ලෝකයේ ඉන්න සතුටුදායකම ගැහැනිය ගොඩ නගන්න ආදරණීය පිරිමි හිතකට පුළුවන්.

අක්කා හිටියේ නොනවත්වා හඬමින්. පිටපිටම හතරපස් වතාවක් හීන බිඳුණම දරා ගන්න ලේසි ද? මං වගේ කරන කරන දේ වරදින එකියෙක්ට එහෙම ඉන්න එක ලේසි වුණත් අක්කා වගේ හැම අරමුණක්ම පහසුවෙන් දිනපු ගෑනියෙක්ට එහෙම ඉන්න අමාරුයි.

අක්කා පොඩි කාලේ හැම විභාගයකින්ම පන්තියේ පළමුවැනියා.එක්සෑම් රිසල්ට්ස්! මතක් නොකර ඉන්න තරමට හොඳයි.මම විතරක් නෙවෙයි.අක්කාගෙ ලකුණු නිසා ගමේම ළමයි හිටියේ ගෙවල්වලට මූණ දීගන්න බැරුව. බොහොම ලේසියෙන් යුනිවර්සිටි ගිහින් ආදරේ කරන මනුස්සයා කසාද බැඳගත්තට පස්සෙ අක්කා දිනලා ඉවරයි කියලා මාත් හිතුවා.

ඔව්! ඔයාලා හරි. පොඩ්ඩක් ඉරිසියාත් හිතුණා. නංගි වුණත් මමත් ගෑනියෙක්නෙ.අක්කා අම්මා කෙනෙක් වෙන්න යන ආරංචිය ආවේ අපි හැමෝගෙම පපුව පැලිලා යන තරම් සන්තෝසයක් අරගෙන.මාසයක් විතරක් සතුට ඉතිරි කරලා එයා යන්න ගියා.

දෙවැනි,තුන්වැනි හතරවැනි පස්වැනි සතුට මාසයක් දෙකකට පස්සෙ රතු පාටට යන්න ගියා.

මේ පස්වැනි වතාව.

“මං ආදිත්‍ය ඩිවෝස් කරනවා.දරුවෙක් හදන්න පුලුවන් මිනිහෙක්ව බැඳ ගන්නවා..” තවමත් ගලන රුධිරයෙන් තෙත්වෙන ඇඳුම් දිහා බලාගෙන අක්කා මට තදින් කිව්වා.මං ගල් ගැහිලා බලන් හිටියේ ආදිත්‍ය අයියා දිහා. මේ අක්කාගේ ශරීරයේ වරදක් මිස ආදිත්‍ය අයියගෙ වරදක් නෙවෙයි. ඔහු දැන් කඩා පැනලා ඒ වගක් කියයි කියලා මට බය හිතුණා. ඒත් ඔහු හිටියේ සුපුරුදු හිනාවෙන්.

“සනීප වෙලා ගෙදර ගියාම අපි ලෝයර් කෙනෙක් ගාවට යං. මං ඩිවෝස් එක දෙන්නං..”

අක්කා හිස වනලා එකඟ වුණාට මට බය හිතුණා. ඇත්තටම මේ මෝඩිව අයියා ඩිවෝස් කරලා දැම්මොත්..

” එයාට තවත් උහුලන්න බෑ රාධා.ඔච්චර ශාරීරික මානසික වේදනාවක් උහුලන්න පුලුවන් ගෑනියෙක්ටම විතරයි.මං ඕවා අහන් ඉන්න ලෑස්ති. එයාගෙ වේදනාව මගෙන් මිසක් කාගෙන් පිට කරන්නද?”

හඬා වැටෙන අක්කා දරා ගන්න ආදිත්‍ය අයියා ගැන මට දැනුණේ ගෞරවයක්. අක්කා හඬමින් කෑගැහුවා.බලා ගත් අත බලා හිටියා.දරුවෙක් නැතිව රැකියාවක් ඇයි කියලා තර්ක කරමින් ඉලක්කම් හයක වැටුප් ලැබෙන රස්සාව අතෑරියා.හොඳට කාලා ශක්තිමත්ව ඉන්න අනවශ්‍ය බව තර්ක කළා.

ආදිත්‍ය අයියා ඒ හැම දෙයක්ම දරා ගත්තා.

“මං එයාව මනෝ වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගියා රාධා..අක්කා ටික ටික සනීප වෙයි..”

ආදිත්‍ය අයියා මට කෙටි පණිවිඩයක් එව්වා.

මුල් සති අනත්තයේ මං අක්කා බලන්න යනකොට ඇය මුහුණට කස්තුරි කහ සහ මී පැණි තවරාගෙන සෝපාවේ ඇලවෙලා සින්දු අහගෙන ඉන්නවා.ආදිත්‍ය අයියා මුළු ගේම සුවඳ කරමින් කෑම උයනවා. අඬන හැපෙන අක්කා අතුරුදහන් වීම ගැන මට දැනුණේ සතුටක්.

“මේ පැක් එකට මං සුදු වෙලාද? තව ටික කාලෙකින් අපේ බබා අපි ගාවට එනකොට මම ලස්සනට ඉන්න එපැයි..”අක්කා කියන්නේ බලාපොරොත්තු පිරුණු කටහඬින්.

ඊළඟ සතියේ ඇය ව්‍යායාම කරන්න පටන් අරන් තිබුණා.සෞඛ්‍යාරක්ෂිත කෑම වට්ටෝරු පමණක් පිසෙන තුන්වෙනි සතියේ ඒ ජෝඩුවට ඒවා කන්න කියලා මං පීසා ඕඩරයක් දාගත්තා. සතියෙන් සතිය මම අක්කා දකින්න ගියා.ආදිත්‍ය අයියාට ඔෆිස් එකේ වැඩ වැඩි වෙනකොට මනෝ වෛද්‍යවරයා සහ නාරිවේද වෛද්‍යවරයෙක් ළඟට අක්කා රැගෙන යන්නත් සිදු වුණා.

අන්තිම ගබ්සාවෙන් දැන් මාස හයකටත් වඩා ගෙවී ගිහින්.සුබ ආරංචියක් අහන්න අක්කාගෙන් කැඳවීමක් ඇවිත්.ඔව්! මං ගියේ ඇය ආයේම ගර්භනී වුණු ආරංචිය අහන්න.

“මං මාස්‍ටර්ස් පටන් ගත්තා..” අක්කට කියන්න තිබුණේ එහෙම කතාවක්.

“දරුවෙක් එයි.ඒත් මං සම්පූර්ණ වෙනවා.එයා එනතුරුම සම්පූර්ණ වෙනවා.ආදි වෙනුවෙන් මට එහෙම කරන්න වෙනව..”

අක්කා කියන්නේ මහ විසාල ආදරයක් හිතේ පුරවගෙන.බිඳ වැටුණු ගෑනියෙක් ආයේ ගොඩ නගන ආදරයක් මොනතරම් පරිස්සම් සහගතද? ලෝකෙ හැම ගෑනියෙක්ටම අක්කාට ලැබුණා වගේ ආදරයක් ලැබෙන්න ඕනෑ නේද?

අක්කා අම්මා කෙනෙක් වේවිද නැද්ද මම දන්නේ නෑ. මං ඔබට ඒ ආරංචිය නොදීම කතාව අවසන් කරනවා.හැබැයි මෙන්න මෙහෙම.ආදිත්‍ය පටෙල්ගේ බිරිඳ හොඳ අම්මා කෙනෙක් වුණා ද නැද්ද කියන එක අමතක කරන්න.

හැබැයි ලෝකයේ ඉන්න සතුටුදායකම ගැහැනිය ගොඩ නගන්න ආදිත්‍ය පටෙල්ගේ ඉවසිලිවන්ත ආදරයට පුලුවන් වුණා කියලා මතක තියා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles