පොත් සාප්පුව පටන් ගැනීම වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරන්නයි ඩෙස්මන් නිකිනි ට කීවා ය. ඒ සඳහා දැරිය යුතු පිරිවැය ගැන බිය නො විය යුතු බව ද ඔහු වැඩි දුරටත් ඇය ට දන්වා සිටියා ය. මිත්‍ර දන්නා හඳුනන බොහෝ පිරිසක් කලා ක්ෂේත්‍රයේ සිටියෙන්, ඔහු අවශ්‍ය කටයුතු සොයා බලා කර දෙන්නට එකඟ වූයේ ය. සහස්, නිකිනි වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබා දෙන්නට පොරොන්දු වූයේ ය.
“ඩැඩා තාමත් කරන්නෙ ඒ ළමයින්ට. අපේ ළමයි දිහා ඩැඩා ඇහැක් ඇරල බලනවද…”
ඩෙස්මන් ගේ ගොඩනැගිල්ලක නිකිනි විසින් පොත් හලක් අරඹන්නට යනවා යි දැන ගත් පාලිකා පරල වූවා ය.
“පාලිකා ගෙ දරුවන්ට අම්ම තාත්ත ඉන්නව. ඒ දරුවො දෙන්නගෙ තත්වෙ වෙනස්. ඒකයි ඩැඩා ඒ ළමයි ගැන විශේෂෙං බැලුවෙ. හැබැයි පාලිකා ගෙ ළමයි දෙන්නටත් යුතුකං ඉටු කළේ නැතුව නෙවෙයි”
සුමනා හඬ අඩු කොට කතා කළේ මේ කතා බහ ලෙඩ ගානේ හිඳිනා ඩෙස්මන් ට ඇසිය යුතු නැති හෙයිනි.
“මොකද්ද අම්ම යුතුකම…අර පොඩි කාලෙ එකවුන්ට් එකට දාපු සල්ලි ටිකද…”
“ජගත් ගෙ ළමයින්ටත් ඊට වඩා වෙනසකට කියල කළේ දෑවැද්දට ඉඩං කෑලි දෙකක් අරං දීපු එක විතරයි. පාලිකා ගෙ ළමයි මැරි කරනකොටත් ඩැඩා යමක් නොකර ඉන්නෙ නෑ”
“ඒ ගමන අර බිල්ඩින් එකේ නිකිනි ට බුක් ශොප් එකක් දාන්න දීල. අන්තිමට ඒක එයාටම දීල දායි”
“මේ ගෙදර වෙන කිසි කෙනෙක් ඩැඩා වගේ බිස්නස් එකක් කරන්න හිතුවෙ නෑනෙ. කවුරු එහෙම කළත් එයා උදව් කරනව”
“සදිසා ට හොඳ රටකට යන්න ඕනලු. එහෙනං ඩැඩාට කියන්නකො ඒකට සල්ලි ටිකක් දෙන්න කියල”
ඇඟට පතට නො දැනී පාලිකා කියා දැම්මේ ටික දවසක සිට ඇගේ ඔළුවේ වැඩ කළ දෙයකි. ඒ වෙලාවේ සුමනා මුණිවත රැක්කා ය. ඇය සදිසා ගේ රට යාම පිළිබඳ දෙවන යෝජනාව ගෙන සුමනා වෙත ආවේ නිකිනි ත් ඔබේසේකර මැදුරේ සිටි වෙලාවක ය.
“අමම ළඟ තියෙනවද අර මිත්‍රගෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න යාළුව…කවුද එයා ගෙ නම මේ…”
“විදත්”
“අන්න හරි විදත්. විදත් ගෙ කන්ටැක්ට් නම්බර් එකක්…”
නිකිනි ගේ හදවත භූමි කම්පාවකට ලක් විය. එය අනපේක්ෂිත කැළඹීමකි.
“ඇයි…මොකටද පාලිකාට…”
“සදිසා කියනවනෙ ඔස්ට්‍රේලියාවටයි යන්න ඕනෙ කියල. ඉතිං විදත් ගෙන් උදව්වක් ගන්න පුළුවන්ද බලන්න”
තමන් තුළ ඇති වන අමුතු හැඟීම ඊර්ෂ්‍යාව නො විය යුතු යයි නිකිනි තදින් සිතුවා ය. විදත් කියන්නේ අතීතයේ පටන් පවුලේ මිත්‍රයෙකු මිස ඇගේ පෞද්ගලික බූදලයක් නොවේ.
“ආ…මගෙ ළඟ පිටරට නම්බර් එකක්නං නෑ. හැබැයි ඉතිං මිත්‍ර ළඟ ඇති”
තමන් ගොළුවෙකු සේ සිටිනුයේ මන්දැයි නිකිනි සිතුවා ය. විදත් ගේ දුරකතන අංකය ඈ සතු ය. සදිසා ට උදව්වක් කරන්නට ඔහු ට හැකි විය හැක. ඒ සඳහා අවස්ථාව උදා කර දීම යුතුකමක් බව නිකිනි දැන සිටියා ය. නමුත් ඇයි දෝ මන්දා ඇය මහ කන්දක් සේ ඕ නිසොල්මනේ සිටියා ය. අනිත් අතට පාලිකා මිත්‍ර ගේ මාර්ගයෙන් විදත් නො අමතා සිටින්නේ නැත. දුරකතන අංකය නොදී සිටියාට එය සිදු වෙන වලකන්නට ඇයට හැකියාවක් නැත්තේ ය. නමුත් සදිසා ව විදත් ට සමීප කරන පාලමක් වන්නට නිකිනි ට හිත හදා ගත හැකි වූයේ නැත.
ප්‍රේමය ඒ සා ආත්මාර්ථකාමී දැයි ඇය සිතුවා ය. ඈ ළඟ ඔහු ගේ නොම්මරය තිබෙන්නේ කෙසේ දැයි ගෙදර අය සිතන්නට පුළුවන් නිසා මෙසේ නිහඬ ව සිටිනවා යි ඈ හිත හදා ගත්තා ය.
“විදත් අංකල්ට කතා කරල මොනා කරන්නද…අපේ අක්කට ඔස්ට්‍රේලියාවට යන්න ඕනනං ඒ වැඩ ටික කරන්නම ඕනනෙ”
තමන් ගේ පාඩුවේ කතාවට කන් දී ගෙන සිටි සහස් සිය මව ප්‍රශ්න කළා ය. අම්මා ගේ හා දුව ගේ පිළිවෙත් සහස් ට ගෝචර වන්නේ ම නැත. සහස් ගේ හරස් ප්‍රශ්න පාලිකා ට රුස්සන්නේ ද නැත.
“වැඩ ටික කරන්න ඕනෙ තමයි. මං බලන්නෙ විදත් වගේ එහෙ ඉන්න කෙනෙක්ගෙ මාර්ගෙං වියදම ටිකක් අඩු කර ගන්න පුළුවන් ද කියල”
“අයියෝ අම්ම. ඒක කොහොමද එහෙ හිටියයි කියල ඒ මනුස්සය කරන්නෙ…නිකංම ස්පොන්සර් එකක් කරයිද…ඔන්න එයාගෙ ෆැමිලි එකේ කෙනෙක් වුණානං සලකල බලන්න පුළුවන් වෙයි”
“ඉතිං ඉස්සර ඉඳලම විදත් අපේ පවුලෙ කෙනෙක් වගේමනෙ හිටියෙ”
“ඒ වුණාට පවුලෙ කෙනෙක් නෙවෙයිනෙ. බර්ත් සර්ටිෆිකේට් එකෙං ඒක ඔප්පු කරන්න බෑනෙ”
“විදත් මොනා හරි කරන්න බලයි. මං කියන්නංකො”
“එහෙනං ඉතිං එයාව මැරි කරල ඉන්න විදිහට හොර මැරේජ් සර්ටිෆිකේට් එකක් හදන්න තමයි වෙන්නෙ”
“නිකං පැන ගන්න තියෙනවනං එහෙම දෙයක් කළත් මොකෝ…”
නිකිනි සීතල වී ගියා ය. පාලිකා කියන්නේ කන්නට ඕනෑ වූ විට කබර ගොයාත් තල ගොයා කර ගන්නා ජාතියේ කෙනෙකි. සදිසා ව ඔස්ට්‍රේලියාවට යවන්නට උවමනා නම් ඇය ව්‍යාජ විවාහ සහතිකයක් තනන්නට වුව පැකිලෙන්නියක නොවේ. ඒත් බැරි නම් ඇය සිය දියණිය ව සැබවින් ම ඔහු ට විවාහ කොට දී හෝ ඇය ඔස්ට්‍රේලියාවට පටවනු ඇත.
“බලන්නකො. අපේ අම්ම විදත් අංකල්ගෙං අහන්නෙවත් නැතුව එයාට හරි අක්කව එයාට කසාද බන්දෝල ඔස්ට්‍රේලියාවට යවන්න බැරි නෑ”
නිකිනි ට සිතුණ දේ ම සහස් නිකිනි ගේ කනට කොඳුරා කීවේ ය. ඒ වෙලාවේ ඇය මඳහසක් පෑවා ය. නමුත් ඒ හඬන්නට බැරි කමට නගන සිනහවක් බව සහස් ට දැනුණේ නැත. දැනුණත් ඔහු හිතනු ඇත්තේ ඇය ඇගේ පවුල් ජීවිතය ට අදාල ප්‍රශ්නයක සිටිනවා ඇත කියා ය.
පාලිකා එදා ම මිත්‍ර ගෙන් විදත් ගේ දුරකතන අංකය ඉල්ලා ගෙන ඔහු ට කතා කොට තිබිණි. නිකිනි ඒ බව දැන ගත්තේ හවස විදත් ඒ ගැන පවසත්දී ය.
“මෙහෙ ජොබ් වීසා එන්නනං ඉතිං ඉංග්ලිෂ් එග්සෑම්ස් ටික ගොඩ දා ගන්නම ඕනෙ. ගෑනු ළමයෙක්ට ඉතිං හොර පාරවල් වල එන්න ලේසි නෑනෙ”
ඔහු කීවේ ය.
“මැරි කළොත් පුළුවන් නේද…”
ඒ වචන ටිකෙන් නිකිනි පිටතට දැම්මේ එදා දවස පුරා ම ඈ තුළ එහෙ මෙහෙ වෙවී තිබි පීඩනය ය. එහෙ අන්තයෙහි තත්පර කිහිපයක කෑලි කැපිය හැකි නිහඬතාවයක් පැවතිණ. ඊළඟ ට ඔහු හඬ අවදි කළේ ය.
“මොකද්ද…”
විදත් ගේ ස්වරයෙහි කිසියම් කම්පිත බවක් විය.
“නෑ මං කිව්වෙ…සහස් කියපු දෙයක්. මැරේජ් සර්ටිෆිකේට් එකට වගේනං ලේසියෙං යන්න පුළුවන් කිව්ව”
“ඔව් ඉතිං හස්බන් මෙහෙ ඉන්නවනං පුළුවන් වයිෆ්ව ගෙන්න ගන්න”
“නැන්දි මොකද කිව්වෙ…”
“පාලිකා අක්කද… හයියෝ ඉතිං…ඉස්සර ඉඳලම එයාගෙ විදිහ මං දන්නවනෙ. එයාගෙ දුවත් ටිකක් අමුතුයි නේද…එහෙ ආපු වෙලාවෙත් මට හම්බ වුණේනං නෑනෙ…”
“සදිසා කතා කළා ද…”
“ඔව් ඒ ළමයටත් ෆෝන් එක දුන්න. මෙහෙ ඉන්න සුද්දියො ඊට වැඩිය හොඳට සිංහල කතා කරනවනෙ”
කියමින් විදත් හඬ නගා හිනැහුණේ ය. කිසියම් සැනසීමක් නිකිනි ට දැනිණ.
මේ විදිහට දින පතා ම ඔහු ගෙන් ඇමතුමක් එන තුරු සිය සිත බලා හිඳින්නට හේතුව නිකිනි දන්නී ය. ඒ සිය ළමා වියේ මතක ඉතිහාසයේ හැංගී තිබුණ නොස්ටැල්ජියානු ප්‍රේමයකි. දැන් දැන් ඔහු කතා නො කළොත් කෙටි පණිවිඩයක් තබන්නට හෝ ඇය පෙළඹෙන්නී ය. නමුත් මේ විදිහට විදත් ඇය ට කතා කරන්නට හේතුවක් සිතා ගන්නට නිකිනි තවමත් සමත් නො වුණා ය.
ඒ ප්‍රේමය කියා සිතන්නට ඇය ට උවමනා නැත. ඒ හිත මිතුරු කමක් හෝ අනුකම්පාවක් කියා හිතන්නට ඇය ට කොහෙත් ම ඕනෑ නැත. මේ වගේ කතා බහ කොතෙක් පැවතුණත් ඒ කිසිදු තැනෙක දී ප්‍රේමය හෝ ඊට ආසන්න හැඟීමක් ගැන විදත් ගෙන් කිසිදු ඉඟියක් හෝ ලැබුණේ නැත. නිකිනි ට එය වඩාත් පහසුවක් විය. නමක් දිය නො හැකි ඒ වගේ ඇසුරක්, වැලි කතරකට වැහි පොදක් සේ සවුමිය හැඟීමක් දනවයි. නිකිනි සේ ම විදත් ද ඒ සවුමිය සිහිලැල් බව තව තවත් විඳ ගැනීමේ ලෝභ කමකින් උනුන් වෙත බැඳෙමින් සිටියහ.
“කවුද කතා කළේ…”
විදත් එක්ක දුරකතන සංවාදයේ සිටි වෙලාවක ගෙදරට පැමිණි නැන්දම්මා නිකිනි වෙත ට රහස් පරීක්ෂක බැල්මක් හෙළුවා ය.
“යාළුවෙක්”
ඇය සරල ලෙස කීවා ය.
“ඔය ළමයටත් දැං හරියට කෝල් එනව වැඩියි”
“ගෙදර ම නො වෙතත් යාබද නිවසේ හෝ නැන්දම්මා සිටීම සිරුරේ ලේ රත් කර ගන්නට නොව ලේ පිරිසිඳු කර ගන්නට හේතුවකැයි නිකිනි ට සිතිණි. ඒ සිතිවිල්ල ත් ඈ මුවට සිනහවක් ගෙන එන ලදී.
“ගෙවල් වල නිකාං ඉන්න දැං කාලෙ ගෑනුංගෙ අතට ඔය අට මගල හම්බ වෙනව කියන්නෙත් ඉතිං නස්පැත්තියක් තමයි. පවුල් අවුල් වෙන්න ලොකු ම හේතුව තමයි ඔය”
නිකිනි ගේ ඇඟේ ලේ රත් වූයේ අන්න ඒ වෙලාවේ ය.
“අම්ම මට කියනවද මේ ෆෝන් එක නිසා මගෙ ගෙදර මොන වැඩේද පාඩු වෙලා තියෙන්නෙ කියල…මේ ගෙදර කොයි කොනේද කුණු ටිකක් තියෙන්නෙ…කවදද මං උයන්න පිහන්න ප්‍රමාද කරල තියෙන්නෙ…එක රෙදි කෑල්ලක් කිළුටු වෙලා එකතු වෙලා තියෙනවද…එතකොට අපේ පවුලෙ අවුල් හැදෙන්න පටං ගත්තෙ මගෙ ෆෝන් එක නිසාද නැත්තං මංජුලගෙ නැහැදිච්චකම නිසාද…අම්ම මෙච්චර උපදෙස් දිදී මාව හදන්න එනව. ඔය උපදෙස් ටික පොඩි කාලෙදිම පුතාට දීල හදා ගෙන නෑනෙ”
කියවා ගෙන ගිය නිකිනි ට කේන්තියට ම හති වැටිණි. ඇගේ මුහුණට ලේ පුරා රතු වී තිබුණේ ය.
“හප්පෝ…මේ ළමයට යන කේන්තියක්. මං ඔයාට කිව්ව නෙවෙයිනෙ…මං කිව්වෙ දැන් ඉන්න ගෑනු ගැන”
“දැන් ඉන්න ගෑනු ගැන අම්මට තවත් හොඳට බලා ගන්න පුළුවන් මංජුල ඔය කැම්පස් එකේ ඉගෙන ගන්න ගෑනු ළමයෙක්ව දෙවෙනි වයිෆ් විදිහට මේ ගෙදරට අරං ආපු දවසට”
නැන්දම්මා ගේ හිත රිදුවන්නට නිකිනි ට උවමනා වූවා නොවේ. නමුත් පෙර දී සේ ඇයගේ පදයේ හැටියට නැටීමේ හෝ අත්පුඩි තැලීමේ මානසිකත්වයක් දැන් ඇය ට නැත්තේ ය.
ඊළඟ උදය නිකිනි වෙන් කර ගත්තේ ගුවනි ව මුණගැහෙන්න ට ය. හමු වූ අවස්ථා දෙකේ දී ම ඇය හැඳ උන් ඇඳුම් පරණ ඒවා බව නිකිනි දුටුවා ය. ඇය ට උදව්වක් කළ යුතු යයි හිතේ තියා ගෙන හිටියා ට මෙතෙක් ඇය ව මුණ ගැහීම සඳහා අවස්ථාවක් උදා කර ගත නො හැකි වූයේ ය.
“මිස් මට එන්න කිව්වෙ…”
ගුවනි නිකිනි වෙත ආවේ ම කිසිදු කරදරයක් මත මුවහ කළ නො හැකි ඇගේ කෝපි මල් සිනහවත් එක්ක ය.
“නිකං ඉතිං. කියවල ඉවර පොත් ටිකක් රිටර්න් කරන්නයි…”
නිකිනි සියතෙහි වූ පොත් කිහිපයක් දැමූ බෑග් එකක් පෙන්වූවා ය.
“අපෝ ඕක ගන්න හදිස්සියක් නෑ මිස්. අනිත් ඒව මිස් හෙමිහිට කියවන්න”
ගුවනි පොත් ටික ඇගේ අතට ගත්තේ එහෙම කියමිනි.
“අනිත් එක….අද මට ශොපින් කරන්න හිතුණා. තනියම කම්මැලි එකේ ඔයාට එන්න කිව්වනං හරිනෙ කියල හිතුණා. ඔයාට මේ වෙලාවෙ ලෙක්චර් එකක් නෑ කිව්වනෙ…”
“ඒක හොඳයි. මාත් ආසයි මිස් එක්ක කතා කරන්න. මිස් හරි වෙනස් කෙනෙක් කියල මට හිතුණා”
“මේ…මං නිකිනි. ඔයාට වඩා වැඩිමල් නිසා නම කියන්න බැරිනං මට අක්ක කිව්වහම ඇති”
“අනේ බෑ මිස්”
ගුවනි ගත් කටට ම කීවා ය. නිකිනි නෙතු විදා ඇදෙස බැලුවා ය.
“ඒ කොයි වචනෙටත් වඩා මං ආසයි මිස්ට මිස් කියන වචනෙං කතා කරන්න. එකක්…දැං ඒක මගෙ කටට හුරු වෙලා. අනික…මං වගේ කෙනෙක් මිස් වගේ කෙනෙක්ට කතා කරන්න හොඳම වචනෙ ඒක. අනිත් කොයි නෑ කමකටත් වඩා මට මිස් ව දැනෙනව මිස් කියල කතා කරනකොට”
“ඕකේ ඕකේ. එහෙනං ඔයාගෙ කැමැත්තක්”
කියා ගෙන නිකිනි ගුවනි ගේ අතින් අදිමින් පාර මාරු වූවා ය. මහරගම හන්දියේ වූයේ ජනාකීර්ණ බවකි. මේ කලබල නගරයේ හිතට වඩාත් සමීප කෙනෙක් එක්ක කතා කරමින් ඇවිද යන එක හිතට මහත් සනීපයක් සුවයක් දනවනවා යි නිකිනි සිතුවා ය. අනිත් අතට ගුවනි ඒ තරමට සිය සිතට සමීප වන්නේ කෙසේ ද කියා ත් ඇය ඇගෙන් ම ප්‍රශ්න කළා ය.