අහංකාර නගරේ -14

1
2501

දවස පුරා මට සිතිජ සිහි වූයේ ඇයි දැයි නො දනිමි. හුස්ම ගන්නට හෝ විවේකයක් නැති වැඩ කන්ද අතරේ ලැබෙන ඉතා සුළු ඉසිඹුවක දී වුව මම සිතිජ ගේ වට්ස් ඇප් පිටුවට ගොස් බැලුවෙමි. ඒ සිනහ මුහුණ ඇසිල්ලකින් මගේ විඩා නිවන්නට සමත් විය. ටික වෙලාවක් එදෙස බලා සිටිය දී ඉබේට ම මගේ දෙතොල් අතරේ සිනහ මලක් පිබිදෙයි. 

සිතිජ කියන නම යම් කිසි විදිහකින් රෝස් මැඩම් හෝ මෙහි වන වෙනත් කෙනෙක් දකිත හොත් හොඳ නැතැයි හදිසියේ සිතුණෙන්, මම ඒ නම ඉවත් කොට එඑතැනට බුම්මට්ටා යන නම ආදේශ කළෙමි. බුම්මට්ටෙක් සිනහ වෙමින් මදෙස බලා හිඳී!

දවසේ වැඩ නිම වී හවස මා නික්මෙන්නට සූදානම් ව දුරකතනය ගෙන බලත්දී වට්ස් ඇප් පණිවිඩයක් වන බව සලකුණු වී තිබිණි. හදවත මහත් සේ නො ඉවසිල්ලෙන් එය විවර කර බැලුවේ ය. බුම්මට්ටා ‘කොහෙද ඉන්නෙ’ කියා අසා එවා තිබිණි. 

“අයියෙ දැං තමයි මං ඕෆ් වෙන්නෙ”

මම ඉක්මනට පිළිතුරු යැව්වෙමි. එසැකෙන් ඔහු මට කතා කළේ ය.

“ඔයා කොහෙට ඇවිත් ද බස් එක ගන්නෙ…”

“වැල්ලවත්ත පැත්තට ඇවිදගෙන ඇවිත් බෝගහ ළඟින් හරවන්න කලින් තියෙන බස් හෝල්ට් එකෙන් නගින්නෙ”

“මං එතන ඉන්නං”

කියා ඔහු සහ්බන්ධය බිඳ දැමුවේ ය. මම අන්ද මන්ද වීමි. ඔහු අදහස් කළේ කුමක් දැයි සැබවින් මට සිතා ගත හැකි වූයේ නැත. දෙගිඩියාවේ බස් නැවතුම තෙක් ඇවිද යත්දී, සිතිජ එහි සිටියේ ය.

“ඇයි අයියෙ…හදිස්සියක්ද…”

මම කලබලයෙන් ම ඇසුවෙමි.

“ඔව්”

“මොකද්ද…අනේ ඉක්මනට කියන්නකො”

“ඔයාව බලන්න”

ඔහු සිනහ වූයේ නැත. නමුත් ඒ ඇස් වල නලියන සිනහවක් විය. බිඳුවක් හෝ වෙනතක් නො බලා ඔහු මදෙස බලා ගෙන ම සිටියේ ය. මම ඒ ඇස් අතරේ කොටු වීමි. 

අහන්නට කියන්නට දෙයක් වුව මට සිහි පත් වූයේ නැත. ඒ වගේ පිරිමි ඇස් දෙකක් අතරේ අතර මං වන්නට අකමැති ගැහැනියක මෙලොව සිටිත හැකි යයි මම නො සිතමි.

“ඇ…යි…”

මා කෙඳිරු බව ඇත්ත ය. නමුත් එසේ ඇසුවේ කුමක් ගැන දැයි මට ම නිනව් නැත. ඔහු පිළිතුරක් නො දුන්නේ ය. ඒ වෙනුවට දිගට ම මදෙස බලා ගෙන සිටියේ ය. අන්තිමට මම බිම බලා ගතිමි.

“දැං කොහොමද බස් වල යන්නෙ…”

හදිසියේ ම ඔහු ඇහුවේ ය. මට ඒ පැනයෙහි අගක් මුලක් වැටහුණේ නැත.

“ඒ කිව්වෙ….”

“නෑ ඉතිං කලිං පයින්නෙ ගියේ. පිරිමි ඇඟට හේත්තු වෙනවයි…අරව මේව කියල”

මට සිනා ගියේ ය. ඔහු එයත් මතක තියා ගෙන හිඳ තිබේ!

“දුරයිනෙ ඉතිං…පයිං යන්න බෑනෙ. යනව කොහොම හරි. කවුරු හරි ඇඟට එනව වගේ දැනුණොත් නං මුලිං ම කරන්නෙ බලනව හොඳට මූණ දිහා. හුඟක් මහත්තුරු එහෙම කරද්දි ලැජ්ජයි. එතකොට යනව ඉස්සරහට කොහොම හරි. ඒත් ගාණක් නෑ වගේනං අනිනව වැලමිටෙං. ඇයි අප්ප. දැන්නං මං කොහොමත් බය නෑ. තේරෙන්නෙම නැති වුණොත් ගහනව කනට කියල තමයි හිතං ඉන්නෙ”

ඔහු දෙතොල් තෙරපා සිනහව තද කර ගෙන ඇහි බැම උස්සා ගත්තේ ය.

“ඇයි ඉතිං අයියෙ…අපි මේ දවස පුරා මහන්සි වෙලා වෙලා යන්නෙ කාවවත් ඇඟේ හේත්තු කරං යන්න නෙවෙයිනෙ. විකාර”

කියවන්න :  අහංකාර නගරේ -03

බසයක් විත් නැවතුමෙහි නැවතිණ. මම එදෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙමි.

“යං”

ක්ෂණික තීරණයක් ගෙන සිතිජ අඩියක් පෙර ට තැබී ය. මම ඔහු පසු පසින් බස් රියෙහි පසු පස දොරටුව වෙත ගියෙමි. සිතිජ මඳක් පසු පසට වී, යන්තම් මගේ බඳෙහි අතක් තබා මා ඊට ගොඩ කර වූයේ ය. මහ පුදුම සුරක්ෂිත හැඟීමක් මට දැනිණ. ඒ වගේ පිරිමි රැකවරණයක් මා ඒ ලැබූයේ ජීවිතයේ මුල් ම වතාවට බව නිසැක ලෙස කිව හැක. අඩු තරමින් පියෙකු ගේ හෝ රැකවරණය මොහොතකට වුව නො ලද කෙල්ලකට මෙහෙව් බැල්මක් වුව මහ මෙරකටත් වඩා උස ය.

ඒ හැඟුමන් වල කැළතුම විසින් ටික වෙලාවක් යන තෙක් මගේ උගුර හිර කොට තිබුණේ ය. 

 “බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියනං බය වෙන්න දෙයක් නෑ. එයා එක්ක යනකොට වෙන පිරිමි ලං වෙන්න එන්නෑනෙ”

සිතිජ හෙමිහිට කොඳුළේ ය. ඒ වෙලාවේත් බස් රිය තුළ අතුරු සිදුරු නැති ව සෙනග පිරී සිටියෙන් අප සිටියේ වඩාත් ලං ව ය. දහදිය ගඳ පැතිරෙන වැඩ කරන ජනතාව වැඩ නිම වී යන බස් රිය තුළ, ඔහු වෙතින් හැමුවේ මුදු පිරිමි විලවුන් සුවඳකි. මම කැමැත්තෙන් ම ඒ සුවඳ ආඝ්‍රාණය කරන්නට වූයෙමි. 

“එහෙනං ඉතිං අනිත් දවසෙ කුළියටවත් කෙනෙක් හොයං බස් එකට නගින්න ඕනෙ”

මම හෙමිහිට තෙපළෙමි. සිතිජ ගේ හුස්ම යට සුසුවඳ ඉසව්වේ ගෙවී ගිය විනාඩි ගණනාවකට පසු අපි වුඩ්ලන්ඩ් මාවත ළඟ දී බසයෙන් බැස ගතිමු.

“ගමේ යන්න ඕනෙ නේද…අම්මල බලල එන්න…”

පාර පනිත්දී සිතිජ ඇසුවේ ය. මම හිස මඳක් ඔසවා ඔහු දෙස බැලුවෙමි.

“මට අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් නෑ අයියෙ”

මා කීවේ මා හොඳින් ම දන්නා, මා ඉපදුණ දා සිට ම දන්නා, ඊට පස්සේ ත් ලෝකයා විසින් මට වරින් වර මතක් කර දෙන්නට යෙදුණු කාරණයකි. නමුත් සිතිජ එක්ක ඒ බව කියත්දී මුල් ම වතාවට මා ත් එය දැන ගත්තා බඳු කම්පනයක් තුළ මම කම්පික ව සිටියෙමි. කන් අඩි පුපුරන්නට එනවා බඳු, කන් වලින් දුම් දමනවා බඳු සංවේදනය කි එය. කම්මුල් පුපුරු ගැසුවේ ය. ආශ්වාස ප්‍රශ්වාස රිද්මය පවා සාමාන්‍ය තත්වයට වඩා වේගවත් වී තිබිණි.

“සො…රි…”

ඔහු ගේ ස්වරයෙහිත් මඳ කම්පිත බවක් මට දැනිණි. මම අසීරුවෙන් නෙතු ඔසවා ඒ මූණ දෙස බැලුවෙමි.

“මාව හදා ගත්තෙ කිරි අම්මා. මං හිතන්නෙ මෙහෙ කියන්නෙ ආච්චි කියල. අම්මගෙ අම්මා. ඉස්පිරිතාලෙ දි මාව හම්බුණ ගමන්ම අම්මා කිරි අම්මා අතට මාව දීල…කාට හරි හදා ගන්න දෙන්න කියල…එයා ගිහිං…”

ඇවිදිමින් මේ වගේ කතාවක් කියන එක පහසු නැත. රුධිර සංසරණය ඒ සා වේගයකින් සිදු නො වන බැවිනි. ඒ නිසා මම ඉක්මන් කෙටි හුස්ම ගත්තෙමි.

“ගමේ යන්න ඕනෙ අයියෙ…කිරි අම්මා බලල එන්න. එයා හිතං ඉන්නෙ කොළඹ ගිහිං මං ලොකු නෝනා කෙනෙක් වෙලා එයි කියල. කොළඹ ගැන හද්ද වන්නියෙ මිනිස්සු හිතං ඉන්න විදිහ….පවු අයියෙ ඒ මිනිස්සු…”

“ඔයාට දවසක කිරි අම්ම කැමති වෙන විදිහකට එහෙ යන්න පුළුවන් වෙයි”

කියවන්න :  අහංකාර නගරේ -04

ඔහු එහෙම කීවේ මගේ හිත හැදෙන්නට පමණක් විය යුතු ය. මම කෘතිම සිනහවක් පෑවෙමි.

“හිතන්න එපා මිනිස්සු තනි වෙන්නෙ අම්ම තාත්ත නැති වුණහම විතරයි කියල. ඒ දෙන්නම ඉද්දිත් ළමයි තනි වෙන වෙලාවල් තියෙනව”

ඔහු ගේ දෙතොලතරට සංවේග ප්‍රාප්ත මඳහසක් වැඩියේ ය. ඔහු එසේ තනි වූ කෙනෙකු බව, ඒ ඇස් වල වූ ශෝකයේ දීප්තිය නො කියා කීවේ ය. නමුත් මුවින් ඔහු එබන්දක් කියන්නට ගියේ නැත.

“මෙව්නා”

ගෙදර පිවිසුම් දොරටුව පෙනෙන මානයේ දී සිතිජ ඇහෙන නෑහෙන හඬකින් මා ඇමතුවේ ය. මම ඇස් වලින් ‘ඇයි ‘ කියා ඇසුවෙමි.

