පසළොස්වක මල් – 56

0
620

උඹට මේක කරන්නම ඕනෙද ?” 

” උඹට ශුවර්නේ අම්මා නෑ කියලා?” 

” හ්ම්ම්.. දවස් දෙකකට වන්දනා ගමනක් ගිහිල්ලා. දරුවයි , සුභාවියි විතරයි ඉන්නේ. “

” යමන්..”

” මචං..!” 

භරණ වෙව්ලන දෑසින් අනෙක් පස උන් ශමෙල් දෙස බැලුවේය.

” මං යන්නේ ප්‍රශ්නයක් දාගන්න නෙමෙයි බං. මේවා මෙහෙම වෙන්න මගෙනුත් කොතන හරි වරදක් වෙලා තියනවනේ. ? “

” දැන් උඹ යන්නේ ඒ වරද හදාගන්නද ?” 

නිහඬව උන් මිතුරාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වූ ශමෙල් එක දිගට ඔහුගේ මුහුණ දෙස බලා සිටියේය.

” යමන්. “

භරණ මෝටර් රථය ඉදිරියට පදවාගෙන ගොස් පේන මානයේ වූ නිවසේ ගේට්ටුව අසල නතර කළේය. 

” උඹ මං අහපු දේට උත්තර දුන්නෑ. ?” 

ශමෙල්ගේ මුහුණ දෙස එක් වරක් බැලූ භරණ මෝටර් රථයේ නලාව නාද කළේය. රාත්‍රී අටට පමණ ඇත. නිවසේ හිඳින්නේ සුභාවිත් , දරුවාත් පමණක් බැවින් දොරටුව විවර වේද කියා සැක සහිතය. කීප වරක් මෙකී ගමනට මිහිදුමීව සම්බන්ධ කර ගැනුමට සිතුවද ඔහු එයද නොකළේය. ගැටලුව තමාගේය. ඉදින් පිළිතුරු සෙවිය යුත්තේ තමාමය. මිනිත්තුවක් දෙකක් ගත විය. ගේට්ටු පියන් විවර වූ සැණින් භරණ ගෙමිදුලට මෝටර් රථය ඇතුළු කළේය. ඉදිරිපස වැරෙන්ඩාවේ සිට පුදුම සහගත දෙනෙතින් බලා සිටින ඈ දෙස බලා භරණ නැවතත් ශමෙල් දෙසට බැල්මක් හෙළුවේය. සුසුමක් හෙළූ ශමෙල් නිහඬවම මෝටර් රථයේ ද්වාරය හැර පිටතට බැස්සේය. 

” සුභාවි නංගි ..! මාව අඳුරගන්න පුලුවන්ද ?” 

” ශ.. ශමෙල් අයියා..!”

” අවුරුදු ගාණකින්. කොහොමද ඉතිං ? “

” හොඳින් ඉන්නවා අයියේ. එන්න ගෙට. “

හදවත මඳ පැකිළීමකින් පිරුණද සුභාවි පළමුව  ශමෙල් දෙසත් ඔහුට පසුව මෝටර් රථයෙන් පිටතට බැසි භරණ දෙසත් යටැසින් බලා පැවසුවාය. 

ආපසු හැරුණු සුභාවී සෝපාව අසලම ටීපෝව  මත දිග හැර තිබූ සටහන් පොත් මතින් දෑස ඔසවා තමා දෙස බලා හිඳින දියණිය දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළුවාය. මවගේ බැල්මේ වික්ශිප්තබාවය තේරුම් ගත් කුඩා දැරිය ඈ පසුපසින් නිවසට ගොඩවූ නන්නාඳුන පුද්ගලයා පසුපසින් පැමිණි අනෙක් ආගන්තුකයා දැක වහා හිඳ උන් අසුනෙන් නැඟී සිටියාය. 

” වා.. වාඩිවෙන්න ශමෙල් අයියේ. “

සුභාවි වහා සෝපාව මත තිබූ දියණියගේ පොත් පත් කිහිපයක් අතට ගත්තාය. 

” මේ දුවද ?” 

