සතුටු මන්තර 15

ආපසු එත්දී එසඳි ආවේ රියෙහි ඉදිරි අසුනේ, යශෝදර ගේ උකුළේ ය. බෝ දිනකට පස්සේ ඇය සතුටෙන් සිටියා ය. යශෝදර ගේ පපුවට හිස තියා ගෙන, පැත්තට හැරී, රිය පදවන අම්මා ගේ මූණ දෙස ආදරයෙන් බලා සිටියා ය. හේතු හොයන්නට තරම් ඇය කුඩා වැඩි වී ද පුංචි පුංචි සතුටු කැබලිති ඒ පුංචි හිත පුරා ඉහිරී තිබිණි.

ඔවුන් එත්දී තිලකා ගෙදර පැමිණ සිටියා ය. ඇය පමණක් නොව ශක්‍යා ද ඇගේ සැමියා වන මංජුල ද දරුවන් දෙදෙනා ද පැමිණ සිටියහ. ගේට්ටුව ළඟ රිය නතර වෙත්දී ඒ හැම කෙනෙක් ම පිටතට පැමිණියහ. රිය තුළ සිටි අය ඉන් බැස ගත්හ. ජයරත්න ගේට්ටුව ඇරියේ ය. සයුරංගනා ලස්සනට රිය ඇතුළට ගෙන කා පෝච් එකෙහි එය නතර කළා ය. නැන්දම්මා ද නෑනා ද බලා සිටියේ ඇස් ලොකු කර ගෙන ය. ඔවුන් දෙදෙනා ගේ ම හිත් වල ඊර්ෂ්‍යා හැඟීමක් පිනුම් නො ගැසුවායි කිව නොහැක. මේ ටික දවසට සයුරංගනා ඒ තරම් දක්ෂ රියදුරුවරියක වී ඇතැයි තිලකා සිතුවේ ම නැත. ඇගේ දියණියක ඔය විදිහට රිය පදවා ගෙන එනු දුටුවේ වී නම් ඇය නිසැක ලෙස ම ආඩම්බර වන්නී ය. එසේ වී නම් මේ දැන් දැනෙන්නා වූ නො රිස්සුම නො වන්නට තිබිණි.

“හරි ශෝක් මාමණ්ඩිල ලේලිල…ගෙවල් වහල දාල රස්තියාදුවෙ ගිහිං”

අන්තිමට ඇය ඒ කේන්තිය ගලා යන්නට සැලැස්වූයේ සැමියා මතිනි.

“පන්සල් කියන්නෙ රස්තියාදුවක්ද තිලකා..මං ගෙදර ඉන්න හැදුවෙ…මේ ළමයිංගෙ වදේ නිසා ඔන්නොහෙ මාත් ගියා. ගෙදර ඉන්නැතුව ගිය එක කොච්චර හොඳද කියල ගියාට පස්සෙ තමයි හිතුණෙ”

“එහෙනං අපි යනෝ රංගි. යනව අංකල්. පේදුරු තුඩුවෙ ඉඳං දෙවුන්දර තුඩුවට ගිහිං හයි වේ එකේ ගෙදර එන්න දවසකුත් දාගමූ…”

පාරමී පාරේ සිට ම කෑගෑවා ය.

“හැබැයි එදාටත් අංකල් එන්න ඕනේ”

තේමිය ද ඊට හවුල් වූයේ ය. ජයරත්න සිනහ වෙවී ගෙට ගොඩ විය. ඒ පසුපසින් සයුරංගනා ආවා ය.

“යසයිනෙ”

අත් දෙක ඉණේ තබා ගෙන තිලකා කෙලින් ම බැලුවේ ලේලිය දෙස යි. 

“මිනිහ මැරිල මාස තුනක්වත් වුන්නැති ගෑනියෙක් නේද මේ…ඔහොම රෝන්දෙ යනවද කොලු කුරුට්ටො රැලකුත් වාහනේ දාගෙන…වඳුරට දැලි පිහිය අහු වුණා වගේ දෙයක්නෙ දෙයියනේ මේ වෙලා තියෙන්නෙ..”

“ඔයාට මාව පේන්නෙත් කොලු කුරුට්ටෙක් වගේද තිලකා…”

ජයරත්න සිනහ වෙවී ඇසුවේ ය. ඒ විහිළුවෙන් තිලකා තව තවත් උදහස් වූවා ය. 

“යසයි ඒ ගමන මාමණ්ඩිටත් හැදිච්ච ලෙඩේ”

සයුරංගනා කෙලින් ම ගියේ මුළුතැන්ගෙට ය. ඒ ශක්‍යාලාට තේ ටිකක් හදා දෙන්නට ය. නමුත් ඒ වන විටත් ඔවුන් දේ සාදා ගෙන බී ඇති බව පෙනෙන්නට තිබිණ. පැන්ට්‍රි මේසය පුරා ම කිරි තේ ද සීනි පිටි ද හැලී තිබේ. මේ රෑ නො වන්නට එතැන මැස්සන් ඇහිරෙන්නට හොඳට ම ඉඩ තිබේ. නො සේදූ තේ බිව් භාජන මේසය පුරා ය. සයුරංගනා වහා හැරී නැවත ද ආලින්දයට ආවා ය.

“අප්පච්චිත් පොඩි ළමයෙක් වෙන්න හදනවනෙ. අප්පච්චිට තිබුණනෙ රංගනාට තේරුං කරල දෙන්න…මාස තුනක් යන්නත් කලින් ඔය නාඩගං ගැලපෙන්නෙ නෑ කියල”

ශක්‍යා එහෙම කියනු සයුරංගනා ට පැහැදිලිව ම ඇසිණ. නෑනා ව දුටු ශක්‍යා ගස්සා ඉවත බලා ගත්තා ය.

“මොකද්ද ළමයො නාඩගම…අපි නාඩගමේ ගියෙ නෑ. පන්සලට ගියෙ. ඒකත් මේ…මේ ළමයට ඩ්‍රයිවින් ලයිසන් හම්බ වුණ එකේ ඉස්ඉස්සරවෙලාම පන්සලකට ගිහින් බාරයක් වෙන එක හොඳ නිසා. ගිම්හාන් කියන්නෙ මගෙ පුතා තමයි. ඔය ළමයගෙත් අයියනෙ. අයිය මැරුණ කියල දැං ශක්‍යා සේරෝම දේවල් නතර කරල ශෝක වෙවී ඉන්නවද…ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ. ඒක තමයි ඇත්ත. ඉතිං මේ කෙල්ලගෙන් විතරක් අසාධාරණ විදිහට දේවල් බලාපොරොත්තු වෙන්නෙ ඇයි…මිනිහ මැරුණයි කියල ඒ කෙල්ලට මිණිය ඇඟේ බැඳගෙන ඉන්න කියලද කට්ටිය මේ කියන්නෙ…ය කෝ ඒ කෙල්ල මෙහෙම ඔළුව උස්සන්න හදන එක ගැන සතුටු වෙයල්ල. ඒ කෙල්ල තාම අපෙං සත පහක් ඉල්ලුවෙ නෑනෙ ජීවත් වෙන්න. ඒ ගැන සතුටු වෙයල්ල. ගිම්හාන් අපේ එකා. ඒකා මෙහෙම මැරිල ගිය එක මටත් වේදනාවක්. ගිම්හාන් වගේම මේ කෙල්ලො දෙන්නත් දැන් අපේ. ඇයි එහෙම හිතන්න බැරි…රංගනා වැරදි ගමනක් ගියෙ නෑ. ඒ ළමය වදෙං පොරෙන් මාවත් එක්කගෙනයි ගියේ. අපේ පුතාගෙ දරුව වෙනුවෙන් ඔළුව උස්සගන්න අපි කවුරුත් ඒ ළමයට උදව් කරමු. එහෙම බැරිනං අනේ කමක් නෑ. මේක මං හිටපු ගෙදර නිසයි ඒ දරුව මට එයාගෙම අප්පච්චිට වගේ සලකන නිසයි මට පුළුවන් උදව්වක් කරගෙන මං මෙහේ ඉන්නං. අනිත් අය සැරෙන් සැරේ ඇවිත් කූරු ගහල ඒ ළමය අමාරුවෙන් හදා ගෙන ඉන්න හිත ආයෙ ආයෙ කඩල දාන්න එපල්ල. මට කියන්න තියෙන්නෙ එච්චරයි”

අඬන්නට සයුරංගනා ට ඕන වුණේ ම නැත. නමුත් ඇගේ ඇස් වලින් කඳුළු දෙපේලියක් ගලා යමින් තිබිණ. ඕ බිත්තියට හේත්තු වී සිටියා ය. එසඳි අම්මා ගේ දෙපා බදාගෙන හිස ඔසවා ඇදෙස බලා ගත්තා ය. ටිකකට කලින් ඇගේ ළමා මනසට දැනුණා වූ සතුට දැන් නැත. අම්මා හඬයි. අනිත් අයගේ ඉරියව් වලට අනුව එසඳි ට දැනෙන්නේ ඔවුන් වට වී අම්මා ට දොස් කියනා සෙයකි. දැරිය ගේ ළපටි හිත රිදිණ. 

“අම්මට බණින්නෙපා. අපාචි ආවොත් ඕගොල්ලොන්ට ගුටි දෙයි”

ඇය මූණ නො හොඳ කොට ගෙන කීවා ය. එසඳි පහත් වී දැරිය වඩා ගත්තා ය. ඇය හිස සැළුවේ එසඳි ට එහෙම කියන්නට එපායි හඟවන්නටයි. දැරිය අම්මා ගේ කඳුළු කොපුල් සිය අතකින් පිස දැමුවා ය. සයුරංගනා එසඳි වඩා ගෙන ම කාමරයට ගියා ය.

“බලාගෙන යනකොට මේ අපිනෙ වැරදිකාරයො. යං අනේ යන්න”

ශක්‍යා සිය සැමියා මංජුල ට අණ කළා ය. ඔවුන් ත්‍රීරෝද රියකට ද මුදල් ගෙවා ගෙන, ආපසු යන්නට මංජුල ගේ යතුරුපැදිය ද ගෙන පැමිණියේ සයුරංගනා ලවා උයවා ගෙන රෑ කෑම කන්නට ය. නමුත් සිදු වූයේ නො සිතූ දෙයකි. තිලකා මූණ පුම්බා ගෙන සිටියා ය. දැන් සයුරංගනා ගෙන් කෑම පිසින්නට කියා ඉල්ලීමක් කළ නො හැකි බව ඇය දනී. 

“යන්න එකක් නෑනෙ. නැත්තං මාත් එනව”

තිලකා මිමිණුවා ය.

“අපරාදෙ බයික් එකේ තෙල් ටික හරි පුච්චගත්තෙ”

ශක්‍යා යතුරුපැදියට නැගුණේ ආඩපාලි කියමිනි. ලොකු ළමයා ඉස්සරහා ය. පොඩි ළමයා ශක්‍යා ගේ උකුලේ ය. දැන් ගිහින් රෑ කෑම පිසින්නට සිදු වීම ඇය හොඳට ම නො සන්සුන් කොට තිබිණ.

“කඩෙං රයිස් එකක් අරං යං. මට බෑ දැං ගිහිං උයන්න”

ඇය කේන්තිය පිට කළේ ඒ විදිහට ය.

“බලනවකො රංගනා කාර් එක ඇතුලට දාපු ලස්සන. ශුහ්. නියම ඩ්‍රයිවිං. අන්න ගෑනු. මෙච්චර කාලෙකට කාර් එකක් නෙවෙයි ස්කූටරයක්වත් පැදගන්න ඕගොල්ලොන්ට පුළුවන් වුණාද…”

මංජුල සයුරංගනා ව වර්ණනා කරනු ඇසීම නිසා ශක්‍යා තව තවත් කෝප ගත්තා ය. හැම පිරිමියෙකුට ම සයුරංගනා පැණි වදයක් සේ පෙනෙන්නේ ඇයි දැයි ඇයට වැටහෙන්නේ ම නැත.

ගිම්හාන් ගේ තුන් මාසේ දානයට පෙර ගෙදර උඩ තට්ටුව කුළියට දීම සඳහා යුවළක් සොයා ගැනීමට යශෝදර ට හැකි විය. ඒ ඔහු ගේ මිතුරෙකු ගේ සහෝදරයෙකි. ඔවුන් විවාහ වූ අලුත යුවළකි. දෙදෙනා ම උදේ රැකියාවට නික්ම යති. නැවත එන්නේ හවස ය. ඉරිදාට පමණක් ගෙදර සිටිති. එදාට ද මහ ගෙවල් දෙකට ගමන් වැටෙන නිසා ගෙදර නැති තරම ය. ඒ නිසාවෙන් මේ යුවළට ගේ කුළියට දුන්නා කියා කිසිදු අමතර කරදරයක් ඇති වූවා නොවේ. 

ඔවුන් ගෙන් වසරක ගෙවල් කුළිය එක වර ලැබීම නිසා සයුරංගනා ගේ හිතේ තිබි බරක් සැහැල්ලු විය. බැංකු ගිනුමෙහි වන මුදල් තුන්මාසේ දානයට වියදම් වූ පසු ලොකු මුදලක් ඉතිරි නොවන බව ඇය දැන සිටියා ය. ගිම්හාන් නමින් වන ස්ථාවර ගිනුමක් වී ද හදිසි අවස්ථාවක දී ඉන් මුදල් ලබා ගත නො හැකි ය. ඉතින් ගෙට තැන්පත් ලෙස ලැබුණ මුදල බැංකු ගිනුමෙහි වීම හදිසියකදී සහනයකි.

“කි මනී එක ගෙයින් යන දවසට ආපහු ගන්නයි ඒගොල්ලො හිතං ඉන්නෙ. මන්ත්ලි රෙන්ට් එක දෙයි”

යශෝදර කීවේ ය.

“එහෙම හොඳයි. ඔයාට කොහොම තෑන්ක් කරන්නද මන්දා”

සයුරංගනා ගේ ඇස් තිබුණේ බිමට හැරවී ය. ඒ ඇස් පියන් පත් නෙළුම් පෙති වාගේ යශෝදර ට පෙනිණ. 

“අනං මනං හිතන්න ඕන නෑ. දානෙ වැඩ ටික හොඳට කරමු. ඔයා ඒක හිතට බරක් කරගන්නත් එපා. ගිම්හාන් කියන්නෙ මට මගෙ යාළුව විතරක් නෙවෙයි. අපේ නංගිටයි මල්ලිටයි පවා ඌ සහෝදරයෙක්. මං හැම දේම බලාගන්නං”

යශෝදර ගේ ඒ වචන ටික සයුරංගනා ට හයියක් විය. නමුත්  සියල්ලට ඔහු වෙනුවෙන් බලා සිටිය යුතු නැතැයි ඇය විශ්වාස කළා ය. දානයට අවශ්‍ය කලමනා වල ලැයිස්තුවක් මුලින් ම ඇය ලියා ගත්තා ය. ඒ ගිම්හාන් ගේ මව ද සිටි රාත්‍රියක ඇගේ අදහස් ද ඇතිව ය. ඇයට මූලිකත්වය දෙනවාට, ඇගේ අදහස් විමසනවාට තිලකා කැමති ය. නමුත් ඇය දී තිබූ ලැයිස්තුව, බලාපොරොත්තු වන පිරිස මෙන් දෙගුණයකට සෑහිය හැකි බව මල්කාන්ති කීවා ය.

“ඔය තරමට බඩු ගෙනත් උයල නාස්ති වෙන්න අරින්න එපා. මේක එහෙම නාස්ති කරන්න පුළුවන් කාලයක් නෙවෙයිනෙ රංගි. ඊටත් වඩා ඔය තියන දෙයක් ඔයා තව ටික කාලෙකට හරි ඉතුරු කර ගන්නව මිස තුන්මාසෙ දානෙයි කියල බොරුවට වියදං කරන්න ලෑස්ති වෙන්නෙපා. ඔය මනුස්සයටනං ඒවයෙ ගානක් නෑ. දුවගෙ ගෙදරට පටෝල යවයි ඉතුරුවෙන ඒව”

ඇගේ අදහස සයුරංගනා ඉත සිතින් පිළිගත්තා ය. 

“හාමුදුරුවන්ගෙ වැඩ ටික හරියට කරගන්න. අනිත් අයටනං ඔය මගුලකට වගේ කෑම ජාති ඕන නෑ. පිරිමහල පිළිවෙලට වැඩ ටික කරගන්න”

“අනේ මට දෙයක් අහගන්න ඉන්නෙත් ඔයා විතරයි ඇන්ටි. අපේ අම්මට වුණත් නිතර මෙහෙ යන්න එන්න බෑනෙ”

පුළු පුළුවන් වෙලාවට ඇවිත් යනවා කියා ගියාට මරණයෙන් පසු යමුනා ට දුව ගේ ගෙදර පැමිණිය හැකි වූයේ එක වරකි. බාල ගෑනු ළමයා සමග සෙනසුරාදාවක ඇවිත් ඉරිදා උදයෙන් ම ඇය පිට ව ගියා ය. දොස් කීවාට ඇයට ගෙදරක් දමා පැමිණිය නො හැකි බව සයුරංගනා නො දැන උන්නා නොවේ. පවුලේ දෙවන ගෑනු ළමයා ද විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවා ය. ඊළඟට මල්ලී උසස් පෙළ කරන්නට සැරසෙයි. බාල ම ගෑනු ළමයා හොඳින් සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ පන්ති පටන් ගන්නා තුරු සිටියා ය. යමුනා ගේ උනන්දුවට උගන්වා ගත නො හැකි වූයේ පවුලේ වැඩිමල් ම පිරිමි ළමයාට පමණි. ඒ ද ගෙදර තිබූ අග හිඟ දැක දැක පාසල් යාම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නිසා ය. ඉතින් සයුරංගනා ට අම්මා යනු වීරවරියකි. 

තාත්තා ද අයියා ද දෙවරකට ඇය බලන්නට පැමිණ ගියහ.

“අපිට නිතර නිතර මෙහෙ දුවං එන්න බෑනෙ ලොකු නංගි. දන්නවනෙ ඉතිං…වැඩක් කර ගත්තොත් තමයි අපිත් කීයක් හරි හොයා ගන්නෙ. ඒක නිසා තුන්මාසෙ දානෙං පස්සෙ ඔයයි පොඩි කෙල්ලයි ගෙදර යං”

අයියා එසේ යෝජනා කළ විට සයුරංගනා සිනහවක් පෑවා විතර ය. ගමේ එන්නට බෑ කියා ඔවුන් ගේ හිත රිදවනවා වෙනුවට, කියන්නට නිදහසට කාරණා සොයා ගෙන ඉන්නා එක හොඳ ය.

පාරමී එක්ක ගොස් දානයට අවැසි සියලු කලමණා මිල දී ගෙන ආවේ සයුරංගනා ය. රියදුරු බලපත්‍රය ලබා ගැනීම ගෙදර වැඩ වලට කොයි තරම් පහසුවක් දැයි ඇය ප්‍රායෝගිකව අවබෝධ කර ගත්තා ය. නො එසේ වී නම් යශෝදරට හෝ කරදර කරන්නට සිදු වන්නේ ය. ගිම්හාන් සියල්ල ගෙදරට ගෙනවිත් දෙනතුරු බලා සිටි දවස් වලට වඩා තමන් වෙනුවෙන් දේවල් කර ගන්නා මේ දවස් වල හදවතට දැනෙනා වටිනාකමක් ඇති බව සයුරංගනා අත්විඳිමින් සිටියා ය.

💜️ඔබේ අප්‍රමාණ වූ ආදරය හදවතින් ම විඳගමි. ස්තූතියි නො කියා, ඔබ වෙනුවෙන් හැකි කලක් ලියනා බව විතරක් කියමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles