හේමන්ත සන්ධ්‍යා -6

වෙනදා සේ ම ලෝකයට ඉර පායා ආවේ ය. අවදි වන විටත් නිකිනි ගේ ළය මත මහ කන්දක බර පැටවී තිබිණි. නමුත් ඕ කඳුළක් තබා සුසුමක් හෝ හෙළුවේ නැත. 

ගෙන ආ ඇඳුම් කැබලි කිහිපය ඕ බෑග් එකෙහි ඔබා ගත්තා ය. වෙන දා සේ ම ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව ද කළා ය.

“හෙට ඉඳං බාප්පට තමයි තවන්න එහෙම වෙන්නෙත්”

මිත්‍ර දෙස බලා ඕ සිනා සී ගෙන කීවා ය. ඒ වූ කලී හඬන්නට බැරි කමට නගන සිනහවක් බව කිසිවෙකු වටහා ගත්තේ නැත.

“පප්පා ගැන නං බලන්න ඔය ඕන තරං ඈයො මේ ගෙදර ඉන්නෙ. නිකිනි ඒව ගැන හිතන්න ඕන කමක් නෑ. තමුංගෙ පවුල් ජීවිතේ ගැන හිතන්න”

සුමනා ගේ කතාවට ඩෙස්මන් නො රිස්සුම් විය.

“ඉන්නව ඉන්නව. ඕන තරං ඈයො ඉන්නව නේන්නං. මේ මාස තුන හතරෙ මේ කෙල්ල මෙහෙ නො හිටියනං මං මැරිච්ච තැන් වල ගසුත් පැළ වෙලා”

ඩෙස්මන් මීට මාසයකට ඉහත දී කතා කළේත් පැහැදිලි ව වචන උච්චාරණය කළ නො හැකි ව ය. දැන් ඔහු හොඳින් කතා කරනවා යි නිකිනි ට සිතිණි. ඈ නැතිවත් ඔහු ව සම්පූර්ණයෙන් සුව කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න ට සුමනා ට හා මිත්‍ර ට බැරි කමක් නැතැයි ඈ සැනසුමෙන් සිතුවා ය.

“දෙයියංගෙ පිහිටෙන් දැන් පප්පට හොඳයි”

ඩෙස්මන් ගේ හිස මඳක් පිරිමැදි නිකිනි ඉක්මනින් කාමරයෙන් නික්මුණා ය.

ඔබේසේකර මැදුරෙන් නික්ම මංජුල ගේ නාවල පිහිටි නිවසට යන්නට ඕ සූදානම් වූවා ය. හදවතින් මිය ගිය ගැහැනියකට කොහේ ජීවත් වුණත් එක ය! ප්‍රේමය ගැන විශ්වාසය බිඳී ගිය ගැහැනියකට වෛරයේ ගිනි දලු අතර වුව දවස ගත කරන්නට බැරි නැත!

සුමනා හා නිකිනි කුළී රියක් ගෙන්වා ගෙන ඉන් මංජුල ගේ නිවස බලා නික්ම ගියහ. යන්නට පෙර සුමනා ඔහු ට කතා කොට ඔහු ගෙදර සිටිනවා දැයි විමසුවා ය.

“ඉන්නව ග්‍රැනී. තව පැය දෙකක් විතර යනකල් මං ගෙදර ඉන්නව”

නිකිනි සුමනා ළඟට ම වී මංජුල ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත් දැයි අසා සිටියා ය.

ඇය සුසුමක් හෙළුවේ මේ කිසි දෙයක් පිළිබඳව නිරවුල් නිගමනයකට එළඹිය නො හැකි ව ය. නිකිනි යළි ගෙදර එන එක ගැන මංජුල ස්වර තානයෙන් හෝ නො සතුටක් හැඟවූයේ නැත. මිනිසුන් ට එවන් දෙබිඩි පිළිවෙත් ලැබුණේ ජීවත් වීම පහසු කරවනු වස් විය යුතු ය. ඇය ඇතත් නැතත් ඔහු ට වෙන ම ජීවිතයක් තිබේ. විශ්ව විද්‍යාලයේ සිය ගෝලයෙකු වන ඒ තරුණියට මංජුල සැබවින් ම පෙම් කරනවා ඇත්ද යන ප්‍රශ්නය හදිසියේ ම නිකිනි තුළ ඇති විය. යම් ආකාරයකින් නිකිනි ඔහු වෙතින් නික්ම ගිය හොත් ඒ යුවතිය හා විවාහ වන බලාපොරොත්තුවක් මංජුල වෙත වනවා ද? නිකිනි ව යළි ගෙන්වා ගැනීම වෙනුවෙන් ඔහු කිසිදු පරිශ්‍රමයක් නො දරා බලා සිටියේ එනිසාවෙන් ද? 

