ඈත දුර ආකාසේ -14

තුරුලි තිගැස්සී ගියේ ඈට හඬ ගසන හඬිනි.මෝටර් රථය නැවැත්වීමට නොහැකි තැනක පවා එය නවතා වේගවත් ගමනින් ඇය වෙත එන රශ්මි දෙස තුරුලි බලා සිටියේ ගල් ගැසී ය.

“දැං තමුන්ට සනීපද?”

රශ්මි කෝපයක් මවා පානවා විනා ඇය සිටින්නේ සැබෑ කෝපයකින් නොවන බව තුරුලිට වැටහිණ.ඇය කිසිත් නොකියා යන්නට සැරසුණේ එනිසා ය.

“අර අහිංසක කොල්ලා දුප්පත් නිසා බූට් තියලා වෙන රටක සිටිසන් ගන්න හදන මිනිහෙක්ගෙ කරේ එල්ලුනා නේද.තමුසෙලා ගෑනු කියන නමටත් ලැජ්ජයි..”

රශ්මි පළපුරුදු නිළියක මෙන් රංගනයේ යෙදෙන්නට වූවා ය.ඉවසීම ඉවුරු බිඳ ගලා යද්දී පවා තුරුලි නිහඬව දරා සිටියා ය.නමුත් තුරුලිගේ සේවා ස්ථානය ඉදිරිපිට නිසා ඉතා උස් හඬින් කෑගසන්නට රශ්මි තීරණය කළා ය.ඇයට තවත් මුදල් අවශ්‍ය දේවල් කිහිපයක් ම විණි.තුරුලි ආදිත්‍යගෙන් මිදීමෙන් සිදු වූයේ මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගය අවහිර වීම ය.

“මං වෙන මිනිහෙක් ගැන නම් දන් නෑ.හැබැයි මං ආදිත්‍ය අතෑරියෙ මට එයාටයි ඔයාටයි දෙන්නටම හම්බ කරන්න තරම් හයියක් නෑ හින්දා.මගෙ පොඩි රස්සාවෙන් ඔයාට සැලෝන් දාන්නයි ක්ලබින් යන්නයි ඔක්කොටම දෙන්න තරම් සල්ලියක් නෑ..”.

තුරුලි පැවසුවේ ඉතා සිහින් හඬකිනි.රශ්මි ඉන් සැබෑවටම කෝපයට පත් වූවා ය.

“යාලුකං ගැන නොතේරෙන මෝඩ ගෑනියෙක්නෙ. ආදිත්‍යයි මායි පොඩි කාලේ ඉඳං යාලුවො.අපි අතරේ සම්බන්දකං තියනවා කියල තමුන් නටන නාඩගං හරි කියලද හිතන්නෙ.ආදි හිටියෙ හොඳටම හිත අවුල් වෙලා.මෙතනම හැප්පෙන්න ඇත්තේ ජීවත් උනා ඇති හිතිලමයි..”

තුරුලිගේ සේවා ස්ථානයේ ආරක්ෂක නිලධාරියා එතැනට පැමිණියේ ඒ මොහොතේ ය.කලබල කරන ගැහැනිය වහා පිට කිරීමට ඔහු සියළු උත්සාහයන් දැරුව ද රශ්මිට උවමනා වූයේ ඝෝෂා කරන්නට ය.තුරුලි නැවත කාර්යාලය තුළට ගියේ රශ්මිට ඕනෑ එකක් කර ගන්නට ඉඩ හැරීමෙන් පසු ය.

“අර කෑගහන්නේ කවුද, ආදිත්‍යගේ කසින් කෙනෙක්ද?”

ඕපාදූප සොයන්නට ප්‍රිය නේත්‍රා තුරුලි වෙත ආවා ය.තුරුලි මඳ සිනාවක් හෙළා මොහොතක් නිහඬව සිටියා ය.ඒ සමඟම සියල්ලම නිහඬව දරා ගැනීමෙන් තමාට අවැඩක් මිස යහපතක් වී නැති බව ඇයට සිහි විණි.

“නෑ..ඒ එයාගේ අලුත් ගර්ල්.”

නේත්‍රා මුහුණ හකුළා තුරුලි දෙස බැලුවා ය.ඇයට තුරුලිගේ බස් ගැන වැඩි විශ්වාසයක් නොදැනුණි.ඇයට ඕනෑ වූයේ ඕපාදූප පිළි ගන්නට ය.ඉන් තුරුලිට වේදනාවන් අත් වන තරමට සන්තෝස වන්නට පුළුවන.ඒකාකාරී ජීවිතයට ඊට වැඩි සතුටක් නැති බව ඇය දැන සිටියා ය.

“ඇයි නංගි බොරු කියන්නෙ.ඔයා ආදිත්‍ය අතෑරලා හොඳට සල්ලි තියන කොල්ලෙක් අල්ලන් කියලා හැමෝම දන්නව.හැමෝම ඔයාට දොස් කියනව.ආදිත්‍යට සල්ලි නෑ තමයි.ඒත් ඔයාට කොච්චර ආදරේ කරාද ඒ කොල්ලා.හැමදාම හැමදේටම එනවා.හැමතැනම එක්ක යනවා.ඔයා දන්නවද හැමෝම ඔයාගෙ ඇත්ත මූණ දැන් දන්නව..”

නේත්‍රා කට ඇද කරමින් කියද්දී ඇගේ මුහුණ හරහා අතුල් පහරක් එල්ල කරන්නට සිතෙන හැඟීම තුරුලි වාවා ගත්තේ අසීරුවෙනි.කසුන් එතැනට පැමිණියේ ඒ මොහොතේ ය.

“කවුද හැමෝම කියන්නෙ? අපි කියන් නෑනෙ එහෙම එකක්.මං ආදිත්‍යව දන්නෙ ඉස්කෝලෙ කාලෙ ඉඳල.මටනම් ඒ කාලේ ඉඳං ඌව පේන්නෙ පිස්සෙක් වගේ. අනික ඔය රශ්මි එක්ක අෆෙයා එක තුරුලිට හොරෙන් ඌ සෑහෙන කාලයක් කරා කියලත් අපි නම් දන්නව..”

කසුන් කියන්නේ සැර හඬකිනි.නේත්‍රා පසුබසින්නට තීරණය කළේ තවත් කිනිසි පහර කිහිපයක් වචනවල තවරා ය.

“ඇත්ත දන්න ගොඩක් උන් ඉන්නවනෙ කසුන්.අනුන්ගෙ ජීවිතේ විනාස කරන ගෑනු මටනම් අප්පිරියයි ඇත්තටම.අනික එක මිනිහෙක් තියාගෙන තව හොඳ මිනිස්සු තෝරන ගෑනුන්ට අපේ ගම්වල නම් කියන නමක් තියනව..”

කසුන් නේත්‍රා යනතුරුම හුන්නේ රවාගත් මුහුණිනි.අනතුරුව ඔහු තුරුලිට මිත්‍රශීලි සිනාවක් දෙන්නට උත්සාහ ගත්තේ ය.

“මේ වගේ ඇරියස් ගෑනුන්ට තමා බං ඔය කිව්ව නම නං හරියන්නෙ. උඹ දන්නවද? ඔය නේත්‍රා වහලියක් වගේ ගෙදර වැඩ කරන ගෑනියෙක්.මිනිහගෙන් ගුටි කකා බැනුං අහ අහ ඉන්න එකියක්.ඔය වගේ ගෑනු තමා ඩිවෝස් වෙන්නේ වෛශ්‍යාවෝ කියල ප්‍රබුද්ධ මත බෙදා හරින්නෙ.ආදිත්‍ය බෝදිසත්වයා වෙලා උඹව අම්බපාලි කරන්න තමා ඔය ගෑනුන්‍ට දැන් ඕන.අපේ වින්ඩි ඔයාගෙ ස්කූල් මේට් නිසා මං දන්නවනෙ තුරුලි උඹේ ලව් එකේ ඇත්ත කතාව.නේත්‍රා වගේ ළමයිත් එල්ලං දුක් විඳින් නැතුවනම් ඔය ගත්තු තීරණේ සීයට දාහක් හරි..ඕවා හිතන්න එපා.අහන්නත් එපා..”

කසුන් පැවසුවේ සැබෑ හැඟීමකිනි.තමන් නරා වළක හිඳිමින් එවැනි උගුලකින් යාන්තම් ගැලවී ගත් තුරුලි වැන්නියන්ට අපහාස කරන නේත්‍රා වැනි ගැහැනුන් නොවූවා නම් ලෝකය මීට වඩා සුන්දර වන බව ඔහුට සිතිණ.තුරුලිට තමන්ගේම කතාවක් ඇත.ඇතැම්විට ආදිත්‍යගේ පැත්තෙන් ද කතාවක් තිබෙන්නට පුළුවන.නමුත් දිනපතා තමන් සමඟ ගැවසෙන්නිය සැබෑවටම අසාධාරණයට ලක් වූ බව පෙනෙන්නට තිබියදී පවා ඇයට චෝදනා නඟන් නේත්‍රා වැන්නියන් නිසා තුරුලි වැනි යුවතියන් තමන් විඳින හිරිහැරවලින් ගැලවෙන්නට පසුබට වෙන බව කසුන් කල්පනා කළේ ය.

ඔහු තුරුලිගේ හිත හැදෙන්නට බොහෝ දේ කියා ඇයව ටැක්සියක නංවා නිවසට පිටත් කළේ ද එනිසා ය.මානසික පීඩාවට ලක් වූ මිතුරෙකු ගැන ප්‍රවේසම් සහගතව සොයා නොබැලුවහොත් බොහෝ දෑ සිදුවිය හැකි බව දත් නිසාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles