අසම්පූර්ණ දේදුනු

මම ස්වීඩ්න් වලදී ගත්ත ෆොටෝ එකක් දිහා බලාගෙන මං මේ ඉන්නේ .ෆොටෝ එක ඇයි මට ඒ තරම් රිදවන්නේ .
ඒ ෆොටෝ එකත් එක්ක මං කොයි  තරම් අතීතයට ආපස්සට යනවද…

දේවක මහානාම..නිකන් හිතුනා ආපහු සැරයක්  මූනුපොතේ දේවක මහානාම  ගැන බලන්න .
එයා නිරූපා ත් එක්ක සුප්‍රසිද්ධ  කටින් වතුර විදින සිංහරූපය ඉස්සරහ  එයාලගේ නිමුන්නු හතර දෙනාව ලං කරගෙන ලස්සන ෆොටෝ එකක් දාලා තිබුණා .

දේවක …මේ ලෝකේ හැම මනුස්සයෙකුටම අම්මෙකුයි තාත්තෙකුයි වෙන්න බැහැ.. ඒක ඔයත් දන්නවා මමත් දන්නවා …අපි ජීවිතයට මුහුණ දෙමු ඕක මහ ලොකු දෙයක් නෙමෙයි …
වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වෙච්ච  දේවකට මං කිව්වේ නවීන ක්‍රම වලට ළමයි හදන්ඩ මගේ තිබිච්ච අකමැත්ත හින්දමයි. මගේ සඵල භාවය පරික්ෂා කරන්න කරපු විවිධ පර්යේෂණ මට ගොඩක් වේදනාකාරී වුණා.සමහරවිට ඒ හින්දම වෙන්න ඇති දරුවෙක් හදන්න යන්න වෙන ගමන මහ වදයක් හැටියට මට දැනෙන්න ඇත්තේ …

නිමුන්නු හතර දෙනාගෙම මුහුනු දේවකගේ වගේමයි .හැබැයි නිරූපා වගේ කට්ට කලුයි.එතකොට සේරටම වැරදි කාරයා මම ද ….දෙයියො අන්තිමට
දේවකට ගෑනියෙකුත් දීලා ළමයි හතර දෙනෙකුත් දුන්නා .කිසිම වරදක් නොකරපු මට …මට මොනවද දුන්නේ ..

මම වැඩ කළේ වැඩ කලේ එන්ජීඕ එකක. ලෝකය පුරාම යන්න අවස්ථාව මට ඒකෙන් හම්බුනා .දේවක මීගමුවේ ඉස්පිරිතාලෙ ඩොක්ටර් කෙනෙක් .අපි නැවතිලා උන්නේ රාගම .මගේ අක්කලා උන්නේ නුවර .එයාට උන්නෙත් එකම දුවයි .අක්කගෙ මහත්තයා හරියට අක්කත් එක්ක එක එක හේතු වලට රණ්ඩු කළා .කණමදයා වගේ බීගෙන තමයි හැමතිස්සෙම හිටියේ .ඉවසන්න බැරි තැන අක්කා දුවව හය වසර විතර ඉඳලම හොස්ටල් නවත්තලා තමයි ඉස්කෝලෙ ඇරියේ.හුඟක් ඉස්කෝල නිවාඩු කාල වලට කෙල්ල අපේ ගෙදර එන්න බොහොම මනාපයි .තාත්තගේ කන්කරච්චලෙන් බේරිලා මගෙත් එක්ක හුරතල් වෙන්න තියෙන කැමැත්ත තමයි ඉතින් ඒ .දේවක එක්ක වරු ගනන් කතා කරන්න කෙල්ල බොහොම මනාපයි. දේවක නං කිව්වේ එයාට හොඳ මොලයක් තියෙනවා කියලයි…

ඒ දෙන්න හුඟක් වෙලාවට කතා කළේ වෛද්‍ය දේවල්ම තමයි. දේවක හුඟක් පොත් පොත්පත් හොයලා ගෙනල්ලා දුන්නා .
ඒවා තේරුම් කරලා දෙනවා. දරුවා හොඳට ඉගෙන ගත්තා .රාගම වෛද්‍ය විද්‍යාලයට තේරුණා.අක්ක මගෙන්  අහන්නත් කලින් මම තමයි ළමයව ගෙන්නගෙන අපේ ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කියලා  දරුවාට  අපේ ගෙදර ඉන්න ඉඩ හදලා දුන්නේ .හුඟක් දවස්වලට දේවකත් එක්ක  එක එක අධ්‍යාපනික කරුණු ගැන කතා කරනවා මට පල්ලෙහා තට්ටුවට ඇහුණා. සමහර දවස්වලට ලෙක්චර්ස් ඉවර වෙන්න රෑ උනහම දේවක ගියා එයාව එක්කගෙන එන්න. අමතර පන්ති වගයක් ලෑස්ති කරලා කොළඹ  එක්කගෙන ගියෙත් දේවකම තමයි . දෙවැනි අවුරුද්ද විභාගෙත් දරුවා ලස්සනට  පාස් උනහම මගින් මගටම මාත් එක්ක කිව්වේ දේවක මාමා හින්ද මාව ගොඩ ගියා කියලයි .හුඟක් වෙලාවල් වලට මට මගේ රාජකාරි වැඩවලට සතිය දෙක පිටරට යන්න වුණා .දරුවා හිටියේ මාත් එක්ක යට තට්ටුවෙ දේවක හිටියෙ උඩ තට්ටුවේ .පාඩම් කරල පාඩම් කරල හෙම්බත් වෙච්ච දරුවා කට්ට කළු ගැහිලා සෝමාරි පාටට හිටියේ .
එදා මගේ ස්විට්සර්ලන්තයේ කෑම්ප් එක ඉවර වෙලා ලංකාවට එන්න තිබිච්ච දවසට කලින් දවසෙ මට එන්න පුළුවන් වුණා .දේවක ව පුදුම කරන්න හිතාගෙන මම කටුනායකින් කහ පාට රෝස මල් පොකුරක් ගත්තා .දේවක කන්න ආස කැඩ්බරි චොක්ලට් දෙකකුත් අතට ගත්තා .ගෙදර දොරේ අමතර යතුරක් මං ගාව තිබුන හින්දා මම හොරෙන්ම ඇතුලට ගියා. එදා සතියේ දවසක උදේ හින්දා මං හොඳාකාරවම දන්නවා දරුවා සීමා වාසික පුහුනුවට ගිහිල්ලා ඇති කියලා .

ගේ ඇතුලට ගිය මට නාන කාමරෙ වතුර ඇරලා තියෙන සද්දෙ ඇහුණා .දේවක රෑ වැඩ ඉවර වෙලා ආපු දවසට උදේට නානවා කියලා මම දන්නවා .
දේවක පුදුම කරන්න හිතාගෙන මං හොරෙන් හොරෙන් බාත්රූම් එක ළඟට   ගිහිල්ලා දොරට තට්ටු කළා .එක පාරටම ෂවර් එකේ සද්දෙ නැවතුනා .තප්පර 10 කින් විතර බාත් රූම් එකේ දොර ඇරගෙන දේවක එලියට ආවේ තට්ටුකලේ කවුද කියලා බලන්න .
මං මල් පොකුරයි චොක්ලට් දෙකයි දික් කරලා කෑගහන්න හැදුවේ එකපාරටම සප්‍රාසිස්…. කියලා ….
දේවකට පිටිපස්සෙන් වතුර ටබ්  එකේ බැහැගෙන නිරුවතින් හෙඞ්ෆෝන් දෙකක් ගහගෙන ඇස් පියාගෙන සිංදු අහ අහා ඉන්න නිරූපා ව දැක්කහම  සප්‍රාසිස් වුණේ මාවයි .

යශෝධරා දේවියගේ වැලපුම් ගීයක් ආකාරයෙන් ගායනා කරනකොට වගේ මගේ  කණ පිටිපස්සේ තිබිලා ඇහෙන්න  පටන් ගත්තා. විනාඩියක් විතර දේවක දිහා බලාගෙන ඉන්නකොට  මට හරි සිහියට එන්න පුළුවන් වුණා .වචනයක්වත් කතා නොකරපු මම ආපහු හැරිලා පඩිපෙල බැහැගෙන පල්ලෙහාට ඇවිල්ල ගෙදරින් එළියට එන්න ආවා .
මම ආවා, දේවක දොර ඇරියා, මං නිරුපා දැක්කා කියන කිසි දෙයක් නිරුපා දැක්කේ නැහැ .එයා උන්නේ ඇස් දෙකත් වහගෙන   සින්දු අහන ගමං නේද කියලා ඉකි ගගහා ගේට්ටුවෙන් එලියට දුවන ගමං මට මතක් උනා.මගේ සල්ලි වලින් කොළඹ තට්ටු නිවාසයක ගෙයක් කුලියට අරගෙන  මං පදිංචි වුණා .අපේ අක්කට කතා කරලා කන පිරෙන්ඩ දෙකක් කියන්ඩ හිතුනත් ලමයින්ගේ අකීකරු කම් වලට දෙමව්පියෝ මොනවා කරන්නද කියලා මට ඒ සැණින් හිතුනා .

ඊට සතියකට පස්සේ දේවක මගෙන් දික්කසාදය ඉල්ලුවා .මම ඉන්න තැන හොයාගෙන අක්කා ආවා .මගේ අත් දෙක අල්ලගෙන අක්කා ඉකි ගගහ ඇඬුවා .

රත්තරන් නංගියේ උඹ දික්කසාදය දුන්නේ නැතත් මට කරන්න දෙයක් නෑ.. මට මේ සම්බන්ධයෙන් කියන්න කිසිම දෙයක් නෑ .. පුළුවන් නම් විතරක් මට සමාව දෙන්න නංගියෙ…
කියලා මගේ  අත් දෙක අල්ලගෙන ඇඬුවා.ඉල්ලන පමාවෙන් මම දේවකට දික්කසාදය දුන්නා  .ඒ වෙනකොට නිරූපගේ ඉන්ටර්නල් ඉවර වෙලයි තිබුණේ .
මාස දෙකක් ඇතුළත ඒ දෙන්නම මෙහෙන් සින්ගප්පුරුවට ගියා .එදායින් පස්සෙ මම නිරූපව ඇහැටවත් දැක්කෙ නෑ .දික්කසාදය ගන්න දේවක ආපු වෙලේ නම් මට ඉකි ගගහ ඇඬුනා.මම හීනෙකින්වත් හිතපු නැති විදිහට දේවක මගේ විශ්වාසය කඩ කරපු එක මට උහුලගන්න බැරි වුණා .ඊට අවුරුද්දකට විතර පස්සෙ දේවක මට ලියුමක් එවලා තිබුණා .

දයාබර සන්ධ්‍යා
ආදරය කරන්න ඕනේ තැන ආදරය කරන්නත් ,ජීවත් වෙන්න ඕනේ තැන ජීවත් වෙන්නත් ඕනේ කියන එක මම මුලින්ම දැනගත්තේ නිරූපගෙන්.අනුන්ගේ මිනිහෙක් අල්ලගත්තා  කියලයි කන්න දීපු අත හපා කෑවා  කියලයි නිරූපට විතරක්ම දොස් කියන්න එපා සන්ධ්‍යා.
මට ඔයාව ,ඔයාගේ උණුහුම, ඕනේ වුණු හැම වෙලාවකම ඔයා උන්නේ  මුහුදු තුන හතරක් එහා..අපි බැන්ද දා ඉඳන් මම ඔයාගෙන් ඉල්ලුවා රස්සාවෙන් අස්වෙන්න කියලා .එහෙම නැත්තං උදේ හවස යන්න පුළුවන් රස්සාවක් හොයාගන්න කියලා . මොන දුක විඳලා හරි අපි දරුවෙක් හදා ගමු කියල …ඒ එකකටවත් ඔයා කැමති වුණේ නෑ  ..
මහා ලොකු දේවල් වලින් නැතත්… නිරූපා මගේ  ඔළුවෙ කැක්කුමට බාම් ගෑවා.අතොරක් නැතුව විවිධ දේවල් කිය කියා මාව හිනා ගැස්සුවා …මම ගෙදර එනකන් රෑ කීය උනත් මග බලාගෙන හිටියා ….කොහේ ගියත් මට කියල යන්න පුරුදු වුණා …මම ආස කරන කෑම ජාති ගැන දැනගෙන හිටියා .ජාත්‍යන්තරය අල්ලන්න යන ගෑනියෙකුට වඩා මගේ හදවත අල්ලන ගෑණියෙකුයි මට ඕන වෙලා තිබුනේ .මම වැරදිද කියන්න මම  දන්නෑ සංන්ද්‍යා.අහවලාගේ මිනිහත් එක්කයි දැන් නිරූපා ඉන්නේ කියන ලාංකික මතය වෙනස් කරන්ඩ අපිට බැරි හින්දයි ,කවුරු කොහොම මොකා එක්ක හිටියත් ඇහැක් ඇරලා බලන්නෙ නැති මේ වගේ රටකට එන්න සිද්ධ වුණේ .මම ගත්තු තීරණය සමහරවිට ආසාධාරණ ඇති .හැබැයි මම බලාපොරොත්තු වෙච්ච ලස්සන පවුලක් මට දැන් තියෙනවා .
මීට දේවක ..

ගණන් කරන්න බැරි තරම් වාරයක් මං මේ ලියුම කියවල ඇති.ඉදිරියටත් කියවනවා ඇති.ඒත් කවදාවත් දේවක වගේ නිර්බීත  තීරණයක් අරගෙන සතුට හොයාගෙන යන්න නං මට බැරි වෙයි. දේවකට නිරූපට සමාව දෙන්න මං තාමත් උත්සාහ කරනවා. ..

More Stories

Don't Miss


Latest Articles