“අපි එයාට ළං වෙලා අවුරුදු පහහයක් ඇති.ළඟදි මුණ ගැහිච්ච අපිට එයාව හදා ගන්න පුලුවං කියල හිතන ආන්ටිට ඇයි බැරි වුණේ ආදිත්‍ය අවුරුදු විසි පහක් තිස්සේ හදා ගන්න..”
අක්කාගේ තර්කයට ඔල්වරසන් නගන්නට තරම් සතුටක් සඳලිට හට ගත්තා ය.නැන්දම්මාගෙන් ලැබෙන අතොරක් නැති හිරිහැර සහ දුක් පීඩා ගැන ෆේස්බුක් කාන්තා සමූහයන්ට ලියා එවන ගැහැනුන් දකිද්දී ඒ නොදන්නා නිර්නාමික ගැහැනුන්ගෙන් අක්කා දකින්නට සඳලි හුරුව සිටියා ය.කෙදිනක හෝ ඇයට ආදිත්‍යගේ ගැහැට පමණක් නොව මේ ගැහැනියගේ පීඩා පවා දරන්නට වේයැයි සඳලි සිටියේ වේදනාවෙනි.දැන් ඇති ලොකුම සතුට අක්කා ඒ නරා වළෙන් ගොඩට ඒම ය.
“මං ආදිත්‍ය එක්ක යාලු වුණේ අවුරුදු දාහතෙන්.එතකොට එයාට දහ අටක්. එයා ඉස්කෝලෙදි කීයක් ප්‍රශ්න දාගත්තද, ලයිසන් නැතුව බීලා බයික්වල ගිහින් පොලිසියට අහු උනාද, කීගමනක් ඉස්කෝලෙන් පන්ති තහනම් උනාද..අවුරුදු දාහතක මෝඩ කෙල්ලෙක්ට තමන්ගෙ කොල්ලව හදා ගන්න තේරෙන් නැති වෙන්න පුලුවං ආන්ටි.ඒත් ඔයා හැමවෙලේම කරේ ඒ දේවල් වලට රටේ මිනිස්සු වැරදි කාරයෝ කරපු එක.ආදි නරක යාලුවන්ට අහු වෙලා නරක් උනා.අහල පහල මිනිස්සු එයාට ඉරිසියාවට පෙව්වා, ක්ලාස් ටීච එයාව බොරුවට ප්‍රින්සිපල්ට අල්ලල දුන්නා.හැමවෙලාවකම ඔයාට හේතු තිබ්බා.ඔයා තමයි ආන්ටි ආදිත්‍යගේ හැම වැරැද්දකටම වග කියන්න ඕන..”
වසර ගණනාවක පීඩනය දිය කර දැමූ තුරුලි නිවස තුළට පිවිසුණේ ඉකි ගසමිනි.ඈ කාමරයකට වැදුණේ ද කඳුළු පිරි මුහුණින් ය.විදුලි බුබුළ දැල් වී උණුසුම් අතකින් ඈ අල්ලා ගන්නට මොහොතක්වත් ගෙවුණේ නැත.
“හොඳ යාළුවො ඉස්සරහ තමයි අඬන්න පුලුවං..ඇති වෙනකන් අඬන්න..”
මියුරු පැවසුවේ එපමණකි.ඔහුගේ උරහිසේ හිස ගසා හඬන්නට ආ හැඟීම බලහත්කාරයෙන් යටපත් කරගත් තුරුලි ඇගේම දෑතේ මුහුණ හොවාගෙන ඇති වන තුරු හඬන්නට ගත්තා ය.
“කුණාටුව ඉවරයි.අහස පැහැදිලියි.ලැජ්ජාවක් තියනම් ආයේ අර මෝඩ අම්මන්ඩි මේ පැත්තටවත් එන් නෑ..”
සඳලි කාමරයට එබෙද්දී පවා තුරුලි සිටියේ හඬමිනි.මියුරු ඈට හඬන්නට දී නිසොල්මන්ව බලා සිටියේ ය.
“තුරුලි, ඔයා අඬන්න…ස්ට්‍රෙස් එක ඔහොම හරි පිටවෙන්න ඕන.අඬලා අඬලා ඕක ඉවරයක් කරන්න..”
රනුක පැවසුවේ එකම නෑනාගේ හිස මුදුව පිරිමදින අතරතුර ය.සහෝදර උණුසුම සමඟ ආරක්ෂිත හැඟීමක් හිතට එද්දී තුරුලිගේ හැඬුම උස්ව නැගෙන්නට විණි.
“මේ ස්ට්‍රෙස් එකක් නෙවෙයි රනුක. වේදනාවක්.මරණීය වේදනාවක් කියල පොත්වල තියෙන්නෙ මෙහෙම ඒවට වෙන්න ඇති..”
ඇය හඬද්දී ඒ හැඬුම සඳලිට ද බෝ වන්නට වැඩි මොහොතක් ගත වූයේ නැත.ඇය හඬමින් අක්කා වැලඳ ගත්තා ය.
“මං දැකල තියනවා ගෑනු අයගෙ ප්‍රශ්න.හස්බන් නැති උනාම දුක් විඳින අය, රේප් උනු ගර්ල්ස්ලා.ඇක්සිඩන්ට් වෙලා පැරලයිස් උනු අය..ඒ හැමෝම අහම්බෙන් එතනට වැටුණු අය.මං ඔහේ අපායක ඇස්කන් පියාගෙන හිටිය.මං මට කරගත්තු අපරාදෙට මටම මගෙන් සමාවක් නෑ..මං ඔහේ අවුරුදු ගාණක් නාස්ති කරගෙන.ආයේ නැගිටින්න මං හොඳටම පරක්කුයි.”
තුරුලි පැවසුවේ ඉකි ගසන අතර ය.මියුරු ඈ සමීපයට ආවේ ය.බොහෝ දිනක් තිස්සේ පවසන්නට සිටි දෙයක් කියන්නට ඔහුට සිතිණ.
“ඔයා එහෙම හිතන්න එපා තුරුලි.ඔයා ආදිත්‍ය මැරි කරනකම්ම ඉවසුවනම් තමා මේක අපිට විසඳන්න ඇත්තටම පරක්කු කාරණාවක් වෙන්නේ.දැන් උසාවි ගානෙ යන්න කලින් අපි මේක ලෙහා ගත්තනෙ.ඔක්කොම දේවල් දරුවො එක්ක දරා ගන්න තැනකට ඔයා වැටුණනං…සමහරවෙලාවට ඔයා ජීවිතේ ගැන නරක තීරණ ගන්න පවා තිබ්බ.දැන් තියෙන්නෙ හෙමින් හිත හදා ගන්න..”
තුරුලි කඳුළු පිස ගනිමින් මියුරු දෙස බැලුවා ය.සත්‍යයකි.මේ ඉවසීම නොකඩවා පවත්වා ගත්තානම් සියදිවි නසා ගැනීමෙන් මෙපිටට තමන්ට ජීවිතයක් නැතැයි ඇයට සිතිණ.
“අනික ඔයා කොහොමද ඔයා පරක්කුයි කියන්නෙ.අපි කිසිම කෙනෙක් අලුත් අඩියක් තියන්න මොනම වෙලාවකවත් පරක්කු නෑ.අපි හරිම තීරණ ගන්නව නම් ඒක මැරෙන්න මොහොතක් තියල හරි කරන එක තමයි දිනුම කියන්නේ..”
තුරුලිට දැනුණේ අප්‍රමාණ සැනසීමකි.යෞවනියක ලෙස සතුටින්ම ගෙවා දැමිය යුතු අවුරුදු කිහිපයක් ම ඇය කූඩු කිරිල්ලක වී ගෙවා දැම්මා ය.ඈත දුර ආකාසයේ සෙසු කිරිල්ලන් නිදහසේ ඉගිලෙද්දී ඈ ආකාසයේ වැරදි දකිමින් කිරිල්ලන්ට දොස් නගන්නට හුරු ව සිටියා ය.නමුත් දැන් ඇය ද ඉරුණු තටු තනිව පිළිසකර කරගනිමින් ඉගිලෙන්නට තැත් දරන කිරිල්ලියකි.නැත.ඉරී ගිය තටු මසන්නට නොව අලුත් තටු රැගෙන දෙන්නට පවා කැමැත්තෙන් ඈ අසල අහසක් සේ විසල් ආදරයක් සමඟ ගැවසෙන යෞවනයාගේ ආදරය සදාකල් බව තුරුලිට විශ්වාස ය
දැන් ඇත්තේ සිනාසෙන්නට ය.
“තෑන්ක් යූ මියුරු..”
රාත්‍රිය ගෙවී යන්නට ළං වෙද්දී සමු ගත් මියුරුට ළංව සඳලි පැවසුවා ය.මියුරු බලා සිටියේ විමසුම් සිනාවකිනි.
“අවුරුදු ගාණක් තිස්සෙ ඔයාගෙ වන්සයිඩ් ලව් එක වෙනුවෙන් බලා හිටියට තෑන්ක් යූ.එයා හොඳටම රිදිලා ඉන්න වෙලාවක පවා ළං වෙලා ඉන්නවට තෑන්ක් යූ.”
මියුරු සඳලිට මියුරුතම සිනාවක් දැල් වූයේ ය.තවත් බොහෝ දේ දරා ගන්නට සිදු නොවන බව දැන ඔහු පිටව ගියේ සතුටිනි; සැනසීමෙනි.