වැස්ස උන් හිටි ගමන් දැඩි වුණේ ය. අකුණු ගසා ගොරවන්නට නම් එපා යි නිකිනි දෙවියන් ගෙන් ඉල්ලා සිටියා ය. එහෙම වුණොත් සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින විදත් ට මේ ආකාරයෙන් හෝ ලං ව සිටිය නො හැකි වනු ඇත. දුරකතනය ක්‍රියා විරහිත කොට දමා නිදන්නට ඇය ට සිදු වනු ඇත.
“අපි බැඳිල ඉන්නෙ සංසාරෙට නිකිනි”
විදත් ගේ ඒ හඬ වැස්සේ අසිරිමත් හඬ අතරින් ප්රතිරාව නංවන්නා සේ නිකිනි ට දැනිණ. ඒ ප්‍රකාශය මුළුමනින් ම සත්‍ය ය. ඇය විදත් ට බැඳී ඉන්නේ ත් ඒ සංසාර පුරුද්දට ය. එසේ නො විණි නම් ඒ වගේ ලා බාල වියක දී හිතේ රැඳි ඔහු මේ තරම් කාලයක් හදවත් පටක බදා වැළඳ නො සෙල්වී සිටින්නට විදිහක් නැත.
“අපි සරුංගලයක් වගේ පා වෙනව නිකිනි. අපි හිතනව අපිට ඕන හැටියටයි පා වෙන්නෙ කියල. අපිට ඕන තැනටයි යන්නෙ කියල. අපිට ඕන තැනයි නවතින්නෙ කියල. ඒත් එහෙමම නෑ. සරුංගලේ නූල අල්ලං ඉන්න කෙනෙක් ඉන්නව. ඒ තමයි ඉරණම. අපි යන එන තැන් නතර වෙන තැන් පා වෙන තැන් ඔය හැම දේම පාලනය කරන්නෙ ඉරණම. ඉරණම අපි ඉපදෙනකොටම ඒ හැම දේම ප්ලෑන් කරල තියෙන්නෙ සංසාරෙ අපි රැස් කරපු දේවල් වලයි ප්‍රාර්ථනා කරපු දේවල් වලයි හැටියට තමයි…”
මේ වගේ ජීවන දර්ශනයක් ඔහු උකහා ගත්තේ කොහෙන් වෙන්නට ඇත්ද යන ප්රශ්නය නිකිනි ගේ සිත්හි ඇඳී මැකී ගියේ ය. කිසියම් වසඟයකට නතු වූවා සේ ඇය හුස්ම ගන්නා හඬකුදු පිටතට නෑසෙන සෙයින් අසා උන්නා ය. ඇගේ ජීවිතයෙන් වසර විස්සක් ම මේ මිනිසා ගේ ඇසුරෙන් තොර ව නහස්ති වී ගිය එක ගැන ඉසිහින් සන්තාපයක් ඈ වෙලා ගති.
“ඒ නිසා බැඳීමක් නැති නිදහස් ජීවිතයක් කියල දෙයක් ගැන හිතන්න එපා නිකිනි. කොතනකට හරි බැඳිලත් නිදහසේ ඉන්න පුළුවන්නං අන්න ඒකයි වටින්නෙ”
“මට හිතෙනව මේ වෙලාවෙ මං ඕස්ට්‍රේලියාවෙ හිටියනං කියල”
නිකිනි ගේ මුවෙන් පිටතට පැන්නේ ඈ කියන්නට සැලසුම් කර ගෙන උන් කතාවක් නොවේ. විදත් ගේ වත සිනහවෙන් විකසිත විය.
“ඇයි…”
“බණ අහනව වගේ ඔය කතා අහං ඉන්න…මං ඇත්තම කියන්නද…”
“කියන්න”
“ඔයා කියන කතා නිසා හිත හදා ගන්න මට පහසු වුණා. හිත හයිය කර ගන්න පුළුවන් වුණා. සැහැල්ලු වෙන්න…සතුට තියෙන තැන් හොයා ගන්න පුළුවන් වුණා”
“කොච්චර දෙයක් ද…”
විදත් සුසුමක් අතරේ දෙඩුවේ ය.
“මං දෙසැරයක් ඩිවෝස් වෙච්ච මිනිහෙක් නිකිනි. ඒත් මං හැමදාම කියන්නෙ මේ ලෝකෙ වටිනම දේ පවුල කියලයි. මට පවුලක් නැති වෙලා යද්දිත් මං පවුල කියන දේට පුදුම විදිහට ආදරේ කළා. වයිෆ් කෙනෙක් නැතත් පුතාටයි මටයි හරි පවුලක් විදිහට එක තැනක ඉන්න තිබුණනං හොඳයි කියල අනන්තවත් හිතුව. සිංගල් පේරන්ට් ෆැමිලි කියන්නෙ ලංකාවට මැජික් එකක් වුණාට ලෝකෙ එහෙම නෑ. ඒත් එහෙම කරන්න අමාරු ප්‍රැක්ටිකල් ගැටළු තිබුණ නිසයි මට පැත්තකට වෙන්න වුණේ”
විදත් මොහොතකට සිය කතාව නවතා ඉක්මන් හුස්ම කිහිපයක් ගත්තේ ය. නමුත් කාලයක් තිස්සේ සිය හදවත තුළ තෙරපී තිබූ සන්තාප සිතිවිලි සමුදායකින් ඔහු හෙමිහිට නිදහස් වෙමින් සිටියේ ය.
“අද මං තනි මිනිහෙක් තමයි. ඒත් මේ මොහොත විඳින මිනිහෙන් නිකිනි. හැම හොහොතකම සතුට හොයා ගන්න මහන්සි වෙන මිනිහෙක්. පුතා එක්ක ඉන්නකොට මං පුදුම විදිහට සතුටෙන්. ඒ නැතත් දැං මං කොයි දේ කරන්නෙත් මට සතුටු වෙන්න පුළුවන් විදිහට. ඔයා දන්නවද වර්ක් ප්ලේස් එකයි ගෙදරයි අතරෙ මං ඩ්‍රයිව් කරන්නෙ පවා ඒක විඳිමින්. ඔයා විශ්වාස කරයිද කියල මං දන්නෑ නිකිනි. දැං දැං ඔයත් එක්ක මෙහෙම කතා කරන එකත් මං විඳිනව. මේ ජිවිතේට ඇත්තටම මං ආදරෙයි”
ඔහු වචන වලින් විග්රහ කරන්නට හදන චමත්කාරය, මේ වැහි අන්ධකාර රාත්‍රියේ තැවරී තිබෙන බවක් නිකිනි ට දැනිණි. ඇය ජනේල පියන හැර ගෙන සඳැල්ලට පිවිසියා ය. හඳ එළිය පොදක් හෝ තරු සලකුණක් අහසේ කොතැනකින් හෝ සොයා ගත නො හැක්කේ ය. මුළු අහස් වියන ම වැහි වලාකුළෙන් බර වී තිබෙනවා විය හැක. මේ මොහොතේත් වැහි වැටේ. නිකිනි අඳුරු ගැඹුරු අහස දෙස බැලුවා ය. කිසිත් පැහැදිලි ව නො පෙනේ. නමුත් කොයි තරම් චමත්කාරයක් සිතට දැනිණි ද?
“නිකිනි”
ඒ හඬ සවන් මත පතිත වූයේ ප්‍රේමයේ දිව්‍යමය ඉසව්වක සේ නිකිනි ට දැනිණි.
“ම්…”
“ඔයා නිදිද…”
“මං ඉන්නෙ බැල්කනි එකේ. වහිනව. මෙතන හොඳටම හිරිකඩ”
“සීතල වදියි. ඇතුළට යන්න දරුවො”
“ඔයා කියන වචන වල තියෙන දේවල් මට මෙතන ඉන්නකොට දැනෙනව. ඇත්ත. මේ හැම තැනම පා වෙවී තියෙන්නෙ ආදරයයි සතුටයි. මේ හුළඟෙ…වැස්සෙ…මල් සුවඳෙ…හඳ එළියෙ…කඩා වැටෙන තරුවක වුණත්….”
රාත්‍රිය නිවී ගියේ සුවදායක මිහිරක් හදෙහි තවරමිනි. නිකිනි අවදි වූයේ පවා අමුතු තෘප්තියකිනි. ඕ ඉක්මනට මුළුතැන්ගෙට වැදී තේ පිළියෙල කරන්නට වූවා ය.
“සදිසා ගෙ ගමන ගැන විදත් මොකද කිව්වෙ…”
පාලිකා ආහාර පිසිමින් සිට නිකිනි පිළිවිසියා ය. ඈ තත්පර කිහිපයක් කල්පනා කළේ කවරක් පවසන්නද කියා ය.
“මටනං…මුකුත් කිව්වෙ නෑ නැන්දි”
“නිකිනි”
ඒ තරම් හොඳින් ඈ කතා කරන්නට හේතුව නිකිනි ට සිතා ගත හැකි වූයේ නැත.
“පොඩ්ඩක් විදත්ට කියන්නකො සදිසා ගෙ වැඩේ ගැන බලන්න කියල”
තොල කට වියළී යන සෙයක් නිකිනි ට දැනුණේ ය. කන්න ඕනෑ වූ විට පාලිකා ට කබර ගොයාත් තලගොයා වන්නේ යයි සුමනා නිතර පවසයි. ඒ කතාව නම් සහතික ඇත්ත කියා නිකිනි ට වඩාත් හොඳින් පසක් වූයේ මේ මොහොතේ ය.
“අනේ නැන්දි ඉතිං ඔයාල කතා කරන්නකො. සදිසාට පුළුවන් නෙ කතා කරන්න”
“මාත් හිතුව. ඒත් ඉතිං එහෙම හොඳද දන්නෑනෙ…කමක් නැද්ද නිකිනි සදිසා විදත් ට කතා කළාට…එයා මිස් අන්ඩස්ටෑන්ඩ් කරන එකක් නෑ නේද…”
“එහෙම කරන්න හේතුවක් නෑනෙ නැන්දි”
“එහෙනං මං සදිසාට කියන්නංකො. නිකිනි…විදත් එක්ක කතා කළොත් ඔයත් පොඩ්ඩක් මතක් කරනවද…”
නිකිනි යන්තම් හිස සලා ගෙන තේ බන්දේසියත් ගෙන නික්ම ගියා ය.
සුමනා ඩෙස්මන් ගේ මුහුණ කට සෝදා ඇඳුම් මාරු කොට තට්ටය පෑදුණ හිසෙහි වන කෙස් ගස් කිහිපය ද පීරමින් සිටියා ය.
“ටී රෙඩී…”
නිකිනි ගේ වත කෝපි මල් සිනහවකින් පිපී තිබිණි. ඒ සිනහව ගෙදරකට සිරියාව කැන්දන්නේ යයි ලක්ෂ කෝටි වාරයකට පසු ඩෙස්මන් ට යළිත් සිතිණි.
“තෑන්ක් යූ නිකියෝ…තෑන්ක් ගෝඩ් ෆෝ දීස් එව්රි තිංග්ස්…”
ඩෙස්මන් තේ කෝප්පය අතට ගත්තේ ප්‍රබෝධයෙනි.
“පප්පට අද ඊයෙට වැඩිය හොඳයි…හෙට අනිද්ද වෙනකොට පප්ප මගෙ බුක් ශොප් එකට ඇවිත් ඉඳී උදව්වට..”
ඩෙස්මන් මුව හොදින් විවර කොට යන්තම් හඬ නැගෙන සේ සිනහවක් පෑවේ ය. සුමනා සතුටෙන් ඔහු දෙස බලාන තේ උගුරක් බීවා ය.
“ඇත්ත නිකී. නිකී බිස්නස් එකක් පටං ගන්නව කියල කියපු දවසෙ ඉඳං මං මහ පුදුම වේගෙකිං සනීප වෙනව ..ඔව් ඒක මට දැනෙනව. දෙවියන් වහන්සේගෙ කැමැත්ත ඒක නං ඒක එහෙම වුණාවෙ නිකියො”
සුමනා එක් ස්ථාවර බැල්මකින් ඩෙස්මන් දෙස බලා ඒ බැල්ම නිකිනි වෙතට මාරු කළා ය.
“ඒක තමයි බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ මනස සියලු සිතිවිලි වලට පෙර ගමන් කරයි. සිතිවිලි ඇති කරන්නා ද වෙයි. සිතිවිලි වල මූලිකයා ද වෙයි කියල. හිත තමයි කොයිකටත් මුල”
“ඒක හරි සුමනා. ඒක එහෙම වෙන්න ඇති. දැං මට ඕනෙ ඉක්මනටම මේ කකුල් දෙකෙං දුව පැන ඇවිදල නිකිනි ත් එක්ක බිස්නස් එකේ වැඩ කරන්න. ඔයා කිව්වා හරි. ඒ හිතිවිල්ල තමයි දැං මේ ලෙඩේ හොඳ කර ගන්න මූලික වෙලා තියෙන්නෙ”
ඩෙස්මන් හා සුමනා ආගම් දෙකකට අයත් වී ද එය ඔවුන් ගේ පවුල් ජීවිතය කෙසේ කිසි සේත් අහිතකර ව බලපෑවේ නැත. ඩෙස්මන් සුමනා එක්ක පන්සල් ගියේ ය. සුමනා ඔහු ත් එක්ක පල්ලියේ පූජාවට ගියා ය. සුමනා දඹදිව යන විට තනිවට ගියේ ඩෙස්මන් ය. ජීවිතයේ ප්‍රථම වතාවට සිල් සමාදන් වීමටත් එහි දී ඔහු ට සිදු විය. ඩෙස්මන් වතිකානු වන්දනාවට යත්දී සුමනා ඔහු සමගින් ඉතාලියේ රෝමයට ගියා ය. ඔවුහු තමන් ගේ පාරම්පරික ආගම අදහමින් ද අනෙකා ගේ ආගමට ගරු කරමින් හා එය අධ්‍යයනය කරමින් ද මෙතෙක් දුරක් එක් ව පැමිණියහ. හිත් රිදුම් බිඳුම් ඇති වූ අවස්ථා නැතිවා ම නොවේ. අම්මා අනුව යමින් දරුවෝ බුද්ධාගම ඇදහූහ. නමුත් ඔවුහු අවුරුදු හා වෙසක් වෙනුවෙන් සේ ම නත්තල වෙනුවෙන් ද මග බලා සිටි දරුවෝ වූහ.
“අපේ නිකී ලස්සන වෙලා කියල ඔයාට හිතෙන්නෙ නැද්ද සුමනා…”
ඩෙස්මන් හදිසියේ නැගූ ඒ ප්‍රශ්නයෙන් විපිළිසර වූ නිකිනි ලැජ්ජාශීලී සිනහවක් පෑවා ය.
“මගෙ රෝසමල හැමදාම ලස්සනයි තමයි”
සුමනා එදා සේම අදත් ඒ ලස්සන ගැන ආඩම්බර වන්නී ය.
“එහෙම නෙවෙයි. මේ සැරේ ගෙදර ආවට පස්සෙ නිකිනි අලුතෙන් ලස්සන වුණා”
ඩෙස්මන් එසේ කියත්දී සුමනා තිගැස්සී ගියා ය. පති කුළයෙන් පිටුවහල් කරනු ලැබූ බිරිඳක්, හඬා දොඩා කම්පා කොට, නොකා නොබී වැරහැලි වනු මිස ලස්සන වූ සිදුවීම් ගැන සුමනා නම් අසා නැති තරම ය. ඒ ධර්මතාවය නිකිනි කෙරේ ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියාත්මක වූයේ කෙසේද? ඈ සිත් හි ඇඳුණේ විදත් ගේ රුව ය. නිකිනි ව මංජුල ගේ නිවසින් පන්නා දමන්නට ආසන්න සිදු වීම වූයේ ඇය විදත් සමග දුරකතන සංවාදයක සිටීමයි. නමුත් එක් වතාවක් පමණක් එසේ වූ පමණින් එවන් නෙරපා හැරීමක් කළ හැකි වන්නේ ද? ඩෙස්මන් කියන විදිහට නිකිනි ගේ රූප ශ්‍රියාවේ තව දුරටත් වර්ධනයක් සිදු ව තිබෙනවා නම්, එය හා විදත් අතර යම් සම්බන්ධයක් තිබිය හැකි ද? සුමනා වෙව්ලා ගියා ය. විදත් කියන්නේ සිය පුතු ගේ මිතුරා ය. නිකිනි සිය මිණිබිරිය ය. කිසි සේත් එය එසේ විය නො හැකි යයි ඇගේ ම සිත මොර දුන්නේ ය. නමුත් ඒ සිහිලැල් පාන්දර සුමනා ට දහඩිය දමන්නට වූයේ ය.
“ගුඩ් මෝනිං”
නිකිනි කාමරයෙන් පිටතට එත්දී හමු වූයේ සහස් ය.
“ගුඩ් මෝනිං”
නිකිනි ඇගේ තේ කෝප්පයේ ඉතිරි අර්ධය සහස් වෙත පෑවේ ය.
“තාම තේ බිව්වෙ නෑ නේද..”
“හදල නැතුවැති”
“ඕක බොන්න. මට ඇති”
මුහුණ පිස දැමු තුවාය කරෙහි දමා ගනිමින් සහස් පිය ගැට පෙළට පිවිසෙන ගරාදි වැටට බර වූයේ ය.
“විදත් කතා කළේ නැද්ද…”
උන් හිටි ගමන් ඔහු එහෙම අසන්නට කාරණා නිකිනි ට සිතා ගත නො හැකි ය. පුළුවන් කමක් තිබිණි නම් ඇය “නෑ” යි කියනු ඇත. නමුත් සහස් ට එක අකුරක බොරුවක් හෝ කියනට ඇගේ දිව නැවෙන්නේ නැත.
“කතා කළා”
“මොකද කියන්නෙ…”
“මුකුත්…විශේෂ දෙයක් නෑ ඉතිං…”
ඇය රක්ත වර්ණ වූ වත බිමට හරවා ගත්තා ය.
“විදත් ප්‍රපෝස් කළොත්…මොකද්ද ඔයාගෙ තීරණේ…”
දැවැන්ත භූමි කම්පාවකට ලක් වූ සෙයින් නිකිනි සසල ව ගියා ය.