ඈත දුර ආකාසේ -12

බිඳී යාම් පිළිසකර වෙන්නට කාලය ඔසු ගල්වන්නේ සෙමිනි;ප්‍රවේසමිනි.අක්කාට යළි සැකසෙන්නට කාලය උවමනා නම් එයට ඉඩ දිය යුතු බව සඳලි සිතුවා ය.තුරුලි බොහෝ කාලයක් දරා ගත්තේ සුළුපටු වේදනාවක් නොවේ. ඇය කිසිම උගත්කමක් නැති යුවතියක මෙන් ඔහේ සියල්ල දරා සිටියා ය.ඒ දරා ගැන්ම අවසන් වන්නට සැබෑවටම වූයේ කුමක්දැයි සඳලිට සැබෑවටම කුතුහලයක් තිබිණ.ඒ කුහුල ව්සඳුණේ නොසිතූ මොහොතක ය.

“ආදිත්‍යගෙ අම්මලා කතා කරොත් ඔයාලා ඒක හංගං ඉන්නෙපා මට කියන්න..”

තාරකා පිරී ඇතී ඈත දුර ආකාසයට නෙත් දල්වාගෙන තුරුලි පැවසුවේ සඳලි අක්කාගේ අනාගතය ගැන සිතමින් හිඳිද්දී ය.

“නංගි, තාත්තා ඔයාගෙ එකවුන්ට් එකට දැනට කීයක් විතර දාලා ඇද්ද?”

අක්කා දැඩි මුදල් අර්බුද විඳ දරා ගන්නා බව සඳලි නොදැන හුන්නා නොවේ.ඈ ඒ ගැන විමසිලිමත් වූයේ එනිසා ය.

“අක්කට සල්ලි ඕනද, මගේ බෑන්ක් කාඩ් එක ගන්න.තාත්තා අපිට එකටමනෙ සල්ලි එවන්නෙ.එකම ගාණක් ඇත්තේ.ඒත් ඔයාට මොකක්ම හරි උවමනාවක් තියනම් මං දෙන්නං..”

සඳලි අසද්දී තුරුලිගෙන් නිකුත් වූයේ සිහින් ඉකියකි.තාත්තා ඈ වෙනුවෙන් එවන මුදල් ආදිත්‍ය ලබා ගන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ.ඔහු ව්‍යාපාරිකයෙකු වන සිහිනයක ගිලී සිටි නිසා ඒ මුදල් තුරුලි ලබා දුන්නේ අහිතකින් තොරව ය.මේ යැයි පෙන්වන්නට සාර්ථක ව්‍යාපාරයක් ඔහු නොකළ නමුත් ඔහු කවදා හෝ සාර්ථක වනතුරු තුරුලි මහත් ආසාවෙන් සහ බලාපොරොත්තුසහගත ව බලා සිටියා ය.ඈ නමින් ණය මුදල් ලබා ගත්තා ය.ආදිත්‍ය ඈට කිසිදු තරුණයෙක්‍ සමඟ මිතුරුකම් පවත්වන්නට ඉඩ නොදුන්න ද ඔහුගේ සෙසු ප්‍රේම සම්බන්ධතා තුරුලිට දැන ගන්නට ලැබුණේ හිටිහැටියේ ය.ඔහු තමන්ගෙන් ඉල්ලා ගන්නා සෑම සතයක් ම ඒ ගැහැනුන් වෙනුවෙන් වැය කර ඇතැයි දැන ගත් මොහොතේ තුරුලි පත් වූයේ දැඩි අපේක්ෂා භංගත්වයකට ය.වේදනාවක ට ය.වසර ගණනාවක් ආදරය යැයි ඔහුගේ සෑම අවැඩක්ම දරා ගත් මුත් ඇයට ඒ රැවටීම දරා ගන්නට අපහසු විණි.

“ගෑනියෙක් හැම වේදනාවක්ම දරා ගන්නවා නංගි. ඒත් තව ගෑනු එක්ක එකතු වෙලා මිනිහෙක් තමන් රවට්ටන එක දරා ගන් නෑ නංගි..”

තුරුලි ඒ වේදනාත්මක කතාව අවසන් කරද්දී සඳලි කෝපයෙන් වෙව්ලන්නට ගත්තා ය.ඇය තදින් තුරුලි අත අල්ලා ගත්තා ය.

“අක්කි, ඔයාගේ ෆොටෝස් තියනවා වීඩියෝ තියනවා ගගා අර බූරුවා ගොන් ආතල් ගනී.කමක් නෑ.අපි ආපහු හැරෙන් නෑ..”

තුරුලි හිනැහුණා ය.ඇගේ මුහුණේ තිබුණේ තවත් නොකී කතා දහසකි.

“නංගි, අපේ අෆෙයා එක සෑහෙන කල් තමා.ඒත් ආදිත්‍ය ළඟ එහෙම ෆොටෝස් නෑ.මට එයා එහෙම ඒවට බල කරලත් නෑ..”

සඳලි පුදුමයට පත් වූවා ය.ඇය සිතා හුන්නේ අක්කා දැඩි ලිංගික හිංසනයට ද ලක් වන බව ය.නමුත් ඈ කියන්නේ වෙනත් කතාවකි.

“ආදිත්‍ය මට පෙන්නන්නේ අන්න එහෙම මූණක්.එයා හරිම හොඳ මනුස්සයෙක්.සැර කරන්නෙ ගහන්නෙ මාව හදා ගන්න.මං එයාට සල්ලි දෙන්න ඕන අපේ අනාගතේ හදා ගන්න..එයාගෙ අවශ්‍යතා වලට ඔය රශ්මිලා ඉන්නවනෙ.මාව ඕන නෑ..”

ආදිත්‍ය තෝරා ගැනීමට අපහසු මිනිසෙක් බව සිතුවේ සඳලි ය.ඇය බොහෝ වාරයක් රනුක සමඟ පවසා ඇති දෙයක් අක්කාට පැවසුවේ ඒ නිසා ය.

“ආදිත්‍ය කියන්නේ මානසික ප්‍රතිකාර අවශ්‍ය මිනිහෙක්..”

තුරුලි නිහඬ සිනාවක් හෙලුවා ය.ඇයට ඒ ගැන සැකයක් නොවී ය.ආදිත්‍ය සෑම මොහොතකම නිවැරදි බව ඔහුගේ අම්මා සිතනා තුරු ඔහු හොඳ මිනිසෙකු නොවන බව ද ඈ දැන සිටියා ය.අම්මා කෙනෙකුගේ යුතුකම දරුවෙකුට යහමඟ පෙන්වීම වුව ද ඈ ගමන් කරන්නට ආසා වූයේ දරුවා පෙන්වන මාර්ගයේ ය.

“ඔයා දන්නවද නංගි,ආදිත්‍යගෙ අම්ම කියනවා ඒ අම්මා වෙඩින් එකකට යන්නවත් මේකප් දානවට ආදිත්‍ය පොඩි කාලෙත් ආස නෑලු.දවසක් ෂෝට් ස්කර්ට් එකක් ඇන්ද කියල අම්මට බැන්නලු.එතකොට එයා හය වසරෙලු.අම්මා ඊටපස්සේ ජීවිතේට කොටට ඇඳලා නෑ.කොල්ලා කියන විදියට තමා මං ඉන්නෙ කියල හරි උජාරුවෙන් කියන්නෙ..”

සඳලි උස් හඬින් හිනැහුණා ය.ඇය ආදිත්‍ය ප්‍රිය කළේ නැත.නමුත් ඔහු සෑහෙන තරමට නරක මිනිසෙක් වෙන්නට හේතුව අම්මා ම බව දැන් ඇයට ද පැහැදිලි ය.

“අක්කා..මං මියුරුට කතා කරන්නං..එයා ඊළඟ වැකේෂන් එකට එනකොට අපි මීට වඩා හයිය වෙලා ඉමු..”

තුරුලි කාලය ගැන ඉමහත් බලාපොරොත්තු තබාගෙන හිස වැනුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles