත් ඈ ජනිඳු ඇති කරන මානසික පීඩාවල ගිලී යමින් හිඳින මොහොතක මෙය ද මේ තරම් ගැටලුවක් විය යුතුදැයි මේඝා සිතුවේ වේදනාවෙනි.

“මැඩම්, මම ඉයන්ගේ අම්මට සොරි කියන්න…”

මේඝාට කතාව සම්පූර්ණ කරන්නට ඉඩ ලැබුණේ නැත.පාලිකාව ඇය දෙස අපැහැදිලි මුහුණකින් බැලුවා ය.එතැනට මේඝාගේ රාජකාරි ජීවිතයේ මිතුරියක වන සෙව්වන්දි ද පැමිණියේ ඒ මොහොතේ ය.

“මැඩම් කියන්නෙ ඔයාගෙ වීඩියෝ එක ගැන මේඝා.ඒක දන් නෑ වගේ ඇක්ට් කරන්නෙ ඇයි ඔයා? “

සෙව්වන්දි වෙනදා පවත්වාගෙන ගිය සුන්දර මුහුණට ඉහළින් අපහාසය සහ පිළිකුළ මුසු වෙස් මුහුණක් පැළඳ සිටියා ය.මේඝා නොපැහැදිලි සහ වියවුල් හැඟීමකින් ඇය දෙස බැලුවා ය.

“මොකක්ද වීඩියෝ එක?”

“ඇයි අර හැම පෝන් සයිට් එකකටම වැටිලා තියෙන්නෙ ඔයාගෙ වීඩියෝ එකක්. වට්ස්ඇප් ගෘප් වල ශෙයා වෙනවා හොඳටම. මගේ බෝයිටත් ඇවිල්ලා.එයා නම් මැඩම් හරි අප්පිරියාවෙන් කතා කළේ..මෙහෙම යාලුවොද සෙව් ඔයා ආස්සරේ කළේ ඇහුවා.. මටත් හරිම අවුල් මැඩම්..”

සෙව්වන්දි දෙවුර හකුලමින් වඩා නොපහන් හඬක් මවා ගන්නට වෙර ගත්තා ය.එතැනට ඒ මොහොතේ ආ තාරුකාගේ මුහුණේ මතු වූ අපහාසාත්මක බැල්ම තමා වෙත නොවී සෙව්වන්දි වෙත යොමු වූ ආකාරය මේඝා අද ද සිහි කරන්නේ කෘතඥ පූර්වක හැඟීමකිනි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -13

“වට්ස්ඇප් ගෘප් එකකින් එහෙම ලින්ක් එකක් එන්න ඇත්තෙ ඔයාගෙ බෝයි ඒවා බලන ජාතියෙ මනුස්සයෙක් වෙච්ච නිසානෙ. ඕවා ලින්ක් හොය හොය බලන මිනිස්සු අඩු උනා නං වැරදීමකින් හරි එළියට එන වීඩියෝ නිකම්ම යට යයි..”

තාරුකාගේ හඬ කෝපයෙන් රැව් දුන්නා ය. ඈ මේඝාගේ අතකින් අල්ලා ගත්තේ ප්‍රවේසම්සහගත ව ය.

“මේඝා, ඔයා ඊයේ කිව්වා නේද ජනිඳු එක්ක රණ්ඩු වුණා කියල. ඔයාගෙයි කියන්න පුලුවං වීඩියෝ එකක් ඊයේ හවස ඉඳන් ශෙයා වෙනවා. මම ඒක දැක්ක වෙලාවෙ ඉඳලා ඔයාට කෝල් කරන්න ට්‍රයි කරාට ඔයාගේ ෆෝන් එක ඕෆ් එකේනෙ තිබ්බේ.මං හිතන්නේ ඔයා ඒ ගැන දන්නේ නෑ..”

මේඝා දෙපා අවසඟව පුටුව මත වැටුණා ය.”තමුසෙ දන්නවද තමුසෙට වෙන්න යන දේ..” ජනිඳුගේ හඬ ඇගේ දෙසවන් තුළ නින්නාද නැංවී ය. ඈ කැරකෙන හිස පුටු ඇන්දට තද කර ගනිමින් ප්‍රධාන පාලිකාවට ඇහුම්කන් දුන්නා ය.

“මේඝා,පේරන්ට්ස්ලා කම්ප්ලේන්ස් ගේනවා. ඔයා මෙතන ටීච් කරනවට එයාල කැමති නෑ..”

“මේඝාට අයින් වෙන්න පුලුවන්නෙ මැඩම්..එයා මේක නොදැනනෙ ඇවිත් තියෙන්නෙ. මේඝා ඔයා මෙහෙමම ගෙදර යන්න..පොඩ්ඩක් ඉන්න.මං ඔයාව ටැක්සි එකකට දාන්නං..”

තාරුකා ඇයට වඩා කාරුණිකව පැහැදුවා ය.මේඝා නැගී සිටියා ය.තවදුරටත් මෙතැන අයිතිය තමන්ට නැත. මෙතැන නොව කොතැනකවත් ජීවිතය නිදහසේ ගත කිරීමේ අයිතිය දුරක යන බව ඈ සිහි කළා ය.පමුණුවෙන් දුම්රියක් ගමන් කරන වේලාව මතක් කර ගන්නට ඇයට ඕනෑ විය. යකඩ සිල්පර අතර තැලී යන සිරුර මිනිසුන්ට සියල්ල අමතක කර දමනු ඇත.

තාරුකා මේඝාව පෙර පාසලෙන් පිටතට රැගෙන විත් කුඩා අවන්හලක් වෙත රැගෙන ආවා ය.මේඝා දුරකථනය පණ ගැන්වූයේ ගැහෙන හදිනි.කියවිය නොහැකි තරමට ගොඩ ගැහුණු පණිවිඩ අතරේ ෆේස්බුක් පේජයන් ඈ තලුමරන අසහනය පිරි සටහන් දෙස ඈ බලා හුන්නේ ආවේගයෙනි.වේදනාවෙනි.

“ඔයා හරිම දක්ෂ නිලියක් මේඝා මැඩම්. මියා කලීෆාට වඩා දුරක් යන්න මම සුබ පතනවා.දෙවැනි වටයත් හොඳට කරන්න..”

ජනිඳු, ඔහුගේ අවසන් පණිවිඩය එහෙම ය.ඇගේ පණිවිඩ සහ ඇමතුම් අවහිර කරන්නට පෙර ඈ එවැනි පණිවිඩයක් එවා ඇත. ඒ පණිවිඩය අග අමුණා ඇති ලින්කුව ඈ විවෘත කළේ ගැහෙන හදිනි.

සති අන්ත නිවාඩුවකදී මුහුදුබඩ නවාතැනක ගෙවී ගිය සරාගී තත්පර විනාඩි ගණනක දිගුවක් ව එහි සටහන් ව අහවර ය.ප්‍රේමයෙන් මන්මත්ව සරාගිනියකව හැසිරෙන තමන් දෙස මේඝා පිළිකුළෙන් බලා හුන්නා ය.රාගය පිළිකුල් සහගත දෙයක් නොවේ.ඒ ප්‍රේමයේ සුන්දර ම නැවතුමකි.නමුත් මේ වීඩියෝව තවදුරටත් සුන්දර මතකයක් වන්නේ නැත.කුඩා පේස්ට්‍රි හලෙහි කවුරුන් හෝ මේඝා හඬන අන්දම දකින්නට පෙර තාරුකා ඒ වීඩියෝව වාදනය වීම නවතා දැමුවා ය.අනතුරුව මේඝාගේ දුරකථනය බලෙන් මෙන් ලබා ගත් ඈ හැම සමාජ ජාලයකින්ම මේඝාව ඉවත් කර දැමුවා ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 6

“තාරු. මං මැරෙනවා..”

මේඝා ඉතා කෙටි පැහැදිලි වාක්‍යයක් පවසද්දී තාරුකා කිසිත් නොකියා බොහෝ වේලාවක් හුන්නා ය. මේඝාගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආවේ ඒ මොහොතේ ය. එය නොකියවා මකා දමන්නට සිතූ තාරුකා කෝකටත් කියා එය කියැවූවා ය.දන්නා මිනිසුන් ද නොදන්නා මිනිසුන් ද එවා තිබූ නිහීන කතාන්දර උමතුවෙන් මෙන් මකා දමමින් හුන් තාරුකාට ඒ පණිවිඩය නෙතට කඳුලු ගෙන එන්නට සමත් වූවකි.

