ඒ රාත්‍රිය නිවසේ කිසිවෙකුට ද නින්ද ළඟා වූ රාත්‍රියක වූයේ නැත.දවසේ කම්පනය තමන්ගේ දිව්‍ය ලෝකය දුටු මතින් පුපුරා ගිය හෙයින් තුරුලිට තදින් උණ ගැනිණ.සිදු වූ දෙය අදහා ගන්නට නොහැකිව හූල්ලන අම්මා පුටුවක වැතිර ඔහේ සිටියා ය.ආදිත්‍ය මොනයම් මොහොතක හෝ කඩා වදින්නට ඉඩ ඇති බව දන්නා රනුක ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුම කැඳවාගෙන තිබිණ.ඔවුන් බලා සිටියේ ආදිත්‍ය එනතුරු ය.නමුත් ඔහු පැමිණියේ ද නැත.
“මහ පුදුම කාලකන්නි මිනිස්සුනෙ මුං..අනික අම්මෙකුට කරන්න පුලුවං වැඩක් ද..ප්‍රියන්ති නංගිට කියන්න අපේ පුතා සීසීටීවී පෙන්නන ගාණට මගේ ඇඟ රත් වෙනව.. ඉස්සරලම වාහනෙන් බහින්නෙ මහ අම්මණ්ඩි..”
පසුදා උදෑසන නිවසේ කාටත් ආහාර පිසගෙන ආ අසල්වැසි කාන්තාව දෝස්මුර දෙන හඬට සඳලි ද තුරුලි ද අවදි විණි.ඕපාදුප සොයමින් කතන්දර ගොතන අසල්වැසියන් බහුල ලෝකයක ඇය කවදත් අස්වැසිල්ලක් ගෙනා චරිතයක් බව දෙසොහොයුරියන් දනියි.පුතෙකු පමණක් සිටි ඇයට “මගෙ කෙල්ලො දෙන්නා” වූයේ තුරුලි සහ සඳලි ය.
“ලොකු බබා, නොතේරුම් කමට ඔයිට වඩා තීරණ අපි අරන් තියනව.ඒත් පස්සෙ හරි ගස්සන් තියනව.පුතා ඔය යාලුකං තියන් ඉන්න කොල්ල එච්චර හොඳ මනුස්සයෙක් නෙවෙයි.ඒ අම්මවත් මං දන්නවා.චාරයක් ඇති ගෑනු මනුස්සයෙක් නෙවෙයි..”
අසල්වැසි කාන්තාව අනේක වාරයක් කී අන්දම තුරුලිට සිහි විණි.මේ අත් විඳින්නේ ලෝකයම එරෙහි වූ තීරණයක වසර ගණනාවක් එල්බ ගෙන සිටීමේ අනිටු පලවිපාක වග සිහි වෙද්දී ඇය සීතල වී ගියා ය.
“ඊයේ පොලිසියට කට උත්තර දීලම මට මහන්සි නංගි.මම කොහොමද ඩිවෝස් කේස් එකකට උසාවිත් යන්නේ..”
තුරුලිගේ දෑසේ කඳුලු උතුරන්නට පටන් ගෙන තිබිණ.සඳලි ඒවා ප්‍රවේසමෙන් පිස දැමුවා ය.මිතුරන් පිටත් කර යවා තිබු රනුක ද කාමරයට එබී බැලුවේ ඉකි බිඳුම් හඬට ය.සඳලි ඔහුට එන්නැයි සන් කළා ය.
“කිඩ්නැප් කරල සයින් එකක් දැම්මෙව්වයි කියල ඒ කසාද ලෙහා ගන්න අවුරුදු පහ හයක් යන් නෑ තුරුලි.වින්ද්‍යා අපිට ඒක ඉක්මනින් කරල දෙයි..”
රනුක ඉකි බිඳින තුරුලිගේ උරහිසට අත තබා කීවේ ය.නමුත් තුරුලිගේ හැඬුම නවතන්නට පහසු වූයේ නැත.
“මං ආදිත්‍යගේ අෆෙයා එක නිසාමයි මියුරුට කැමති වෙන්න කල් ගත්තේ.. ඒත් දැන් මට එයා එක්ක සම්බන්ධයක් තියා ගන්න කොහොමත් බෑ.ඩිවෝස් ගෑනියක් මැරි කරන්නෙ මොකටද එච්චර වටින මනුස්සයෙක්..”
අක්කාට හඬන්නට දී බලා සිටි සඳලි කියවන්නට පටන් ගත්තා ය.ඇය කෝපයෙන් රත්ව ගොස් සිටියා ය.ආදිත්‍ය කුමන මොහොතක හෝ ඒයැයි අම්මා භීතියෙන් සිටිය ද ඇය බලා හුන්නේ ඔහු එනතුරු ය.ඔහුට කන රත් වෙන්නට දෙකක් දෙන්නට සඳලිට ඕනෑ විණි.
“ඩිවෝස් උනාම ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙනව කියල හිතන්නෙ කොහොමද අක්කා? දුස්ට මිනිහෙක් ජීවිතෙන් එලෝලා දාන්න හයියක් තියන ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙන සමීකරණෙ හැදුවෙ කවුද? විකාර කියවන්න එපා.අනික මේ බලෙන් අත්සනක් ගත්තා කියලා ඔයා කොහොමද කසාද ගෑනියක් වෙන්නෙ මල විකාර..”
රනුක බොහෝ වෙලාවක් තිස්සේ මිතුරන් සමඟ කළ සාකච්ඡාවක තිබුණේ ද ඒ කාරණාව ය.මියුරුට ද ඒ සැකය විණි.ආදිත්‍යගේ සාමාන්‍ය පිළිවෙල රනුකගේත් මියුරුගේත් සැකය කොහොමත් වැඩි දියුණු කරන්නක් විණි.
“අනික සඳූ, මට තියන ලොකුම සැකේ ඕක ඇත්ත මැරේජ් එකක්ද කියල..මට සැකයක් තියනව ඕක ඩ්‍රාමා එකක් කියල..”
සඳලි ප්‍රීතියෙන් පිනා ගිය අතර දෝතින්ම රනුකගේ අතක් අල්ලා ගත්තා ය.තුරුලි ඒ විවාහය සිදු වූ ආකාරය සිතන්නට ගත්තා ය.විවාහ ලියාපදිංචියකට සියල්ල සූදානම් කර තිබූ බවක් දුටු ඇය විවාහ වීමට නොහැකි බව කියමින් හඬන්නට කලබල කරන්නටත් ගත් බව ඇයට මතක ය.ආදිත්‍ය කලිසම් සාක්කුවකින් ගත් කුඩා කුප්පියක් අතට ගෙන පුරුදු තර්ජනය ඇරඹුවේ ය.
“ඔයාට ආදරේ කරේ මම.කොහෙන්වත් ආපු මිනිහෙක් ඔයාගෙ අම්මල නංගිලට හොඳ උනාට මට බෑ ඔයා නැති කරගන්න.මං මේක බීලා මැරෙනවා..”
පුතුගේ ජීවිතය බේරා දෙන්නැයි ආදිත්‍යගේ අම්මා අයැදූ මෝඩ විලාසය දැන් තුරුලිට ඇති කරන්නේ කෝපයකි.නමුත් එතැන සැබෑ සැකය යොමු වන්නේ රෙජිස්ටාර්වරයාව බව තුරුලිට ද සිතිණ.ඔහුට ඉක්මනින් විවාහය ලියාපදිංචි කරවන්නට තිබුණේ මහත් උවමනාවකි.අත්සනක් යොදන්නට මහ කාලයක් නුවුමනා වග කියමින් පෙරැත්ත කළේ ද ඔහු ය.
“බඳින දෙන්නගෙන් කෙනෙක් අකමැති උනොත් රෙජිස්ට්‍රාර් කෙනෙක් කසාදෙ කරන් නෑනෙ.ඒත් දැන් ඔයා කියන විදියට ඔන්න ඕක අත්සන් කරන්න ළමයො කියල ඒක කරවන්න හදිස්සිය තිබ්බෙම රෙජිස්ට්‍රාර්ටලුනෙ..”
සඳලි කල්පනාකාරීව පැවසී ය.
“රෙජිස්ට්‍රාර් මට සපෝට් කරයි කියලා හිතුවට ඒක වුණේ නැති නිසා මම කොච්චර දේවල් කල්පනා කළා ද? මගේ ෆෝන් එකත් ආදිත්‍ය අතේ.හැබැයි මම ලොක් එක අරින්න කියපු වෙලාවෙ හෙමින් වොයිස් රෙකෝඩ් ඔන් කළා..ඒක ඔෆ් කර ගන්න ඇති.මියුරුට මැසේජ් කරලා එහෙමත් තිබ්බනෙ”
කලකිරීම අතරින් එසේ පවසා තුරුලි කල්පනාවට වැටුණා ය.ලියාපදිංචියට පසු රනුක හැසිරුණේ සියල්ල ඔහු අතට ආ නියාවෙනි.නාන කාමරයට හෝ යන්නට ඉසිඹුවක් ලැබුණේ ඉන්පසුව ය.අත්බෑගයේ හිස් පැනඩෝල් ඇසුරුම සහ ඒ මොහොතේ ආ හදිසි නුවණ නොවුණානම් අද තමන් ඔහු සමඟ ජීවත් වෙන දෙවැනි දවස නොවේදැයි සිතද්දී තුරුලිව සීතලව ගියා ය.
“මුංගෙ අනිත් හැමදෙයක්ම වගේ මේකත් හොර වැඩක් ඉතිං..පොඩ්ඩක් අපි මේක හොයා ගමු..හොර කසාද ඩිවෝස් කරන්න දෙයක් නෑනෙ.”
රනුක සැහැල්ලුවෙන් පවසද්දී මිදුලේ වාහනයක් නතර වෙන හඬ ඇසිණ.ඒ ආදිත්‍ය වන්නට ඇතැයි තුරුලි භීතියට පත් වෙද්දී කවුළුවෙන් එබී බැලූ සඳලි ගැටළු සහගත මුහුණකින් රනුක දෙස බැලුවා ය.
“මියුරුගෙ අම්මයි අක්කයි ඇවිල්ලා…”