fbpx

අහංකාර නගරේ -21

මම මහ පාරේ හති ලමින් ද, නැවතෙමින් ද, යළි දිව යමින් ද සිටියෙමි. වරින් වර පිටුපස හැරී බැලුවාට මා කවරෙකු හෝ දුටුවේ නැත.  එහි එත්දී දුටු එකදු මැයි, මාර, රොබරෝසි මලකුදු පෙනෙන්නට තිබුණේ නැත. 

මගේ හිත විදාරණය වෙන්නට ආසන්න ගිනි කන්දක ස්වභාවය දැරුවේ ය. හදවත පත්ලේ ඉපදෙන හැඟුමන් කෝටි ගණනින් බුර බුරා ඉහළ නැග ආවේ ය. මා ඒ උගුලෙන් ගැලවී ගත්තා ය කියා තවමත් මට සිතා ගත නො හැකි ය.

සුරූපිනිය, ඇගේ නම මේ වෙලාවේ මට අමතක වී තිබිණ. ඇරඹුමේ දී ම ඇය මවෙත පෙන්වූයේ ඊර්ෂ්‍යා සහගත නො රිස්සුමකි. මෙතෙක් ඇය ට හිමි ව තිබූ වස්තුවක් ඇගෙන් උදුරා ගන්නට පැමිණි සෙරක දෙස බලනාකාරයෙන් ඕ මදෙස බැලුවා ය. ඇය ඇතුළු වූ සුඛෝපභෝගී කුටියේ, කිසියම් පානයක් තොල ගාමින් සිටි දේහධාරියා වෙතින් මට පෙනුණේ අප්‍රසන්න ගිජු ලිහිනි දෑසකි. හෙතෙම මගේ සියොලඟ පුරා සිය දෑස් තවරා ගෙන ගියේ ය. ඒ තොල් කොනක කෑදර මඳ සිනහවක් ඇඳී ගියේ ය. මා වෙව්ලන්නට ගත්තේ ය.

“අනේ”

මට කෙඳිරි ගෑවිනි. සුරූපිනිය වහා මදෙස බැලුවා ය.

“මෙතන මොකද්ද වෙන්නෙ…”

මම ඇයට පමණක් ඇසෙන සේ මිමිණුවෙමි. ඇය අවඥාවක් මුහුණේ ඇඳ ගත්තා ය.

“ඇයි දන්නෙ නැතුවද ආවෙ…”

“මං සැලුන් එකේ වැඩ කරන්නෙ. මැඩම් මාව මෙහෙ එක්කගෙන ආව. වෙන දෙයක් මං දන්නෙ නෑ”

“දැං හිතාගන්න පුළුවන් ඇතිනෙ”

“මට මෙතන ඉන්න ඕනෙ නෑ”

“මෙතනට ආපු කෙනෙක් ආයෙ ගිහිං නෑ”

ඇය සමච්චලයෙන් සිනා සුණා ය.

“අනේ මට යන්න ඕනෙ”

ඒ තරම් අසරණ හැඟීමක් කවදාවත් මට දැනී නැත. ඉකි බිඳෙන්නට එනවා මට දැනිණ. නමුත් ඒ සුරූපිනියන් එහි ඇවිත් ඉන්නේ සිය හදවත ගලවා තබා විය යුතු ය. ඒ නිසා කාගේ වත් දුකක් ඔවුන් ට දැනෙන්නට විදිහක් නැත.

“කෝ බලන්න ඔය අලුත් මුව පැටිය කවුද කින්යල”

සේවා ලාභියා කෙකර ගානවා ඇසිණ. සුරූපිනිය ගේ මූණ නරක් වනු මට පෙනිණ.

“දැන් අවුරුද්දක් තිස්සෙ මේ කස්ටමර් ඉල්ලන්නෙ මාව. ඒක කඩන්න හදන්න එපා හරිද…එහෙම කළොත් තමුසෙට වෙන දේ…”

සුරූපිනිය වහා ම නපුරු මායාකාරිය ලෙස වෙස් මාරු කළා ය.

“අනේ නෑ නෑ. මට ඕනෙ මෙතනිං යන්න විතරයි. මං යන්නද…”

ඇය ක්ෂණික තීරණයක් ගත්තා ය.

“දොර ලොක් කරල ඇත්තෙ”

කියමින් ඉස්සර වූ ඈ පසු පස මම ඉක්මන් අඩි තැබුවෙමි.

“ඇයි මේ…”

සුරඟන ඇය ට නො ගැලපෙන පොලිස් හඬකින් ප්‍රශ්න කළා ය.

“මේකි මට තර්ජනේ කරල එතනිං පැන්නා”

කටට එහෙම බොරු එන්නේ කොහොමද කියා මම නො දනිමි. සිතිජත් එක්ක මහිංයංගනේ ගොස් එන ගමන් පිටකොටුවේ දී ගත් කුඩා පිහිය අත් බෑගයේ වන බව මට සිහි විය. මා එය ගත්තේ පේර ගෙඩියක් කපා ගන්නට හෝ අපේ කාමරයේ පිහියක් නැති නිසාවෙනි. මම අත් බෑගයට අත දමා වහා එය පිටතට ගතිමි.

“දොර අරිනවා. එහෙම නොකළොත් කපන එක කපනව”

මා එහෙම නොකර සිටිනු නැතැයි ඔවුන් ට නොව මට පවා සිතෙන්නට ඇත. ඒ ක්ෂණික මොහොත එපමණට ම ආවේග ශීලී වූයේ ය. මගේ සිරුර දිගේ දහදිය රේඛා දිය ඇලි සේ ගලා යමින් තිබිණි. 

“මං…මං…මැ…මැඩම්ට…කෝල්…”

“මැරුං කන්නෙ නැතුව දොර ඇරපං”

මම පිළිගැනීමේ සුරංගනාව ගේ බෙල්ල ට පිහිය තැබුවෙමි.

“දොර අරින්න” 

සුරූපිනිය බොරු බියක් පෙන්වූවා ය. ඇය ට ඕනෑ මා පලවා හරින්නට බව මම දැන සිටියෙමි. වටිනා ම සේවා දායකයා ගේ මෙතෙක් භාරකාරිත්වය හිමි ව ඇති සුරූපිනිය ඇයයි. මාව එතැනට ආදේශ කිරීම තුළ එතෙක් ඇය ට හිමි වූ අභිමානය අහිමි කර ගන්නට ඇය ට ඕනෑ වූයේ නැත. එසේ ම සිය රූප ශෝභාව ප්‍රශ්න කිරීම ට සිදු වන කිසිදු අවස්ථාවකට මුහුණ දෙන්නට ඇය ට ඕනෑ නො වන්නට ඇත. ඒ සඳහා වන පහසු ම මාවත මට යන්නට හැරීම බව ද ඇගේ ගැහැනු ඉවට අහු වෙන්නට ඇත.

“මැඩම් මාව මෙතනිං පන්නයි”

“ඊට කලිං මේ කෙල්ල තමුසෙව මරල දායි. දොර අරිනව”

මට තිබුණේ පිහිය මානා ගෙන ඉන්නට විතර ය. ඔවුහු කතිකා කොට තීරණය අර ගත්හ. දොර ඇරිණි. මම පිහිය මානා ගෙන ම පිටුපස හැරී බලමින් පියගැට පෙළ බැස ගියෙමි.

හති හලමින් මා දුවන්නට පටන් ගත්තේ ඉනික්බිති ය. සැබවින් මා නියමාකාරයෙන් බිය වී උන්නේ රෝස්මරී ගේ හොර ගුබ්බෑයම ඇතුළේ දී නොව පිටතට වන් කල ය. නැත්හොත්, එතැන දී මා ඇති කර ගෙන උන් චිත්ත ශක්තිය දැන් දැන් බින්දුවට ම දිය වී යමින් තිබිණි. අත් බෑගය තුළ වන ජංගම දුරකතනය හැඬවෙන හඬ ඇසුණේ එසේ මා මග දිගට දිව යත්දී ය.

රෝස්මරී ගේ දුරකතන අංකය එහි සනිටුහන් ව තිබිණි. මම ඒ ඇමතුම බිඳ දමා සුරනි ට ඇමතුමක් ගතිමි.

“මෙව්නා…ඇයි කලබලෙං…”

“අර ගෑනි මහ ජරා ගෑනියෙක්”

මගේ දත් දෙපෙළ කටස් ගා එකට ගැටිණි.

“මොන ගෑනිද…”

“රෝස්මරී”

“ඇයි මොකද වුණේ මෙව්නා…”

“සැලුන් එක ඉස්සරහට දාගෙන ඒ ගෑනි කරන්නෙ වෙන බිස්නස් එකක් සුරනි. මාව එයාගෙ ස්පා කියල එකකට එක්කං ගියා. මං හරි අමාරුවෙන් පැන ගත්තෙ. දැං ඒ ගෑනි මගෙ පස්සෙං පන්නයි”

“මොකක්…දැං ඔයා ඉන්නෙ කොතනද…”

“මන් දන්නෑ”

කඩයක සාප්පුවක ලිපිනයක් හෝ සොයනු වස් මම වට පිට බැලුවෙමි.

“හරි කමක් නෑ. ටක් ගාල ඔතනිං ත්‍රීවීල් එකකට නගින්න. ජපුර කැම්පස් එක ළඟට කියන්න”

ඇය එසේ කියත්දී ම ත්‍රීරෝද රියක් පැමිණෙමින් තිබිණි. අත දමා මම එය නතර කොට ගතිමි.

“ජපුර කැම්පස්”

එහෙම කියා මම ඉවත බලා ගතිමි. මා හුස්ම ගන්නේ වේගයෙන් බව මට දැනුණේ ය. මගේ ඉරියව්වෙහි පවා කලබලයක් වන බව මට දැනිණ. එවැන්නක් මේ නුවර ත්‍රීරෝද රියදුරෙකුට පෙන්වීමේ අවදානම ගැන යටි හිත මට මතක් කළෙන් මම ජංගම දුරකතනය දෙස බලා ගතිමි. ෆේස් බුක් බිත්තියේ කිසිදු අරමුණකින් තොර ව ඉහළ පහළ ගියෙමි. ටිකෙන් ටික ශ්වසන වේගයත්, හෘද ස්ඵන්දන වේගයත් සාමාන්‍ය තත්වයට පත් විය.

“නංගි කැම්පස් එකේ ඉගෙන ගන්නවද…”

ටික දුරක් ගිය රියදුරු මා කතාවට අල්ලා ගන්නට මාන බැලුවේ ය.

“නෑ. උගන්නනව”

මම වචන වලින් දමා ගැසුවෙමි. රියදුරා එය කෙසේ බාර ගත්තා ද කියා හිතන්නට මට ඕනා වූයේ නැත. ඊට පස්සේ ඔහු මාත් එක්ක බොරු කතා වලට ආවේත් නැත. සුරනි මා එන තුරු මග බලා සිට, මා කැටි ව අවන්හලකට ගියා ය.

“මේ ගෑනි පුදුම එකියක්නෙ. ගහන්න තිබුණෙ කන රත් වෙන්න”

“රෝස් මාව දාල එතනිං ගියා. සිද්දිය වෙනකොට ගෑනි හිටියෙ නෑ. දැං දෙතුන් සැරයක්ම කෝල් කළා මං ආන්සර් කළේ නෑ”

“සිතිජට කිව්වද…”

“කොහොමද සුරනි මං මෙහෙම දෙයක් එයාට කියන්නෙ…ඒ කොල්ලට මැරෙන්න හිතෙයි. එයා දන්නෙත් අම්ම සැලුන් එකක් කරනව කියල විතරනෙ. ඒකට මුවා වෙලා මෙහෙම බිස්නස් එකක් කරන බව දන්නෙ නෑනෙ. දන්නවනං කීයටවත් මට එතන වැඩට යන්න දෙන්නෙ නෑ”

මගේ උගුර රිදී ගෙන ආවේ ය. ඒ පුදුම ආත්ම අසරණ කමකි. මේ නගරයේ මිනිස්සු මේ විදිහට අහිංසක හා අසරණ ජීවිත බිලි ගන්නට හදන්නේ ඇයි දැයි සිතා ගත නො හැකි ය.

“ඔය ජූස් එක බීල ඉන්නකො. දැං අපි මොකද කරන්නෙ…මට තාම මුකුත් හිතා ගන්න බෑ”

නැවතත් දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. රෝස්මරී!

මම දුරකතනය සවනට ගතිමි.

“මැඩම් හිතාගෙන හිටියෙ මාත් තමුංගෙ ජාතියෙමයි කියල වෙන්න ඇති නේද? ඔහේ මහ ජරා ගෑනියෙක්. ජරාම ජරා ගෑනියෙක්. මං ඔහේට වෛර කරනව. මං ඔහේට සාප කරනව”

මම ආවේගශීලී ව කෑ ගැසුවෙමි. 

“මෙව්නා මේ අහන්න. පොඩ්ඩක් ඔයා සන්සුන් වෙන්න. ළමයො. ඕක මහ අමුතු දෙයක් නෙවෙයි. හොඳට සල්ලි හම්බ කරල කාල බීල ලස්සනට ඉන්න කෙල්ලො ඕන තරං ඔය වගේ ජොබ් කරනව. අනිත් එක ඔයා හිතනවද පැය අටේ ජොබ් එකක් කරල ජීවිත කාලෙටමවත් ඒ වගේ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියල. මෝඩ වෙන්න එපා ළමය”

“කට වහ ගන්නව. මං ඔහේව මරනව සිතිජගෙ අම්ම නොවුණනං”

“මෝඩ කෙල්ල. මේව අපේ ගෙවල් වලට කියන්න ගිහිං ජීවිතෙත් නැති කර ගන්න හදන්න එපා. ඔය ළමයට හීනෙකිංවත් හිතන්න බෑ මට කරන්න පුළුවන් දේවල්”

කියන්නට යමක් මට සිහි වූයේ නැත. ඇය තරුණ දූවරුන් දෙදෙනෙකු සිටිනා මවක නොවේ ද? තමන් ගේ අයට වන කැළල ගැන නො සිතා ඇය මේ විදිහේ ව්‍යාපාරයක් කර ගෙන යන්නේ ඇයි? 

“ඕක මහ අමුතු දෙයක් නෙවෙයි. ටික දවසක් යනකොට ඔය ළමයට තේරෙයි. පිස්සු නැතුව වෙනදා වගේ වැඩට එන්න”

ඇය දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ඉතා සරල ලෙස එහෙම කියමිනි. නමුත් ඒ සා සරල ලෙස එය ගිනිය හැකි යයි මම නො සිතමි. ඔවුන් එහෙම හිතන්නේ කොහොමද? ඔවුන් එහෙම කරන්නේ කොහොමද? රෝස්මරී කියන්නේ කෙබඳු ව්‍යාජයක් ද? ඇගේ යුග දිවිය බොරු එකකි. ඇගේ වෘත්තිය ලෙස මවා පෙන්වන්නේ බොරුවකි. ඇගේ දයා කරුණාව බොරුවකි. රෝස්මරී කියන්නේ ඇත්තට ම බොරුවකි. 

“ඔයා තවත් ඒ ගෙදර ඉන්න එක භයානක වෙන්න පුළුවන් මෙව්නා”

ටිකක් වෙලා කල්පනාවේ නිමග්න ව හිඳීමෙන් පස්සේ සුරනි කීවා ය.

“ඒත් ඒ ගෙදරිං යනවනං මං සිතිජට සාදාරණ හේතු කියන්න වෙයි. මං මොනාද සුරනි කියන්නෙ…”

“එහෙනං ඉතිං මොකද කරන්නෙ…රෝස්මරීව තරහ කරගෙන එහෙ ඉන්න පුළුවන් වෙයි කියල හිතනවද…”

මා ඉදිරියේ දිග හැරී තිබුණේ පිළිතුරු සොයා ගත නො හැකි ප්‍රශ්නයකි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x