“පොඩි රත්තරං.. වෙච්ච දේ උනා..ඔහේ ඉන්න ඕනෑ නෑ. දැන්මම අපේ ගෙදර එන්න..”

තාරුකා එය මේඝාට පෙන්වූයේ දිවි නසා ගන්නට යන තරුණිය අල්ලා නවතන මැජික්මය හැකියාව ඒ වාක්‍යය කිහිපයේ ඇති බව දැනගෙන ය. මේඝා මේසයට හිස ගසාගෙන වැලපෙන්නට පටන් ගත්තා ය.

“දැන් දහයටත් ළඟයි මේඝා. ඔයා දැන් ගෙදර යන්නකෝ.මේ අහපං!!කෙල්ලො කොල්ලො අතරෙ තරම් ඉක්මනින් ඕක වැඩිහිටි මිනිස්සුන්ට යන් නෑ..ඒ හින්දා ඔයා ගෙදර ගිහින් ඇඳුම් බෑග් එකක් හදන් අපේ ගෙදර එන්න.. අපේ අම්ම ඔය විඩියෝ තියා ටෙලි ඩ්‍රාමා එකක විස්තරවත් නොදන්න මනුස්සයෙක්.හැබැයි හෙට උදෙන්ම ඔයා අනුරාධපුරේ යන්නෝනෙ..ඒ අම්මයි මායි ඔයාව තියා ගන්න අකමැත්තක් නිසා නං නෙවෙයි.ඔයා ටිකක් මේ කොළඹින් ඈත් වෙන්නෝනෙ.අනික පොඩි අක්කයි වරුණයියයි තමා මෙවෙලෙ ඔයා ගාව ඉන්නම ඕන”

ලෝකයම නින්දා අපහාස කරමින් තමන් නැති කර දමන්නට උත්සාහ දරද්දී දෑත විහිදා තමා පිළි ගන්නට බලා හිඳිනා පොඩි අක්කා ගැන සිහි කරමින් මේඝා හිතට ධෛර්යය ගත්තා ය.ඈ තාරුකාට සමු දුන්නේ අක්කා වෙතට යන්නට එකඟ වෙමිනි.

ඒ මහා අතීතයක කතාවක් නොවේ. ඊයේ දවස ගෙවී ගියේ එතරම් අසුන්දර ව ය.සුදු පැහැ සිවිලිම දෙස බලාගත් වනම පැය විසි හතරකට එහා මොහොතක් සිහි කරන මේඝාගේ දෑස් කඳුළු උල්පතක් ව තිබිණ.පොඩි අක්කා ඈ වැලඳ ගත්තේ ඒ මොහොතේ ය.ඊයේ දවසේ රහස් කඳුලු ඉකි ගැස්මකින් විලාපයක් බවට පත් විය. මේඝා උස් හඬින් වැළපෙන්නට පටන් ගත්තා ය.වසර දොළහකට ඉහත දවසක අම්මාගේ ළයේ උණුසුම ඈට අහිමිව ගියා ය. පොඩි අක්කා ළඟ දැවටෙන්නේ ඒ “අම්මා සුවඳ ය”.අවුරුද්දකටත් අඩු පොඩ්ඩාට තවමත් මව්කිරි පොවන නිසා ඈ වෙතින් වහනය වන මුදු සුවඳ ද උණුසුම ද මේඝාට සන්සුන් සුවයක් ගෙන එන්නට සමත් විණි.

“ඔයාට උණ නේද නංගි..” වෙනත් කිසිම දෙයකට කලින් අක්කා ඇසුවේ එපමණකි.මේඝා අක්කාගේ සාරි හැට්ටයෙන් නිරාවරණය වූ පිටට හිස තබා ගෙන වදනකුදු නොදොඩා හුන්නා ය.

3.2 5 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments