මීදුම් මාරුත – 21

කාව්‍යා රැකියාවෙන් දීර්ඝ නිවාඩුවක් ගත් නිසා උදෑසනම අවදි නොවන්නී ය.ඇයට විශාදය වෙනුවෙන් ලැබෙන ඖෂධ කාව්‍යාව තද නින්දක ගිල්වන නිසා මාලිකා කරන්නේ දියණියට රිසි පරිදි නිදන්නට ඉඩ හැරීම ය.කාව්‍යාව ඕනෑවට වඩා හුරතල් කරන අම්මා සමඟ අමනාපව භාවනා නිවස අතැර යාම ගැන මාලිකාට වේදනාවක් නැතිවා නොවේ.නමුත් යමක් තේරුම් කරන්නට අසීරු භාවනා සමඟ ගැටෙන්නට තරම් දැන් තමන්ට ශක්තියක් නැතැයි මාලිකා සිතන්නී ය.සිතුවිල්ලේම ආහාර පිසින්නට ගත් ඇයට බාධා වූයේ දුරකථන ඇමතුමකිනි.

“නංගි, හොඳින් නේද?”

ඈත මහද්වීපයක හිඳ ගලා ආ කාරුණික කටහඬ ඇසුණු මාලිකා මහත්මියට සුසුමක් හෙලිණ.ඒ සෙනුරගේ අම්මා ය.කාව්‍යාගේ එකම නැගණිය පවා අක්කාට අවසනාවන්ත ලේබල් අලවද්දී සෙනුරගේ අම්මා තවමත් හිඳින්නේ ඈ ගැන ආදරයෙනි.

“අක්කා.මම දූගෙන් ඇහුවත් එක්ක.කෝල් කරාද කියල.”

කාව්‍යාට දවසකට වතාවක්වත් සෙනුරගේ අම්මා අමතන බව දන්නා මාලිකා සුහදත්වය පිරුණු කටහඬකින් පැවසුවා ය.හේමචන්ද්‍ර මහත්මිය ඉන්පසු වෙනුරගේ සහ එරන්දිගේ විස්තර ද මුණුබුරාගේ තතු ද කියන්නට සැලකිය යුතු කාලයක් වැය කළා ය.ඇය මාතෘකාවට පිවිසුණේ ඉනික්බිතිව ය.

“මට ඊයේ රෑ වෙලා සකුණ පුතා කතා කරා නංගි..”

සෙනුරගේ වියෝවට වසරක් පිරෙන්නට ආසන්න හන්දා සකුණ සහ මිතුරන් එක්ව රෝහලකට ආධාර කරන්නට සැරසෙන බව හේමචන්ද්‍ර මහත්මිය හෙළි කළා ය.නමුත් ඇයට කියන්නට තවත් කතාවක් තිබිණ.

“සකුණ භාවනාගෙන් අයින් වුණාලු නේද නංගි.මට කිව්ව සකුණ.ඒක කියල කීප දවසක්.මං නංගිගෙන් ඒ ගැන නෑහුවෙත් නංගි හිත් අමනාපෙන් කියල..”

හේමචන්ද්‍ර මහත්මිය ඕපාදූප සොයන්නියක නොවේ.අනුන්ට අපහාස කරමින් හිනැහෙන්නියක ද නොවේ.සෙනුර සහ වෙනුර වැනි ගුණයහපත් පුතුන් තනන්නට ඇයට අසීරු නොවූයේ ද ඒ හන්දා ය.ඈ මේ ගැන අසන්නේ තමන් පාරන්නට නොවන බව කාව්‍යාගේ අම්මා දැන සිටියා ය.

“චූටිව ඇත්තටම සකුණට ගැලපෙන්නේ නෑ අක්කා.සකුණ හරි හොඳ ළමයෙක්.චූටි වගේ ඉවසීමක් නැති අමුතු චර්යාවක් තියන දරුවෙක් සකුණට හරියන්නේ නෑ.”

මාලිකා තමන්ගේ අවංක අදහස හෙළි කළා ය.

“නංගි, සකුණගෙ හිතේ වෙන දෙයක් තියනව.එයා මට කෝල් කළෙත් ඒකට..”

හේමචන්ද්‍ර මහත්මිය මාතෘකාවට නැවතිල්ලේ පිවිසියා ය.

“කාව්‍යා දූ ගැන සකුණගෙ අදහසක් තියනව..”

ඇය ඒ වචන කිහිපය හෙළි කළේ සන්සුන් ව ය.නමුත් ඈ හිඳින්නේ කැළඹී දැයි මාලිකා බියට පත් වූවා ය.මේ යෝජනාව පැමිණියේ සෙනුරගේ ප්‍රාණ සම මිතුරාගෙනි.ඔහු සහ කාව්‍යා අතර බොහෝ කලක් සබඳතාවයක් පැවතියේ යැයි චෝදනා නගන්නට හේමචන්ද්‍ර මහත්මියට සිතෙන්නට නොහැකිදැයි කාව්‍යාගේ අම්මා සසැලුණා ය.මොනතරම් ගුණයහපත් වුව ද හේමචන්ද්‍ර මහත්මිය ද නැන්දම්මා කෙනෙකි.

“අක්කේ!”

මාලිකා වචන ඇහින්දේ ඒ හන්දා ය.නමුත් සෙනුරගේ අම්මා සැබෑවටම සිටියේ සැනසීමෙන් පිරුණු සොම්නසකිනි.

“අපේ කෙල්ල ආයේ බඳින්න ඕන කියල මට නම් ලොකුවට බරක් තිබ්බ නංගි.අපේ මහත්තයයි ලොකු පුතයි නම් ගෑනියෙක්ට කසාදයක් ඕනම නෑ ස්වාධීනව ජිවත් වෙන්න තරම් කාව්‍යා දුව හයියයි වගේ පණ්ඩිත කතා කියනව.ඒත් දෙයියනෙ ඒත් කෙල්ලක්නෙ.ඒ ළමයට තමන්ගෙයි කියල හෙවණකුයි තමන්ගෙම කියල දරුවෙකුයි ඉන්න ඕන.කාව්‍යාට අපේ පුතා නැති වුණේ මේ කාලකන්නි ලෙඩක් නිසා මිසක් ඒ දරුවගෙ වරදකින් නෙවෙයිනෙ..”

හේමචන්ද්‍ර මහත්මිය එසේ කියද්දි මාලිකා මහත්මියට සැනසීමක් දැනිණ.ඇය නිහඬව සිටියේ එනිසා ය.

“ඒත් සෙනුර නැති උනයි කීවම කාව්‍යට ලං වෙන මිනිස්සු මොන විදියෙන් සලකයිද රවට්ටයිද පොඩ්ඩ වැරදුණාම අපහාස කරයිද කියල මට ගිනි බයක් තිබ්බෙ නංගි.ඔය කොච්චර උගත් වුණත් අපේ රටේ තරුණ කොල්ලන්ට උනත් තියෙන්නෙ මහ පසුගාමී අදහස්.”

කාව්‍යාගේ අවාසනාව ගැන විමසන කතා කරන බොහෝ පිරිසක් මාලිකාගේ සිතෙහි ඇදී මැකී ගියේ ඒ කතාව අසා සිටියදී ය.එහි අසත්‍යයක් නොවේ.

“ඒ උනාට සකුණ මට මගෙ කුසින් නොවදපු ටික විතරයි.මට තව පුතෙක් හිටියනම් කාව්‍යා තනි කරන් නෑ කියලනෙ මං ඒ දවස්වලත් කිව්වෙ.මගෙ දරුවා ගැන මට දුකක් නෑ නංගි.ඒ ළමයා ජීවත් වුණු අවුරුදු විසි ගාණ සන්තෝසෙන් ඉඳලා යහපතම කරලා යන්න ගියා.මට වේදනාව තිබ්බෙ මේ අහිංසක කෙල්ල ගැන.ඒ බර බිමින් තිබ්බෙ ඊයේ රෑ.සකුණ ඒ අදහස කිව්වම මට කෑගහල ඇඬුණත් එක්ක..”

සෙනුරගේ වියෝවට වසරක් ඉක්මෙද්දීම කාව්‍යාට විවාහ යෝජනාවක් පැමිණීම ගැන හේමචන්ද්‍ර මහත්මිය සතුටින් පිනා යාම ගැන මාලිකාට දැනුණේ විශාල සතුටකි.එය සතුටකට ද වඩා කිට්ටු සැනසීමකට ය.ඇය සාම්ප්‍රදායික නැන්දම්මා කෙනෙකු නම් මේ ගැන කතා කරන්නේ අපහාසාත්මක මුඛයෙන් බව කාව්‍යාගේ අම්මා නොදන්නවා නොවේ.නමුත් ඇය තමන් තරමටම කාව්‍යා ගැන වද වෙන ඇයට ආදරය කරන අම්මා කෙනෙකි.

“සකුණ ලොකු දූ එක්ක ඔය ගැන කතා කරාද දන් නෑ අක්කෙ..”

මාලිකා එසේ කියද්දී හේමචන්ද්‍ර මහත්මිය හිනැහුණා ය.

“සකුණ ඕක ඉස්සරලම කිව්වෙ මට.තාම කාව්‍යා දන්නෙ නෑ.දැන ගත්තත් දැන්ම නම් කාව්‍යා අපේ පුතා අමතක කරලා ඕවට හිත හදා ගන්නෙ නෑ කියලා සකුණ කියන්නෙ.අපි ඒ මංගල්ලෙට කාව්‍යාගෙ හිත හෙමින් හදමු නංගි.සකුණ කියන්නෙත් සෙනුරටම තමයි.ඒ ළමයි දෙන්නා ගෙවල් දෙකක හැදුණු නිවුන්නු ගානයි..”

කාව්‍යාගේ අම්මා දුරකථන ඇමතුම නිමා කළේ වසරක් තිස්සේ හිස මත තිබූ බරැති වේදනාවක් බිම තබමිනි.නමුත් දැන් අලුත් පීඩනයක් විවිධ ආකාරයෙන් ඇගේ හිස මත පෙරළි කරයි.පළමුවැන්න වැන්දඹුවක ලේලිය කර ගන්නට තරම් සකුණගේ අම්මාට විශාල හදවතක් ඇතිදැයි ඇයට සැක ය.අනිත් කාරණාව භාවනා මෙය දැන ගත් පසු අක්කා සමඟ බැඳගන්නේ සුළුපටු වෛරයක් නොවේ.අනිත් කාරණාව ලෝකයම මෙයට ආශිර්වාද කළ ද කාව්‍යා සෙනුර අමතක කර විවාහයක් කර ගන්නට එකඟ වේයැයි මාලිකාට ඇත්තේ බරපතල සැකයකි.

අම්මා කෙනෙකුට සැහැල්ලු සුසුම් අකැපදැයි සිතමින් මාලිකා තද කල්පනාවකට වැටුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles