ඔබට ඇහෙනවනම් -28

2
2848

සෞම්‍ය හා සිහිලැල් වූ හැන්දෑව කොනක සිට ගිනි වදිමින් තිබිණි. මහරගම පිස හමා ගිය සුළඟ, එගිනි නිවන්නට කොහෙත් ම සමත් වූයේ නැත. කුලාන් ගේ සුඛෝපභෝගී රිය තුළ මට කිසිදු පහසුවක් නො දැනුණ බව ඇත්ත ය. නමුත් මම ඒ සියලු සංවේදනා ඔහු ගෙන් වසන් කර ගෙන ශේෂ කන්දක් සේ නො සැලී සිටියෙමි.

“ඒක කුෂ්ලානි ට වෙච්ච මිස්ටේක් එකක්. එයා මාව හොයාගෙන ඇවිත් ඉන්නෙ එයාගෙ දරුවට තාත්ත කෙනෙක් බලාපොරොත්තුවෙන්”

රිය නතර කොට තිබූ ස්ථානයේ වූ මැයි ගසක නටු වලින් ගිලිහුණ ඉසිහින් පත්‍රිකා සුළඟ සමග මිතුරු ව ඉගිල ගියේ ය. ඉන් සමහරක් රියෙහි සුළං මුවහ වීදුරුව සිප නතර විය. නටුවෙන් ගිලිහී අයාලේ පාව යන අරමුණක් නැති තුරු පතක තිබිය හැකි හිස් බව මටත් දැනෙමින් තිබිණි.

“කුෂ්ලානි මාව විශ්වාස කරගෙන මං ගැන ලොකු බලාපොරොත්තුවකින් ඇවිත් ඉන්නෙ. අපි කාලයක් එකට ජීවත් වුණා. හැමදාටම එක ගමනක් යන්න හිතං හිටිය. අතරමගක ඒ හැම දේම වෙනස් වුණා තමයි. ඒත් මං එයාට පිටුපාන එකක් නෑ කියල එයා හිතනව”

මා හුස්ම ගත්තේ පවා ඔහු ට ඇසෙතැයි බියෙන්, පරෙස්සමෙනි. ඔවුන් දෙදෙනා අතර ඕනෑ ම දෙයක් සිදු වන්නට පුළුවන. ඔවුන් ඕනෑ ම ගිවිසුමකට එළඹෙන්නට පුළුවන. මා වූ කලී ඔවුන් ගෙන් සම්පූර්ණයෙන් ම බැහැරින් හිඳින පුද්ගලයෙකි. එක අතකට කුලාන් මේවා මට කියන්නට ද උවමනා නැත.

“කුෂ්ලානි දැන් හැසිරෙන විදිහ සම්පූර්ණයෙන් ම විකාරයක්. එයා මෙහෙම කෙනෙක් නෙවෙයි. ඒත් මේ ප්‍රෙග්නන්සි එක නිසා එයා එහෙම්පිටින් ම අවුල් වෙලා කියල මට දැනෙනව. එයා මගෙං පිළිසරණ හොයන්න හදන්නෙ මගෙ අයිතිය එයාගෙ අතට බලෙන්ම අරගෙන. මං මෙහෙම නිශ්ශබ්දව බලං ඉන්නෙ කොන්ද පණ නැති කමකට නෙවෙයි නිම්නා. මනුස්ස කමට. මට බයයි කුෂ්ලානි තවත් මෙන්ටලි වැටෙයි කියල. මේ කෙල්ල ජීවිතේට මොනාහරි කර ගනීද කියලත් වෙලාවකට හිතෙනව. මොනා වුණත් එයා එක කාලයක් මගෙ ජීවිතේට ළඟින් ම හිටිය කෙනෙක් නිසා…එයා ගැන මට යුතුකමක් තියෙනව කියලමයි මට හිතෙන්නෙ…”

