බටහිර අහස පුරා රත් පැහැය ඉහිරී තිබිණ. වළාකුළු සිතුවම් දෙස බලා හුන්නේ ය.අහස් ගඟ වෙතින් මෑත් වූ වළාකැටි මිරිසවැටියේ කොත් කැරැල්ලේ හැපෙන තරමට පහතින් ගමන් කරන අන්දම දිනිඳු බලා හුන්නේ ය.ගෙමිදුලට මිරිසවැටියේ දුරස්ථ රූපයක් දර්ශනය වීම අතීතයේ සමාධි බොහෝ ප්‍රිය කළ හැටි දිනිඳුට සිහිපත් විණි.
“මං දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් බං.. හරියට බැලුවම මං මේඝාට වඩා අවුරුදු දොළහක් විතර වැඩිමල් මනුස්සයෙක්. එයාට වෙච්ච දේ ඇපේට තියල මං එයාට ළං වෙන්න හදනව කියල මේඝා හිතුවොත් ඒක මහ නරක දෙයක්..”
බිනර කිසිත් නොකියා අසා හුන්නේ ය.ඔහුගේ හිසට ඉහළින් වූ අට්ටික්කා ගස කුඩා ගෙඩි පුරවාගෙන ය.මලක් නොපිපී ඵල හට ගන්නා අට්ටික්කා ගෙඩි කසාය තනන්නට ලොකු අප්පච්චී එක් රැස් කරන වග බිනරට සිහි විණි. මල් නොපිපි නමුත් ඵල දරා ගන්නට ඇතැම් තුරු වලට සිදු වේ.ඒ සොබාදහමේ නීතියකි.
“අනික වරුණලා වුණත් මේ කතාවට කැමැත්ත දෙයි කියල මම හිතන් නෑ බිනර.ඔය වෙච්ච දේවල් අමතක වෙලා ගියාම මේඝාට කොල්ලෙක් බඳින්න බැරිකමක් නෑනේ..”
දිනිඳු පවසන්නේ හිත හදා ගන්නට උත්සාහ දරන අතර ය. බිනර ඔහු දෙස බැලුවේ තද බැල්මකිනි.
“මං නම් හිතන් නෑ ඔය එකක්වත් ප්‍රශ්න කියල. ඕවා ප්‍රශ්න කියලත් මට හිතෙන් නෑ. කැම්පස් නිවාඩු කාලේ මං හිටියෙම ලොක්කම්මලගෙ ගෙදරනෙ. මේඝා උදේ පාන්දරම නාලා කරලා මඟ බැලුවේ මං එනකන් නෙවේනෙ.. හවසට ඉනුලිට කවල පොවලා තියෙද්දී හරිම පරිස්සමට කෑම පාර්සල් එතුවෙත් නිකං යැ…අයියා ඔය ගැන වරුණයියා එක්ක කෙලින්ම කතා කරනවට මං කැමතියි..”
එසේ කී බිනර දිනිඳු වෙත හැරුණේ හිතට ආ එකම සැකය මුදා හරින්නට සිතමිනි.
“මට තේරෙන එකම ප්‍රශ්නෙ අයියා ජනිඳුගෙ සහෝදරයා කියල දැනගත්තම මේඝාගෙ රියැක්ට් එක මොකක් වෙයිද කියනෙක.. දරුවෙක් හිටියා කියලා අයියට අකමැති වෙන්නෙ මොකටද? සමාදි අක්කට අයියා සලකපු විදිය මතකනම් වරුණයියලත් ඕකට අකමැති වෙන්නේ නෑ..”
දිනිඳු අඳුරු වෙමින් ඇති පරිසරය සිසාරා නෙත් හෙළී ය. තරිඳු කොළඹින් පිටත් වන්නට ඇතැයි ඔහුට සිහි විය.
“බිනර, මට තව දෙයක් තියනව කියන්න.. අද අපේ මල්ලි මෙහෙ එනව..”
“ජනිඳු?”
දිනිඳු බිනර දෙස බැලුවේ පිස්සුදැයි අසන බැල්මකිනි.තරිඳු තමන්ට ඇමතුමක් දුන් බවත් ඔහු පැමිණීමට ඉඩ දෙන්නට තමන් තීරණය කළ බව අනතුරුව ඔහු හෙළි කළේ ය.
“පොඩ්ඩා ආවට කමක් නෑ..අපි දෙන්නත් පෙනුමෙන් වෙනස්..ඇත්තටම ජනිඳු ගැන කිසිම සැකයක් මේඝාට එන එකක් නෑ..”
දිනිඳු එසේ කියද්දී බිනර සැනසුම් සුසුමක් හෙළුවේ ය. මේඝාට දිනිඳුට ආදරය කරන්නට ඉඩ හැර ජනිඳුට ඇති ඥාතිත්වය හෙළි කිරීම සුදුසු බව ඔහු සිතුවේ ය.
රාත්‍රියේ පෙරිමියන්කුලමට තද වැසි ඇද හැලිණි. වියළි කලාපයට වැස්ස වැටෙන්නේ ඉඳහිට ය.නාස් කුහර පුරවා දමන අලුත් වැහි සුවඳ මේඝාට දැනුණේ නැත.ඈ හිසේ සිට පොරවණය දවටාගෙන ඇඳ අයිනක ගුලිව හුන්නා ය. ජනිඳු ඈ වනසන්නට සියළු දේ කර අවසන් ය.එහෙත් ඈ පෙළිය හැකි දෑ තවම ඔහු සතු ය.මීයෙකු අල්ලා එක්වරම මරණයට පත් නොකර එහෙමෙහෙ පෙරලන පූස් නාම්බෙකු මෙන් ජනිඳු තමන් හා ක්‍රීඩා කරන බව මේඝා සිතුවා ය.
“හෙට විතර වෙද්දි ඌ මොනව කරාද දැන ගන්න පුලුවං..මං එක්කො වැවට පනිනව..නැත්නම් කෝච්චියට පනිනව…”
මේඝා දැඩි තීරණයක් ගත්තා ය.ඈ හිත හදා ගනිමින් අලුත් ලෝකයක් ගොඩ නඟන්නට වෙහෙසෙමින් සිටියා ය.ජනිඳු බෝම්බයක් අත හැරියේ ඒ සිහින කන්දට ය.නැවත ප්‍රේමයක් බලාපොරොත්තු නොවී ඇය දිනිඳුට ප්‍රේම කරන්නට පටන් ගත්තා ය.හවස් වරුවේ වූ සිදුවීම පැහැදිලි කරන්නේ දිනිඳු සියල්ල දන්නා බව ය. ඒ හැඟීම මේඝාට වේදනාවක් විය.
“රෑට කන්නෙ නැති ළමයෙක්ට දෙකක් කියන්න මදූ අක්කා මාව එව්වා..”
කාමරයේ විදුලි පහන නොදල්වාම බිනර මේඝාගේ ඇඳ මතින් හිඳ ගත්තේ ඒ මොහොතේ ය.ආදරය කළ මිනිසාගෙන් දරුණු රැවටීමකට ලක් වූ මේඝා හොඳම මිතුරාට එසේ ඉඳින්නට හරිමින් අකුණු හඬ අසා සිටියා ය.විදුලි එළි දෑස් ගිනිකන වැටෙන තරමේ ය.
“උඹ මේ අකුණු ගහනකොට බය නැද්ද බං. අපේ ගොං නංගි නම් විලාප තියනව..”
බිනර අසද්දී මේඝා දිගු සුසුමක් හෙළුවා ය.
“මට තව අඩු හෙනයක් විතරයි බිනර..”මේඝා එසේ කියද්දී බිනර ගොස් විදුලි පහන දැල්වූයේ ය.
“ඒ ගොං වස්සට කරන්න පුලුවං දෙයක් නෑ මෝඩියෙ. බය නොවී ඉන්න කියල අපි කියන්නෙ ඒකයි.ලෝයර් ඔයාට සාධාරණයක් කරන්න ගියාම ඌ බය වෙන්න ඇති..අපි නඩු කියන් නෑනේ.සද්ද වැහෙයි..”
බිනර එසේ කියා මේඝාට තවත් ආරංචියක් දෙන්නට සිතුවේ ය.තරිඳු ජනිඳුගේ දුරකථනය සහ ටැබ් එක සොරකම් කළ කතාව බිනර දැන ගත්තේ හවස් යාමයේ දිනිඳුගෙනි.තව පැය කිහිපයකින් ඒ සියල්ල මෙහි ළඟා වෙන බව බිනර දැන සිටියේ ය.දැන් මේඝා ළතැවුලෙන් හිඳීම අනවශ්‍ය බව බිනර සිතුවේ ය.
“තව ආරංචියක්.. මං අර ලෝයර් මැඩම්ට කතා කරා.ජනිඳුගෙ අයියා ඔය මහලොකු වීඩියෝ තියන ඩිවයිස් දෙකක් ලෝයර්ට ගෙනත් දීලා.කාමරේට වෙලා අඬ අඬ ඉන්නෙ ගිහිං කාපං කරුණාකරලා”
මේඝා බිනර දෙස මොහොතක් බලා සිටියා ය.අනතුරුව ඇය වැළපෙන්නට පටන් ගත්තේ ඇයිදැයි බිනර වියවුල් සහගත විණි.”මගෙ හිතට හරි නෑ බිනර” ඇය වැළපෙන අතර කියන්නේ හීල්ලීම් මැද ය.
“ඕකට නඩු දාලා සෑහෙන වන්දියක් ගන්න පුලුවං තමා. ඕන නම් එහෙම කරමු. ඒත් ඕක ඔහොම යට ගියාවේ.සල්වතුර මැඩම් වගේ කෙනෙක් බය කළාම ඕකා ආයේ කට අරින් නෑ..”
බිනර මේඝාගේ උරහිස මත අත තබා පැවසුවේ මිත්‍රශීලි හඬකිනි.මේඝා කරා වසන්තය එළඹෙමින් ඇති වග ඈ නොදැන හුන්න ද බිනර ඒ ගැන පසු වූයේ ප්‍රීතියෙනි.ජනිඳු වැනි සෙල්ලකාරයෙකු අතින් ගිලිහුණු මේඝා රැඳිය යුතු සුදුසුම තැන තබන්නට හැකි උපරිම සහයෝගය දෙන්නට බිනර තීරණය කළේ ය.
“මට ඒ මූසලයගෙන් වැඩක් නෑ බිනර..ඒත් මං හරි අවුලෙන් ඉන්නෙ.. මේ ප්‍රශ්නෙ ඩොක්ට දැන ගත්තට පස්සෙ මට ලැජ්ජයි..එයා ඒ කෙහෙම්මල් වීඩියෝ එකත් දැකලද?”
මේඝාට ඉකි ගැසිණ.අකුණක් පුපුරා යද්දී බිනර ඒ හැඬීම සම්බන්ධයෙන් අගමුල ගලපා ගන්නට උත්සාහ කළේ ය.
“මේ ගම්වල අම්මලා රට ගියාම තාත්තලා, මාමලා ,සීයලා අතින් රේප් වෙන පොඩි කෙල්ලො ඉන්නවා මේඝා. ඒ ළමයිව අනන්තවත් දැකපු කෙනෙක් දිනිඳු අයියා කියන්නෙ.ගෑනියෙක් අමාරුවෙ වැටුණම අප්පිරියාවෙන් බලන මනුස්සයෙක් නෙවෙයි ඒ.අනික මං හැමදාම කියනවනෙ. උඹ වැඩිහිටියෙක් බං.අපි කාටවත් ඕක අදාළ නෑ. අර යකා කරපු බලු වැඩේ ගැන මිසක් මිනිස්සු දෙන්නෙක් තමන්ගෙ ෆීලිං බෙදා ගත්ත එක අපට කොහොමත් අදාළ කාරණාවක් නෙවෙයි.අපි වොරි වෙන්නෙ ඒක ඔයාට ලැජ්ජ කරන්න යූස් කරන ජනිඳු ගැන.එච්චරයි..”
මේඝා එය පිළි ගත්ත ද අලුත් කඳුලක් ගවුම් උරහිසෙන් පිස දා ගත්තා ය.
“ඒත් මට ආයේ ඩොක්ටගෙ මූණ බලන්න බෑ..”
ඇය එසේ කියද්දී බිනර සැකයේ වාසිය උරගා බලන්නට තීරණය කළේ ය.
“ඉතිං නොබලා හිටපංකො..මං වගේ කඩේ යවන්නයි ගස් නග්ගවන්නයි රිලව් පන්නන්නයි අරකටයි මේකටයි ඕනවෙන මනුස්සයෙක් නෙවෙයිනෙ..ලෙඩක් උනාම අපි ටවුමට ගිහින් බේත් අරන් එමු..”
බිනරගේ සැහැල්ලු හඬ අසා හුන් මේඝා යළිත් ඉකි ගසන්නට පටන් ගත්තා ය.ජීවිතයේ බොහෝ රහස් දන්නා බිනර මේ රහස ද දැන ගත්තාට කම් නැතැයි ඈ අනතුරුව සිතුවා ය.
“මං ඩොක්ටට කැමතියි බිනර.ඒක ක්‍රෂ් එකක් කියලා ඒ හැඟීම බාල කරන්නත් මං ආස නෑ.කවදාවත් මට ලැබෙන් නෑ කියලා දන්නවා..ඒත් මගෙ හිත එයාට ආදරේ කරනවා. මට දුක ඒකයි..”
බිනර මේඝාට ඇති තරම් හඬන්නට හැර බලා හුන්නේ සතුටිනි; සැහැල්ලුවෙනි. සඳලි ද මේඝා ද නිකිණි ද හඬන ඕනෑම මොහොතක තත්පර කිහිපයකින් ඒ කදුළු නවතන්නට වෑයම් කරන බිනර අද එසේ නොකොට මේඝාට හඬන්නට ඉඩ හැරියේ හදවත සොම්නසින් පිරී යද්දී ය.මේ ආදරවන්තයන් වෙනුවෙන් හැකි සෑම දෙයක් ම කරන්නට ඔහු ඔහුටම පිළිණ දුන්නේ ය.