ලෝක වාර්තාවක් තැබූ අපේ රටේ පුංචි පුතා

ලෝක වාර්තාවක් තියන්න කෙනෙකුට වයස කීයක් විතර වෙන්න ඕනෑද? අවුරුදු පහක පොඩි දරුවෙක් එහෙම හපන්කමක් කරා කිව්වොත් ඔබ ඒක පිළි ගනියි ද?

මේ එවැනි දක්ෂ දරුවෙක්ගේ කතාවක්. වඩාත්ම සුන්දර කාරණාව ඔහු අපේ රටේ පුතෙක්.

කලානේෂන් හර්ෂිත් පුතා ජීවත් වෙන්නේ නුවර එළියේ විනයාගපුරම් කියන ගමේ. ඔහුට රටවල් 195ක් සහ එහි අගනුවරවල් සිතියමක ලකුණු කර පෙන්වන්න පුලුවන්.මැයි 25 වෙනිදා ඒ සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් තියන්න හර්ෂිත් පුතා සමත් වෙනවා.

ඔහු හිස් සිතියමක රටවල් 195 සහ අගනුවර ලකුණු කර පෙන්වනවා.  ඒ මිනිත්තු 16 සහ තත්පර 4 කින්. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඔහු මේ හපන්කම කරන්නේ.

“Cholan book of world records” කියන ලෝක වාර්තා පොත දැන් වසර තුනක් තිස්සෙ අපේ රටේ ක්‍රියාත්මකයි. හර්ෂිත් තමයි නුවරඑළිය දිස්ත්‍රික් සහ නගර සීමාව තුළ එහි වාර්තාවක් තියපු පළමුවැනි කෙනා. මේ වාර්තා පොත රටවල් 24 ක ක්‍රියාත්මක වෙන්නක්. ඉන්දීය මධ්‍ය රජයේ ලියාපදිංචි මෙය දෙවැනි වෙන්නේ ගිනස් වාර්තා පොතට පමණයි.

මේ වාර්තා පොතේ තමයි පුංචි පුතා වාර්තාවක් තබන්නේ. එය නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ සෞම්‍ය ශාලාවේ පැවැත්වූවා. ලෝකවාර්තාව සඳහා වන සම්මානය, සහතිකය සහ පදක්කම Cholan book of world records සංවිධානයේ පෙරුමාල් නීලමේගම් සහ යෝගදාසන් ජූඩ් නිමලම් කියන මහත්වරු අතින් සිදු වුණා.

පුංචි පුතා ගැන දෙමාපියන් ඉන්නේ පුදුමාකාර සතුටකින්. ඔහුව ගිනස් වාර්තාවක් සඳහා යොමු කරන්නයි ඔවුන්ගේ ඊළඟ බලාපොරොත්තුව.

මේ බොහොම අපූරු සිදුවීමක්. දරුවන් මෙවැනි බොහොම අපූරු හපන්කම් පෙන්වන දුර්ලභ අවස්ථා හමු වෙනවා. ඇතැමුන් කියන හැටියට එය සංසාර පුරුදු වෙන්නට පුලුවන්..නැත්නම් අධික බුද්ධි වර්ධනයක් පුහුණුවක් හෝ යමක් වන්නට පුලුවන්. මෙවැන්නක් දුටු විට ඒ සම්බන්ධයෙන් සතුටු වීම සහ දරුවාට ආශිර්වාද කිරීම ප්‍රමාණවත්.

එහෙම නැතුව රටවල් හඳුනා ගන්න හර්ෂිත් පුතා එක්ක තවම පාට වර්ගවල නම් වරද්දමින් කියන ඔබේ පෙරපාසල් දරුවා සසඳන්න එපා. ලෝකයේ දරුවන් මේ වගේ හපන්කම් කරනකොට “මොනවද පුලුවන්” කියලා දරුවාගෙන් අහන්න එපා. ඔබේ දරුවා ඔහුගේ හෝ ඇයගේ වේගයෙන් ඇවිද යයි. හර්ෂිත්ට ඔහුගේ වේගයක් තිබෙනවා.

දරුවන්ගේ කාල රාමු වෙනස් බව සිහි තබා ගන්න!

හර්ෂිත්ට අපේ රටේ නම තවතවත් බබළවන්නට සුබ පැතුම්! 

Related Articles

Don't Miss


Latest Articles