අහංකාර නගරේ -08

1
2308

මම යහනේ උඩු කුරු ව වැතිර ගෙන උන්නෙමි. මකුළු දැලක පැටළුණ මදුරුවෙක් අඬු ගසමින් ඉන් ගැලවී ගන්නා උත්සාහයක් දැරුවේ ය. මකුළුවා ලහි ලහියේ සිය උගුල වෙත එමින් සිටියේ ය. ලොකු එකා පොඩි එකා මත යැපීම සොබා දහම මේ සමාජයට දී ඇති බලපත්‍ර සහිත අවසරයක් ද?
මම දෑස් යුග පියා ගතිමි. දවසේ වැඩ අහවර කර හිටියා ට හිතේ වූයේ වෙහෙසක් නොවේ. දියෙහි දෝවනය වූ ගමන් නිසා නැවුම් ප්‍රබෝධයක් ද හිත වට කොට ගී ගයන්නට විය.

බුම්මට්ටා ත්‍රීරෝද රියෙන් බැස ගත්තේ මා දුටු නිසා ද? නමුත් මා නිසා එහෙම කරන්නට තරම් පිස්සුවක් ඔහු ට ඇතැයි සිතන්නට තරම් මා බොළඳ විය යුතු ද? ඇතැම් විට ඔහු බැස ගන්නට ඇත්තේ වෙනත් වැඩක් කර ගන්නට තිබුණ නිසා විය හැක. නමුත් ඔහු කිසිදු කටයුත්තකට මග නතර වූයේ නැත. ඔහු ඒ කුළී රියට ගොඩ වන්නට ඇත්තේ ගෙදර එන්නට මිස මගදී ඉන් බැස පයින් ඒමේ අදහසකින් යයි සිතීම විහිළුවකි. මාත් එක්ක එක පෙළ ට වැටී ඒ කලබලකාරී නගරය මැද්දෙන් ඔහු ඇවිද ආ දර්ශනය සිතුවම් පටක රූප රාමු සේ මගේ මනසේ පුනරාදර්ශනය වෙමින් පැවතිණ.

“මොකද තනියම හිනා වෙන්නෙ…”
සුරනි මට කොට්ටයකින් ගැසුවා ය. මම සිනහවකින් නෙතු හැරියෙමි.

“මං තනියම හිනා වුණෙ නෑ”

“මමනෙ ඒක දැක්කෙ ඉතිං. ශුවර් එකටම සුපර්වයිසර් කාරයගෙ මනමාල කමක් මතක් කර කර තමයි ඔය හිටියෙ”

යහනෙහි හිඳ මම හයියෙන් සිනහ වන්නට වූයෙමි.

කාමරයට මා එන විටත් සුරනි පැමිණ සිටියා ය. සුපර්වයිසර් ගේ විස්තර ටික සියල්ල අකුරක් නෑර මම ඇය ට කියා ගෙන කියා ගෙන ගියෙමි. නමුත් මග දී ත්‍රීරෝද රියෙන් බැස සිතිජ මා හා පයින් ආ පුවත පමණක්, හිතා මතා ම නො කියා සිටියෙමි. මා එසේ කළේ මේ නගරයේ දී මට හමු වූ සමීපතම යෙහෙළිය ගැන සැකයකින් නොවේ. නමුත් හදවතේ බියක් විය. ඒ බිය ද සුරනි පිළිබඳ අහිතකින් හට ගත් එකක් නො වන බව මට දිව්රා කිව හැකි ය. ඒ බිය මගේ හදවත පිළිබඳ කාරණයකි. එය රහසිගත හා අහිංසක බියකි.

සුරනි වනාහි දුරින් හෝ විවිදුහල්පති පවුලේ ඥාතියෙකි. ඇය මෙහි පැමිණියේ මට පෙර ය. ඊටත් කලින් මෙහි නවාතැන් ගත් ඇගේ ඥාතීන් ගෙන් මේ පවුල ගැන දැන ගත් තොරතුරු ද ඈ සතු ය. විදුහල්පති තුමා ට තවත් පවුලක් වන බව ඈ කීවා ය. රෝස් මැතිණිය ව ප්‍රවේසමෙන් ඇසුරු කළ යුතු බවත් ඇය කීවා ය. සිතිජ ගැන ද මෙතෙක් මා නො දන්නා යම් යම් කාරණා ඇය දන්නවා වන්නට බැරි නැත. එහෙම දන්නා, මගේ මේ රහසිගත ප්‍රීතිය උපන් ගෙයි ම පර ලොව සැපත් කරවනා යම් තොරතුරක් ඔහු පිළිබඳව ඇය විසින් කියනු ලබතැයි මම බිය වී සිටියෙමි.

මේ මා කුළුඳුලේ ම අත් විඳිනා අමුතු සුන්දරත්වය කි. සිතිජ කියන්නේ මට මේ අහංකාර නගරයේ දී මුණ ගැහුණු දේවතා එළියක් සේ සිතන්නට මම කැමැත්තෙමි. අප අතර ලොකුවට ඇති වූ කතා බහක් නැත්තේ ය. කොටින් ම ඔහු ගැන කිසිවක් ම මා දන්නේ වුව නැත. ඔහු මා ගැන සිතනා බවක් හෝ සිතන්නට තරම් බොළඳ කමක් මගේ නැත. නමුත් පුංචි ම පුංචි තාරකාවක එළියක් සේ හදවතේ ඈත කොනක ඔහු දැල්වෙමින් හිඳින බව නම් මම දනිමි. ඒ රසවත් වූ සංවේදනය, සුරනි කියන එක කතාවක් නිසා සදහට ම මියැදෙන්නට පුළුවන. එහෙම වෙනවා ට, දැන් ම එහෙම වෙනවා ට මා රිසි නැත. මේ නිරුදක කතර නගරයේ තව ටිකක් මුල් ඇද ගන්නා තෙක්, මට එකී හැඟීම පොද වැස්සක සිසිල දනවනු ඇත. නො එසේ වී නම්, මුල් අදින්නට පෙර කාෂ්ටක දැවීමට හසු වී ස්ථිර මැළවීමට ලක් වන පැළෑටියක් සේ මගේ හිත පරඬැල් වී යන්නට බැරි නැත.

ඊළඟ දවස උදා වූයේත් සුපර්වයිසර් ගේ කන්දොස්කිරියාව එක්ක ය.

“ඔන්න අද නං බෑ කියන්න බෑ. අපි කොහෙ හරි යන්නම ඕනෙ. මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ ඔයාව මතක් වෙන නිසා”

ඔහු ට මොනවා කියන්නද කියා මට තේරෙන්නේ නැත. රැකියාව රැක ගත යුතු නිසාවෙන් ඔහු සමග එකට එක කියා ගෙන නොයා යුතු බව ද මේ වෙත්දී මම අවබෝධයක උන්නෙමි.

“මං දන්නව කෙල්ලෙ”

ඔහු ඇහෙන නෑහෙන හඬකින් කීවේ ය. දන්නේ කුමක් දැයි දැන ගනු රිසින් මම නෙතු නගා බැලුවෙමි.

කියවන්න :  අහංකාර නගරේ -21

“ඔයත් මට ආදරෙයි කියල”

මට සිනහ නැගෙන්නට ආවේ ය. මම ඒ සිනහව හිර කර ගෙන ඉවත බලා ගතිමි. ගමෙන් එන්න කෙල්ලන් බිලී බා ගන්නට මෙනුවර පිරිමින් අටවනා උගුල දැන් මම හොඳින් හඳුනා ගෙන සිටිමි. මේ ආදරය කියා කෙල්ලන් මුලාවට පත් වනු ඇත. සැබවින් නගරය විසින් ඇති කරනු ලබන විවිධාකාර මානසික ගැටුම් නිසාවෙන් ආදරය කියන්නේ ඔවුන් ගේ දුප්පත් හදවත් මතට වැටෙනා වැහි කඳුළකි. ඔවුන් ආදරය පෙන්වන පිරිමින් ගේ ඇඟේ ලතාවක් සේ දැවටෙන්නේ තුත්තිරි ඇටයක් වීමේ අරමුණෙන් නොවේ. එහෙම ගැහැනියක සිටින්නට පුළුවන. නමුත් බහුතරය පිරිමින් ගේ සෙනෙහස දකින්නේ මහ රුකක් මෙනි. එහි දැවටී වෙලී ඉහළ යන ලතාවක් වීම මහත් සැනසීමක් සේ දකින්නට ඔවුහු රිසි වෙති. ඒ රුක්ෂය තමන් සදා සිය බඳෙහි වෙලා තබා ගනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. නමුත් එවන් බහුතරයක් පිරිමින් ට මේ අහිංසක කෙල්ලන් අවැසි වන්නේ සිය කාමාශාවන් සන්සිඳුවා ගන්නා තුරු පමණකැයි සුරනි කීවා ය. ඉනික්බිති ඔවුහු ගමෙන් විත් කවුරුන් හෝ පිරිමියෙකු ගේ ඇඟේ එල්ලෙන්නට බලන් සිටිනා තුත්තිරි කරල් සේ සැලකෙති. අතින් අතට මාරු වෙති. අවසන අවලංගු කාසි සේ පසෙකට විසි වෙති.

මගේ හදවත එවන් අසරණ ස්ත්‍රී ආත්ම වෙනුවෙන් උණු වී ගෙන ආවේ ය. හැමදාමත් ඔවුන් ව පාවිච්චි කොට විසි කළ, අරමුණු ඉටු කොට ගත්තා ට පස්සේ විජය ගේ සිට ම සිය හද මැදුරු වලින් කුවේණි ලා පිටුවහල් කොට දැමූ පුරුෂයන් කෙරේ වෛරී හැඟීමකින් මගේ ලේ කකියනවා මට දැනුණේ ය.

“සර්ට වැරදිලා”
මම සමච්චල් සිනහවක් ඇති ව කීවෙමි. සුපර්වයිසර් ගේ මූණ ඇද වී ගියේ ය.

“වැරදිලා කිව්වෙ…”

“සර් වැරදියට තේරුං අරං ඉන්නෙ. මගෙ හිතේ එහෙම කිසිම හැඟීමක් නෑ. ඒක නිසා මං ගැන එහෙම අදහසක් තියා ගන්නත් එපා සර්”

මගේ වචන වෙඩි පුපුරනවා සේ පත්තු වන්නට ඇත. මම කිසිදු පාලනයකින් තොර ව ඔහු වන් පිරිමින් කෙරේ මගේ හදවත තුළ ගොඩ ගැසී ඇති විරෝධය කලඑළි බහින්නට ඉඩ හළෙමි.

“අපි ගමේ හේන් වලට ම කේඩෑරි වෙලා යන්නෙ නැතුව කොළඹ කියන රටට එන්නෙ බලාපොරොත්තු ගොඩක් මිට මොළවගෙන සර්. ඒත් හුඟක් ගෑනු ළමයි ආපහු ගමේ යන්නෙ ජිවිතේ කොළඹට උකස් කරපු සින්නක්කරේ බේර ගන්නෙවත් නැතුව. ඒකයි අපේ ගෙවල් වලින් අපිව කොළඹ එවන්න බය. කොළඹ ගිය කෙල්ලෙක් නන්නත්තාරයි කියන හැඟීම තමයි ගමේ මහ මිනිස්සුන්ගෙ ලේ වලට ම කා වැදිල තියෙන්නෙ. හැබැයි මට ඒ තත්වෙං ගමට යන්න කිසිම ඕන කමක් නෑ සර්”

සුපර්වයිසර් ගේ ඇස් වල වෛරයේ ගිනි පුළිඟු වූයේ ය. එදා මහ නරක දවසක් කියා මට සිතෙන දෙවන සිදු වීම වූයේ දවල් කාලයේ ය.

මට එදා පිරිසිඳු කිරීම් නියමිත ව තිබුණේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ය. එහි වූ බොහොමයක් සිසු සිසුවියන් මට ආසන්න වයස් ඛාණ්ඩ වල බව පෙනෙන්නට තිබිණි. ඔවුන් ගේ සිහින දෙස මා ඈතකට වී බලා සිටියේ තටු සලන ආශාවකිනි. මුදල් වලට මොන තරම් නම් දේවල් කළ හැකි ද? මුදල් වලට මිනිසුන් ගේ ඉරණම වෙනස් කරන්නට පුළුවන. බිඳ වැටුණ බලාපොරොත්තු යළි පිරියම් කරන්නට පුළුවන. කෙනෙකු වාසනාවන්ත හෝ අවාසනාවන්ත කරන්නට පුළුවන. කෙසේ වෙතත් ඒ වාසනාවන්ත ජීවිත දෙස හිතේ කිසිදු කහටකින් තොර ආශිර්වාද දෑසකින් ඈතකට වී බලා ඉන්නට මට පුළුවන් කම තිබුණේ ය.

“මේ මොකද මේ….”

මට ඒ විශ්මිත හඬ ඇසුණේ කොහෙන් දැයි එක වර සිතා ගත හැකි වූයේ නැත. ප්ලාස්ටික් ඉදල අතේ තියා ගෙන බිම හොත් තුරු පත් එකතු කරන ගමන් මම හැරී බැලුවෙමි. මා ඉදිරියෙහි සිටි යුවතියන් දෙදෙනා ගෙන් මා දැන සිටියේ ශෙනාලි ව ය. ශෙනාලි! විදුහල්පති යුවළගේ බාල දියණිය! මෝස්තර නිර්මාණ ශිල්පය හදාරමින් හිඳින අහංකාර කොළඹ කෙල්ල! එසේ නම් ඇය මේ උසස් අධ්‍යාපන ආයතනයෙහි උපාධි අපේක්ෂක සිසුවියකි.

මම සිනහ වූයෙමි. ඒ සිනහවට ඇගේ ප්‍රතිචාරය වූයේ සමච්චල් සිනහවකි.

“එහෙනං මේකද මෙයා කරන ජොබ් එක…”

ඇය මගේ කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් විමසුම් බැලුම් හෙළන්නී, පසෙක වූ මගේ රැකියාවට අදාල ආම්පන්න දෙස ද බැලුවා ය.

“ඔව්. පස්සෙ හෙමිහිට වෙන මොකක්හරි හොයා ගන්නකල් දැනට මේක තමයි කරන්නෙ”

හංගන්නට දෙයක් මට නොවූ බව ඇත්ත ය. නමුත් ඇගේ අහංකාර ඇස් ඉදිරියේ මා මඳ පසුබෑමකට ලක් වෙමින් සිටි බව පිළි ගත යුතු ය.

කියවන්න :  අහංකාර නගරේ -12

“මරුනෙ. ඔය යුනිෆෝම් එකත් ඔයාට නියමයි ආ”

කියූ ඕ හඬ නගා හිනැහෙමින් සිය යෙහෙළිය ද සමගින් නික්ම ගියා ය. ඈතට යමින් ද ඕ පසු පස හැරී බැලුවා ය. මම ඉදල මිටෙහි අත් දෙක රඳවා ගෙන බලා සිටියෙමි. ඈත ට ඇගේ මුහුණ පැහැදිලි නැත. නමුත් ඒ වත මත සනිටුහන් ව තිබූ සමච්චලය මට ලං ලං ව පෙනුණේ ය.

ගැඹුරු අගාධයක් කරා මා ගිළී යමින් හිඳින බවක් මට දැනිණි. මම තත්පර කිහිපයක් ඒ මායාමය හැඟීමෙහි ගිළී යමින් හිඳ යළි පියවි තත්වයට එළඹුණෙමි. ඉදල ගෙන ඉක්මනින් අතු ගාන්නට පටන් ගතිමි.

හැන්දෑවේ කාර්යාලය වෙත ගිය මට සුපර්වයිසර් වරයා ගේ අභූත චෝදනාවකට ලක් වන්නට සිදු විය.

“මෙව්නාට ඉෂියු කරපු එක ටයිල් ක්ලීනර් කෑන් එකක් අඩුයි. ඒකට මොකද්ද වුණේ…”

මම උඩ ගොස් බිම වැටුණෙමි. මගේ භාරයට පත් කළ සියලු කලමනා සුරක්ෂිත ව තිබූ බව මට විශ්වාස ය. යම් පවිත්‍ර කාරකයක් නිම වී නම් අප අලුත් එකක් ලබා ගත යුතු වූවේ හිස් බෝතල පෙන්වීමෙනි. මා ඒ සියල්ල නිසි ලෙස සිදු කළ අතර එවැනි අස්ථාන ගත වීමක් කෙසේවත් සිදු නොවූ බව සහතික ය. මා කෙතෙක් ඒ ගැන පැහැදිළි කළ ද ඔහු එය පිළි ගත්තේ නැත.

“පඩියෙං කපන්න වෙනව ඒකට. ඔයිට වැඩිය සිහි කල්පනාව ඇතුව වැඩ කරනව”

සේවක පිරිස ඉදිරියේ ම ඔහු මට දොස් කීවේ ය. කිසිදු වරදක් හෝ අතපසුවීමකින් තොර ව ම බිම බලා ගන්න ට මට සිදු විය.

ඒ අලුත් පාඩමක් බව මම තේරුම් ගනිමින් සිටියෙමි. මා සුපර්වයිසර් ගේ අ සම්මත යෝජනාවට එකඟ නො වූ තැන ඔහු මා අභූත චෝදනාවකට ලක් කරයි.

