නිකිනි ළඟ තිබූ පුටුවක් ඇද ගෙන ඒ මතට වැටුණා ය. ඇය ට දැනුණේ මුළු ලෝකය ම ඈ කේන්ද්‍ර කර ගෙන භ්‍රමණය වන්නා සේ ය. මංජුල ගැන කිසිදු හැඟීමක් දැන් ඈ තුළ ශේෂ වී නොමැති බව සත්‍යයකි. නමුත් ඔහු ගේ ලාබාල පෙම්වතිය මෙසේ බයක් සැකක් නැතිව නීත්‍යානුකූල බිරිඳ ට දුරකථන ඇමතුමක් දෙත්දී, නිකිනි වාගේ තැලී පොඩි වී අත්දැකීම් නැති ගැහැනු ආත්මයකට එය තරමක කම්පනයකි.
“මිස්…මිස් ගෙදරින් ගිහින් හිටියා කියල මං දන්නව. ඒ දවස් වලයි මට මිස් ට කතා කරන්න ඕන වුණේ. ඒත් මොබයිල් නම්බර් එකක් මගෙ ළඟ තිබුණෙ නෑනෙ. සර්ගෙන් ඉල්ලුවට ලැබෙන්නෙ නෑ කියල මං දන්නවනෙ”
නිකිනි ට දැනුණේ සිය හුස්ම හිර වෙන්නට එනවා මෙනි. සැමියා එක්ක ඇගේ වන සම්බන්ධය ඉතා දුර්වල එකක් බව ඇත්ත ය. නමුත් ඈ ගැන සියල් තොරතුරු ඔහු සිය පෙම්වතිය ගේ කනේ තබතැයි නිකිනි නිකමට හෝ සිතා තිබුණේ නැත. මේ මොහොතේ ඇය ට මහත් ලැජ්ජාවක් දැනිණි. හීන මානයක් දැනිණි. කසාද සහතිකයක් කියා කියන්නේ හරි වටින දේ කැයි ලෝකයා සිතා සිටියි. නමුත් එය තුට්ටුවකට නො වටින දෙයක් බව මේ නිමේෂය නිකිනි හට පසක් කොට දී තිබේ.
“මිස් ආයෙ ගෙදර ආව කියල දැන ගත්ත ගමං ඒකයි මං ලෑන්ඩ් ලයින් එකට කෝල් කළේ”
ඇයි කියා අසන්නට නිකිනි ට උවමනාව දැනිණි. නමුත් ඊට හෝ මුව විවර කර ගන්නට තරම් ශක්තියක් ඇය වෙත වූයේ නැත.
“අනේ මිස්…මං හින්දා සර්ගෙන් ඩිවෝස් වෙන්නනං එපා මිස්. ප්ලීස්…මං මිස්ගෙන් වැඳල ඉල්ලන්නං”
අහසින් පොළොවට වැටුණා සේ නිකිනි වෙව්ලා ගියා ය. මේ ඇහෙන්නේ මොනවා ද කියා ඇයට තවමත් වටහා ගත නො හැකි ය. මේ ලෝකය කොහොම තැනක් ද කියා ඇයට සිතා ගත නො හැකි ය.
“ඇයි…”
නිකිනි අසීරුවෙන් කට හඬ බිඳ ගත්තා ය.
“මට සහ ගහයි මිස්. ඇත්තටම මේ කිසි දෙයක් හරියට දැනගෙන මං සර් එක්ක සම්බන්ධයක් පටං ගත්ත නෙවෙයි. ඒ වගේම මං දැං හොඳට දන්නව මිස් සර්ගෙන් ඩිවෝස් වුණා කියල වුණත් සර් මාව මැරි කරන්නෙ නෑ”
“ඇයි ඒ…”
ඒ ප්රශ්නය නගත්දී ම, මේ වයසේ හිඳින තමා ඒ වයසේ සිටින ඇය ට වඩා කෙතරම් අනුවන දැයි නිකිනි ට සිතිණි.
ගුවනි සුසුමක් හෙළුවා ය. ඒ සුසුමින් දැවී ගියේ නිකිනි ය.
“මං කියන්නෙ සර්ට තවත් එක කෙල්ලෙක් විතරයි. දවසක මිස් ව හම්බ වෙන්න පුළුවන් වුණොත් මං ඒ හැම දේම කියන්නං. ගෑනු අපිට වරදින්න මහ වෙලාවක් යන්නෙ නෑනෙ මිස්. මොනා වුණත් මිස් ට කසාදෙ කියන අයිතිය තියෙනව. මිස් ඒක නැති කර ගන්න එපා. මං තියන්නං මිස්”
නිකිනි යමක් කියන්නටත් පෙර දුරකථනයේ එහා ඉම බිඳ වැටී ඇති හඬ ඇසිණි. නිකිනි සුසුමකින් නිදහස් වෙමින් රිසීවරය තබා නැගිට ගත්තා ය. ඒ වුණත් ඇයට දැනුණේ කකුලක් ඔසවා තැබිය නො හැකි මහත් බරකි.
හදවත ගලක් සේ තද වී ඇති බවක් නිකිනි ට දැනිණ. මුළු දවස පුරාම ඇය වචනයෙන් පහදා කිව නො හැකි පීඩනයකට ගොදුරු වී සිටියා ය. ඇය මෙතෙක් සිතා සිටියේ මංජුල සිය පෙම්වතිය නිසාවෙන් ඇයට වෙනස් කම් කරන බවකි. ඇය ට ආදරය නො කරන බවකි. ඔහු බලා ඉන්නේ ඇය නීත්‍යානුකූල ලෙස ඇගෙන් වෙන් වන තුරු ගුවනි ව කැටිව එන්නට යයි නිකිනි සිතා සිටියා ය. නමුත් ඇය කියන්නේ වෙනත් කතාවකි. මේ දේවල අගක් මුලක් හිතා ගන්නට, විශ්ව විද්‍යාලයේ උගන්වන මංජුල ගේ හෝ එහි ඉගෙන ගන්නා ගුවනි ගේ අරමුණු වටහා ගන්නට තමන් උගත් තරම මදි යයි අන්තිමට නිකිනි නිගමනය කළා ය. කෙසේ වෙතත් ගුවනි පිළිබඳව නිකිනි තුළ ඉතිරි වූයේ සියුම් කණගාටුවකි.
“ගුවනිට දැං මොකද වෙන්නෙ..”
රෑ කෑම මේසයට මංජුල හිඳ ගත් පසු, යාබද පුටුවක් ඇද එහි හිඳ ගත් නිකිනි ඇසුවා ය. මංජුල තිගැස්සී ගියේ ය. නිකිනි වාගේ නෝන්ජල් ගැහැනියක ගෙන් ඔහු ට එවන් ප්‍රශ්නයක් බලාපොරොත්තු විය නො හැකි තරමි.
වෙනදා ට නම් නිකිනි මේසයට කෑම හැර තබා නිදන කාමරයට යන්නී ය. නමුත් අද ඇය මේසය ළඟ නතර වූයේ හැමදාමත් ගොළු බිහිරි එකියක සේ නො හිඳ සිදු වෙන යමක් දැන ගැනීමේ අයිතිය ඇයටත් ඇතැයි සිතුණ නිසා ය.
“මොකද්ද…”
මංජුල නො රිස්සුම් සහගත හඬක් ද බැල්මක් ද ඇති ව නිකිනි දෙස රවා බැලුවේ ය. වෙනදා සේ නිකිනි ඒ රැවුම ළඟ දුර්වල වී පලා ගියේ නැත.
“මං හිතන්නෙ ඔයාට ඒක ඇහුණා. මං ඇහුවෙ දැං ගුවනිට මොකද වෙන්නෙ කියල”
මංජුල ඉදිරියේ පෙර කිසි දිනෙක දැනී නැති විදිහේ ශක්තියක් ද ආත්ම අභිමානයක් ද නිකිනි ගේ හිස අරා නැගිණි. ඇය කෙලින් ම සිය සැමියා දෙස බැලුවා ය. නමුත් ඔහු ඒ බැල්ම මග හැරියේ ය.
“මොන ගුවනියෙක්ද…පිස්සු…”
නිකිනි අඩ සිනහවක් නගා ගත්තා ය.
“මං කිව්වෙ ඔයාගෙ අර කැම්පස් එකේ ස්ටුඩන්ට්…ඔයා සම්බන්ධයක් පවත්තන ළමය….අන්න එයා ගැන. මං දන්න විදිහට ඒක දුර දිග ගිය සම්බන්ධයක්නෙ”
“අනේ මේ නිකිනි මට කන්න දීල මෙතනිං යනවද…මොන මගුලක්ද මේ..”
“මංජුල මේ…ඔයා හිතං ඉන්න තරං මං නෝන්ජල් ගෑනියෙක් නෙවෙයි හරිද…කසාද සහතිකේ තියෙන්නෙ මගෙ අතේනෙ කියල ඔයාට ඕන දහදුරා කමක් කර ගන්න ඇරල කට ඇරං බලං ඉන්න තරං මං මෝඩ නෑ මට පිස්සුත් නෑ. මං දුර්වලත් නෑ. ඔයා ඒ ළමයට සාධාරණයක් කරන්න ඕනෙ මංජුල”
“මේ ගෑනිට ඔල්මාදෙද කොහෙද”
කියමින් හෙතෙම බත් කටවල් කිහිපයක් කා ගෙන කා ගෙන ගියේ ය. නිකිනි අයා ගත් නෙතින් ඔහු දෙස බලා ගෙන ම සිටියා ය. මේ මිනිසා කුමට ඇය ව විවාහ කර ගත්තා දැයි එසේ සිටින අතරේ ඇය ට සිතිණි.
“මංජුල”
එවර ඇය ඉතා මෘදු ලෙස කතා කළේ, මංජුල කියන්නේ නො හික්මුණ සුනඛයෙකු ගේ තත්වයට පිවිසිය හැකි මිනිසෙකු බව අත්දැකීමෙන් ම දන්නා නිසාවෙනි. නො හික්මුණ සුනඛයෙකු වුව හික්මවා ගත හැකි භාෂාවක් තියේ.
“ඔයාට තියෙන ප්‍රශ්නෙ මමද මංජුල…ඔයා බලං ඉන්නෙ මං ඩිවෝස් වෙනකල්ද…මං එහෙම කළොත් ඔයා ගුවනිව මැරි කරනවද…”
ඒ අන්තිම ටික කියා ගෙන යන විට නිකිනි ගේ හඬ බර වි ගෙන ද බිඳී ගෙන ද ආවේ ය. නමුත් නො හඬන්නෙමැයි ඇය තදින් හිතා ගත්තා ය. මංජුල ට පෙම් කරන්නට විවාහයෙන් පසු නිකිනි උත්සාහ කළබව ඇත්ත ය. විදත් කියන්නේ ඈ යොවුන් වියේදී දුටු සිහිනයක් නොවේ. සැබවින් නිකිනි ගේ යොවුන් විය පිරිමි ඇස් බැල්මකින් පවා කිළිටි නොවූ එකකි. එපමණට ම ඕ පිරිමින් ගෙන් ඈත් වෙන්නට හේතුව නම් විදත් ගැන ළමා වියේ දී හිතට බලපෑ මතකය විය යුතු ය. කිසිදු පුරුෂයෙකු ඒ ළමා වියේ වීර චරිතය හා සසැඳුණේ නැත. සමපාත වූයේ නැත. ඒ නිසා ඕ නිසොල්මනේ සිටියා ය. පුවත්පතක මංගල යෝජනා තීරයේ යෝජනාවක් පළ කරවා, විවාහය සඳහා මංජුල ව තෝරා ගැනුණේ සුමනා ගේ උවමනාවට ය. කෙසේ වෙතත් විවාහයෙන් පසු ඒ සිය ජීවිතය සේ සිතන්නට නිකිනි උත්සාහ කළා ය. ඒ වෙනුවෙන් කැප වුණා ය. මංජුල උගත් මිනිසෙකු වූවා ට ස්ත්‍රීන් විෂයේ ඔහු ට වන්නේ සම්ප්‍රදායික අදහස් බව වටහා ගත් ඕ සම්ප්‍රදායික බිරිඳක ගේ තත්වයට පත් වී ඔහු වෙනුවෙන් කැප වූවා ය. එතකොට ඔහු වඩාත් තෘප්ත කළ හැකි යයි සිතුවා ය.
නමුත් ඈ පැතු සුර විමන තනවා ගන්නට නිකිනි සමත් වූයේ නැත.
කෙසේ වෙතත්, තමන් ගේ සිත්හි ඔහු කෙරේ ප්‍රේමයක් නො පවතින බව විදත් ගේ පුනරාගමනයත් සමග ප්රත්යක්ෂ කර ගැනීමෙන් පසුව වුව, සිය විවාහක පුරුෂයා ගෙන් එම ප්රශ්නය අසත්දී නිකිනි ගේ හඬ හැඬුම්බර වී ගෙන ආවේ ය. ඒ, සටනින් පැරදුණ එකියක ගේ මානසිකත්වයකි. තමන්ට ඕනෑ ම නැති දෙයක් වුව හිමි ව තිබී අහිමි වෙත්දී අපි ශෝක කරමු.
“කොහොමත් අපි අතරෙ මොනාද තියෙන්නෙ මංජුල….මං ඔයාගෙ බත් අම්ම. මං ඔයාගෙ රයිස් කුකර් එක. මං ඔයාගෙ වොෂින් මැෂින් එක. ඊට අමතරව මං ඔයාගෙ නීත්‍යානුකූල ගණිකාව. තව වෙන මොනවද අපි අතරෙ තියෙන්නෙ. මට මේක දැං තිත්තයි. දෙයියංගෙ නාමෙට අපි මේ කෙහෙල්මල් කසාදෙ කටු ගාල දාමු. එහෙම කරල ඔයා අර ගුවනි කියන ළමයව කසාද බැඳ ගන්න. මට වඩා එයා හොඳ නිසානෙ මාව මැරි කළාට පස්සෙ එයත් එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තෙ. අඩු ගානෙ ඒ ළමයටවත් අවංක වෙන්න. එයාව මැරි කරල සතුටෙන් ඉන්න බලන්න”
නිකිනි කියවා ගෙන ගියා ය. ඒ කතාව මංජුල ට කෙතරම් නීරස වූයේ ද යත් ඔහු අත සෝදා ගෙන පුටුව හඬ නැගෙන සේ පසු පසට තල්ලු කර ගෙන නැගිට්ටේ කේන්තියෙනි.
“මට කරපු දේනං ඒ ළමයට කරන්න එපා මංජුල. ගෑනියෙක්ට වගේ ඒ ළමයට සලකන්න”
ඔහු ඉවතට ඇවිද යත්දී නිකිනි කෑ ගසා කීවා ය. ඒ රාත්‍රියේ ඔහු යහනේ අනිත් පසට හැරී නිදා ගත්තේ ය. එය නිකිනි ට සහනයක් විය.
මංජුල ඒ සම්බන්ධයෙන් වුව වචනයක් කතා නො කරන්නේ මන්දැයි නිකිනි ට සිතා ගත නො හැකි ය.
“මිස් සර්ගෙන් ඩිවෝස් වුණා කියල වුණත් සර් මාව මැරි කරන්නෙ නෑ”
ගුවනි ගේ ඒ වචන නිකිනි ගේ සවන් තුළ දෝංකාර නැංවෙමින් තිබිණි. ඔවුන් සියලු දෙනා ම ඇයට අනුව අග මුල සොයා ගත නො හැකි හරස් පද ප්‍රහේළිකා පමණකි.
විදෙස් ගත වී මසකටත් වඩා ඉක්ම ගිය දිනෙක විදත් හිතුවක්කාර ක්‍රියාවක් කළේ ය. ඒ, නිකිනි ගේ දුරකථන අංකයට වට්ස් ඇප් ඇමතුමක් ගැනීම ය. කළේ අනවශ්‍ය වැඩක් බව දැනී ඔහු ඇමතුම බිඳ දමන්නට යනකොට ම නිකිනි ගේ හඬ එහා ඉමෙන් ඇසිණි.
“හෙලොව්…”
විදත් තත්පර කිහිපයක් ගත්තේ ය. සැබවින් ඔහු ඇගේ ඒ කිකිණි හඬ අසා උන්නා ය.
“හෙලෝ…”
නිකිනි හඬ තරමක් උස් කොට කතා කළේ ඔහු ට තමා නො ඇසෙනු ඇත යන හැඟීමෙනි. සත්තනින් ම ඇය කිසියම් හිරි වැටීමකට පත් ව සිටියා ය. එය පියවි තත්වයෙන් මඳක් එපිටට ගිය නිර්වින්දිත අවදියකි.
“නිකිනි නේද…අනේ මට පොඩි මිස්ටේක් එකක් වුණා කෙල්ලෙ”
ඇගේ හදවත හෝස් ගා දෑවේ ය. ඒ සතුටත් එසේ නම් ඇය ට කැප වූවක් නොවේ.
“මං මේ වෙන කෙනෙක්ට ගන්න ගියේ. වැරදිලා ඔයාගෙ නම්බර් එක ඩයල් වෙලා තියෙන්නෙ”
“එහෙනං මං තියන්නං”
ඒ වචන තුන තනිකර ම කඳුළු බින්දුවකි. ඒ බව විදත් ට නො දැනුණා නොවේ.
“නෑ නෑ නිකිනි ඉන්න. දැං ඉතිං ගත්ත එකේ කතා කරමු”
දෙතොල් දසන් දෙපෙළ අතරට ගත් නිකිනි ඉතා ම හෙමිහිට දිග හුස්මකින් පෙනහලු පුරවා ගත්තා ය. මේ ප්‍රාර්ථනීය නිමේෂය සදාකාලික කර ගනු වස් කළ හැකි ඕනෑ ම දෙයක් දිවි හිමියෙන් කරන සූදානමකින් ඕ හිතට හයිය එකතු කළා ය.