ද්වේශ සහගත හැර යාම!

නීත්‍යානුකූල දික්කසාදයක් සඳහා ප්‍රධාන හා ප්‍රබල සාධකයක් වන ඒ වගන්තිය නිකිනි ගේ මනස අරා සිට ගත්තේ ය. මංජුල බලා උන්නේ ඒ වගන්තියේ වාසිය ඔහු වෙත ලබා ගන්නට විය නො හැකි ද?

නිකිනි හා සුමනා යන විට මංජුල දිය නා ගෙන නාන කාමරයෙන් පිටතට ආවා විතර ය. ඔහු ගේ මවු කෑම පිසිමින් සිටියා ය. නිකිනි ව දුටු නැන්දම්මා ගේ මුහුණේ ඇඳුණු නො පහන් බව ඈ යටපත් කර ගත්තේ සුමනා දුටු නිසා ය.

“මං මේ නිකිනි ගෙ ග්‍රැනීට කතා කරන්න කියල හිත හිත හිටියෙ. අල්ලපු වැටේ හිටියත් මට හැමදාම ඇවිත් මෙයාට කෑම උය උය ඉන්න බෑ කියන්න”

යටපත් කර ගන්නට ගිය නො රිස්සුම නැන්දම්මා ගේ හඬේ තැවරී තිබෙන බව නිකිනි ට දැනිණි. සුමනා වැරදිකාර සිනහවක් නගා ගත්තා ය.

“කොල්ලංව හදන්න නැහිල නැහිල හොඳට උගන්නල සමාජෙ තැන් වලට අරන් ගිහින් ගෑනු අරං දුන්නට පස්සෙත් උය උය ඉන්න පුළුවන් ද…දැං ඒව මට අයිති දේවල් නෙවෙයිනෙ”

“ඒක ඇත්ත. මාත් නිකිනිට කිව්වෙ ගේ ඇතුළෙ ප්‍රශ්න පුළුවන් තරං ගෙයිදිම විසඳ ගන්න කියලයි”

“දැං හැදෙන ඈයො කොහෙද ඕව දන්නෙ. මං යනව නිකිනිලෑ ග්‍රැනී”

කියමින් ඕ තොමෝ නික්ම යන යුරු නිකිනි බලා උන්නේ සංකා සිතකිනි. පුතා ට බිරිඳ ක සරණ පාවා දුන්නේ ඔහු ගේ මෙහෙකාර කමට ද කියා අසා ගන්නට නො හැකි වීම ගැන නිකිනි පසු තැවුණා ය.

“අපරාදෙනෙ ග්‍රැනී ආවෙ. මොකද මෙයාට ටැක්සි එකක නැග්ගහම තනියම එන්න බැරි කමක් නෑනෙ”

මංජුල ගේ පිහි තුඩු වචන වලට සුමනා මඳහස පෑවා ය. මංජුල ඒ වක්‍ර ව ඉඟි කළේ සුමනා පැමිණි එක ගැන වන අප්‍රසාදය බව නිකිනි නම් වහා හැඳින්නා ය. ආත්ම වේදනාව හිස ඔසවන්නට හැදුවේ ය. නමුත් ඕ යටි තොල් පට සපා ගෙන හැඟීම් වාවා ගත්තා ය.

“ග්‍රැනී යන්න. පප්පා තනියමනෙ”

ඕනෑ ම දේකට තනිව මුහුණ දෙන්නෙමැයි නිකිනි තරයේ හිතා ගත්තා ය. තමන් ගේ අය තමන් නිසා දුක් විඳිනවා බලන එක වඩා අසීරු ය.

නිකිනි යළි පැමිණි එක ගැන තබා ගිය එක ගැන හෝ මංජුල වදනකුදු නො දෙඩුවේ ය. එහෙම හැසිරෙන්නට කෙනෙකු හට හැකි වන්නේ කෙසේ දැයි නිකිනි දැන සිටියේ නැත. ඔහු ඉන්නේ ඈ එක්ක අසීමිත කේන්තියකින් ද නැත්නම් කිසිදු හැඟීමකින් තොරව ද කියා හෝ වටහා ගත හැකි ඉඟියක් මංජුල ගෙන් නො ලැබිණි. 

ජීවිතය කියන්නේ මොන තරම් විහිළුවක් දැයි, ගේ අතු පතු ගාන ගමන් නිකිනි සිතුවා ය. විදත් කියන්නේ නැවත වතාවකට ඇයට දකින්නට හෝ ලැබිය හැකි වස්තුවකැයි මීට පෙර ඇය සිතා තිබුණේ නැත. සමහර පුද්ගලයන් හා මතක එහෙම ය. ඒවා දිය මත ඇඳි රේඛා සේ ය. නො තිබුණා නොවේ. නමුත් පවතින්නේ ද නැත. යළි ඒ හැඟීම විඳ ගන්නට ලැබෙතැයි නො සිතෙන තරමට ඒ මතක පවා අදෘශ්‍යමාන ය. නමුත් හදවතේ ගැඹුරට දැනේ. 

හදවත පත්ලේ ඇනුණ කටුවක් සේ, ඔහු මේ ගෙවී ගිය දශක දෙක පුරා ම හිඳ ඇති බවක් නිකිනි ට පැහැදිලි ව දැනෙන්නේත් දැන් ය. ඒ කටුව ගලවා දමන උවමනාවක් කිසි දා ඇය ට දැනී නැත. හිම කුණාටු සමයෙක කටු තුඩු අනින ශීතල හා කෑලි කැපිය හැකි ගණඳුර පමණක් සත්‍යය බව සිතා සිටියදී, හදිසියේ පහල වූ හිරු කිරණ කදම්බයක් සේ ඇය ට විදත් ව දැනේ. නිකිනි ඇස් දෙක යන්තම් පියා පපුව පිරිමැද ගත්තා ය. ඇගේ රතදර මතට තෘප්තිමත් සිනහවක් පැමිණියේ ය. අඩු තරමින් මියෙන්නට පෙර වතාවකට ඈ ඔහු දැක ගත්තා ය!

නැවත ආවා කියා කිසි වෙනසක් නැත්තේ ය. පුරුදු ජීවිතය ම ය. උදේ ට මංජුල ගෙදරින් නික්ම යයි. පාන්දර හතරට පිබිද නිකිනි කෑම පිස පිඟානට බෙදා, තවත් පිඟානකින් වසා, සුදු නැප්කින් එකකින් ගැට ගසා මෝටර් රථයෙන් ගොස් තබයි. ඊළඟට ගේ මිදුල් අතු ගා මංජුලත් ඇයත් පෙර දා හැඳි ඇඳුම් සෝදයි. හිතුණොත් දවල් ට කයි. නැත්නම් නොකා හිඳියි. හැන්දෑ වරුව නිදයි. යළිත් රාත්‍රියට ඔහු වෙනුවෙන් කෑම පිසියි. රෑ බෝ වී ගෙදර එන මංජුල ගෙන් ප්‍රමාදයට කරුණු නො විමසා ම, ඔහු වෙනුවෙන් අප්‍රසන්න හැඟීමෙන් යුතු ව සිය සිරුර දන් දෙයි. ඇගේ විවාහ ජීවිතය එපමණකි.

“දැන් මොකද තත්වෙ…මංජුලගෙ අවුලක් නෑ නේද…”

බිනුරි දුරකථනයෙන් ඇසුවා ය.

“නෑ”

නිකිනි  ගේ පිළිතුර කෙටි ය.

“ඒකනෙ මං කිව්වෙ. ඕව හරි යයි කියල”

“හ්ම්…”

හැම කෙනෙකු ගේ ම විවාහ ජීවිතය කියන්නේ එබඳු තැනක් දැයි ඇය සිතුවා ය. සමහර විට ඔය විදිහට කතා කරන්නේ බිනුරි ලාත් ජීවත් වන්නේ එසේ ම වනවා ඇත. වෙනස තියෙන්නේ නිකිනි කෙරේ ය. එසේ නම් ඒ තමන් හිතන විදිහේ වරදක් වන්නට ඇතැයි ඇය සිතා ගත්තා ය.

විදත් කියන්නේ කිසි දා අමතක කළ හැකි මිනිසෙකු නොවන බව ද ඇය නිවැරදි ව පසක් කොට ගත්තේ මේ කාලයේ දී ය. හදවතේ ඇනී ඇති උල් කටුව කිසි දා ගලවා විසි නො කරන්නට ද ඇය තමන් එක්ක ම ගිවිසුමකට ආවා ය. 

මේ සියල්ල සිදු වූයේ සතුටෙන් හෝ කැමැත්තෙන් නොවේ. දුක විඳීම තුළ තිබෙන්නා වූ රසයට නිකිනි ඇබ්බැහි වෙමින් සිටියා ය. මංජුල ට ශරීර පූජාව සිදු කරන වෙලාවේ දීත් ඇගේ හිතේ හිටියේ විදත් ය. ඒ අත්දැකීම ඒ සා අප්‍රසන්න වීමට හේතුව ද එය විය හැක.

නිකිනි මංජුල ට මුළුමනින් ම නිදහස දුන්නා ය. ඒ ඇගේ මනෝ ලෝකය තුළ උපරිම නිදහස ඇය වෙනුවෙන් ද ලබා දෙමිනි. වයස අවුරුදු විස්සක යුවතියක ගේ තත්වයට පිවිස ඇය විදත් ට පෙම් කරමින් සිටියා ය.

“විදත් අංකල් නිකිනි ට කෝල් කළාද..”

නිකිනි බලන්නට ආ වෙලාවක සුමනා විමසුවා ය. නිකිනි මුව අයා බලා උන්නේ මේ ප්‍රශ්නය කුමක් අරබයා නැගුණක් දැයි හිතා ගත නො හැකිව ය. 

“නෑ මේ…විදත් අංකල් ආයෙ රට ගියා. අපිට කියන්න ආව දවසෙ නිකිනි ගෙ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා යනව කියන්න කියල”

පපුව මැද්දේ ම බෝම්බය පුපුරා ගියේ ය. කැබැලි විසි වී කම්පනය ඈතට ගසා ගෙන යන තුරු නිකිනි නිශ්චල ව උන්නා ය.

“මට කතා කළේනං නෑ”

“වැඩත් එක්ක බැරි වෙන්නැති. අර ඉතිං අපේ ගෙදර ආපු වෙලාවෙ නිසා…නිකමට වචනෙට ඉල්ලන්න ඇති නම්බර් එක”

බෝම්බ පුපුරත්දී ට වඩා රිදුණේ සුන් බුන් අතු ගා දමන විට ය. නිකිනි බිම බලා ගත්තා ය.

මීට පෙර ඔහු ට ඇය සිය දුරකථන අංකය ලබා දී තිබේ. එයින් තුන් දවසකට පසු ඇය ට කතා කරන තුරුත් එය ඔහු සන්තකයේ සුරක්ෂිත ව තිබූ බව නිකිනි දනී. ඒ කතා බහෙන් පස්සේ ඔහු ඒ අංකය මකා දැමුවේ ද? ආයේ කිසි දා ක ඔහු ට එය උවමනා නො වනු ඇත කියා ඔහු එය විසි කොට දැමුවේ ද? 

පපුව පතුලේ රිදුම් පෑරී තිබිණි. නමුත් නිකිනි ඒ රිදුම් හෝ මතක හෝ අමතක කර දමන්නට නො වෙහෙසී ඒවා ඔහේ තියෙන්නට හැරියා ය. ඈ හැඬුවේ මංජුල විසින් සිය සිරුර හපයක් බවට පත් කරන රාත්‍රීන් වලදී ය.  ප්‍රේමයක් හිතින් දරා ගෙන පිරිමියෙකු හට තුරුලු වීමත්, නීති අයිතියක් වෙනුවෙන් පිරිමියෙකු ගේ ගොදුරක් වීමත් අතර ඇති වෙනස ගැන හිතමින් හැඬුවා ය. විදත් ඇගේ ප්‍රේමය හඳුනා ගන්නට හෝ ඉක්මන් නොවීම ගැන හිතමින් හැඬුවා ය. ඒ කඳුළු වූ කලී ගොළු ගැහුණු හැඟුමන් කන්දක් දිය වීමක් පමණකි. නිකිනි ගේ මුවින් ඉකියක් හෝ නැගුණේ නැත!

විදත් එදා නිකිනි ගේ දුරකථන අංකය ඉල්ලා ගත්තේ ඇය ගැන යමක් සුමනා ගේ මුවෙන් පිට වෙනු ඇති බවට අපේක්ෂාවෙනි. නො එසේ වී නම් ඔහු සන්තකයේ නිකිනි ගේ අංකය තිබිණි.

“අපෝ දැන් ඔය දෙන්නා හොඳට ඉන්නෙ”

සුමනා කීවා ය. විදත් ගේ මුහුණ  මත වූ සිනහව දිගට ම නො වෙනස් ව පැවතිණි.

“ඒකනෙ මං කිව්වෙ ඕව හරි යයි කියල”

ඔහු කීවේ ය. නමුත් ඒ වෙලාවේත් විදත් ට සිහිපත් වෙමින් තිබුණේ ඇගේ කඳුළු ය. කෙසේ වෙතත් යළි මවු බිමෙන් පිට වෙන්නට පෙර නිකිනි ට ඇමතුමක් නොදී ඉන්නට විදත් ව පොළඹවා ලූයේ සුමනා ගේ ඒ වචන ටිකයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles