ඔබට ඇහෙනවනම් -17

මෙතෙක් දවස් මා ඉන්නවා ද නැත් ද කියා හෝ සොයා නො බැලූ කසුන් ඉරිදා දෙවතාවක් ම දුරකතන ඇමතුම් දුන්නේ ය. මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. අප එක්ව උන් යුගයේ දී වත් ඔහු රැකියා ස්ථානයේ සිට නිකමට හෝ මට කතා කර ඇති බවට මතකයක් නැත්තේ ය. අවශ්‍යතාවයක් වී නම් කතා කළේ අම්මා ට ය. පණිවිඩය මට කීවේ ඇයයි. එවන් අවස්ථා වල ඒ අම්මා ගේ මූණේ වූ ආඩම්බරය මට මතක ය. ‘පුතා පණිවිඩයක් කිව්වත් මං හරහයි කියන්නෙ’ වැනි බැල්මක් ඇය වෙත විය. එවන් අවස්ථා වල මට කසුන් ගේ මෙහෙකාරිය තරමට හෝ තත්වයක් නොවිණ.

අද ඔහු මට කතා කරයි. නමුත් ඒ මන්දැයි මට වටහා ගත නො හැකි ය.

“වෙන මොකටද ඊරිසියාවට”

අශිකා කීවා ය. 

“හුඟක් අයට තමන්ගෙ අතේ තියෙන දේ ගැන කිසි වටිනාකමක් නෑ. නැති වෙලා ගියාම ටිකක් ඒ ගැන දැනෙනව. හැබැයි වෙන කෙනෙක්ට අයිති වෙනකොට තමයි උහුලගෙන ඉන්න බැරි වෙන්නෙ. අන්න එතකොට තමයි නැති කර ගත්ත දේ කොච්චර වටිනවද කියල දැනෙන්න ගන්නෙ”

“ඉතිං මං වෙන කාටවත් අයිති වෙලා නෑනෙ”

මම මඳහසක් පෑවෙමි. අශිකා මා විනිවිද බැලුවේ නැත. නමුත් මගේ හදවත හොඳට ම හඳුනන එකියක සේ සන්සුන් ව දෙඩුවා ය.

“ඔයා කුලාන් ගෙ කා එකේ ගිය කතාව පුතා කසුන්ට කියල තිබුණනෙ. අන්න ඒකයි ඔය ඇවිලිල්ලට හේතුව”

“එයා එච්චර මෝඩයි කියල මං හිතන්නෑ”

“ඒ කිව්වෙ…”

“කෙනෙක් තව කෙනෙක්ගෙ කා එකක ගියා කියන්නෙ ඒ මනුස්සය එක්ක…”

“අනේ අනේ මේ නිම්නා”

අශී මට කියන්නට ගිය දේ කියා නිම කරන්නට හෝ ඉඩක් දුන්නේ නැත.

“මොන හේතුවක් නිසා හරි මේ රටේ ඉපදිච්ච හුඟක් ගෑනු පිරිමි ඒ තරං බ්‍රෝඩ් මයින්ඩඩ් නෑ. අපි වුණත් එහෙම ඇති. කසුන් අල්ලගත්තෙත් එතනිං. ඒකනෙ පොඩි එකා ගිහිං කියපු ගමං ඔයාට කතා කරල බැන්නෙ”

මා වහන් වී ඉන්නට හැදුවාට සත්‍යය එයයි. ඔහු ට ලැජ්ජා කරනවා යි එදා කසුන් කෑ ගසා බැන්න සිදුවීම සිනහවකින් අමතක කර දමන්නට මට පුළුවන. තේරුම් ගන්නට බැරි යළිත් බාල බොළඳ කතා කියමින් මට සමීප වන්නට දරනා උත්සාහයයි.

“අපි ආයෙ පුතා වෙනුවෙන් එකතු වෙමු නිම්නා”

මා සසලවා ගෙන එදා කසුන් මට ඒ කෙටි පණිවිඩය එවා තිබුණේ ය. උගුර කට වියළී යනවා මට දැනිණ. මේසය මත පීරිසියකින් වසා තිබූ වතුර වීදුරුව ගෙන ඉන් බාගයක් ම මම හිස් කළෙමි. උත්තරාර්ධ ගෝලයේ තරම් සිසිලසක් වන මගේ කියුබිකල් එක ඇතුළේ දී මට දහදිය දැම්මේ ය.

කසුන් සිය අදහස ඍජුව ම ඉදිරිපත් කොට තිබේ. මගේ දරුවා සිටින්නේ ඔහු ගේ භාරයේ ය. මගේ දරුවා ගේ පියා ඔහු ය. පුතු මගේ භාරයට ගන්නට නඩු කියන්නට මා සිතා ගත්තේ ඔහු නැති ජීවිතයක් නොවනා නිසාවෙනි. වඩාත් ම හොඳ දරුවෙකු සිය මව හා පියා යන දෙදෙනා ගේ ම සෙනෙහස හා රැකවරණය ලබනවා නම් ය. පුතා වෙනුවෙන් මට කළ හැකි යහපත් ම දෙය නම් කසුන් ගේ යෝජනාවට එකඟ වීමයි. 

මම දස අතේ සිතුවෙමි. නමුත් හිත පඹගාලක පැටලී තිබුණේ ය. හැන්දෑවේ කසුන් ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. ඊට පිළිතුරු දෙන්නට බැරි කමක් නොවූවත් මම හිතා මතා ම ඒ ඇමතුම මගහැරියෙමි.

කුලාන් සමගින් රාජකාරී මට්ටමේ සාකච්ඡාවක් නිම වීමෙන් පස්සේ මා අසුනෙන් නැගිටින්නට හදත්දී හෙතෙම ‘නිම්නා’ කියා කතා කළේ ය. හදවතේ දිය වීමක් වෙනවා මට දැනිණ.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 13

“සර්…”

“මොකද්ද අවුල…”

ඔහු මගේ ඇස් වලින් රිංගා මගේ ප්‍රශ්නයේ අඳුරු අහු මුලු පාදා ගැනීමේ උත්සාහයක් දැරුවේ ය. නමුත් මම ඊට ඉඩ නො දෙනු වස් මඳහසකින් හදවත වසා ගතිමි.

“මුකුත් නෑ සර්”

කුලාන් මදෙස බලා සිටියේ දෑස් කුඩා කොට නළල මඳක් රැළි නංවා ගෙන ය. එහෙව් පිරිමිකාර බැල්මක් ළඟ ඕනෑ ම ගැහැනු හදවතක ගැස්ම මඳකින් වැඩි වෙන එක නවතා ලිය නො හැකි ය. නමුත් ඕනෑ ම ගැහැනු හදවතක් සිය සීමා මායිම් දැන ගෙන හිඳිනා එක හොඳ ය. එසේ නොවුවහොත් සිදු වන්නේ අසීමිත හැඟුමන් ගෙන් සැදුම් ලත් ජීවිත වනාන්තරයෙහි කෙළවරක් සොයා ගත නො හැකි ව මග වැරදිය හැකි වන එකයි.

“මොකද්ද ප්‍රශ්නෙ…ම්…”

ඔහු ගේ වචන වල තැවරී තිබුණු මහා කරුණාවෙහි දෝංකාරය හදවත් බිත්ති මත හැපෙමින් පිළිරැව් නැගිණි. මොනවා වත් නො කියා හිටියත් සමහර ඇස් ඉදිරියේ බොරු කියා ගත නො හැකි ය. 

“මට කියන්න බැරි දෙයක්ද…”

“එහෙම නෙවෙයි. කිව්වත් සමහර දේවල් සර්ට තේරුං ගන්න බෑ”

“ඇයි…”

“සර් තාම තරුණ කෙනෙක්”

“ඉතිං ඔයා වයසට ගිය කෙනෙක්ද…”

“එහෙම නෙවෙයි. මේ ජීවිතේ මට තියෙන සමහර අත්දැකීම් සර්ට නෑ. මං මැරි කරල ඩිවෝස් වුණ කෙනෙක්…”

ඔහු ගේ තොල් කොනක් සිනහවකට ඇද විය. ‘ඔයාට වඩා ඕන තරං අත්දැකීම් මට තියෙනව නිම්නා’ වැනි කතාවකි ඒ සිනහවෙහි ලියැවී තිබුණේ.

“සර් කිව්වනෙ ගොඩක් ගෑනු ළමයිව ආශ්‍රය කරල තියෙනව කියල. ඒ එක ගෑනු ළමයෙක්වවත් මැරි කරන්න හිතිල නැද්ද…”

මෙතෙක් වෙලා පුටුවෙහි ඉදිරියට නැඹුරු වී මේසයට බර වී ගෙන සිටි කුලාන්, පුටුයෙහි පස්සට විසි වූවා සේ ය. ඔහු ගේ ඇස් වලත් කැළඹීමක් මට දකිත හැකි විය. ඇසුවේ නො ගැලපෙන ප්‍රශ්නයක් දැයි පසුතැවීමක් ක්ෂණික ව මා තුළ ඇති විය. ඔහු වූ කලී මගේ රැකියා ස්ථානයෙහි ප්‍රධානියා ය. මගෙන් ආයතනයට වන සේවයට වැටුප් ගෙවන්නා ය. එහෙව් එකේ සිය පෞද්ගලිකත්වයට මගෙන් අනවශ්‍ය අත පෙවීමක් වූවා කියා ඔහු ට සිතුණ හොත් ඊට මා සමාව නො ලබන වග උත්තර කරු වන්නේ ය.

“සොරි සර්. මං ඇහුවෙ වැරදි ප්‍රශ්නයක්”

එතකොට ම කුලාන් ගේ දුරකතනය ට ඇමතුමක් ආවේ ය. එතැන රැඳී සිටීම සුදුසු නැති බව දැනුණෙන් මම නැගී සිටියෙමි. කුලාන් මදෙස බලා උන් ඇස් දෙකෙහි වූයේ නොකී කතා දහස් ගණනක් සිය ආත්මයෙහි හිර වී ඇති බවට කතාවකි. ඔහු යන්නයි ඉඟි කළේ නැත. යන්න එපා කීවේත් නැත. තමන් ව තේරුම් ගන්නට උත්සාහ කරන්නයි ඒ ඇස් කෑ ගසා ඉල්ලා සිටින්නා සේ මට දැනිණ. මා කුලාන් ගේ සීතල වීදුරු කුටියෙන් නික්ම ගියේ හිම කන්දක් සේ මිදුණු හිතක් එක්ක ය.

හැන්දෑවේ මා ගෙදර යමින් සිටියදී, මිදුල දිගේ ගේ දෙසට ඇවිදගෙන යත්දී ම දුටුවේ කොහෙත් ම මගේ නෙතු දකින්නට පතා සිටි දර්ශනයක් නොවේ. සුනාමියකට පෙර මුහුද හිස් වන්නා බඳු සෝදා පාළු වීමක් එක්වර ම මට දැනිණි. කසුන් අපේ ඉස්තෝප්පුවේ පුටුවක හිඳ සිටියේ ය!

මගේ දෙපා නැවතිණ. හාන්සි පුටුවේ වැතිර උන් තාත්තා හිස මඳක් ඔසවා බැලුවේ ය. මගේ ඇස් වල වූ කම්පනය කිසිවෙකු දුටුවා දැයි නො දනිමි. මම හෙමිහිට ඉස්තෝප්පුව දෙසට පියවර නැගුවෙමි.

“ඇයි කසුන්…”

තාත්තා හුස්මක් හෙළනවා ඇසිණි. හෙතෙම හාන්සි පුටුවෙන් නැගිට ගෙතුලට ගියේ ය. 

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 42

“ඇයි කසුන්…”

මම දෙවන වතාවට ද ඇසුවෙමි.

“මං ඔයාට වට්ස්ඇප් මැසේජ් එකක් එව්වා”

ඔහු දුර්වල හඬකින් කතා කළේ ය.

“සීන් කළත් ඔයා රිප්ලයි කළේ නෑ”

ඒ හඬින් ගම්‍ය වන්නේ ඔහු ගේ දුර්වල පෞරුෂයයි කියා මට සිතිණි.

“ඊට පස්සෙ මං කෝල් කළා ආන්සර් කළෙත් නෑ”

මම අත් බෑගය පුටුවක් මතට අත්හළෙමි. ඉමහත් කෙඩෙත්තුවක් දැනෙන්නට වූයේ ය. එය සිරුරට නොව මනසට දැනෙනා එකක් බව මට විශ්වාස ය.

“ඉතිං ඔයා මෙහෙ ආවෙ…”

“නිම්නා. අපි පොඩ්ඩක් කතා කරමුද…”

ඔහු ගේ ඇස් වල බැගෑපත් බවක් විය. මා ඊට රිසි නොවුණෙන් මම ඉවත බැලුවෙමි.

“කියන්න”

“කියන්න තියෙන දේ පැහැදිළිවම කියලයි මං ඔයාට මෙසේජ් එකක් දැම්මෙ. වෙන්න ඕන නැති දේවල් අපි අතරෙ වුණා තමයි. හුඟක් දේවල් දැං මට තේරෙනව. කසාද බැඳපු පිරිමියෙක්ගෙං වයිෆ්ට වෙන්න ඕනෙ යුතුකම් මගෙං ඔයාට වුන්නෑ. ඒක හරි. ඒත් ඒ වැරදි නිවැරදි කරන්න බැරි කමක් නෑ නේද…අපි ආයෙ අලුතෙන් ජීවිතේ පටං ගමු. පුතා වෙනුවෙන්…”

“ඔයා විහිළු කරනවද…”

කතා කර ගත නො හැකි ලෙස මගේ දෙතොල් වෙව්ලමින් තිබුණේ ය. නමුත් මම කෙසේ හෝ ඒ වචන තුන කියා ගන්නට හිතට දිරි ගතිමි.

“එහෙම දේවල් ඕන තරං මේ ලෝකෙ වෙලා තියෙනව. මං හිතන්නෙ ඔයාගෙ අම්මයි තාත්තයි වුණත් අපි ආයෙ එකතු වෙනවට නැමති වෙයි”

“ඔයා තාත්තල එක්කත් මේ විකාර කියෙව්වද…”

“නිම්නා. ඔයාට මං ගැන කලකිරීමක් ඇති. එකපාරටම මෙහෙම දෙයක් කිව්වහම හිතා ගන්න බෑ තමයි. ඔයා හෙමිහිට හිතල…තාත්තල එක්කත් කතා කරල මට උත්තරයක් දෙන්න”

එක ම වතාවකුදු හිතන්නට මට උවමනා නැත. මේ ආත්මයේ පමණකුදු නොව මතු අත් භවයක හෝ කසුන් වාගේ පිරිමියෙකු නො පතන්නට මගේ හදවත දැඩි තීරණයකට ආවේ එදා අවසන් වතාවට උසාවියෙන් නික්ම ආ දිනයේ ය. නෑ හිත මිතුරන් ඉදිරියේ නීතියේ නාමයෙන් දිව්රා, දිවි හිමියෙන් මා රකින්නට පිළින දුන් ඔහු උසාවියේ දී කීවේ නෑයින්ට තබා මට වුව අසා සිටිය නො හැකි කතා ය. එහෙවු ඔහු විත් යළිත් මා ව සිය කුළ ගෙදරට කැඳවයි. ඔහු හිතා ඉන්නේ කොහොම ද? ගැහැනුන් කියන්නේ අවැසි වූ විට ලඟට ගෙන සෙල්ලම් කොට එපා වූ විට පසෙකට විසි කොට දැමිය හැකි සෙල්ලම් බඩු ය කියා ද? 

“මං එහෙනං ගිහිං එන්නං නිම්නා”

හිස සලන්නට හෝ මට සිත් වූයේ නැත. ඔහු ඉස්තෝප්පුවෙන් මිදුලට බට ගමන් මම ඉක්මන් දිගු අඩි තබා ගෙතුලට ගියෙමි.

“අර ළමය ගියාද…”

අම්මා ඇසුවා ය. මුළුතැන්ගෙයි පැන්ට්‍රි කබඩ් එකකට පිට දී මම වේගයෙන් හුස්ම ගන්නට වූයෙමි.

“ඒ ළමය කියන කතාවෙත් ඇත්තක් තියෙනව පුතේ. කරනවනං හොඳම දේ ඒක තමයි”

මගේ කේන්තිය සීමා මායිම් බිඳගෙන පිට පැන්නේ අම්මා එහෙම කිව් ඉක්බිති ය.

“අමම මට කියන්නෙ උසාවියෙදි අර තරං මට නින්දා කරපු මිනිහ ළඟට ආයි යන්න කියලද…මේ ආත්මෙ නෙවෙයි අම්මෙ ලබන ආත්මෙවත්…මේ ලෝකෙ වෙන එකම පිරිමියෙක්වත් නැති වුණත් මං ඔය මිනිහ ළඟටනං යන්නෑ”

අප තිදෙනා ම සිටියේ ඒ කුඩා මුළුතැන්ගෙයි ය. ඉතා ම හෙමිහිට කතා කළත් එහි කොතැනක මුත් සිටින කෙනෙකුට පහසුවෙන් ඒවා ශ්‍රවණය කළ හැකි ය. එසේ වීත් මා ගිරිය කඩා ගෙන කෑ ගසා තිබිණි. අම්මා ත් තාත්තා ත් ඇස් මඳක් ලොකු කර ගෙන, මුව ද අයා ගෙන මදෙස බලා ඉන්නට වන්හ.

4.6 5 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments