ඈත දුර ආකාසේ -20

රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.මිදුලේ ඇති සිමෙන්ති බංකුවකට වී නොපෙනෙන ඈත අහසට නෙත් යොමා හුන් තුරුලි සිටියේ ගීයකට සවන් යොමාගෙන ය.සඳලි පැමිණ ඈ අසල අසුන් ගත්තේ හඬ නොනගා ය.අක්කාත් සමඟ කුඩා කාලයේ තරු රටා සෙවූ අතීතය සඳලිට සිහි විණි.කෑගසා දඟලන කුඩා දැරියක කර තබා ගත් තාත්තා ද අනිත් දැරිය වඩාගත් අම්මාත් එකල සිටියේ සන්තෝසයෙනි.

“ඉස්සර තාත්තා කියන්නේ අහසේ ඈත තාරකා වල ලස්සන ලස්සන සුරංගනා ලෝක තියනවා.ඒ ලෝකෙකින් කුමාරයෝ දෙන්නෙක් ඇවිල්ලා මේ කෙල්ලො අරන් යනකංනෙ මේ සේරම කියලා..”

සඳලිගේ හඬින් කල්පනාව බිඳී ගිය තුරුලි නැගණියට සිනාවක් පෑවා ය.අනතුරුව ඉයර්ෆෝන් යුගලය දෙකන්වලින් ඉවත් කළා ය.

“තාත්තට රාස්සයෝ ගැන කියන්න අමතක උනා..”

තුරුලි පැවසුවේ එපමණකි. සඳලි අක්කාගේ අතකින් අල්ලා ගත්තා ය.

“රාස්සයොත් හම්බෙන්න ඕන අක්කා.දැන් ඔයා දන්නවා ජීවිතේ සතුට දුක දෙකම.මට හිතෙන්නෙ මට වඩා ලස්සනට ප්‍රශ්නවලට මූණ දෙන්න දැන් ඔයාට පුලුවං වෙයි..”

තුරුලි තාරකාවන්ට නෙත් දල්වා බලා සිටියා ය.නිවසේ වැඩිහිටියන්ගේ බලකිරීමට විවාහ වී සැමියාගේ නොපනත්කම් ඉවසා ගත නොහී සියදිවි නසා ගත් පාසල් මිතුරියක ඇයට සිහි විණි.ඒ යුවතියට සිදු වූයේ අසාධාරණයකි. නමුත් තමන් අසාධාරණය බලෙන් තුරුළු කර ගත්‍තියකි.

“ඇත්තටම ආදරේ කියන දේ තේරුං නොගන්න ගෑනු ළමයි තමන්ට කරගන්නේ ලොකුම අපරාදයක්..”

ඇය සඳලිට පැවසුවේ ඒ කල්පනාව අතරිනි.අතීතය ගැන පසු තැවීම ගැන මියුරු ඇයට බැන වදින මුත් අතීතයේ ජීවත් වූ අනුවණ යුවතිය අනාගතයට පාඩම් රැසක් ඉගෙන ගත් තැනැත්තියක බව දැන් තුරුලි දැන සිටියි.

“අපිව අම්මලා තාත්තලා හදන්නෙ මල් වගේ.ඉල්ලන දේවල් ලැබෙනවා..සැර කරන් නෑ.ගහන්නෙ බනින්නෙ නෑ.අපිට තාත්තා කිසිම දේකට නීති දැම්මෙත් නෑනෙ..”

තුරුලි කියද්දී සඳලිට ද ඒ අතීතය සිහිව ආයේ ය.පාසලෙන් පසු අමතර වැඩ කෝටියක් පටවා ගන්නා අක්කානගෝ රැගෙන නිවසට එන අම්මා පාඩම් කරන්නටවත් බලපෑම් කළේ නැත.තාත්තා අම්මාට උපදෙස් දුන්නේ ද කෙල්ලන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ හරින ලෙස ය.

“ඇඳුමක් ඇන්දම අපෝ ලොකූ ඔය පාට කැතයි.චූටිට ඔය ස්ටයිල් එක හරි යන් නෑ කිව්ව මිසක් අම්මයි තාත්තයි ඇඳුං වලට තහංචියක් දැම්මයැ. කිසිම නීතියක් නැතුව ඉඳලා ආදිත්‍යගේ නීති දහ කෝටියක් විඳින්න ගත්තු මුල් කාලෙ මට හිතුණේ ඒ තමයි ආදරේ කියලා.කොල්ලෙක් එක්ක හිනා උනත් බනිනකොට, ගවුම පොඩ්ඩක් කොට උනොත් කෑගහනකොට, ස්කූල් ස්ටේජ් එකේ උනත් නටනවට අකමැති කියල මැරෙන්න යනකොට මං හිතුවා මේ මනුස්සයා මං නැතුව හුස්මක්වත් ගන්න කැමති නෑ කියලා..”

“අපි ආදරෙයි මානසික ලෙඩයි පටල ගන්නව අක්කා..මට නම් සරලවම හිතෙන්නෙ එච්චරයි.අනේ මගෙ කොල්ලා මට බැන ගත්තු ගමන්මයි කියලා පූච්චානම් කියන කෙල්ලො ඕන තරං ඉන්නෙ.ඔයාට තරම් හිතට කරදර එන්න ගත්තම තමා ඉතිං ඇස් ඇරෙන්නේ..”

ආදරය සම්බන්ධයෙන් අනුවණ තීරණ ගන්නා ගැහැනු ළමයින් අගනුවර පමණක් නොව ඈත ගම්වල පවා වෙසෙන බවත් සරසවි සිසුවියන්, ඇඟලුම් සේවිකාවන්ගේ සිට සමාජයේ විවිධ ස්ථර දක්වා ඒ යුවතියන් සැරිසරන බවත් කියන්නට සඳලි අමතක කළේ නැත.

“ඔය සමහර නිළියෝ හරිම උජාරුවෙන් ටීවී ප්‍රෝගෑම්ස්වලට ඇවිල්ල කියන්නෙ හස්බන්ඩ් අකමැති රඟපානවට, කසාදෙන් පස්සෙ ෆීල්ඩ් එක අතාරිනවා කියලා..එයාලට තේරෙන් නෑ එයාලා සෙලිබ්‍රිටිලා හැටියට ඒ කරන්නෙ වරදක් කියලා.පෞද්ගලික තීරණ ඕන එකක්.ඒත් තමන් නටවන රූකඩේ තමන්ගෙ පාට්නර් කියන අදහස ගෑනු ළමයින්ට දෙන එක ඇත්තටම වරදක්..”

සහකරුගේ තීරණ හැම එකක්ම පාහේ අත් ඔසවා පිළි ගැනීම එක්ව ජීවිතයක් ගෙන යාම අසීරු කරන බවත් කළ යුත්තේ කතාබහ කරමින් තීරණ ගැනීම බවත් වටහා නොගන්නා තුරු ගැහැනු ළමයින් ප්‍රේමය කල්කදුරු සේ අමිහිරි කරගන්නා වග තුරුලිට වැටහෙන්නේ දැන් ය.

“නංගියි රනුකයි රන්ඩු වෙන් නැද්ද?”

ඇය බොහෝ කලක් අසන්නට බලා සිටි දෙයක් ඇසුවා ය.සඳලි උස් හඬින් හිනැහුණා ය.

“පර්ෆෙක්‍ට් ලව් කියලා දෙයක් මේ ලෝකෙ ඇති කියල මං හිතන් නෑ අක්කා.අපි ආගියු කරගන්නවා.හැබැයි අනිත් මනුස්සයගෙ පෞද්ගලික ජීවිතේ ගැන නෙවෙයි.අපේ ඉස්සරහට කරන ටාගට් ගැන.සමහර වෙලාවට අද ලන්ච් එකට ගන්නෙ මොනවද කියලත් ආගියු කරගන්නවා.හැබැයි සමාව දෙන එකයි නිදහස දෙන එකයි රිලේෂන්ශිප් එකකට වැදගත් කියල මං වගේ රනුකත් දන්නවා..”

තුරුලිගේ ජංගම දුරකථනය නාද වෙන්නට ගත්තේ ඒ මොහොතේ ය.සඳලි එහි මුහුණත දෙස බලා අක්කාගේ කන් පෙත්තකින් ඇද්දා ය.

“ගවුම කොටද, තව ඉගෙන ගන්න එපාද, බස් එකේ කොල්ලො ඉන්නවද වගේ ප්‍රශ්නවලට වඩා ලයිෆ් එක ප්ලෑන් කරනකොට කපල් එකකට ආගියුකරලා විසඳා ගන්න ඕනතරං කාරණා තියනවා කියලා ඔන්න ඔය කොල්ලගෙන් ඉගෙන ගන්න..ඔයාට නම් දවසක නෝමල් ඩිලිවරි එකක් කරන්න බෑ සිසේරියන්ම ඕනි වගේ ඒවටත් ඩොක්ටත් එක්ක රංඩු කරන්න බැරියැ…”

නංගිගේ කතාවට මුහුණ රතු කරගත් තුරුලි ඇමතුම හා සම්බන්ධ වෙද්දී සඳලි එතැනින් ඉවතට යන්නට නැගී සිටියේ හිනැහෙමිනි.ජීවිතය පුරා අක්කා වෙනුවෙන් හඬන්නට වේයැයි භීතියෙන් සිටි නිවුන් නැගණිය දැන් සිටින්නේ සතුටිනි.අක්කාගේ ජීවිතය පුරා මල් වැසි ඇද හැලීම ගැන අප්‍රමාණ සතුටිනි.තුරුලි දවසේ සිදුවීම් බෙදා ගනිමින් මියුරු හා කියවමින් සිටියා ය. දහස් ගණනක් තරු පිපෙන අහස යට ඈ නොදන්නා සන්තෝසයකින් ඉපිලෙමින් සිටියා ය.

“අනේ අන්න තරුවක් කඩා වැටුණා..අපරාදේ විෂ් එකක් කරන්න තිබ්බා..”

හදිසියේ ඈ කෑගසද්දී මියුරුගේ ගීතවත් සිනා හඬ දුරකථනය දිගේ ගලා ආවේ ය.

“ආයෙත් තරුවක් වැටෙනකොට කියන්න එහෙනම්..මටත් තියනව විෂ් එකක් කරන්න..”

ඒ ප්‍රාර්ථනය කුමක්දැයි දැන ගන්නට තුරුලි නොතිත් ආශාවකින් ඉපිල ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles