සඳ කත් මිණි ඇස් -24

ආලෝක සුමනරත්න කියන්නේ බින්දුවෙන් පටන් ගත් මිනිසෙකි.  ප්‍රවීන් ට වාගේ පියා ගෙන් උරුම වූ ව්‍යාපාර අධිකාරයක් ඔහු ට වූයේ නැත. ආලෝක සියල්ල ගොඩ නගා ගත්තේ ස්ව උත්සාහයෙනි. නමුත් පියාගෙන් උරුම වූ දැඩි අධිෂ්ඨානයක් ආලෝක ට වූයේ ය. මේ වෙලාවේ ඔහු ළඟ ඉතිරි වී තිබුණේ එය පමණකි.

ආලෝක ඔහු ගේ ඇණවුම් ලබාගත් විදේශ ආයතන වලට කෙළින් ම විද්‍යුත් ලිපි යොමු කළේ ය. දෙඅන්තය හරහා විදුලි ලිපි කිහිපයක් හුවමාරු විය.  ඉන් පසු දීර්ඝ දුරකතන ඇමතුම් ය. පවතින තත්වය හා සිදුව ඇති අලාභය ගැනත් ඔවුන් අතර මෙතෙක් කල් පැවති අවබෝධතා ගිවිසුම ගැනත් ආලෝක දිගින් දිගට ම කරුණු ගෙන හැර දැක්වූයේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස සියල්ල යළි යථාවත් විය. ආලෝක ගේ කුරුඳු තේ ඇණවුම යළි ලබා ගැනීමට කටයුතු සිදු කෙරිණි.

ඒ වෙහෙසකර ව්‍යායාමයෙන් පසු ආලෝක සූර්යා ගේ අපාට්මන්ට් එකට ආවේ හෙම්බත් වු සැනසීමකිනි.

“ඒ ඕඩර් එක කෑන්සල් වුණානං අපි ලොස්. මිඩ්ල් ඊස්ට් වලට තමයි අපේ සිනමන් ටී වැඩිපුරම යන්නෙ”

ආලෝක සූර්යා ගේ උකුලේ හිස තියා ගෙන සිහිනයක සරනා සරකින් කීවේ ය. ඇය ස්නේහයේ රතැඟිලි තුඩු ඔහු ගේ හිස කේ අතරේ එහෙ මෙහෙ දුවවමින් සිටියා ය. 

“ඔයාට හිතෙන්නෙ නැද්ද අපි මීට වැඩිය බිස්නස් එක ස්ටැබ්ලිශ් කර ගන්න ඕන කියල..ස්පෙශලි…ෆොරින් ඕඩර්ස් වල රිස්ක් එක මිනිමයිස් කර ගන්න ඕන කියල. එ්කට ඉන්ටෆියර් වෙන්න එළියෙ ඉන්න අයට බැරි වෙන විදිහෙ වැඩ පිළිවෙලක් අපිට තියෙන්න ඕන නැද්ද…”

“දැන් එහෙම හිතෙනව සූර්යා…මොකද කලින් මට හතුරො කියල ජාතියක් ලොකුවට ඉඳල නෑ. මං දන්නව ප්‍රවීනය එකට කාල බීල හිටියට මාත් එක්ක ගේම් එකේමයි හිටියෙ කියල..ඒකට හේතුව ඌගෙ ටී මාකට් එක සිනමන් ටී පැත්තට ඩිවෙලොප් වෙච්ච එක. මං සිනමන් ටී කරන්න ගත්තෙ ඌට කලින්…”

“ඒක ඉතිං අපේ මිනිස්සුන්ගෙ හැටියක්නෙ. දන්න කියන කෙනෙක් ආප්ප කඩයක් දැම්මොත් හැමෝටම ආප්ප කඩ දාන්න ඕනෙ. එක්කෙනෙක්වත් හිතන්නෙ නෑ ආප්ප කඩයක් මෙතන තියනවනෙ මං කරන්න ඕන වෙන දෙයක්ය කියල”

“මං ඒක එහෙම හිතන්නෙ නෑ සූර්යා. ඒකයි මට මෙච්චර කාලයක් ප්‍රවීන්ව තරඟකාරයෙක් වගේවත් තරහ තාරයෙක් වගේවත් පෙනුණෙ නැත්තෙ. මේ ලෝකෙ ඕන දේකට අපි හිතනවට වැඩිය ස්පේස් එකක් තියෙනව. හරියට බැලුවොත් මට පුළුවන් ද තනියම සිනමන් ටී වලට තියන ඉල්ලුම තනියම සපලයි කරන්න…ප්‍රවීන්ට පුළුවන් ද…බෑ. තව කී දෙනෙක් මෙතනට ආවත් ඒ එන කෙනා අනිත් අයට බලපාන්නෙ නෑ..ඒත් අපි අලුතෙන් මාකට් එක හදා ගන්නෙ නැතුව අර හැදිච්ච එකටම පොරකන එකයි ප්‍රශ්නෙ”

“අන්න ඔයා අල්ලගෙන තියෙනව හරිම තැන. ඉතින් අපි ප්‍රවීන් එක්ක හැප්පි හැප්පි ඉන්නෙ නැතුව අලුතෙන් මාකට් එක හොයමු. ෆ්‍රාන්ස් වල මගේ තියන කන්ටෑක්ස් එක්ක අපිට ලොකූ මාකට් එකක් හදා ගන්න පුළුවන්”

කාලය ගෙවා ගන්නට මගක් නැතිව ව්‍යාපාර වලට අවතීර්ණ වන්නට සිතූ එකේ, ආදරය වෙනුවෙන් ඒ කැප වීම කරත්දී වඩාත් ඵලදායී ප්‍රතිඵලයක් උදා කර ගත හැකි වනු ඇතැයි සූර්යා සිතුවා ය. නමුත් ආලෝක ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වූයේ  නැත. ඔහු ගේ හිතේ වැඩ කරමින් තිබුණේ ඊට වඩා වැදගත් යමකි.

“මැරේජ් එක රෙජිස්ටර් කරන්න දිනයක් දා ගමු. නැත්තං මං දන්නෙත් නැතුව අපෙ අම්ම සන්දීපනීට මාව බන්දල තියෙයි”

“ඒකට හදිස්සි වෙන්න ඕන නෑ ආලෝක. මං හිතන්නෙ ඔයා තව කල් ගත්තොත් හොඳයි”

“මොකටද…”

ආලෝක වහා නැගිට අසුනේ හිඳ ගත්තේ ය. සූර්යා බිම බලා ගත්තා ය.

“මොකටද තව කල් ගන්න ඕන..ම්…”

“හෙමිහිට කරමු ඉතිං. ඔයා දන්නවනෙ ආලෝක. අපි වටේට ගොඩක් දේවල් සිද්ද වෙනව කියල දැනෙනව. අපි ඒ දේවල් වෙලා ඉවර වෙන්න ටිකක් කල් දෙමු. ලීගල් මැරේජ් එකක් නැති වුණාට…ඊට වැඩිය දෙයක් අපි අතරෙ තියෙනවනෙ…”

නීත්‍යානුකූල විවාහයක් තිබෙනා තැනෙක වුව තිබිය හැකි නිස්සාර හිස් කම සූර්යා හොඳින් අත් විඳ තිබේ. අන්තිම කාලය වන විට එය තද වූ මැටි පොළොවක් සේ වූයේ ය. එපමණට ම වියළි ය. රළු ය. නිසරු ය. පොළොවක් කියා දෙයක් තිබේ. එපමණකි.

නමුත් මේ සම්බන්ධය එහෙම නැත. ඒ තුළ කැපකිරීම් කරන්නට ඈ කැමැත්තෙන් හිඳින්නේ එය නීතිගත යුතුකමක් වන නිසා නොවේ. හදවතින් පැන නගිනා ආදරණීය ආශාවක් වන නිසා ය. 

යුග දිවිය තුළ ඇය උදාසීන වෙත්දී ජනිත් නොරිස්සුම් වූ හැටි සූර්යාට මතක ය. ඔහු ට ඈ හැර යන්නට ඕනා වුණත් නීතිමය බැඳීම කියන දේ හරස් වී සිටියේ ය. අන්තිම කාලයේ දී ඔවුන් දෙදෙනා නිදා ගත්තේ කාමර දෙකක ය. උනුන් මුහුණට මුණ ගැසිමත් නොරිස්සුමක් ව හිතට වද දුන් දවස් ගණනාවක් ද අතීතයට එක් විය. එහෙව් නීති බැඳීමක් නොතිබිණි නම් ජනිත් ට පහසුවෙන් ම නික්ම යන්නට තිබුණා නොවේ ද? ආලෝක හා ඇය වටා සිදු වෙමින් පවත්නා යම් යම් රසායනිකයන් වල අවසානය නිරීක්ෂණය කරනා තාක් කල් ඔහු ට සිය නිදහස භුක්ති විඳින්නට සැලැස්විය යුතු යයි සූර්යා තීරණය කොට හමාර ය.

“මං හිතන විදිහට මැරේජ් එකක් කියන්නෙ මානසික බැඳීමක්. ඒක නීති බැඳීමක් විතරක් වෙන තැනක තියන කටුක ගති මං හොඳට විඳල තියනව ආලෝක..දැකල තියනව. පැය විසි හතරම එක ම වහලක් යට හිටියෙ නැති වුණත්…අපේ අරමුණු වල ෆ්‍රීක්වන්සි එක එකයිනං අපි කොතන හිටියත් එකටයි ඉන්නෙ. එක වහලක් යට ඉඳලත් ලෝක දෙකක ජීවත් වෙන අයයි වැඩි. ඒක නිසා ටිකක් මෙහෙම ඉමු. බලන්න ඔයා හෙමිහිට…කරන්න ඕන හොඳ ම දේ මොකද්ද කියල”

ඇතැම් විට සූර්යා ගේ අසීමිත පෞරුෂය හමුවේ ආලෝක පවා සැලී ගියේ ය. විශාධය වැඩි වූ දාක සේන් ගඟට පැන දිවි තොර කර ගන්නට ද සිතූ ඇය ආදරය විෂයේ මේ වගේ අවබෝධයක් ඇති කර ගැනීම සුවිශේෂ ය. 

සිය බලාපොරොත්තු සුන් වී ගිය  ප්‍රවීන් අපේෂා භංගත්වයට පත් ව සිටියේ ය. ඔහු ට ඕනේ සූර්යා ද නැත්නම් ව්‍යාපාරික වශයෙන් ආලෝක ගෙන් පළි දැරීම ද කියා හෝ වෙන් කොට සිතා ගන්නට ඔහු සමත් වූයේ නැත. සූර්යා ආවේ පසුව ය. ඊට කලින් සිට ම ආලෝක සමගින් ඔහු ගේ තරගයක් විය. සූර්යා ද ආලෝක ගේ පැත්තට වැටීම ඔහු තුළ බරපතල හීන මානයක් ඇති කරවන ලදී. 

ප්‍රවීන් සූර්යා ව සමීප කර ගන්නට කැත් කළේ ඇය ව ව්‍යාපාර ක්ෂේත්‍රය දිග් විජය කර ගනු වස් සහයෝගය දක්වන්නට ම නොවේ. ගැහැනික ගේ දුර්වල ම තැන් වලින් ප්‍රයෝජන ගැනීමේ කලාවෙහි හෙතෙම කෙළ පැමිණ තිබුණේ ය. අනිත් අතට සූර්යා කියන්නේ එක ගැහැනියක පමණි. ස්ත්‍රීන් විෂයේ ප්‍රවීන් විශේෂඥවරයෙකි. ඇය සමීප වූයේ සිය ව්‍යාපාරික තරඟකරුවාට නොවිණි නම් ප්‍රවීන් සූර්යා කියන මාතෘකාවට නැවතීමේ තිත තබා නිම වන්නට ද තිබිණ. සියල්ලට හේතුව ඇය ආලෝක ගේ වීම ය.

අන්තිමට ව්‍යාපාරත් ආලෝක ගේ ය. සූර්යාත් ආලෝක ගේ ය.

“ඊළඟ සැරේ ගේමක් ගහන්න ඕනෙ මොළෙං අයිසෙ. මේ වගේ චා වෙලා යන්න නෙවෙයි. සුමනයට ඔළුව උස්සන්න බැරි වෙන්න”

ප්‍රවීන් ප්‍රියලාල් සමගින් ශෝකය සමරනු වස් මී විතක් පුරන ගමන් කීවේ ය.

සූර්යා සිටියේ කාලයකට පස්සේ ජීවිතය ගැන අසීමිත උද්‍යොගයක ය. ඇය පැරිස් නුවර සිය ව්‍යාපාරික මිතුරන් සමග දීර්ඝ සාකච්ඡා වල නියැළුණා ය. ලංකාවේ තේ වලට සේ ම කුරුඳු වලට ද බටහිර ලෝකයේ වූයේ විශේෂ සැලකීමකි. සූර්යා ට බටහිර ලෝකය තුළ වසර විසි ගණනක සමීප අත් දැකීම් තිබේ. ඒ දෙක එකට මුහු කර ගත් ඕ ආලෝක ගේ කුරුඳු හා කුරුඳු තේ යන දෙක ම යුරෝපයට යැවීමේ මෙහෙයුමකට පිඹුරු පත් සැකසුවා ය. 

“ෆ්‍රැන්සිස්කෝ කියන්නෙ ජනිත් ගෙන් ඔපරේෂන් එකක් කර ගෙන ගොඩ ගිය බිස්නස්මන් කෙනෙක්. එදා ඉඳල අපිට හරි හිතවත් වුණා. අපි ඩිවෝස් වුණාට පස්සෙ වුණත් ෆ්‍රැන්සිස්කෝ මට කියල තිබුණ ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන්න කියල. එදා අපි පැරිස් වලට ගිය වෙලාවෙ මට ෆ්‍රැන්සිස්කෝ මීට් වුණෙ නෑ එයා ඉතාලි ගිහිං හිටපු නිසා. මිනිහට යුරෝප් වල තියෙන බිස්නස් නෙට් එකට අපිව ජොයින් කර ගන්නව කියන්නෙ ආලෝක…ඔයාගෙ ප්‍රඩක්ෂන්ස් මාකට් කරන එක ගැන කවදාවත් වොරි වෙන්න වෙන්නෙ නෑ. ඔයා ගෙදර ඇඳට වෙලා හිටියත් ඔයාගෙ කුරුඳු ලෝකෙ වටේ යයි”

සූර්යා තුළ වූ ප්‍රබෝධය ඇගේ සඳ කත් මිණි ඇස් වලින් ම ගම්‍ය වූයේ ය. දවසක ඇගේ ව්‍යාපාරයක් වෙනුවෙන් කපා ගන්නට සිතා උන් සියලු මාවත් ආලෝක වෙනුවෙන් විවර කොට දෙන්නට ඇය මුළු හදවතින් ම වෙහෙසුණා ය. මේ අතරේ සන්දීපනී හීන දකිමින් හිටියේ ආලෝක ගේ බිරිඳ වී ඔහු ගේ ධනයෙන් බබලන්නට නියමිත දිනයක් ගැන ය. ආලෝක සූර්යා සමගින් හිතුමනාපේ විවාහ වෙනවා නම් ඊට ඕනෑ තරම් කල් තිබුණා යි චාන්දනී සන්දීපනී සමගින් කීවා ය.

“පුතා මට ආදරෙයි. ඒ වගේම එයා මගෙ හිත කඩල දෙයක් කරන්නෙ නෑ කියල මට විශ්වාසයි. ඔහොම ඉඳියි මං කැමති වෙයිද බලන්න. ඒක කවදාවත් වෙන්නෙ නෑ කියල දැනෙනකොට ඕව ඇරිල යයි. අනික අර සූර්යා වුණත් මං හිතන්නෑ දිගටම මෙයා ගැන බලං ඉඳියි කියල”

චාන්දනී සන්දීපනී ව ද හවුල් කර ගෙන සුබ සිහින දුටුවා ය. 

“දුව නිතර දෙවේලෙ මෙහෙ යන්න එන්න. ආලෝක ගෙ හිත වෙනස් කර ගන්න බලන්න. ගෑනු ළමයෙකුට බැරි කමක් නෑ පිරිමි හිතක් ඕන විදිහකට වෙනස් කර ගන්න”

සන්දීපනී චාන්දනී ගෙන් එසේ පූර්ණ අවසර ද ලැබුවා ය. ඒ අනුව ඕ ඉරිදා උදෙන් ම ආලෝක ගේ ගෙදර ආවා ය. ඔහු ඉරිදා ට දවල් වන තුරු නිදනා බව දැන් ඇය දනී. චාන්දනී ගෙන් ආලෝක ගේ තේ එක ඉල්ලා ගෙන ඔහු ගේ කාමරය වෙත ගියා ය. මේ විදිහට පිරිමියෙකු ගේ ඇඟේ එල්ලෙන්නට හැදීම ගැහැනු කමට තරම් නොවන ක්‍රියාවක් බව ඇය නො දැන සිටියා නොවේ. නමුත් කන්නට ඕනෑ වූ කල කබර ගොයාත් තලගොයා වෙනවා ය යන න්‍යායට අනුව, ‘එයාව අර ඩිවෝස් වෙච්ච ගෑනිගෙං ගලෝ ගන්නනෙ’ යනුවෙන් නිදහසට කාරණයක් සිය හෘදය සාක්ෂිය වෙනුවෙන් ඉදිරිපත් කර ගත්තා ය.

ආලෝක හිටියේ නින්දේ ය. තේ කෝප්පය පසෙකින් තබා  යහන මත හිඳ ගත් යුවතිය ආලෝක වෙතට නැඹුරු වූවා ය. ඔහු හුස්ම ගන්නා හඬ පවා ඇසේ. වඩාත් ඔහු වෙතට සමීප වූ ඕ, ආලෝක ගේ හිස සිය ළමැදෙහි තුරුලට ගෙන ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර ගත්තා ය. ඒ රංගනය තුළ දී ඇගේ මුහුණේ වූයේ සරාගී බවකි. 

ආලෝක අවදි වූයේ අහම්බෙනි. ඉරිදා කියන්නේ පහසුවෙන් ඔහු ගේ නෙතු හැරෙනා දවසක් නොවේ. ඔහු සිය දෑස් හකුළා, ළඟ ඉන්නා සන්දීපනී දෙස බැලුවේ පුදුමයෙනි. ඒ පුදුමයෙන් ම වහ වහා යහන මත හිඳ ගත්තේ ය. ඇගේ තොල් කොනක ජයග්‍රාහී සිනහවක සේයා පෙනෙන නොපෙනෙන තරමට විය.

“ඇයි…”

අසා ගත යුතු නිවැරදි ම පැනය කුමක්ද කියා හෝ ඔහු ට තේරුණේ නැත. ආලෝක එපමණට ම කලබල වී සිටියේ ය. සන්දීපනී සිනහවක් නගා ගත්තා ය.

“ඇයි…”

“ඇයි කියන්නෙ…ඔයා මොකද්ද මෙතන කරන්නෙ…මේ කාමරේ..”

නැවතත් ඇය ගෙන් සිනහවකි.

“මේක ඉතිං මං එන්න ඉන්න කාමරේනෙ”

“නංගි ඔයාට මං පැහැදිලි කරල කිව්වනෙ නේ…ඕක වෙන දෙයක් නෙවෙයි. අනේ ප්ලීස්…මට කරදර නොකර පාඩුවෙ ඉන්න දෙන්නකො”

“ඇයි ඒක නොවෙන්නෙ…මේ…”

සන්දීපනී සිය ජංගම දුරකතනයේ වූ ඡායාරූප පෙළ ඔහු ගේ නෙතු ඉදිරියේ දිග හැරියා ය. ආලෝක ට හීන් දහඩිය නැගිණි.

“මොනාද මේ කැත වැඩ…ඔයා මෙහෙමයි කියල මන්නං හිතුවෙ නෑ”

“මේ ෆොටෝස් දැක්කොත් ඔයා මෙහෙමයි කියල කවුරුත් හිතන එකක් නෑ. ඒ වුණාට මං කාටවත් පෙන්නන්නෙ නෑ”

“කෝ දෙන්න ෆෝන් එක”

“ඇයි ඩිලීට් කරන්නද..මං එච්චර මෝඩ නෑ ආලෝක. ඔයාගෙ අර වයසක ගර්ල් ෆ්‍රෙන්ඩ් හිතං ඉන්නෙ එයා හරි ස්මාට් කියලනෙ. බලමුකො එයාද මමද ස්මාට් කියල”

සූර්යා වුව ඒ ඡායාරූප දුටුවොත් ඒවා ඔහු නින්දේදී සන්දීපනී ව්‍යාජ ලෙස ගත් ඒවා සේ නො සිතනු ඇත.

“සන්දීපනී”

“අද මාත් එක්ක ලන්ච් වලට එළියට යං. නැත්තං මේ ෆොටෝස් ටික ඔයාගෙ පෙම්බරීට වට්ස්අප් කරන්න වෙයි”

ආලෝක අසීමිත කේන්තියකින් යහනෙන් බැස ගොස් නාන කාමරයේ දොර වසා ගත්තේ ය. නො සිතූ ලෙස උදා වූ මේ අනගි අවස්ථාව නිසා ප්‍රීති ප්‍රමෝදයට පත් සන්දීපනී පහළ මහලට පිය ගැට පෙළ බැස්සේ දෙතොල් මත නලියනා සිනහවකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles