කප්පම්කරුවන්ගෙන් ඔබේ මුහුණුපොත බේරාගන්න

බොහෝ තරුණියන්ට තම මුහුණුපොත යනු රත්තරංවලට වඩා වටිනා දෙයකි. මන්ද එහි තම රහස්‍යභාවය හා ගරුත්වය නැතිවීමට හැකිතරම් අඩුම කුඩුම තැන්පත්ව ඇති බැවිනි. දුරකතන හරහා ඇමතුම් ලබාගෙන අනියම් සම්බන්ධ පැවැත් වූ යුගය දැන් හමාරය. දැන් අනියම් සම්බන්ධ පවා හුවමාරු වන්නේ මුහුණුපොත හරහාය. මන්ද මුහුණුපොත එතරම් රහසිගත මෙවලමක් බැවිනි. ඇතැම් විවාහක යුවළ පවා තම මුහුණුපොත මුරපද අනෙකා හට පවසා නොමැත. එය අද කාලයේ පෞද්ගලිකත්වය ගැබ් වූ තියුණු ආයුධයක් වැනිය.

වර්තමානයේ මුහුණුපොත තුළ වැඩියෙන්ම හුවමාරු වන අංග කිහිපයක් තිබේ. ඉන් සත්‍ය වශයෙන්ම නිර්මාණශීලී බවට සහ අලෙවිකරණය තුළ සාර්ථක ලෙස මුදල් ඉපයිය හැකි අවස්ථා තිබේ. විශේෂයෙන්ම තම ගිණුමේ පින්තූර මාරු කිරීම (Profile Picture) කාලෝචිත සිද්ධීන් මත යෙදවුමක් (App) මාර්ගයෙන් සිදු කිරීම වර්තමානයේ ජනප්‍රිය අංගයකි. මුහුණුපොත පරිශීලකයින්ට එම අවස්ථාව නොමිලයේම ලැබෙන අතර ඉන් අදාළ අංශයට කැමති පිරිසක් නිතැතින් මුහුණුපොත තුළ සකස් කරනු ලබයි. එනම් පාසල් ක්‍රිකට් තරග අතර තම පාසලේ ධජය හා නමට අනුව පින්තූරය සාදා ගන්නා ආකාරය වැනි විවිධ සමාජ සිද්ධීන් තම පින්තූරයට යාවත්කාලීන කරගත හැක. එලෙසම තම ගිණුමේ අතීත දත්ත (History) විශ්ලේෂණය කරමින් විවිධ විනෝදාත්මක හා ප්‍රයෝජනවත් ඉසව් (Event) නිර්මාණය කිරීම ද ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. මෙම අංශ දෙක යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ කප්පම් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මකවේ. එනිසා කල්පනාවෙන් යුතුව සමාජජාලා අඩවි භාවිතාකල යුතුයි.

කප්පම්කරුවන්ට හසුවුණු ඇතැම් තරුණ තරුණියන් දැනුම්වත් වී නොමැත. මෙවැනි තර්ජනවලදී තම ගිණුමේ ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කර තිබීම වැදගත්ය. විශේෂයෙන් තම මුරපදය අමතක වුවහොත් එය නැවත ප්‍රතිස්ථාපනය කර ගත හැකි ලෙස තම විද්‍යුත් තැපෑලේ හෝ රහසිගත ප්‍රශ්න හා පිළිතුරු හෝ දුරකතනයට පණිවුඩ යැවිය හැකි විසඳුම් සකසා තිබීම වැදගත්ය. අනෙක් කරුණ නම් කිසිම විටක කිසිදු වෙබ් අඩවියකින් තම මුරපද ඉල්ලූ විට නොදිය යුතුය. මන්ද මුහුණුපොතේ මෙලෙස තිබෙන විනෝද යෙදවුම් නීතිමය වශයෙන් මුහුණුපොත පාලනාධිකාරියෙන් අවසර ලබාගත් ඒවාය. එමනිසා ඒවාට තම මුරපද ලබාදීමට අවශ්‍ය නැත. තවද ඒවා හරහා යාමේදී තම මුල් පිටුවේ යමක් පළ කිරීමට පමණක් අවසරය ලැබෙන බැවින් කිසිම විටෙක මුරපද ලබාදීමට අවශ්‍ය වන්නේ නැත. එලෙසම ව්‍යාජ වෙබ් අඩවි පිළිබඳ වෙබ් අඩවි නාමයෙන්ම (Web Address)  දැනගත හැකිය. හදිසියේ හෝ ඔබ නොදැනුවත්ව එලෙස මුරපද ලබාදී ඊළඟ තිරයේ ඔබට කිසිවක් දර්ශනය නොවුණේ නම් හෝ එහි වැරදි බව (Error Page)  දැන්වුවහොත් වහාම ඔබේ ගිණුමේ මුරපදය වෙනස් කරන්න.

මුහුණුපොතේ හුදු ප්‍රසිද්ධියට වහල් වී සිටින බොහෝ තරුණ තරුණියන්ගෙන් ගිලිහී යන්නේ “තැනට සුදුසු නුවණ” බව අමතක නොකරන්න. ඔබ යොමු වී සිටින සමාජ ජාලයේ ගැඹුරටම ගොස් ආරක්ෂක ක්‍රම ස්ථාපනය කරන්න. බොහෝ විට මෙවැනි කප්පම් ඉල්ලන්නේ ඉතාමත් අඩු වයසේ තරුණයන්ය. මන්ද එම බාල වයස්කාර තරුණයින් මෙවැනි සුළු මුදලක් පවා ඉල්ලන්නේ විටෙක පොලිසියට හසුවුවහොත් යැයි බිය නිසාය. එලෙසම ඔවුන් පරිගණක මෘදුකාංග  (Software) හා නිර්මාණ පිළිබඳ කෙළ පැමිණියවුන් වීමය. එබැවින් ජීවිත හානි හෝ වැඩි වියදමක් හෝ නොමැතිව අන්තර්ජාලය හරහා මෙවැනි කප්පම් ජාවාරම් කිරීම හා මුදල් ලබාගන්නා ක්‍රම එකිනෙකට වෙනස්ය.

විද්‍යුත් තැපෑලට මුහුණුපොතින් යැයි එන ලිපිවලට නොරැවටෙන්න. කවුරුන් හෝ අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ කරන බැවින් ලබාදී ඇති දිගුවක් හරහා (Link) ගිණුමට ඇතුළු වී අදාළ ආරක්ෂිත ක්‍රම සකස් කරන ලෙස නිල මුහුණුපොතේ ගිණුමෙන් පැමිණෙන ඊමේල් පණිවුඩයක් මෙන් සැකසූ මෙවැනි ලිපි කප්පම්කරුවන් යොදාගන්නා ව්‍යාජ ක්‍රමයක් (Phishing) වියහැක. මෙම ක්‍රමය කප්පම්කරුවන් අතර ජනප්‍රිය ක්‍රමයක් වන අතර මෙහිදී ඔබ සෑම විටම වෙබ් අඩවියේ ලිපිනය දෙස හොඳින් බැලුවහොත් එහි අසත්‍ය බව වටහා ගත හැකිය.

මෙම මුහුණුපොත හරහා සිදුවන කප්පම් ජාවාරම මීට ටික දිනකට පෙර පටන්ගත් රැල්ලක් වන බැවින් බොහෝ තරුණියන් පමණක් නොව තරුණයින් ද රැවටුණු අතර කප්පම්කරුවන් මෙම සෙල්ලම තවමත් නිදැල්ලේ කරගෙන යයි. මෙවැනි සිද්ධීන්වලදී වහා ළඟම ඇති පොලිසියට දැනුම් දී ඔවුන්ව අල්ලා ගැනීමට කටයුතු කරන්න. මන්ද මෙම කප්පම්කරුවන් මුදල් ලබා ගන්නා ක්‍රම සරල හා පහසු වැටලීම් මඟින් හසුකර ගත හැකි බැවිනි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles