කියවන්න පොතක් – බබාලා එන්නේ කොහේ ඉඳන්ද?

මං ඉපදුණේ කොහොමද?”

අපේ ළමා කාලයේ අපි නිතරම අහපු ප්‍රශ්නයක් මේ.දැන් අපේ දරුවන්ටත් නිතරම නැගෙන ප්‍රශ්නයක්

දරුවෙක් අම්මාගේ බඩ ඇතුළේ හැදුණු බව පොඩි දරුවෙක්ට කියන එක නරක බව හිතන අම්මලා පුරුදු වෙලා ඉන්නේ රෝස කැලේ සහ සුරංගනාවියන්ට වැඩේ පවරන්න. එතකොට පොඩිත්තෝ එන්නේ රෝස කැලෙන්.නැත්නම් සුරංගනාවියන් අම්මා අතටම බබා පරිස්සමින් දීලා යනවා.

මේ වගේ බොරුවලින් පටන් අරන් හැම දෙයක්ම බබාලගෙන් හැංගීමේ ප්‍රතිඵල එච්චරම හොඳ නෑ.දරුවෝ දෙමාපියන් විශ්වාස නොකිරීමේ ඉඳලා එයාලට කිසිවක් නොදැන අනතුරු සිදුවීම දක්වා මේ බොරු වල ප්‍රතිඵල බලපානවා.

ඉතින් අපි බබාලට ඇත්ත කියමු.

පිස්සුද? ඔය වගේ ලොකු කතාවක් පොඩි උන්ට කියා දෙන්නේ කොහොමද?

ඔව්..ඒ දේවල් සරලව කියා දෙන හැටි අපිට හිතා ගන්න බෑ තමයි.ඒත් වෛද්‍ය වෘත්තියට අමතරව ලේඛන කලාවේ යෙදෙමින් සාර්ථක ලේඛකයෙකු වුණු නුවන් තොටවත්ත වෛද්‍යතුමා මේ ප්‍රශ්නය සාර්ථකව විසඳලා තියෙනවා.

මහාචාර්ය පූටන්ගේ චාරිකා විදියට මිනිස් සිරුරේ පද්ධතීන් තුළට අරුම පුදුම චාරිකාවක් යන්න දැන් බබාලට පුලුවන්.

  • බඩ ඇතුළට සවාරියක්
  • හුස්ම ගන්න හැටි බලන්න.
  • කන ඇතුළට ගමනක්
  • ලේ ඇතුලෙන් චාරිකාවක්
  • බබාලා එන්නේ කොහෙන්ද

මේ තමයි මහාචාර්ය පූටන් දරුවන්ට මේ දේවල් සරලව තේරුම් යන විදියට උගන්වන වර්ණවත් සිතුවම් සහිත පොත් පෙළ.

බබාලා එන්නේ කොහෙන්ද කියන්නෙත් ඒ පොත් පෙළට අයිති පිටු තිස් දෙකක් ඇති ළමා පොතක්.නුවන් චතුරංගගේ සිතුවම් සහිත මේ පොත සමයවර්ධන ප්‍රකාශනයක්.

ඉතින්, අපි තවත් දරුවන්ට බොරු නොකියා ඉමු.තේරුම් ගන්න පුලුවන් තරමට එයාලට ලෝකය ගැන කියා දෙමු.

මේ ළමා පොත ගැන ඔබට ලිව්වේ ඒ නිසා.දරුවන්ට හොඳම දේ තෝරන්න ඕනෑ ඔබ නිසා.

Related Articles

Don't Miss


Latest Articles