” ඔව්. “

” කොහොමද පැටියෝ ? මං ශමෙල් . ශමෙල් කිරිඇල්ල. “

ඔහු සෙමින් ඈ දෙසට අඩි තබා තම දකුණත දැරියට දිගු කළේය. ඒ වනතුරුත් ශමෙල් පසුපස උන් රුව වෙත දෑස අළවා බලා සිටි කුඩා දැරිය වහා තිගැස්සී ශමෙල් දෙස බැලුවාය.

” Hello , Mr. Kiriella..! I’m Manikya. “

වහා තමා වෙතට දිගුව ඇති අතට පිළිතුරු ලෙස අත දුන් දැරිය තම කුඩා අත ඔහු වෙතට දිගු කළාය.

” ශාහ්..! What a beautiful name.! මිස්ටර් කෑලි ඕන්නෑ පැටියෝ. ඔයාට පුලුවන් මට අන්කල් කියන්න. අන්කල් ශමෙල්. ඒ හොඳටම ඇති. “

” හොඳයි අන්කල් ශමෙල්. වාඩි වෙන්න. “

මවගේ උවන මත ඇති කලබල ස්වරූපයත් , ඇගේ නළල දෙපසින් වැගිරෙන දා බිඳු දෙසත් බැලූ කුඩා දැරිය ඇගේ හදවතේ ඇති කලබලය පිළිබඳව හොඳින් වටහා ගනිමින් උන්නාය. මව පිළිබඳව සිතට නැඟුණු අසරණභාවය හේතුවෙන්ම ඈ මවට පෙනෙන්නටම සාමාන්‍ය වීමට උත්සාහ දැරුවාය. 

” වා.. වාඩි වෙන්න ශමෙල් අයියේ.. “

තෙරපවා ගනිමින් සිටි දෑතේ ඇඟිලි තව දුරටත් තම දෑතටම පොඩි කරගත් සුභාවීද ශමෙල් දෙස බලා එසේ පැවසූ අතර භරණ වෙතට බැල්මක් හෙළූ ශමෙල් දෑසින් ඉඟි කරමින් තමා අසල වූ සෝපාවට බර වූයේය.

නිහඬවම පැමිණි භරණ අසල වූ සෝපාවේ අසුන් ගත් අතර මාණික්‍යා මව අසලට අඩි තබා ඇගේ අතක් දෝතින්ම අල්ලා ගත්තාය. ඉන්පසුව වෙව්ලන උවනින් තමා දෙස බැලූ මව දෙස බලා මුව පුරා සිනහවක් නඟා කලබල නොවන ලෙසට ඉඟි කළාය. සියලු දෑ පිළිබඳව දැනීමකින් උන් කුඩා දැරිය අවස්ථානුකූලව කලබල නොවී ඊට ප්‍රතික්‍රියා කරන ආකාරය දුටු නිසාම සුභාවිගේ සිතට මඳ සැනසිල්ලක් දැනිණ. 

” තේ ටිකක් හදන්නං ශමෙල් අයියේ. “

” එපා නංගි. මහන්සි වෙන්න එපා. “

” එහෙනං බීම එකක් බොමු. මං හවස හදලා ෆ්‍රිජ් එකට දැම්මා. “

තව දුරටත් සැහැල්ලුවෙන් කතා කළ මාණික්‍යා දෙස බලා ශමෙල් නැවත වතාවක් මුව පුරා සිනහවක් නැඟුවේය.

” ඔයාද හැදුවේ. එහෙනං බොමු. “

සුභාවිටත් වඩා අවස්තාවට හොඳින් මුහුණ දෙන මාණික්‍යා සුභාවි හට හිඳ ගැනීමට අසල වූ සෝපාව දෑසින් පෙන්වා මුළුතැන්ගෙය දෙසට අඩි තැබුවාය. තවමත් පමණට වඩා ඇතුළාන්තයෙන් ගැහෙමින් උන් මව තදින් වැළඳ ගැනීමේ ආශාවක් හදවත තුළ උපන්නද ඈ බොහෝ සාමාන්‍යකරණය වෙමින් මවට පිටුපා ඇවිද ගියාය. 

” අයියලා කොළඹ..,? මේ ..?” 

කතාබහ ආරම්භ කිරීමට සුදුසු මාතෲකාවක් හමු නොවුණු සුභාවි තවමත් අඳුරේ අතපත ගාමින් සිටියාය.

” අපි මිහිදුමීව බලන්න ආවා නංගි. “

” ආ.. එහෙමද ?  එතකොට මේ ටිකේම කොළඹද ?” 

” ඔව්. භරණ මේ ටිකේම ජෙනරල් හොස්පිට්ල් එකේ. “

” ආ.. හරි. “

වීදුරු ද්විත්වයකට බීම පිරවූ මාණික්‍යා ට්‍රේ බඳුන අතට ගත්තාය. විසල් හුස්මක් හෙළා සාමාන්‍ය වෙමින් ඈ නැවතත් මුහුණ පුරා සිනහවක් මවා ගත්තාය. මවගේ සෙනෙහස හමුවේ තාමත් තමා ඈට කුඩා බිළිඳියක සේ පෙනුණද තමා දැන් ගැටලුවක් තේරුම් ගත හැකි මට්ටමක දැරියකි. මේ තාක් කාලයක් තමා වෙනුවෙන් මව විසින් සිදු කළාවූ කැපකිරීම් සේම ඇගේ මහන්සියටද අගයක් තිබිය යුතුය. අදටත් රෑට රහසින් කොට්ටය තෙත් කරමින් හඬා වැටෙන මව වෙනුවෙන් සාධාරණයක් විය යුතුමය. සියල්ලටම වගකිව යුතු මිනිසා දැන් තම වහලය යටය. කෑ කෝ ගැසීම් , රණ්ඩු සරුවල් කිසිවිටකත් නුවුමනා අතර , කතාබහ හා තේරුම් ගැනීම් වලින් පමණක් සියල්ල යහපත් කර ගත හැකි බව කුඩා දැරිය තේරුම් ගනිමින් සිටියාය. ඉදින් ඈ සෙමින් සෙමින් ට්‍රේ බඳුනද ගෙන ආලින්දයට පියවර තැබුවාය.

” තැන්කූ පැටියෝ..”

පළමුව ශමෙල්ට පිළිගැන්වූ බීම වීදුරුවෙන් පසු ඈ හැරුණේ ඔහු දෙසටය. තත්පර කිහිපයකට ගැටුණු එකී පිරිමි දෑස මත බොහො කතන්දර රාශියක සලකුණු සේම මෙතෙක් කල් නොලද සෙනෙහසක හැඟීමක් ක්ෂණිකව හදවතට දැනුණු ඈ සියලු හැඟීම් වළ දමමින් ඔහු හා මඳ සිනහවක් පෑවාය. 

ඉදින් සන්සුන්ව අසුන් ගෙන සිටි භරණ මහවලතැන්න ක්ෂණිව එකී සිනහව මත දෙදරා ගියේය. වෙව්ලන අතැඟිලි මතින් ඔහු බීම වීදුරුව සෙමින් අතට ගත්තේය. ඉන්පසුව සෙමින් බීම වීදුරුව තොල ගෑවේය. කුඩා දැරිය අතින් පිළියෙළ කළ තිබූ බීම උගුර ඔහුගේ හදවත පසාරු කරමින් කුස වෙත පල්ලම් බැස ගිය අතර දෙනෙතට ඉනූ කඳුළක් ක්ෂණිකව කොපුලට වැටුණේය. 

හිස් ට්‍රේ බඳුන යළි ටීපෝව මතින් තැබූ මාණික්‍යා මව අසල හිඳ ගනිමින් යළිත් වතාවක් සුභාවිගේ අතක් දෝතින්ම අල්ලා ගත්තාය. ඉන්පසුව යළිත් වරක් ඈ දෙස බලා මඳ සිනහවක් මැව්වාය.

” දූට වයස කීයද සුභාවි ?” 

” දහයයි “

” දොළහයි. “

පළමු පිළිතුර මවගෙන් වූ අතර ඒ හා සමානවම දියණියගෙන්ද පිළිතුරක් පිට වූවාය. මවගෙන් හා දියණියගෙන් එක වර පිටවූ පිළිතුරු හමුවේ ශමෙල් හා භරණ මෙන්ම මාණික්‍යා හා සුභාවිද මුහුණට මුහුණ බලා ගත්හ. 

” මෙහෙ ඉන්නේ තනියමද දුව ?” 

පැතිර ගිය නිහඬබව දරා ගත නොහැකි වූ ශමෙල් නැවතත් මුව හැරියේය. 

” මායි , අම්මියි , ආච්චියි අන්කල්. ආච්චි මේ දවස් දෙකේ ට්‍රිප් එකක් ගිහිල්ලා. “

” සුභාවිගේ අම්මද ?” 

සුභාවි හිස සෙමින් හිස ඉහල පහල සැලුවාය.

” ඔව්. අම්මිගේ අම්මි. මං තාත්තිගේ අම්මිව දැකලා නෑ. “

සුභාවි වහා මාණික්‍යාගේ අත තදින් අල්ලා ගත්තාය. මව දෙස බැලූ මාණික්‍යා දෑස දිදුළවමින් සිනාවක් පෑවාය. එකී සිනහව තුළ රැඳී තිබූ කුඩා අරගලයක ස්වරූපය දුටු සුභාවිගේ හදවතේ ගැස්ම තවත් වැඩි විය.

” දූගේ තාත්තා එතකොට ?” 

ශමෙල් නැවත වතාවක් පැනයක් ඇසූ අතර සුභාවි එයටද තිගැස්සුණාය.

” මිහිදුමී කිව්වා මේ..?” 

කතා බස් කිරීමට කියා පැමිණි මිත්‍රයා නිහඬවම ගොලුව සිටියදී කතා කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳව කිසිදු සැලැස්මක් නොමැති වූ ශමෙල් පවතින නිහඬ බව දරාගත නොහැකිව නැවත සිටියේය. 

” අ.. අපි සෙපරේට් උනා අයියේ. “

” බොරු. “

වැඩිහිටියන් තිදෙනාගේම දෑස් වහා කුඩා එකිය වෙතට වැටුණේය.

” මාණි..? ක.. කාමරේට යන්න. මේ.. මේ පොත් ටිකත් අරන් යන්න. “

සුභාවි නැවත වරක් කලබල වී සිටියාය. නමුදු කුඩා අරගලකාරිය මවට මෙල්ල වීමක් පෙනුණේ නැත.

” සෙපරේට් උනා කිව්වට අම්මි තාම තාත්ති ගැන හිතනවා. හැමදාම රෑට මට හොරෙන් කොට්ටෙට මූණ තද කරන් අඬනවා. “

” මාණි.?” 

සුභාවිගේ හඬ වෙව්ලුම් කෑ අතර දෑසින් එක දිගට කඳුළු කඩා වැටිණි. 

” දුව තාත්තා ගැන දන්නවද ?” 

මෙතෙක් වේලා නිහඬ වෘතය රැකි භරණ මහවලතැන්න කුඩා දැරිය දෙස එක එල්ලේ බලා ඇසුවේය. 

” මාණි.. ? පාඩම් කරන්න තව වැඩ තියනවා නේද ? යන්න කාමරේට. “

තව දුරටත් කලබල වී සිටි මවගේ දෑස මඟ හැරි මාණික්‍යා පැනය එල්ල කළ පිරිමියාගේ දෙනෙත දෙස එක එල්ලේ බැලුවාය.

” ඔව්. මං මගේ තාත්තා ගැන දන්නවා. “

” දැන් .. දැන් ඇති. මේ පොත් ටික ගන්න. ඉක්මනට කාමරේට දුවන්න. “

සුභාවි වහා නැඟිට ටීපෝව මත තිබු සටහන් පොත් කීපය ගෙන මාණික්‍යා හට නැඟී සිටීමට අණ කළාය. 

My dad is a very smart person. But… in some places, he has made mistakes too. My mom is still waiting for him to come back.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here