මන්දාරම් හැන්දෑවක -13

“සඳලි ගැන හිත හිතා වොරි වෙලා වැඩක් නෑ බිනර. ඔයා අඩියක් ඉස්සරහට තියන්නම ඕන.. මං අදටත් හිතන් නෑ මං සමාධි එක්ක මෙහෙ ආපු එක වැරදියි කියල..ඒ වගේ තමයි..හරිම තීරණේ හරිම වෙලාවෙ ගත්තම අපිට කවදාවත් හිතට දුකක් නෑ..”

දිනිඳු බොහෝ වේලාවකට පසු පැවසුවේ ය.බිනර හිස ඔසවා යන්තමින් සිනාවක් හෙළී ය. කෙසේ හෝ සඳලිට කතා කරන්නට අවස්ථාවක් සොයා ගන්නට ඔහුට සිත් විය.ඇය අත් නොහරින්නට පිළිණ දී ජීවිතයට අලවා ගන්නට ඔහු තීරණය කළේ ය.

“සඳලි නිසා උඹ අවුලින් ඉන්න බව මං සෑහෙන කාලයක් දන්නවනෙ මල්ලි.. මට හිතුණා මේඝා නිසා ඒ අදහස හිතෙන් යන්න ඇති කියල..මේඝාත් මෙහෙ එනකොට ස්ට්‍රෙස් වෙලා හිටියට දැන් සතුටෙන් ඉන්නව කියල පේනව.ඒකට ඔයා හවුල් ඇති කියලමයි මට හිතුණෙ..”

දිනිඳු පවසන්නේ ඔහු සැබෑවට විශ්වාස කළ දේ ය.මේඝා කවුදැයි ඔහුට දුටුවනම හඳුනා ගත හැකි විය.ඇය ආදරය විශ්වාස කළ ඒ නිසා මඟ වැරදුණු කෙල්ලක බව බිනර පළමු බැල්මෙන් ම තේරුම් ගත් අතර ඇගේ දෑසේ තිබූ අවිනිශ්චිත බව ද බිය සහ ශෝකය ද ටිකෙන් ටික පහව යන අන්දම දිනිඳු හොඳින් බලා හුන්නේ ය.ඇය මඳක් හෝ සිනාසෙන්නට හේතුව බිනර යැයි දිනිඳුට පැහැදිලි සැකයක් විය.

“මේඝාට මේ වෙලාවෙ කොල්ලෙක් ඕන නෑ අයිය. බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕන.. මට එහෙම වෙන්න පුලුවං වෙච්ච එක ගැන ඇත්තටම මාරම සතුටුයි..මං එයාට හැමදාම හොඳ යාලුවෙක් වෙනව.. එයා හිනාවෙනකන්වත්..”

බිනරට එසේ කියද්දී යමක් සිහි විණි.ඒ මේ වචනවල තේරුම දිනිඳු ඇසුවහොත් කියන්නට දෙයක් ඇත්දැයි යන්න ය.”කසාදෙන් කට්ටි පැන්න කෙල්ලකට” පෙම්වතෙකු අනවශ්‍ය බව කියා ඉන් ගැලවෙන්නට අනතුරුව බිනර කල්පනා කළේ ය.ඔහු දිනිඳුගෙන් කිසිදා රහස් සඟවන්නේ නැත.ඒත් මේඝා ගැන සත්‍ය කතාව රහසක් කර ගැනීමේ අදිටන බිනරට තිබිණ.ඇයට ඇගේ කතාවක් ඇත. කළ යුත්තේ ළඟම මිනිසුන්ට පවා එය රහසක් කර තබා ගැනීම ය.