“ජරා යකෙක්. ඕකුං පිරිමි වෙලා ඉපදුණෙ ඇයි කියලයි හිතා ගන්න බැරි”
මේ ගැන දැන ගත් වේලේ සුරනි උදහස් වූවා ය.

“දැං ඉතිං ඕක කෙළවරක් වෙන්නෙ නෑ මෙව්නා. කළවරක් වෙන්නනං එක්කො ඔයා ඌ එක්ක යන්න වෙනව. නැත්තං ඔය රස්සාවෙං අයිං වෙන්න වෙනව. එහෙම නැත්තං ඌ කරන්නෙ එලව එලව ඔයාට ගහන එක තමයි. උං සර්පයන්ටත් වඩා විසයි මෙව්නා. ඔයා දැං සෑහෙන්න පරිස්සං වෙන්න වෙයි”

මගේ ඇඟ ට පණ නැති ගතියක් දැනිණි. පිරිසිඳු කිරීමේ සේවා සපයන ආයතනයේ ඉරිදා නිවාඩු තිබුණ බැවින් මම බාහිර උපාධි පන්තියකට යන්නට කටයුතු සූදානම් කර ගෙන සිටියෙමි. හෝටලය වාගේ තැනක සිටියොත් නිවාඩුවක් නැති නිසා අධ්‍යාපනය ගැන සිතීමත් විහිළුවක් වන්නේ ය. ඒ නිසා දැනට මේ රැකියාව බේරා ගත යුතු ම ය. පන්ති යන්නට තබා ජීවත් වන්නටත් මුදලක් ලැබිය යුතු නිසාවෙනි.

කුමක් කළ යුතු ද කියා මට තේරුණේ නැත. මම වෙහෙසින් යුතු ව යහනේ වැතිර ගෙන සිටියෙමි.

“මං කියන විදිහට වැඩ කළානං ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ”

වට්ස් ඇප් වෙත පැමිණි පණිවිඩය සුපර්වයිසර් ගේ ය. ලේ ධාතුව රත් වෙනවා මට දැනිණ.

“මරණව මං තෝව”
මම දුරකතනය ඇඳ මත දමා ගසමින් දත් මිටි කෑවෙමි. සුරනි මවෙත විත් යහනෙහි හිඳ ගත්තා ය.

“ඔය උගුල් වලිං බේරිලා යන්න පුළුවන් වෙන්නෙ හරිම කලාතුරකින් මෙව්නා. කොතනකදි හරි අපි ව අහු වෙන්න නියමිතයි. ඒත් අන්තිමට සමාජෙ ඉස්සරහ වල් ගෑනු වෙන්නෙ අපි”

ඇගේ වචන අතරේ ඉසියුම් සන්තාපයක් තැවරී තිබිණි. මගේ පපුවෙහිත් රිදුමක් වූයේ ය.

“කොළඹ කියන්නෙ මහ පුදුම නගරයක් මෙව්නා. බොහොම පහසුවෙන් මග වැරදෙන්න පුළුවන් නගරයක්. එහෙම නො වෙන්න මෙව්නා වග බලා ගන්න ඕනෙ”

ගමේ පාසලේ විදුහල්පති තුමා ගේ වචන හිතේ දෝංකාර නැගෙනවා මට දැනිණ.

“අන්න මැඩම් කතා කළා”

දොර දෙමින් ඇහුණ නන්දාවතී ගේ හඬින් මමත් සුරනිත් උනුන් දෙස බලා ගතිමු.

“මහියංගනේ ළමයට. ශෙනාලි බේබිත් ඉන්නව. නඩුවක් මගෙ හිතේ”

නන්දාවතී එහෙම කීවේ මට කුමක් හෝ ප්‍රශ්නයක් නම් එය ඇය මෙතෙක් බලාපොරොත්තු ව උන් සතුටක් සේ ය. ශෙනාලි ගේ නම ඇසුණ සැනෙන් මට දහවල වූ සිද්ධිය සිහි විය. මා වැඩ කරන්නේ කොතැනක දැයි දැනටමත් ඇය අඬ බෙර ගසා ඇතුවා විය යුතු ය. කඩා වැටෙමින් වුව හිස කෙළින් තියා ගෙන මම පහළ මහල වෙත පැමිණියෙමි. මා මුලින් ම දුටුවේ දැක්කා ම බය හිතෙන සුනඛ මිතුරා සමග සෙල්ලම් කරන සිතිජ ව ය.

5 2 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
28 days ago

❤️❤️❤️