ඈත දුර ආකාසේ -22

තුරුලි දෑස් හැරියා ය.අවට පරිසරයේ කිසිම ගැටලුවක් නැති බව දැනෙන තුරුම දෑස් තද කර පියා හිඳින්නට වෙර ගත් ඈ දෑස් හැර හාත්පස බැලුවා ය.බිත්තියේ ඇති ඔරලෝසුව හවස හතරට ආසන්න බව පවසයි.තව හෝරාවකින් රෝගීන් බලන්නට දෙන වෙලාව පැමිණෙනු ඇත.සියල්ල විසඳා ගන්නට හෝරාවක් ප්‍රමාණවත් බව ඈ සිතුවා ය.

“මිස්..මිස්..”

ඇය එහා ඇඳේ සිටින වයසක මිත්තණියට එන්නත් ලබා දෙමින් සිටි තරුණ හෙදිය ඇමතුවා ය.මඳක් හිඳින්නැයි සන් කළ ඈ කටයුතු අවසන් කළ වහා තුරුලි වෙත ආවා ය.

“ඔයාට කොහොමද..දැන් පණ නැති ගතිය අඩුද?”

කල් මරන්නට කාලයක් නැත.

“මිස්, අනේ මට අසනීපයක් නෑ. ඒක ඔයාලටත් තේරෙනව ඇතිනෙ.මං මේ ඇක්ට් එකක් කරන්නෙ.මාව කිඩ්නැප් කරලයි තියෙන්නෙ.රෝහල් පොලිසියක් තියනවද..”

සිහිසුන්ව ඇති බව පවසා රෝහලට රැගෙන ආ තරුණියට පෙනෙන්නට ගැටලුවක් නැති වගත් ඇය අවදි වූ වහා දන්වන ලෙසත් වාට්ටුව බාර වෛද්‍යවරිය දැන්වූයේ ඇයිදැයි තරුණ හෙදියට වහා සිහියට ආවා ය.මේ තරුණිය රැගෙන ආ අයට අවශ්‍ය වූයේ ඇයට ප්‍රතිකාර දී රැගෙන යන්නට ය.

“මොනවහරි බීලත් වගේ..”

“මොකුත් බොන්න වෙලාවක් නෑ..”

“හිස් පැනඩෝල් කාඩ් එකක් තිබ්බ බාත්රූම් එකේ..”

“අනේ ඩොක්ට අද මගෙ පුතාගෙයි මේ ළමයගෙයි එන්ගේජ්මන්ට් එක..”

මෙවැනි දැඩි කාලගෝට්ටියක් වාට්ටුවේ ඇති වී පැයක්වත් ගෙවී නැත.ඉතා සාමාන්‍ය සාරියකින් සැරසී සිටින තරුණිය විවාහ ගිවිස ගැන්මකට සූදානම් ඇති බවක් වාට්ටුවේ සිටි රෝහල් කාර්ය මණ්ඩලයට දැනුණේ නැත.

“ඒ ගර්ල්ට පේන්න ලෙඩක් නෑ. මොකක්හරි ගැටලුවක් තියනව.හැබැයි ශොක් එකක් පේනවා..”

වෛද්‍යවරිය එසේ පැවසූ අන්දම තරුණ හෙදියට අමතක නැත.රෝහල් පොලිස් සේවාවේ සහය ඉල්ලා සිටින තරුණිය ගැන කියන්නට ඈ වහවහා වෛද්‍යවරිය වෙත ගියා ය.

තුරුලි හාත්පස බැලුවා ය.මේ කොහේදැයි සිතා ගන්නට පවා නොහැක.රෝහල දක්වා එද්දී යන්නේ රෝහලකට බව තහවුරු වූ පසු ආදිත්‍ය සහ ඔහුගේ සේනාව වාට්ටුවෙන් නික්මෙන තුරු ඈ දෑස් හැරියේම නැත.

කියවන්න :  ඈත දුර ආකාසේ -16

“අත්තම්මේ..මේ කොහෙ ඉස්පිරිතාලෙ ද?” එහා ඇඳේ සිටි වයස්ගත අත්තම්මා පිළිතුරු දෙන්නට පෙර වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් තුරුලි වෙත ආවේ වේගයෙනි.

“ඔයාව කිඩ්නැප් කළා කියලා අපේ මිස්ට කිව්වද ඔයා..මොකක්ද වුණේ?”

තුරුලි වහවහා කතාව කියන්නට ගත්තා ය.ඊට පෙර හුස්ම ගැනීම ඇරඹූ ඇයට හෙදියගෙන් ඉල්ලා හිඳින්නට දෙයක් විණි.

“මට හරිම බඩගිනියි මිස්.උදේටත් නොකා මං ගෙදරින් ආවේ..”

රාත්‍රියේ මියුරු සමඟ කියවමින් හිඳීම නිසා තුරුලිට උදෑසන ඇඳ පැළඳ ගන්නට පවා පමා විණි.ඈ කාර්යාල සේවයට ගොඩ වන්නට නිවස අසලට වී සිටියේ ද බඩගින්නේ ය.කාර්යාල සේවය පෙනෙන නොපෙනෙන දුරක තිබියදී පැමිණි වෑන් රියක් ඈ එයට නංවා ගත්තේ තුරුලිට කෑගසන්නටවත් නොතබා ය.

“යං.. අපි කසාද බඳිමු..”

ආදිත්‍ය ඇයට නැඹුරු වී කියද්දී තුරුලිට හඬන්නටත් කෑගසන්නටත් ඕනෑ විය.නමුත් වාහනය ධාවනය වූයේ ඇගේ හඬට පිටතට එන්නට ඉඩ නොතබා ය.පාළු ඉඩමක ඇති නිවසකට ඇතුළු වෙද්දී ම දූෂණය වී මිය යන්නට පවා ඇය හිත හදා ගත්තා ය.අම්මාත් තාත්තාත් රැකබලා ගනිමින් ජීවිතය ගෙවන්නට නංගීට සහ රනුකට සියළු ශක්තිය ලැබේවායැයි දෙවියන් යදින්නට ගත් ඇය මියුරුගේ දීප්තිමත් දෑස මතකයේ ඇඳගනිමින් දෙනෙත් පියා ගත්තා ය.

“පහට එයාලා එයි..මාව අරන් යයි.මට ගෙදරට දන්වන්න ඕන..”

තුරුලිට වෛද්‍යවරිය හමුවේ මතකය අවදි කරද්දී ඉකි ගැසෙන්නට පටන් ගත්තා ය.ලේ කුපිත වන කතාවක් අසමින් හුන් වෛද්‍යවරිය තුරුලිගේ අත් දඬුව පිරිමැද්දා ය.

“ඔයා ඩිස්චාජ් කිරීම නොකිරීම තීරණය කරන්නේ අපි.බය නොවී ඉන්න.මොනවහරි කාලා අපි පොලිසියට එන්න කියමු..ඔක්කොටොම කලින් ඔයාගෙ ගෙදරට දන්වන්නත් වෙයි.ෆෝන් නම්බර් එකක් මතක් වෙනවද ඔයාට?”

තුරුලි වහා සඳලිගේ දුරකථන අංකය ලියා වෛද්‍යවරිය අත තැබුවා ය.

රනුක සිටියේ දැඩි මානසික පීඩාවකිනි.කිසිම ආරංචියක් නොලැබෙන තැන හඬා වැළපෙන අම්මා ද සඳලි ද පාලනය කර ගැනීම පහසු වූයේම නැත.සඳලිගේ සහ රනුකගේ මිතුරු පිරිස රිය අනතුරක් හෝ යමක් ගැන විමසමින් ආසන්න රෝහල් පිරික්සන්නට ගත්ත ද කිසිදු ආරංචියක් ලැබුණේ ම නැත.

කියවන්න :  ඈත දුර ආකාසේ -13

“ආදිත්‍ය කාරයා සැකයිනෙ බං..ඌ ගෙදරත් නෑ.ගේ වහලා දාල.ඌ සැකයි කියල අපි ඇන්ට්‍රි එකක් දාමු..”

තුරුලිගේ අතුරුදහන් වීම දැනගෙන වහවහා පැමිණි කසුන්ගේ ඉල්ලීමට රනුක පොලිස් ස්ථානයට ගිය නමුත් පැරණි පෙම්වතා සමඟ අක්කා පැන යන්නට ඇතැයි කියමින් පොලිස් නිලධාරීන් ඒ වගක් වැඩි ගණනකට ගත්තේ නැත.තත්ත්වය වරින්වර විමසන මියුරුට ද තාත්තාට ද දෙන්නට පිළිතුරු නැති වීමෙන් රනුක කම්පනයට පත්ව සිටියේ ය.

ඔහුගේ දුරකථනයට එක්වරම මියුරුගෙන් පණිවිඩ පේලියක් ආවේ ඒ මොහොතේ ය.ලැබුණු පණිවිඩ කිහිපයක් නැවත රනුකට එවීමක් ලෙස තිබු ඒවාගේ වූයේ ආදිත්‍ය සහ තුරුලි විවාහ ගිවිස ගන්නා ඡායාරූප පෙළකි.තුරුලිගේ මුහුණ හැඬීමෙන් විකෘතිව ඇති වග රනුක වටහා ගත්තේ ය.ඔහු පෙරළා මියුරුට ඇමතුවේ ය.

“ඔය ෆොටෝස් ආවේ මේ දැන්.තුරූගේ ෆෝන් එකෙන් මට ආවේ.එයා ආදිත්‍ය මැරි කළා.මට පාඩුවෙ ඉන්න කියල මැසේජ් ආවා. දැන් මාව බ්ලොක්..”

මියුරුගේ කටහඬ කෝපයෙන් රත්ව ගොස් තිබිණ.ඔහු තුරුලි සමඟ කෝපයෙන්දැයි රනුකට ශෝකයක් හට ගත්තේ ය.

“කිඩ්නැප් කරල කසාදත් බඳින්න තරං මුං මොන තිරිසන්නුද බං..ඉන්න තැනකින් හොයමු.ඩිවෝස් කරගන්න බැරිකමක් නෑනෙ..අපි කොහොමද හොයන්නෙ..”

මියුරුගේ හඬ බිඳී යද්දී රනුක තද හුස්මක් හෙළී ය.දැන් මේ ගැටලුව විසඳන සීමාව පසු කරමින් තිබේ.ගේට්ටුව හැරගෙන දිව එන ඉදිරිපස නිවසේ යුවල දෙස ඔහු බලා සිටියේ ය.ඒ නිවසේ කාන්තාව පවසන දේ ඇසුණේ රනුකට පමණක් නොවේ.දුරකථනය එහා ඉම සිටි මියුරු ද ඈ පවසන දේ අසා සිටියා ය.

“ලොකු බබා ගැන ආරංචියට අපේ පුතා කෝකටත් අපේ සීසීටීවි චෙක් කරා පුතා. උදේ හතට විතර ලොකූව බලෙන් වෑන් එකකට නග්ගා ගන්නවා අපෙ සීසීටීවි රෙකෝඩ් වල තියනව..පුතා ඒ ටික කොපි කරනවා.අපි ටක් ගාලා ආයෙ පොලිසියට යමු..”

සඳලි කෑගසාගෙන රනුක වෙත දිව ආවේ ද ඒ මොහොතේ ය.

5 3 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
14 days ago

අපොයි! මෙහෙමත් දේවල් වෙනවද?