ලොවක් වෛර කළ කුරිරු හිට්ලර්ට අසීමිතව ආදරය කල ඊවා බ්‍රවුන්ගේ සුන්දර ප්‍රේමය.

ආදරය වෙනුවෙන් සියදිවි නසා ගත් ගැහැනුන් සහ තරුණියන් ගැන අපි ඕනෑතරම් ප්‍රවෘත්ති දකිනවා.ලෝකයේ සිටි දරුණුම ආඥාදායකයාට දාහත් වසරක් පෙම්වතිය වී හිඳ පැය හතලිහකට බිරිඳ වූ ගැහැනිය ද සියදිවි නසා ගන්නේ ඔහු වෙනුවෙන්.

ඒ ඊවා බ්‍රවුන් නම් ගැහැනියයි.ලෝ ප්‍රකට ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවන සහකාරියයි.

ඊවා උපදින්නේ 1912 පෙබරවාරි දොලොස්වැනිදාවක.ඇය හිට්ලර්ට වඩා අවුරුදු විසිතුනකින් ළාබාලයි.ඊවාට හිට්ලර් හමුවෙද්දී ඈට යන්තම් අවුරුදු දහහතක් වූවා පමණයි.ඇය එවකට හිට්ලර්ගේ නිල ඡායාරූප ශිල්පියෙකුගේ නිරූපිකාවක ලෙස කටයුතු කර තිබෙනවා.

“හිනා යන උඩු රැවුලක් තියන තරමක වයස්ගත මිනිහෙක්ව මට මුණ ගැහුණා.ඒ නාසි පක්ෂයේ නායක හිට්ලර්ලු”

ඊවා ඒ හමුවීම ගැන මුලින්ම මිතුරියකට කියන්නේ එහෙමයි.ඒත් ආදරය ඇති වීම වළක්වන්නට එවැනි හිනා යන උඩුරැවුලක් සමත් වෙන්නේ නැහැ.හිට්‍ලර් නිතර ඇය ප්‍රසංසාවට ලක් කරනවා; තෑගි බෝග ලබා දෙනවා; දෑත් සිපගන්නවා.නමුත් ඔහු ඇයට ආදරය කරන්නේ නැහැ.ඒ නිසා මානසික පීඩනයට ලක් වෙන ඊවා වරක් එල්ලී මිය යන්නට උත්සාහ කරනවා. මේ වෙද්දී හිට්ලර් ජර්මනියේ ප්‍රසිද්ධියට පත් වී ද නැහැ.

මේ සිදුවීමෙන් පසු ඔහුගේ ආදරය ඇයට හිමි වුවත් කෲර මිනිසෙකු මෙන්ම ආදරයේදී ලැජ්ජා කාරයෙක් වන හිට්ලර් ඊවාට දැනෙන්නට ආදරය දෙන්නට සමත් වෙන්නේ නෑ.වචනයෙන් දෙකකින් ආදරය ප්‍රකාශ කරන ඔහු රෝසමල්, චොකලට්, ආභරණ සහ සුරතල් සතුන් නම් නිතරම ඇයට ලබා දුන් බව පැවසෙනවා.ඒ වගේම ගොඩ නැගෙමින් තිබූ දේශපාලන බලය ප්‍රයෝජනයට ගනිමින් ඊවාව විදෙස් සංචාරවල යොදවන්නට පවා හිට්ලර් සමත් වෙනවා.

ඒත් ඇයට ලෝකයට පෙනෙන්නට හිට්ලර්ගේ පෙම්වතිය ලෙස හෝ බිරිඳ ලෙස පෙනී ඉන්නට ඉඩ ලැබෙන්නේ නෑ.ඒ විවාහය ගැන ඔහුට තිබූ උදාසීනත්වය නිසා වෙන්නත් ඇති.නැතිනම් තදින් යුද්ධයට ඇලී සිටීම නිසා වෙන්නත් ඇති.සැමියෙකු හෝ පියෙකු වී වගකීම්සහගත ජීවිතයක් ගෙවන්නට හිට්ලර් කැමැත්තක් දක්වන්නේ ද නෑ.

“ඔබ විවාහ වන්නේ නැත්තේ ඇයි” කියා කෙනෙකු ඇසූ ප්‍රශ්නයට හිට්ලර් “මම මල්වලට ආසා කළත් උයන්පල්ලෙක් වෙන්නට ආසා නෑ” යැයි පිළිතුරක් දී තිබෙනවා.ආදරය සම්බන්ධයෙන් ඔහුගේ හැඟීම් මේ අනුව වටහා ගන්නට පුලුවන්.

“මම අපේ පළමු මුණගැහීමේදීම මරණය දක්වා ඔබ සමඟ යන්නට පොරොන්දු වුණා.මම ජීවත් වන්නේ ඔබේ ආදරය වෙනුවෙන්” හිට්ලර්ව ඝාතනය කිරීමට යම් පිරිසක් ගත් කුමන්ත්‍රණයක් අසාර්ථක වූ පසු ඒ ගැන සැලවී ඊවා යැවූ ලිපියක එසේ සටහන් වී තිබෙනවා.ඊවා සහ හිට්ලර් අතර හුවමාරු වූ පෙම් හසුන්වලටත් තවමත් ඇත්තේ විශාල ප්‍රසිද්ධියක්.ඉතා මෑත කාලයේදී ප්‍රසිද්ධ වූ ඇගේ පෞද්ගලික ඡායාරූප එකතුව නරඹන්නටත් බොහෝ දෙනෙකු අන්තර්ජාලයේ Eva Braun යැයි සෙවීම් කර තිබෙනවා.

ඊවාගේ ඡායාරූපවලට පෙනී සිටීමේ ආශාව,මේකප් කිරීම, දුම් පානය සහ නිරුවතින් හිරුරැස් ස්නානය හිට්ලර් අප්‍රිය කළ පුරුදු වුවත් ඇය ඒවා නතර නොකළ බව සඳහන්.හිට්ලර් ලෝකයට ආඥාදායක වුවත් පෙම්වතියට එසේ වී නැති බවයි ඉන් පෙනී යන්නේ.ඇය හිට්ලර්ගේ ආදරය ගැන සැක සංකා පහළ වී ගෙලට වෙඩි තබාගෙන මිය යන්නට උත්සාහයක් ගත්තත් බිය නිසා වෙඩිල්ල හරිහැටි ක්‍රියා නොකර ජීවිතය ගලවාගත් බවත් සඳහන්

හිට්ලර් ජර්මනියේ නායකයා ලෙස දිවුරුම් දෙන වේදිකාවේ ඇය ද රැඳෙන්නේ හිට්ලර්ගේ සොයුරියගේ අකමැත්ත ද නොතකායි.පසුකාලීනව ඇය හිට්ලර්ගේ දේශපාලනයට ද සක්‍රීය දායකත්වය ලබා දී තිබෙනවා. 1945 අප්‍රේල් 29 වැනිදා දෙවන ලෝක යුද්ධයේ අවසන් වෙඩි මුර නිකුත් වෙද්දී ද ඊවා හිට්ලර් සමඟ බංකරයක රැඳී තිබෙනවා.එහෙත් සෝවියට් හමුදාව ක්‍රමයෙන් ඔවුන් වෙත ළඟා ඒද්දී හිට්ලර් එතෙක් නොගත් තීරණය ගන්නට පැකිලෙන්නේ නෑ.

ඒ ඊවාව විවාහ කර ගැනීමයි.

කුඩා උත්සවයක් පවත්වා ඔවුන් ඒ බංකරය තුළම විවාහ වෙනවා.එවිට ඇගේ වයස අවුරුදු තිස් තුනක්.හිට්ලර්ට පනස් හයක්. දාහත් වසරක් ප්‍රේමයෙන් එක්ව දිවි ගෙවූ ඔවුන් සෝවියට් හමුදාවට හසු නොවී ඒ විවාහයෙන් පැය හතලිහකට පසු සිය දිවි නසා ගන්නවා.

ගැහැනියකගේ ආදරයට සහකරුගේ පැවැත්ම හෝ වයස සාධකයක් නොවන බවට ඊවා බ්‍රවුන් හොඳ සාධකයක්. විවාහයකට බල නොකර ලෝකයෙන් වසන් වී ඔහු ළඟ රැඳෙන්නට තරම් ඈ ප්‍රේමණීය ගැහැනියක වී තිබෙනවා.දරා ගැනීම අවසන් වූ තැනෙක ජීවිතයෙන් පලා යන්නට උත්සාහ ගත්තත් ඇය තමන් ආදරය කළ මිනිසාගේ අවසන් මොහොත දක්වා ඔහු සමඟ රැඳෙනවා.පලා යන්නැයි හිට්ලර් ඉල්ලා සිටියදී පවා ජීවිතය එක්ව නිමා කර ගැනීම ඇය තෝරා ගන්නවා.

ආදරය සෑම තැනකම සෑම ලෙසකම පැවතිය හැකියි.ඊවා සහ හිට්ලර්ගේ ආදර කතාව එවැන්නකට නිදසුනක්.

Related Articles

Don't Miss


Latest Articles