හිමගිරි අරණ -50

ඒ යුවතියට අම්මා බිඳුවක්වත් ප්‍රිය නොකරන බව දුමිඳු පැවසුවේ සැහැල්ලුවෙනි.ඒ යෝජනාව ගැන පවා අම්මා කතා කළේ අප්‍රසාදයක් ඇතිව ය.එබැවින් ඒ සම්බන්ධයෙන් රවිඳුට පසුතැවෙන්නට හේතු කාරණා නොවේ.නමුත් මල්ලිගේ මුහුණ වෙලා ගත් අඳුර මැකී නැති බව දුමිඳුට පෙනිණ.

“ඒ වුණාට අම්මා කේන්දර කොපියක් ඉල්ලන්න ගිය එකම විනාසයක් හලෝ.”

රවිඳු පවසන්නේ පසුතැවීමකිනි.අම්මා මෙතැනදී තවත් මවක් ගැන සිතුවා මිසක තමන් ගැන නොසිතූ බව සිතුණත් රවිඳු එය වචන නොකළේ ය.එහෙත් දුමිඳු ඒ බව දැන සිටියේ ය.

“අපි ඒ කෙල්ලට ලැජ්ජා නොකර ප්‍රශ්නෙ විසඳන්න හිතන් තමයි එහෙම කරන්න ගියේ.එයා ගැන තුන් හිතකවත් නැති කොල්ලෙක් ගැන ඒ ළමයා ඒ විදියේ දේවල් කරා කියලා ඒ අම්මලට කියන්නත් බෑනේ.”

ගැහැනු ළමයින් සම්බන්ධ ගැටලු විසඳිය යුත්තේ ඉතා ප්‍රවේසම් සහගතව බව හඟවමින් දුමිඳු එසේ පැවසී ය.නමුත් ආදරය සහ සබඳතා තුළ දී සෑමවිටකම වැඩි සාධාරණය ගැහැනුන්ට හිමි වීම අසාධාරණ නොවේදැයි රවිඳුට සිතිණ.අතිශය අසාධාරණ ලෙස කාන්තාවන් ක්‍රියා කරන තැනකදී පවා ප්‍රේමයේ හෝ මනුෂ්‍යත්වයේ  නාමයෙන් ඔවුන්ව දරා ගැනීමට සිදු වෙද්දී බිඳී යන පිරිමි හදවතකට ඇති වන හානිය ඔහු කිරා මැන බලන්නට වූයේ ය.

“අපි සමහර මිනිස්සු ගැන හිතන තරම් ඒ මිනිස්සු අපි ගැන හිතන් නෑ අයියේ.එයාට ලැජ්ජාවක් නොවෙන්න මේ වැඩේ ඉවර කරන්න ඔයාලා හදනකොට එයා මට ඉන්න හිටින්න නැති කරනවා.”

පාරමී කාර්යාලීය මිතුරිය සමඟ ඒ කතාන්දරය ආටෝප එකතු කර පවසා ඇතැයි රවිඳු කියන්නට වූයේ කෝපයෙනි.නමුත් ඔහු ඒ කතාවේ සඟවන කොටසක් ඇති බව වැටහුණේ දුමිඳුට ය.ඔහු මල්ලීට තද බැල්මක් හෙළී ය.

“මට මුළු කතාවම හංගන් නැතුව කිව්වොත් උදව් කරන්න ලේසියි.දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඒ අනිත් ගෑනු ළමය ඔෆිස් එක පුරාම කතාව පතුරවල වගේ එකක් නෙමෙයිනේ.උඹට මෙතන තියෙන ප්‍රශ්නේ ඒ ළමයගේ කනට ඔය කතාව ගිය එක නේද?”

අයියා තමන් මෙතරම් පහසුවෙන් කියවා ගත්තේ කෙසේදැයි රවිඳු කල්පනා කළේ ය.නමුත් ඔහු පවසන අන්දමට ම කිසිවක් නොසඟවා පැවසීම මේ කතාව යහපත් අවසානයක් වෙත රැගෙන යන්නට උදව් වෙන බව ඔහුට වැටහී තිබිණ.ඔහු හිස වැනුවේ එනිසා ය.

“එදා අම්මා ඇහැ ගහගෙන හිටියෙ ඒ ළමයට.අන්තිමට දැඟලිල්ල වැඩී කිය කිය අම්මට හිතට නාල්ලපු ගෑනු ළමයගෙ ගෙදරින්ම යෝජනාවක් ආවා.ඒක තමයි මෙතන වැඩිපුරම ප්‍රශ්නෙ වුණේ.අම්මා ඇහැගහන් ඉන්න ළමයට අම්මගෙ පොඩි පුතාත් කැමැත්තෙන් ඉන්නව කියලා මම දැන් තමයි දන්නේ.”

එය පහසුවෙන් හිනැහෙන්නට හැකි විහිළුවක් නොවන බව රවිඳුට සිතිණ.

“එයා මේ කිසිම දෙයක් දන්නෙ නැහැ”

දුමිඳු ඒ කතාවේ ද විහිළුවක් සොයා ගත්තේ ය.පාසල් ශිෂ්‍යයකු ලෙස නොහැසිරෙන මෙන් පවසමින් ඔහු මල්ලිට සරදමක් කළේ එනිසා ය.

“තමුසෙ දැන් ඉන්නේ කසාද බඳින වයසෙ ඕයි.කෙල්ලෝ ක්‍රශ් එක කරගෙන හීන දැක දැක ඉන්න කාලයක් නෑ.ඒ කෙල්ලට කැමති නම් ගිහිල්ලා ඒක කෙලින් කියනවා.ඉවරයිනෙ.ආයේ ඒකේ කිසි ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනේ.”

රවිඳු මොහොතක් නිසොල්මන්ව ගත කළේ ය.ඇතැම්විට හිමාෂා ගැන සත්‍ය හෙළි කිරීමෙන් පසු අයියා වහා පාරමීගේ යෝජනාව ක්‍රියාත්මක කරවන්නට පවා ඉඩ තිබේ.නමුත් තමන් දැන් හිඳින්නේ තීරණ ස්වාධීනව ගත යුතු වයසක බව රවිඳු ඒ සමගම සිතුවේ ය. ඔහුට ඒ වග මතක් කළේ ද අයියා ය.ගැටලුවක් ඇති බව ඔහු ඉන් අනතුරුව පැවසූයේ සිහින් හඬකින් ය.

“එයා මැරි කරල ඩිවෝස් වුණු කෙනෙක්.”

දික්කසාද වූ ගැහැනියකගේ අත වරද පවතින බව පවසා ඇය තවත් පීඩාවට පත්කරන්නට සමාජය නොපැකිළේ.අයියාට එවැනි සිතුවිල්ලක් වත් ඇති කරගන්නට ඉඩ දිය යුතු නැති හෙයින් සහන් සම්බන්ධ මුළු කතාවම රවිඳු කියවාගෙන ගියේ හුස්මක්වත් නොගන්නට ප්‍රවේසම් වෙමිනි.එක හුස්මට සහන් ගැන පැවසූ ඔහු අවසාන වෙඩිල්ල තබන්නට සිතට ධෛර්යය ගත්තේ ය.

“අනිත් කාරණාව එයාට චූටි දුවෙක් ඉන්නවා.”

අයියාගේ මුහුණෙ ඇඳෙන හැඟීම් කියවා ගන්නට රවිඳුට නුවුමනා විය.ඔහු ඒ වෙනුවට තමන්ගේ හැඟීම පිටතට දැම්මේ ය.

“ඒ මොනව වුනත් මම හිමාට හරිම ආදරෙයි.”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles