හේමන්ත සන්ධ්‍යා – 22

මංජුල විසින් නිකිනි ට පහර දී ගෙයින් එළියට දැම්මා යි දැන ගත් වෙලේ ඔබේසේකර මැදුර කම්පිත ව නිසල විය. ඊට හේතුව ඇය විදත් සමග දුරකතන සංවාදයක සිටීම යයි දැන ගත් මොහොතේ පාලිකා පුපුරා හැළුණා ය.

“මොන නැහැදිච්ච වැඩක්ද නිකිනි ඔයා කරල තියෙන්නෙ…අපේ මුළු පවුලට ම වෙච්ච ලැජ්ජාවක් මේක. කොල්ලෙක් එක්ක යාළු වෙලානං කමක් නෑ. මේ වයස මනුස්සයෙක්…”

“පාලිකා”

සුමනා ඔබේසේකර දිය දියණිය පාලිකා දෙස රවා බැලුවා ය. නමුත් රැවුමකින් පාලනය කළ හැකි කෙනෙකු නොවේ පාලිකා කියන්නේ.

“ඇයි අම්ම මට රවන්නෙ…අපි රටට ලෝකෙට මූණ දෙන්නෙ කොහොමද කියල හිතන්න. දැං ආයෙ මංජුල මෙයාව බාර ගනීද…එතකොට ආයෙත් මෙයා මේ ගෙදරට බරක් වෙන එක නේද වෙන්නෙ…”

“විදත් මගෙනුයි නිකිනි ගෙ නම්බර් එක ඉල්ලගත්තෙ. ඒ කොල්ලගෙ කීමටනෙ නිකිනි නාවල ගියේ. ඉතිං හිත හැදෙන්න කතා කරන්නං කියල”

“ඔය දැං හදල තියෙන්නෙ හිත”

නිකිනි කාමරයට වැදුණේ මහත් වෙහෙසකර සිතනිනි. මංජුල ට වෙනත් සබඳකමක් තිබෙනවා යි කී වෙලේ පාලිකා කීවේ ඒ වගේ සුළු දේවල් පවුල් ජීවිතයක් දෙදරවා ගන්නා හේතු කර ගත යුතු නැති බවයි. නමුත් අද ඇයට නිකිනි මහත් ලැජ්ජාවක් වී තියේ. ගැහැනියක තේරුම් ගත යුත්තේ තවත් ගැහැනියක ම වුවත්, ගැහැනියක රිදවන්නට මාන බලන්නේත් තවත් ගැහැනියක ම ය.

පැලී ගිය තොල් පට රිදුණේ ය. කෙස් වැටියෙන් අල්ලා ඇදීම නිසා ඇගේ හිස පැලෙන්නට තරම් රිදුණේ ය. ඊටත් වඩා නිකිනි ගේ හිත රිදෙමින් තිබිණ. වැරදි නො කර ම වැරදිකරුවන් වූ කල ඒ වැරදි කරන්නට ම හිතේ. හිතුවක්කාර මුරණ්ඩු කමක් සේ දැනුණත් මිනිස් හිත ක්‍රියා කරන්නේ එහෙම ය.

“ග්‍රැනීලගෙ ගෙදර ආව”

කියා නිකිනි විදත් ට පණිවිඩයක් තැබුවේ ය.

ඒ පණිවිඩය ලැබෙත්දී ඔහු හිටියේ ත් හිත් පහසුවකින් නොවේ. ඔහු නිසා ඒ ප්‍රශ්නය ඇති වූ බව විදත් පැහැදිලි ව ම දැන සිටියේ ය. මංජුල කියන්නේ යමක් පැහැදිලි කර දිය හැකි ආකාරයේ මිනිසෙකු නො වන බව ද කතා කළ වචන දෙක තුන අනුව ම ඔහු ට සිතා ගත හැකි විණි. එහෙම තත්වයක් මත නිකිනි ට නැවත කතා කොට තත්වය විමසීම ඉතා ම බරපතල පසුබිමක් ඇති කරවන බව විදත් දැන සිටියේ ය.

මේ පණිවිඩය ලද සැනෙන් ඔහු ට දැනුණේ සැනසුමකි. විදත් වහා ම ඇය ඇමතුවේ ය.

“මොකද වුණේ….”

නිකිනි ඇස් දෙක තද කොට පියා ගත්තා ය.

“නිකිනි. මොකද වුණේ…රණ්ඩු කළාද මංජුල…ඒත් ඇයි ඔයා ගෙදරිං ආවෙ…මං සුමනා ආන්ටිට කතා කරල විස්තරේ කියන්නයි හිටියෙ”

“මංජුල මට ගහල ගෙයින් එළියට දැම්ම”

“මොකක්…පිස්සුද ඒ යකාට…”

වචන වලින් පැහැදිලි කොට කියන්නට බැරි නිවීමක් වගේ හැඟීමක නිකිනි පා වෙන්නට වූවා ය. එක අතකට මේ දේ මෙහෙම වුණ එක ගැන දුකක් ඈ වෙත නැත. ඇත්තේ හිස් කමක් පමණකි. විදත් ඈ නො මග යවන එක් වදනක් හෝ කියා නැති බව නිකිනි ට විශ්වාස ය. ඒ වූ කලී නිර්මල හැඟීමකි. එතැන කිසිදු කිළිටක් හෝ කහටක් වූයේ නැත. 

“සොරි නිකිනි”

එවර විදත් කතා කළේ හදවතින් ම ය.

“වරදක් කරල නැතුව සොරි කියන්නෙපා”

නිකිනි උගුර යටින් කොඳුරා ගත්තා ය.

“මං කෝල් කළ නිසයි එහෙම වුණේ”

“කොහොමත් ඕක වෙන්න තිබුණ දෙයක්”

“ඒත් දැං  මේ වෙච්ච දේ ඔයාට හොඳ නෑ”

“මට අමුතුවෙන් වෙන්න හොඳක් නෑ”

එසේ කීවා ට නිකිනි ගේ සිතට ආවේ එසේ වූ එක හොඳ ය කියා ය. මේ සියල්ල කොතැනකින් හෝ පුපුරා යා යුතු ව තිබිණි. ඈ එහෙව් පුපුරා යාමක් බලාපොරොත්තු ව සිටියේ නව යෞවනියක සන්දියේ සිට ය. විදත් කෙරේ ඈ තුළ වන ගැඹුර හැඟීම ඔහු ට දැනවිය හැකි ආකාරයක් නැති වීම ගැන ඕ තැවුණා ය. ඔහු ලංකාවට එන දිනයක් ගැන හිතමින් ඕ බෝ කාලයක් තනිකඩ ව සිටියා ය. වෙනත් කිසිදු පිරිමියෙකු හා ප්‍රේමයෙන් නො බැඳී ඔහු පතා සිටියා ය. 

නමුත් විදත් එවැන්නක් ගැන දන්නේ හෝ නැත. ඔහු ගේ මතකයේ ඈ සිටියේ හුරුබුහුටි බෝනිකි දැරියක ලෙස පමණි. විසි වසරකට පසු ඔහු යළි මව් බිමට පැමිණි ඉක්බිති දුටු පිරිපුන් තරුණිය ඔහු ගේ හිත සසල කළේ වී නමුදු නිකිනි ඔහු පිළිබඳ එවන් අදහසක් ඇති ව සිටියා කියා හෝ ඔහු සිතුවේ නැත.

“මං දැං මොකද්ද කරන්න ඕනෙ…ම්…”

නිකිනි ට හීල්ලිණි. විදත් ගේ වචන අතරේ ඒ තරම් ආදරයක් දැවටී තිබෙනු ඇය ට දැනුණේ ය. කොහොම ඔහු ගෙන් ජීවිතය ඉල්ලා සිටින්න ද? එසේ කළ හැකි වී නම් ඈ එසේ කරනු ඇත්ද? නිකිනි ඇගෙන් ම ප්‍රශ්න කළා ය. බිඳී ගිය ඇගේ තොල් පට රිදවා ගෙන එහි සිහින් සිනහවක් පිපිණි.

“මොනාද කරන්න පුළුවන්…”

මොහොතකට ඕ අවුරුදු දහ හතක දඟකාර දැරියක් වූවාය. නමුත් අනිත් අන්තයේ වූයේ ප්‍රේමයේ ගැඹුරු පත්ල තව දුරටත් ගවේෂණය කරමින් උන් පරිනත පුරුෂයෙකි.

“ඕන දෙයක් කරනව. ඕනම දෙයක්”

“ඒ ඇති”

නිකිනි ගේ තොල් වෙව්ලා ගියේ ය. ඇය වේගයෙන් ඇස් පිය සලා කඳුළු ගබ් සා කොට දැමුවා ය.

“මොකද්ද…”

“ඒ වචන ටික”

දෙ අන්තයෙහි ම ඇති වූයේ නිහඬ බවකි. ඇය ප්‍රේමයෙන් හුස්ම ගන්නා බවක් නිකිනි ට දැනිණ. මේ මොහොත අසම සම ය. මේ මොහොතෙහි මිය ගියත් කම් නැතැයි සන්තෘප්ත වූ හැඟීමක් ඈ වසා පැතිර යන්නට විය.

ඒ දුරකතන සංවාදයෙන් පසු නිකිනි නෙතු පියා ගත්තේ ප්‍රීතිමත් මනෝ භාවයකිනි. ඒ වූ කලී ශාන්තියක සමාදාන සුවය ය. 

ඒ රාත්‍රියේ විදත් මිත්‍ර සමගත් සුමනා සමගත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් කතා කළේ ය. මංජුල හිතනා ආකාරයේ යමක් එතැන නොවූ බව ඔවුන් ට ඒත්තු ගන්වන්නට ඔහු සමත් වූයේ ය. කොහොමටත් සුමනා නම් සිටියේ එය එසේ යයි ඇයට ම ඒත්තු ගන්වා සැහැල්ලුවට පත් වීමේ අවශ්‍යතාවයක ය. 

මැදියම් රැයේ නිකිනි කිගැස්සී නින්දෙන් පිබිදියේ දුරකතනය නාද වන හඬට ය. ඇය වහා නැගිට එය අතට ගත්තේ ඒ විදත් ද යන දෙගිඩියාවෙනි. නමුත් තිරය මත සනිටුහන් ව තිබුණේ ගුවනි ගේ නමයි.

“මිස්…මිස් කොහෙද ඉන්නෙ…”

ඈ කතා කළේ කලබලයෙන් හති දමමින් වාගේ ය.

“ගෙදර ගුවනි…අපේ ගෙදර”

“සර් කෝල් කළා…හොඳටම බීල”

“ඉතිං…”

“මිස්ව ගෙදරිං පැන්නුව කියල කිව්ව”

“හේතුව කිව්වෙ නැද්ද…”

“මේ…මිස්ගෙ හොර මගුලක් අහු වෙලා එලෙව්ව කියලයි කිව්වෙ…අනේ මොකද්ද වුණේ මිස්…මිස් එහෙම නරක කෙනෙක් නෙවෙයි කියල මං දන්නව”

නිකිනි ගේ තොල් කොනක් සිනහවකට අර ඇන්දේ ය. නමුත් තොල මත වන පැලුම් තුවාලය නිසා රිදුමක් ජනිත වීය.

“අනේ මොකද්ද මිස් වුණේ…රණ්ඩුවක් ඇති වුණාද මං නිසා…”

“නෑහ්”

“මිස් කොතනක හරි පරිස්සමට ඉන්නවනෙ. සොරි නින්දට ඩිස්ටර්බ් වුණානං. මං ඔහෙට ආවට කමක් නැද්ද මිස්ව බලන්න..”

“කමක් නෑ. මං එඩ්‍රස් එක ටෙක්ස්ට් කරන්නං”

ඒ නින්දෙන් පිබිදි නිසා නිකිනි ට ඉන් පසු බෝ වෙලාවක් ගත වෙන තෙක් නින්ද ගියේ නැත. ඇය දුරකතනය ගෙන වට්ස් ඇප් වෙත ගොස් බැලුවා ය. විදත් ඒ මොහොතේත් ඔන් ලයින් සිටින බව පෙනිණි. ඔහු අමතන්නට හිත නලියෑවත් නිකිනි තමන් ව පාලනය කර ගත්තා ය. 

යළි නින්ද පිවිසියේ පාන්දර යාමයේ වූයෙන් ටිකක් දවල් වන තුරු ම නිකිනි ට නින්ද ගියේ ය. ඈ අවදි වූයේ දොරට තට්ටු කරන හඬිනි.

“නිකී..නිකී…අන්න කවුද ළමයෙක් ඇවිත් ඔයාව අහනව”

නිකිනි වහා ඇඳෙන් පැන දොර ඇරියා ය. 

“ගෑනු ළමයෙක්ද ග්‍රැනී…ගුවනි වෙන්නැති. ඉන්න කියන්න විනාඩි පහක් මං වොෂ් දාං එන්නං”

සුමනා යළි හැරුණේ පහ නො වුණ කුකුසෙනි. මේ වාගේ හිතවතියක මීට පෙර නිකිනි ට සිටිනු සුමනා දැක නැත. ඇරත් නිකිනි මෙහි පැමිණි බවක් දැන ගෙන ඈ මෙහි ආවේ ඇයි? ඊටත් වඩා මේ වගේ උදයෙන් ම මෙහි එන්නට හේතුව කුමක් විය හැකි ද? උත්තර නැති ප්‍රශ්න පත්තරයක් ම ඇය ඉදිරියේ දිග හැරී තිබිණි.

“අනේ දෙයියනේ…මිස්ගෙ මූණ….”

ගුවනි තිගැස්සී ගියේ නිකිනි ගේ ඉදිමුණ තොල දුටු විට ය. පෙර දා ඇති වූ පැලුම් තුවාලය මේ වෙත්දී ඉදිමී, නිකිනි ගේ මුහුණ විරූප කොට තිබිණි. වීනස් දෙවඟන වාගේ රූපශ්‍රීයෙන් අග තැන්පත් ගැහැනියක ගේ මූණට මේ වගේ තුවාලයක් සිදු වෙන්නට තරම් පහරක් එල්ල කළ හැකි පිරිමියා ගේ අත කඩා දමන්නට ඇත්නම් ය යන ආවේගී සිතිවිල්ල ගුවනි ගේ සිත පිළිසිඳිණි. නමුත් නිකිනි ගේ මුවෙහි වූයේ සිනහවකි.

“ආයෙත් නං මං ඒ ගෙදර හතර මායිමට යන්නෑ. ඔයා එයාට කියන්න ඔයාව මැරි කරන්න කියල”

“අනේ එපා මිස්”

ගුවනි ගත් කටට ම කීවා ය. 

“ලෝකෙ ඉතුරු වෙන අන්තිම පිරිමියා සර් වුණත් මට එයාව බඳින්න ඕන නෑ”

බිම බලා ගෙන හෙමිහිට කීවත් යුවතිය ගේ හඬෙහි ස්ථිර සාර බවක් විය. ටික වෙලාවක් කකා කරමින් සිටි ගුවනි, විශ්ව විද්‍යාලයේ දේශන ඇති නිසාවෙන් නික්ම ගියේ යළි නිකිනි බලන්නට එන පොරොන්දුව දී ය. 

“කවුද නිකී ඒ ගර්ල්…මීට කලිං මං දැකල නෑනෙ….”

කෑම මේසයෙහි හිඳ උන් සුමනා ප්‍රශ්න කළා ය. නිකිනි පුටුවක් ඇද මේසයට අසුන් ගත්තා ය. පාලිකා ද මේසය කොනක තබා ගත් පාන් පෙති කිහිපයක බටර් තවරමින් සිටියා ය.

“ඒ ගර්ල් එක්ක තමයි ග්‍රැනී…මංජුලගෙ සම්බන්දයක් තියෙන්නෙ”

“මොනව…ඉකිං නිකී ඒ ගෑනි එක්ක ඔහොම හොඳිං කතා බහ කරනවද…සෙරෙප්පුව අරං කම්මුලට ගහන්නෙ නැතුව…”

සුමනා අවංකව ම වික්ෂිප්ත වී සිටියා ය. නිකිනි මඳහසක් නගා ගත්තා ය.

“ගහන්නම ඕන නං මං ඒ සෙරෙප්පු පාර ගහන්න ඕන මංජුලටනෙ ග්‍රැනී. මගෙ හස්බන් විදිහට ඉන්න ගමං තවත් ගෑනු ළමයෙන් ආශ්‍රය කරන එක ගැන. ඒකත් එයාගෙ කැමැත්ත වෙච්චි….එදා මං දොට්ට බැහැල ආපු විදිහට හිටියනං ඉවරයි”

“ඉතිං ඇයි දැං ඒ කෙල්ල මෙහෙ ඇවිත් තියෙන්නෙ…ඇත්තමයි කලිං දැනං හිටියනං එලවනව මං”

“ග්‍රැනී…ඒ හරි අහිංසක ළමයෙක්.ගෑනු අපි එක බෝට්ටුවෙ ග්‍රැනී. මාව ගෙදරිං එලෙව්ව කියල මංජුල ඒ ළමයට කතා කරල ලොකුකං කියල. ඒ ළමය එළි වෙනකොටම මාව බලන්න ඇවිත්…”

“අනේ ඇත්තට ඔයා අපිට කියන්නෙ ඔය නාට්ටි කතා විශ්වාස කරන්න කියලද නිකිනි…”

මෙතෙක් සියල්ල අසා උන් පාලිකා ගේ ඒ හරස් ප්‍රශ්නයෙන් නිකිනි තරමක් සසල වූවාය. නමුත් එසැනෙන් ඕ නිසසල වූවා ය. පාලිකා වගේ කෙනෙකු ට කිසිවක් ඒත්තු ගන්වන්නට ඕනකමක් නිකිනි ට නැත.

“එදා මං විදත් ගෙ ෆෝන් නම්බර් එක නැද්ද කියල අහවකොට මෙයා හොර පූසි වගේ හිටියා. ඒ ගැන මෙයාට මොනාද දන්නෑ කියන්න තියෙන්නෙ…නේද අම්ම…”

නිකිනි බිම බලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles