ඉනික්බිති ඇරඹියේ කලබලකාරී කාලයකි.මනමාලිය නංගී වුව ද අක්කා සෑම විටම අලුත් යෝජනා සහ අදහස් අතර අතරමං වී සිටියා ය.ඇයට උදෑසන සිහි වන යෝජනා සවස් යාමයේ අමතකව යාම ගැන චෝදනා කරමින් ද සමහර අදහස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ද සඳලි කාර්යබහුලව සිටියා ය.
“අක්කා නෙවෙයි ඔයා මගෙ අම්මා වගේ..”
සඳලිට අමතකව යන සමහර දේ සොයමින් කරන තුරුලිව වැළඳ සඳලි පැවසුවේ ආදරයෙනි.
“එහෙමත් නෙවේ.මං මේ ඉවෙන්ට් ප්ලෑනින් වලට ආසයිනෙ.ඒකයි..”
තුරුලි නැගණියට විහිළු කරමින් හිනැහුණා ය.උපන්දා සිට ළං වී සිටි නිවුන්නිය මුලින්ම වෙනත් නිවසකට ද ඉතා ඉක්මනින් වසර කිහිපයකට වෙනත් රටකට ද යාම ගැන තුරුලිට වේදනාවක් නොදැනුණා ම නොවේ.
“මියුරුත් මෙහෙ ඉඳීද වෙන රටකට යයිද දන් නෑ..”
විවාහ මංගලෝත්සවයේ කටයුතු අතර ඉසිඹු ලද්දී අම්මා හදිසියේ පැවසුවා ය. ඒ ගැන අසන්නට අමතක වූ බව තුරුලිට සිහි විණි.”මට ස්ටඩීස් කියල හරි ලංකාව දාලා එන්න හිතුණෙම ඔයා ආදිත්‍යගෙ වෙච්ච නිසා.නැත්තං මං එහෙම එන් නෑ..”ඔහු දිනක් පැවසුවේ එහෙම ය.
“අපිත් ආපහු එනව අම්මා.අනික අපි ලෝකේ කොහෙ ගියත් අම්මලා අරන් යන්නෙ..”
සඳලි වහා අම්මා වැලඳ ගත්තා ය.
“ඔයාලගෙ පස්සෙන් වැටි වැටී කරදර කරන්න නම් තාත්තටයි මටයි බෑ පුතේ.ඔයාලා ඕන රටකට යන්න.තව ඉගෙන ගන්න.හොඳම රස්සා කරන්න..අපි දෙන්නා ගෙදර ඉන්නං..මට බැරි කාලෙකට තාත්තා සර්වන්ට් කෙනෙක් ගේන්නේ නැතැයි..”
අම්මා ඈ ආදරයෙන් තැනූ කුඩා කිරිල්ලියන් තටු සවිමත් ව පියඹන්නට සූදානම් වෙද්දී ආදරයෙන් ඉඩ දෙන්නට සූදානම් ය.
“අම්මා ගොඩාක් කල් අපි එනකං බලන් හිටියා කිව්වානෙ..ඊටත් පස්සේ සෑහෙන්න ට්‍රීට්මන්ට්ස් කරා කියලත් කිව්වනෙ.අම්මට තිබ්බෙ හයිරිස්ක් ප්‍රෙග්නන්සි එකක් කියලත් කිව්වනෙ..ඉතිං අපි යයිද අම්මව දාලා..”
සඳලි එසේ අසද්දී තුරුලි අම්මාගේ මුහුණ දෙස බලා සිටියා ය.විවාහ වී සත් වසක්ම අම්මා ඔවුන් එනතුරු මඟ බැලූ කතාව ඈ අසන්නට කැමතිම කතාව ය.
“ඉතිං ඒ හින්දම ඔයාල මට ණය නෑනෙ පුතේ.මං අම්මා කෙනෙක් වෙන්න පුදුම ආසාවකින් සටන් කරපු මනුස්සයෙක්.ඔයාලා ආවේ ඒ සතුට මට දීගෙන.මං කරන්න ඕන ඔයාලට නිදහසේ ලෝකයක් හදා ගන්න ඉඩ දෙන එක මිසක් මං උඹල හින්දා මෙච්චර දුක් වින්දා කියල කියෝන එක නෙවෙයිනෙ.ඔයාලා මගේ තෝරා ගැනීමක්.පුතාලා බලෙන් ආව නෙවේනෙ..”
තුරුලි අම්මා වැලඳ හාදුවක් දුන්නා ය.පුතෙකුට උපත දුන් නිසා තමන් රැජිණක බවත් කුමරු ජීවිතය කාලයම තමන් තුරුලේ ජීවත් විය යුතු බවත් කුමරුගේ බිරිඳ දාසියක වූවාට කම් නැති බවත් කියවන ආදිත්‍යගේ අම්මා ඇයට සිහි වූයේ හදිසියේ ය.ඈ ඒ මතකයෙන් සිනා වූවා ය.
“අක්කානම් බලෙන් ආවෙ අම්මේ.මාවත් පෙරළගෙන කලින්ම එළියට ආවෙ ඒකනෙ”
ඇය පියවි ලෝකයට ආවේ නැගණියගේ කතාවට ය.අම්මා ඒ අසා නගන රිදී සීනු සිනාවට ය.
“බොරු වියදම් අඩුම කරලා චාම් වෙඩින් එකක් ගත්තත් හරි මහන්සියක් වෙන්නෝනෙ අප්පා”
තුරුලි එසේ දිනක් උදෑසනම එසේ පැවසුවේ ඇයට යාබදව හුන් කසුන් ට හා අසේනිට ය.
“හිතිච්ච ගමන් බඳින මිනිස්සුන්ට ඕවා නෑ.තුරූ, ඔයත් මියුරුට එන්න කියල බඳින්න.එයාට තාම ජොබ් එකක් නැතුවට කමක් නෑ.ඔයාට තියනවනෙ.දැන් ට්‍රෙන්ඩ් එක ඒක..”
අසේනි පවසන්නේ සිනා අතරිනි.තුරුලිට ඒ කතාවට පදනම් වූ ඕපාදූපය දැන ගන්නට ඕනෑ විණි.
“අර මෝඩි ඊයේ ලීව් දාල තිබ්බෙ බඳින්න..”
ඇය මෑතක හුන් එරංගාව දෑස් වලින් පෙන්වා අනතුරුව පැවසුවා ය.ප්‍රථම ප්‍රේමය විවාහපත් ආරංචියට වඩා තුරුලිට ශෝකයක් දැනුණේ එරංගා අමාරුවක වැටුණු වග සිහි වීමෙනි.
“ඒකත් අපේ තුරුලියාට කරා වගේ හොර කසාදයක්ද කියන්නත් බෑ බං..”
කසුන් කල්පනාකාරීව පැවසුවේ ය.මෙවර නම් ආදිත්‍ය විවාහ වී ඇත්තේ සැබෑවටම බව පවසමින් අසේනි හිනැහුණා ය.
“ඔයාට අප්සට් උනාද තුරූ..කුමාරයෙක් වගේ කොල්ලෙක් ඉද්දී අර මෝඩයා ගැන හිතන්නෙ පිස්සුද?”
අසේනි කෝපත් ස්වරයකින් ඇසුවා ය.තුරුලි වහා සිනාවක් පැලැන්දා ය.
“මට දුක මේ එරංගා ගැන අසී.දැන් හිතන්නකො, රස්සාවකුත් නැති මනුස්සයෙක් බලා ගන්න වෙනව කියන්නෙ..මොන දුකක්ද..”
ඊයේ විවාහ වූ බව කියන්නට එරංගා කේක් සහ කෙටි කෑම වර්ග කිහිපයක් ඇණවුම් කර තිබුණා ය.නේත්‍රා කේක් කැබැල්ලක් අතට ගත්තේ උවමනාවටත් වඩා උස් හඬින් එරංගාට සුබ පතමිනි.
“ගෑනු හේතුවක් නැතිව අතෑරලා දාපු හින්දා පිස්සෙක් උනු කොල්ලෙක්ව ගොඩ ගන්න හැමෝටම බෑ එරා..ඔයාට ඒ පිනම ඇති ලස්සන ජීවිතේකට.ලොකු අතු අල්ලගන්න ගිය අයට වෙන දේයි ඔයාට වෙන දේයි අපිටත් බලන්න බැරියැ..”
තුරුලි කෝපයෙන් රත්ව ගියා ය.කසුන් සන්සුන් වන්නැයි දෑසින් කියද්දී අසේනි තුරුලිට නැඹුරු වූවා ය.
“අහක ඉඳන් කියෝන උන් වැඩක්ම නෑනෙ.ඔව් අපිටත් ඉස්සරහට බලන්න පුලුවං ෆැමිලි ලයිෆ්වලයි අනාත නිවාසවලයි වෙනස…ඔයා කූල් එකේ ඉන්න සුදූ..”
විවාහයක් කියන්නේ පිරිමියෙකු සමඟ එක් වී ජීවිතය දිග ඇවිද යාමක් මිස ඔහු හදාවඩා ගැනීමක් බව නොදත් ගැහැනුන් දෙදෙනා දෙස අනුකම්පාව මුසු බැල්මක් හෙළූ තුරුලි පරිගණකයට නෙත් අලවා ගත්තා ය.