“සර් කොච්චර හොඳ කෙනෙක්ද…”

මගේ උවමනාවකට මා කතා කළා නොවේ. ඉබේට ම මට එසේ කියවිණ. නමුත් ඒ මගේ හදවතට දැනුණ දේ ය. තමන් ගේ ම ලෙයින් ජනිත දරු ගැබ් ද සමග ගැහැනුන් අසරණ කොට පලා යන පිරිමින් ගහන ලෝකයක,  වෙන කාගේවත් ආශාවක් මත අතීතයේ දී ඔහු පෙම් කළ කෙල්ලක ගේ කුස ඔත් දරුවෙකු වෙනුවෙන් කුලාන් යුතුකම් ඉටු කරන්නට හදයි.

“නිම්නා”

මට හිත හිතා ඉන්නට වෙලාවක් තිබුණේ නැත. මගේ පැත්තට බර වූ හෙතෙම මා වැළඳ ගත්තේ ය. එදා විදුලි සෝපානයේදී සේ නොවේ. මම මුළුමනින් අවනත වෙමින් සිටියෙමි. මගේ යටි හිත පතා උන් මිදීමක් හෝ නිවීමක් වෙනුවෙන් ඒ මොහොත ට සම්පූර්ණයෙන් යටත් වෙන්නට මට අවැසි විය. ඇස් දෙක තද කොට පියා ගෙන මම තව තවත් ඔහු ගේ සුව ළමැදෙහි ගුලි වීමි. 

ලෝකය ගැන මට කිසිදු වගක් වූයේ නැත. කවුරුන් හෝ දකීවිද කියන බිය මගේ හිත අහලකට හෝ පැමිණියේ නැත. මේ විදිහට මහ මග හැසිරෙන එක කොයි තරම් සදාචාර සම්පන්න ද කියා හිතන්නට කොහෙත්ම මට උවමනා වූයේ ද නැත. මම හිතේ හැටියට, මට අයිතියක් නැති ඒ පහසෙහි උණුහුමෙන් ආත්මය පුරවා ගන්නට වූයෙමි.

මගේ නෙතු හැරුණේ වීදුරුවකට තට්ටු කරන හඬට ය. ආරක්ෂක අංශ නිල ඇඳුම් හැඳි තරුණයන් දෙදෙනෙක් යතුරු පැදිය නවතා ගෙන සිටියහ. කුලාන් මගෙන් මිදී ඔවුන් දෙස බලත්දී, පිටුපස උන් පුද්ගලයා එතැනින් නික්ම යන්නැයි අතින් සන් කළේ ය. එසැනෙන් යතුරු පැදිය නික්ම ගියේ ය. මම වීදුරු කවුළුවෙන් පිටත බලා ගතිමි.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -37

“මේ රටේ මිනිස්සුංගෙ ඔළු ගෙඩි හදන එකනං ලේසි නෑ. මේ විදිහට තව කෙනෙක්ගෙ පුද්ගලික නිදහසට ඇඟිලි ගහන්න අයිතියක් තව කෙනෙක්ට කොහෙන්ද…රටක ෆෝසස් තියෙන්නෙ පොලීසි තියෙන්නෙ ඒකට නෙවෙයි. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මිනිස්සුංව ආරක්ෂා කරන්න. ඒකට මේ රටවල…”

කවුළුවෙන්  පිටත බලා ගත් වන මම සිනහව ගිල ගෙන සිටියෙමි. කුලාන් දිගින් දිගට ම බැණ වදිමින් රිය පණ ගැන්වූයේ ය. පටු පාරවල් ඔස්සේ රිය යළි හයිලෙවල් පාරට අවතීර්ණ විණි. මම යන්තම් නෙතු හරවා කුලාන් දෙස බැලුවෙමි. බීමත් බවක සලකුණකුදු මට ඔහු වෙතින් දකිත හැකි වූයේ නැත. මුල දී නොවූ සැහැල්ලුවකට ඔහු පත් ව හිඳින බවක් ද මට පෙනිණ. ඒ හරියට භාවනාවකින් පසු ලද හැකි ශාන්තිය වාගේ එකකි. 

“මං කොහොමද නිම්නා කුෂ්ලානි ව පන්නගන්නෙ…මං දන්නව මේ පැටලෙන්න යන්නෙ පඹගාලක කියල. මේ හැම දේ ම තවත් හිතේ හිර කරං ඉන්න බැරි නිසයි මං ඔයාට කිව්වෙ”

ඔහු වූ කලී මේ යුගයේ දුර්ලභ උතුම් මිනිසෙකි. දේවාශිර්වාද ලබන්නෙකි. ඉත සිතින් ඔහු ගේ යහපත පතනු මිස මා වෙන කුමක් කියන්න ද? 

එවක් පටන් මම කුෂ්ලානි කෙරේ වඩාත් කාරුණික ව හැසිරුණෙමි. මිත්‍රශීලී වන්නට මට උවමනා විණි. ඇයට රාජකාරී කටයුතු වලදී උපරිම සහයෝගයක් ලබා දීමෙන් මට මා තෘප්තිමත් කර ගත හැකි විය.

“ඔයත් පුදුමයි නිම්”

අශිකා කීවා ය. මම මන්දහාසයකට ඉඩ දුන්නෙමි.

“ඒක පැත්තකිං තියමු. ඒත් මේ කුලාන් කරන්න යන වැඩේ…”

“සර් එහෙමයි කියල තේරෙන්න තේරෙන්න එයා ගැන ගෞරවේ වැඩි වෙනව”

“ගෞරවේද ආදරේද…”

“දෙකම”

අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ඇහෙන නිශ්ශබ්දතාවයක් ඒ මොහොතේ ඇති වූයේ ය. එය හරියට උස් කඳු මුදුනක හුදෙකලා වූවා බඳු නිහැඬියාවකි. එතකොට අපේ ආත්මයේ හඬ වඩාත් පැහැදිලි ව ඇසිය හැකි ය. විශ්ව ආත්මයේ හඬ ද යම් පමණකට හෝ වටහා ගත හැකි ය. ඒ දෙක එකට යා වෙන තැනක් ගැන හැඟීමක් ඇති වෙත්දී ආත්මය හිරිවැටී යයි. ජීවිතය කියන්නේ සැබවින් අසිරියකි. උර ගා බලන්නට හිතෙන අභිරහසකි.

“කුලාන්ට කිව්වෙ නැද්ද අර ඔෆර් එක ගැන…ඔයා මෙහෙං ගියා කියල…ඔය කියන විදිහට කුලාන් වැරදියට හිතන එකක් නෑ. එයා තේරුං ගනියි”

“ඒත්…”

“යන්න බෑ කියලද ඔය කියන්න යන්නෙ…”

“යන්න ඕන නෑ කියල. මෙතනට මං හරි ආදරෙයි අශී. මට හුඟක් දේවල් ලැබුණෙ මෙතනිං. අනිත් එක….මෙතනට මාව ඕනෙ”

අශිකා සුසුමක් හෙළුවා මිස කිසිත් නො කීවා ය. යළිත් ඔය ගැන වචනයක් හෝ නො දොඩන්නට ඇය ඇයට ම පොරොන්දුවක් වන්නට ඇත.

කුලාන් මගේ ගැහැනු හිතෙහි උඩ මළුව අරක් ගත් වීරයා වී සිටියේ ය. ඔහු ගැන අබ මල් රේණුවක හෝ වරදක් දකින්නට මට හැකි වූයේ නැත. ඉක්මනින් ම ඔවුන් ගේ විවාහය සිදු වනු ඇත. ඒ ගැන අසා දැන ගන්නට, වැඩ නිම වී ගෙදර ගිය හැම හවසක ම මගේ හිත මට කරදර කළත්, මම පසු බා සිටියෙමි. එදා හැන්දෑවේ අප හමු වූවා ට පසු, ඉන් පෙර දී සේ ම ඔහු ගෙන් දුරකතන ඇමතුමකුදු නොවිණි. නමුත් එසේ නො වීමේ රසය, මට හුස්ම ගන්නට මා කෙරේ ම ස්නේහය දල්වා ලී ය.

සමහරක් වෙලාවට මම ඔහු ගැන සිතුවෙමි. ඔහු වටහා ගැනීම ඒ තරම් පහසු කාරියක් වූයේ නැත. ඔහු මා ගැන කොහොම හිතනවාද කියා හෝ සිතා ගන්නට මම ආශා වූයෙමි. අඩු තරමින් ඔහු මට පෙම් කරනවා යි සිතන්නට මම රිසි වීමි. නමුත් ස්ථිර ව එසේ සිතන්නට තරම් වුව සාධාරණ හේතුවක් සොයා ගත නො හැකි විණි. දෙ වතාවක් කුලාන්  මා ව වැළඳ ගත්තා ය කියන්නේ ඔහු මට පෙම් කරනවා කියන එක ද? එසේ නොවේ යි තර්ක කරන්නට හේතු ඕනෑ තරම් විය. ඔහු කාලයක් තිස්සේ බටහිර රට වල ජීවත් වූ කෙනෙකි. ඔවුහු තමන් ගේ චිත්ත වේග අන්‍යයන් සමග හුවමාරු කර ගනිත්දී උනුන් වැළඳ ගැනීම සිදු කරති. සැබවින් ම එය හිතක් සුවපත් කරවනා මානව ගති ලක්ෂණයකි. ගැහැනියක් හා පිරිමියෙකු අතර සිදු වන වැළඳ ගැනීමකින් අදහස් වන්නේ ඔවුන් අතර ප්‍රේමයක් පවතිනවා කියන එක ම නො විය හැකි ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -17

ඔහු තුළ එවන් හැඟීමක් විණි නම් ඔහු මට දුරකතන ඇමතුමක් වුව දිය යුතුයි නොවේ ද? කුෂ්ලානි  ළඟ දැවටී ගෙන ගෙදරදිත් සිටින්නේ නොවේ. නමුත් එදා බීමතින් මා හමු වන්නට කතා කළා මිස ඔහු මට කතා කොට නො තිබිණ.

එසේ නම් ඔහු බීමතින් රෝහලට ගියේ ඇයි? එදා මා උමතුවෙන් ඒ විදුලි සෝපානයේ ඉහල පහල ගියා මෙන්, ඔහු ත් එහි  ගියා විය නො හැකි ද? 

ඒ එකදු පැනයකට හෝ නිවැරදි පිළිතුර සොයා ගන්නට මම අපොහොසත් වීමි. නමුත් මම එක දෙයක් නිශ්චිත ව දැන සිටියෙමි. ඒ කුලාන් දැන් කුෂ්ලානි ට පෙම් නො කරන බවයි. ඔහු ගේ ඇස් වල ඈ කෙරේ එවන් දීප්තියක් වූයේ නැත!

මට ඇරයුම් කළ පුවත් පත් ආයතනයෙන් නැවතත් කතා කළේ ය.

“දැනට මට මේ කම්පනි එකෙන් ලැබෙන සැලරි එක ගැන ප්‍රශ්නයක් නෑ. වෙන වැරැද්දකුත් නෑ. ඒක නිසා දැනට වෙන තැනකට යන අදහසක් මට නෑ”

මම ඉතා නිහතමානී ව ඔවුන් ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළෙමි. ඒ ගැන හෘද සාක්ෂිය තෘප්තිමත් ද වූයේ ය.

“එක අතකට ඔයා හරි. කැලේ පැනල භාවනා කරල වැඩක් නෑ. වාහන එලවන්න ඉගෙන ගන්නවනං පදින්න ඕනෙ වාහන වැඩියෙන් යන පාරවල් වල. හිතක් හදාගන්න ඕනත් ඒ පරිසරයෙ ඉඳලමයි”

අශිකා මගේ තීරණය ගැන අන්තිමට එවන් අදහසකට ආවා ය. 

“මට අමුතුවෙං හිත හදාගන්න කියල දෙයක් නෑ. කිසි දෙයක් වෙනස් කරන්නවත් කිසි දෙයක් අමතක කරන්නවත් මට ඕනකමකුත් නෑ”

“ඔයා හරියන්නෙ කුලාන් වගේ පිරිමියෙක්ටම තමයි”

“ඇයි…”

මම මඳහසක් නගා ගතිමි.

“ඔය දෙන්නම ඉන්නෙ සාමාන්‍ය මනුස්සයන්ට වඩා ටිකක් උඩිං. මං වගේ වුණානං කුලාන්ට රිද්දන්නයි ශ්‍රීනාත්ගෙං පලි ගන්නයි හිත හදා ගන්නයි ඔක්කොටම එක්කල කරන්නෙ ඔය ජොබ් එක තෝරගන්න එක. මං කුලාන් වුණානං කුෂ්ලානිගෙ පස්සට පයිං එකක් ගහල පන්නල දායි මේ මොන විකාරයක්ද කියල. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ඉතිං එහෙම තමයි. අපි රහත් වෙලා නෑනෙ”

“අපිත් රහත් වෙලා නෑ පිස්සි”

“ඒක ඇත්ත. ඒත් සමහර මිනිස්සු හිත දියුණු කරපු අය. සමහර විට මේ ආත්මෙට විතරක් නෙවෙයි. ඒක ගිය ආත්ම වලටත් අයිති පුරුද්දක් වෙන්න ඇති”

කුලාන් ඒ තරම් පරිත්‍යාගයක් කරාවිද කියා මට සිතා ගත නො හැකි ය. නමුත් මේ වන තුරු ඔහු ඒ සියල්ල දරා හිඳීම ම විසල් කැපකිරීමකි. 

අලුත් සතියක ඇරඹුමේ දී හදිසියේ ම ශ්‍රීනාත් ගල්හේන මහතා කාර්යාලය වෙත පිවිසියේ ය. ඔහු හදිසි සේවක රැස්වීමක් කැඳවා තිබිණි. කාර්යාලයේ හැම කෙනෙකු තුළ ම මේ පිළිබඳව කුතුහලයක් වූවත්, කිසිවෙකු මේ හදිසි හමුවට හේතුව දැන සිටියේ නැත.

“මට විශ්වාසවන්ත මාර්ගෙකිං දැනගන්න ලැබුණා නිම්නා ට ජයබිම පබ්ලිකේෂන්ස් වලින් ඔෆර් එකක් දීල කියල. ලොකු සැලරි එකක් කා එකක් එහෙම එක්ක. එහෙම නේද නිම්නා…”

මගේ කන් වලින් දුම් දමනවා සේ විය. හදවත ගැස්ම පිටතට ද ඇහෙන්නට තරම් වේගවත් වූයේ ය. විශ්මයෙන් ඇලලී ගිය නෙතින් කුලාන් මදෙස බලනවා මම දුටිමි. හැම කෙනෙක් ම උනුන් දෙස බලන්නත් මුමුණන්නත් වෙත්දී කුෂ්ලානි ගේ දෙතොල් මත සාවඥ සිනහවක් මට දකිත හැකි විය.

4.2 5 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
1 month ago

ඊළඟට වෙන්නෙ මොකක්ද කියල නොඉවසිල්ලෙන් බලන් ඉන්නෝ…. ❤️

Madhushika Vitharana
1 month ago

Office එකෙනුත් යන්න කියයි ද?