“මට ඔයාට කියන්න ලොකු කතාවක් තියනව”

මගේ අභ්‍යන්තරයෙහි භූමි කම්පාවක පෙරළිය මට දැනිණ.

“දැන් නෙවෙයි. වෙන වෙලාවක ඔයාට කියන්න ඕනෙ. ඒක අහං ඉන්නත් තේරුං ගන්නත් පුළුවන් වෙන්නෙ ඔයා වගේ කෙනෙක්ට විතරයි”

මම මුණිවතින් පැති ගේට්ටුවෙන් ඇතුළට වූයෙමි. තණ පලසෙහි සෙල්ලම් කරමින් උන් බල්ලා දුවගෙන සිතිජ වෙත ආවේ ය.

“හරි මං ආවා බෲනෝ”

ඔහු බල්ලා ගේ හිස පිරිමදිමින් කීවේ ය. මම ගෙතුලට පිවිස පිය ගැට පෙළ නැගෙන්නට පටන් ගතිමි. කකුලක් ඔසවා අනිත් කකුල තබා ගන්නට බැරි තරමින් මගේ දෙපා පැටලෙමින් තිබිණි. මට වූ ගැටළුව සිතිජ කියන්නට යන කාරණය නොවේ. එය කියන්නට ඔහු මා වගේ වන්නියේ කෙල්ලක තෝරා ගැනීම ය.

“මෙව්නා”

සිතිජ යළි පියගැට පෙළෙහි මට පිටුපසින් පඩියෙහි වූයේ ය. මම නතර වෙන නො වෙන තරම් මගේ ගමන් වේගය බාල කරමින් හැරී බැලුවෙමි. මා හිටියේ ඔහු ට එක පඩියක් ඉහළින් වන නිසාවෙන් මේ මොහොතේ ඔහු ගේත් මගේත් ඇස් තිබුණේ එක ම රේඛාවක පොළොවට සමාන්තර ව සේ ය.

“මං හිතන්නෙ මං ඔයාට ආදරේ කරන්න පටං අරගෙන මෙව්නා. මේ කොළඹ ඔයා වගේ ගෑනු ළමයෙක්ට වැඩි කල් තනියම ඉන්න බෑ. ඒකයි ප්‍රමාද වැඩි වෙන්න කලින් මං මේක ඔයාට කියන්න හිතුවෙ”

පණ පිටින් ම පොළොව යට ට කිඳා බසින්නට වූ සෙයක් මට දැනිණ. තත්පර ගණනක් මා සිටියේ සිහි එලවා ගත නො හැකි ව ය. ඒ අතරේ සිතිජ මා නැවතී උන් පඩියට නැංගේ ය. මගේ ඇඟේ ගෑවී නො ගෑවී වගේ මට ඉහළින් වූ පඩියට ද නැඟ ඉතිරි පඩි කිහිපය දිවගෙන වාගේ ඉහළට ගියේ ය. මම එහෙම ම නතර වී බලා සිටියෙමි. තවත් තත්පර ගණනාවකට පසු සිහි එළඹවා ගත් මම ගාට ගාටා පිය ගැට පෙළ නැංගෙමි. කාමරයේ දොර හරිත්දී සුරනි පැමිණ ඇති බව දැනිණි. නමුත් ඕ පෙනෙන්නට නො සිටියා ය. නාන කාමරය දෙසින් වතුර හඬ ඇමිණ. ඇඳ ගෙන ආ ඇඳුම් පිටින් ම මම යහනට වැටුණෙමි.

හිස පුපුරන්නට එන රිදුමක් දැනෙන්නට වූයේ ය. මම සුරතේ ඇඟිලි වලින් නළල දෙ පස තද කර ගෙන ම ඇස් දෙක තදින් පියා ගතිමි.

“ආ…මේ මොකද මේ….”

ටික වෙලාවකට පස්සේ සුරනි ගේ හඬ මට ඇසුණේ ය. මම ඇදෙස බලන්නට උත්සාහ කළෙමි. නමුත් මට ඇස් දෙක ඇර ගත හැකි වූයේ නැත.

5 1 vote
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
24 days ago

👍