රජරට හිරු බැස යන්නේ රත් පැහැය අහසේ බටහිර දිසාව පුරා තවරමිනි.
හැන්දෑ වන්නට පෙර කරන්නට වැඩ දාහක් ඇති නිසා ගෙදර යන්නට ඉනුලිව කැඳවා ගන්නට දිනිඳු සූදානම් විය.අද ඈ දහවලට හොඳින් බත් කෑ නිසා නහවා නින්දට යැවූ බව වෙද හාමිනේ පැවසුවේ දිනිඳු ගෙට ගොඩ වද්දී ම ය. ඒවා මේඝා අතින් ඉටු වන දෑ වග බිනර දනියි. ඔහුට හදවත පිරීයන තරම් සතුටක් දැනෙන්නේ වෙද හාමිනේ, මාධවී අතරට තවත් හිත හොඳ කෙල්ලක එක් වූ නිසා ය.මේ ගැහැනුන් අම්මාගේ අඩුව ඉනුලිට නොදන්වන තරම් ය.මේඝා උණු තේ ද කජු අලුවා ද රැගෙන එතැනට ආවේ ඒ මොහොතේ ය.දිය නා කොණ්ඩය තෙත බේරෙන්නට දමා හුන් ඇයට තිබුණේ නෙත් ඇදගන්නා කාන්තිමත් සුන්දරත්වයකි.අම්මා ඈ දුටුවා නම් එක් බැල්මකින්ම ඈ පිළිගන්නට තිබූ බව දිනිඳු සිතුවේ ජනිඳු ගැන නොරුස්නා සිතුවිලි උපදින අතර ය.

“ඉනූ තාම නිදි ඩොක්ට..මං ඇහැරවලා ඇඟ හෝදවලම එවන්නං..දැන් අලුවා දුන්නොත් නම් රෑට කවා ගන්න බැරි වෙයි.”

මේඝා එසේ කියද්දී දිනිඳුට සැනසීමක් දැනිණ.සෝමාට මේතරම් අපූරුවට දියණිය බලා ගත හැකි වූයේ නැති වග ඔහු හොඳින් දැන සිටියේ ය. කවා පොවා නැහැවූ නමුත් කටකාර ගැමි ගැහැනියක නිසා සෝමාගේ වැඩ පිළිවෙලකට නැත.

“ඩොක්ට කියන්න ඕන නෑ මේඝා..එතකොට හරි දුරයිනෙ..මේ බිනරයා වගේ ඔයාටත් අයියා කියන්න පුලුවංනෙ..” දිනිඳු පිළිතුරු දුන්නේ එහෙම කතාවකිනි.මේඝා අඩ සිනාවක් පමණක් හෙළන්නට ප්‍රවේසම් වූවා ය.

“ඕවට අහු වෙන්නනං එපා මේඝා.. ඊට පස්සෙ අපිව එයාගෙ කරගෙන බැන ගත්තු ගමන්මයි..ඒ ලෙවල් කරන කාලේ මං ගුටි නොකා බේරිලා හිටියේ හරි අමාරුවෙන්..පොතක් අතේ නැත්නම් අතට අහු වෙන එකෙන් ගහනව.”

බිනර සිනාසෙන්නට පටන් ගත්තේ ය.මේඝා සිනාවකින් ම බලා සිටියා ය.

“මුගෙ කපටිකම් වලට අහු වෙන්න එපා නංගි.. ඔය ඉරිසියාව..”

බිනර මේඝාගේ කරට අතක් දමා ගත්තේ ය.මේඝා ඒ මිත්‍රත්වය ඉවසුවා ය. බිනර නොවූවා නම් පසුගිය දින කිහිපය ඉතා අසීරු වන්නට තිබූ බව ඇය හොඳින් දැන හුන්නා ය.එහෙත් ඔහුගේ අරමුණ ගැන සැලකිලිමත් වන්නැයි තාරුකා නිතර සිහි කළ බැවින් මේඝා හුන්නේ මඳක් ඈතිනි. දැන් බිනරගේ හදවත අහිංසක කෙල්ලකගෙන් පිරී ඇති බව මේඝා දනියි.දෑත් විදා ඒ මිත්‍රත්වය බාර ගන්නට අපහසු නැත.

“ඔයාට මල්ලියෙක්වත් ඉන්නවද මෙයාට සෙට් කරන්න..ඉනූ බබත් පුංචිනෙ කියන්නෙ” බිනර සරදම් ස්වරයෙන් ඇසී ය. කාරණා දෙකක් නිසා දිනිඳුගේත් මේඝාගේත් මුහුණු වෙනස් ව ගියේ ය.මේඝා හිස් කෝප්ප ද රැගෙන පිටවෙන්නට සූදානම් වෙද්දී දිනිඳු වහා කටහඬ අවදි කළේ ය.

“මගෙ මල්ලි ඉන්නෙ ඇමරිකාවල මේඝා..ඔයාව එහෙට පටවන්නනං තිබ්බා තමයි. වෙලාව කියන්නෙ කොල්ලා එහෙ සුද්දි කෙල්ලක් සෙට් කරගෙන ඉන්නෙ..”

මේඝා බිනරට රවමින් පිටව ගියේ ය.ඇගේ හිත රිදෙන්නට ඇතැයි සැකයෙන් බිනර මුහුණ නාළු කර ගනිද්දි දිනිඳු ඔහුගේ උරහිසින් අතක් තැබී ය.

“උඹ මේඝා ගැන මොන මොනව හරි දන්නව නේද මල්ලි..”

බිනර කිසිත් නොකියා බලා සිටියේ ය.සමාජ ජාලාවල නැති නිසා දිනිඳු මේඝා ගැන දන්නා දෙයක් නැතැයි බිනර මෙතෙක් විශ්වාස කළේ ය.ඈ සිටි වීඩියෝව සංසරණය වන තැන්වල ද දිනිඳු ගැවසේයැයි බිනරට විශ්වාසයක් නොතිබිණ. නමුත් කෙසේ හෝ ඔහු එය දැන හිඳින හැඩකි.

“මං දන්නව. මං හිතුවෙ අයියා දන්නෙ නැතුව ඇති කියල.. මං දන්නව කියලනම් මේඝා දන්නව අයියේ..”

බිනර පහත් හඬකින් පැවසුවේ ය.දිනිඳු සුසුමක් හෙළා මොහොතක් බලා සිටියේ ය.

“මං දෙයක් කියන්න බිනර මේඝාට ඒක නොකිය ඉන්නවද?” දිනිඳු අසුනින් නැගිට මිදුලට බැස්සේ ය.බිනර කිසිත් නොකියා ඔහු පසුපසින් වැටුණේ ය.දිනිඳු මඳ වෙලාවක් කිසිවක්ම පැවසුවේ නැත.මේඝා වැනි කෙල්ලක අත දුරින් තබා ගන්නැයි යෝජනාවක් පැමිණයහොත් කරන්නේ කුමක්දැයි බිනර සිතුවේ ය.පස් වසරක් පුරා දිනිඳු කියන බොහෝ දේ හිස් මුදුනින් පිළිගත් වග ඇත්තකි.නමුත් එවැනි යෝජනාවක් නම් එය ප්‍රතික්ෂේප කළ කසල බඳුන්ගත කළ යුතුම ය. මේඝාට එක තැනක් වරදින්නට ඇත.ඒත් ඇය ආශ්‍රයට නුසුදුසු නරක කෙල්ලක නොවේ. නැගණිය, නිකිණි පවා මේඝා දකින්නට කිහිපවරක් කැටුව එන්නට බිනර ක්‍රියා කළේ ඒ නිසා ය.

“මං පවුලෙ විස්තර වැඩිය නොකිව්වට ඇමරිකාවෙ ඉන්න මල්ලි ගැන බිනරට කියල තියනවනෙ..”

බිනර හිස සැලී ය.එහෙත් ඒ සමඟම ඔහුට තවත් මුහුණක් සිහි විණ.දිනකට තුන් හතරවතාවක් ජනිඳු තත්සරගේ ෆේස්බුක් ගිණුමට රිංගාගෙන මේඝා සම්බන්ධ අපහාස ඇත්දැයි විමසිලිමත් වන බිනරට ඔහුගේ මුහුණ සමඟ සිහිවෙන දේ ගැන දැනුණේ අපහසුවකි.ඒ සිතුවිල්ලට ඉඩ නොදෙන්නට බිනරට ඕනෑ විය.

“මට මල්ලිලා දෙන්නෙක් ඉන්නව බිනර..ඇමරිකාවල ඉන්නෙ තරිඳු..අපි දෙන්නා එක විදියක්.තනිකරම අම්ම වගේ.අනිත් එකා තමයි තාත්තගෙ පුතා.වැඩ කරන්නේ හිතන්නෙ පතන්නෙ තාත්තා වගේමයි. අවුරුදු තුන හතරේ ඒජ් ගැප් තිබ්බට අපි සෑහෙන දුරට රූපෙන් සමානයි. බාලයාගෙ නම ජනිඳු..මං හිතන් නෑ ඒ කවුද කියල බිනරට කියන්න ඕන කියල..”

හිසට තද පහරක් වැදුණා සේ දැනෙන හැඟීම නැති කරගන්නට සිතමින් බිනර ඇඟිලි තුඩුවලින් නළල තද කර ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles