“අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?”
නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට ද හිමි ව තිබිණ.ඒ වඩා හොඳින් ඇසීමේ ගුණය ය.
“අපි ගෙදර ඉන්නම් චූටි.ඔයාලා යන්න.”
අම්මා පැවසුවා ය.අම්මාට මා නිසා කොහේවත් යන්නට නොලැබීම ද මා වෙනුවෙන් කැප වන්නට සිදු වීම ද මට ගෙනාවේ දුකකි.නැත! එය දරාගත නොහැකි වේදනාවකි.
“අම්මේ..අපි දෙන්නත් ට්‍රිප් එක යං..”
මගේ හඬ වඩා උස් හඬින් ඇසෙන්නට ඇත.නංගී එයට පිළිතුරු දුන්නේ තදින් සිනා සීමකින් ය.
“ඔයා මොනවා බලන්නද ට්‍රිප් යන්නේ..”
පවුලේ චාරිකාවක් කියන්නේ ආදරය උතුරා යන ගමනක් මිස මොනමොනවා හෝ බලන්නට යන ගමනක් බව නංගිට කියන්නට මම උත්සාහ කළේ නැත. නමුත් මුහුදු රළ ගැටෙන හඬ අසා හිඳින්නටත්,පොල්තෙල් සහ කපුරු ද විවිධ වර්ගයේ මල් වල සුවඳ ද එක්ව එන අපූරු පන්සල් සුගන්ධය විඳින්නටත් අලුත් සුළඟක සිහිල කම්මුලේ තවරා ගන්නටත් මට ගමන යන්නටම ඕනෑ විණි.අම්මා මා කැටුව යන්නට තීරණය කළා ය.මම මගේ පළමු චාරිකාව අත් වින්දෙමි.
ඒ මා මගේ අයිතීන් ඉල්ලූ පළමු අවස්ථාව ය.
අන්ධ දැරියක වී ඉපදීම පහසු නැත.කාලකන්නි ලේබලය මට පවුලේ උදවියම ලබා දී තිබිණ.මගේ තාත්තා සිදුවන සෑම ව්‍යාපාරික පාඩුවක්ම මගේ පිටින් යැවුවේ ය.
“ඕකිව නිවාසෙකට දෙමු කියලා ඒ කාලෙම මංකිව්වනෙ..කිසිම දෙයක් හරියන්නෑ. මහ පුදුම කාලකන්නිකමක්.”
ඔහු කියන්නේ මට කන් ඇසෙන බව අමතක කර දමා ය.මගේ නෙත් නොපෙනුණ ද කඳුළු ඉනීමට තහනමක් නැත.
මම සියල්ල උහුලා ගැනීම අතැර දමා සටන් කරන තීරණයට ආවේ අවසානයේ ය.”පොට්ටියක වීම” නිසා නංගි මා කොන් කිරීම ද තාත්තා මා අවාසනාවන්ත එකියක බව සිතීම ද මම අමතක කර දැමුවෙමි.මම වඩා හොඳින් ඉගෙන ගන්නට පටන් ගතිමි.
එහෙත් සාමාන්‍ය පෙළ හොඳින් සමත් මට උසස්පෙළ කරන්නටම ඕනෑ විණි. තාත්තා පැවසුවේ නාස්ති කරන්නට තරම් මුදල් නැති බව ය.නමුත් මට ටියුෂන් යන්නට ඕනෑ වූයේ නැත.
මම පාසල් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මගේ සටන දියත් කළෙමි.මා සරසවියට සුදුසුකම් ලත් දා තාත්තා සසැලෙන්නට ඇත.ඔහු මට ඉහළටම ඉගෙන ගන්නට කීවේ එදින ය.
අන්ධ කෙල්ලකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පහසු වන්නේ නැත.නමුත් මම අත නොහැර සටනට බැස්සෙමි.සටන් කිරීම පලා යාමට සහ වැලපීමට වඩා හොඳ බව මට වඩා දන්නා කෙනෙකු නැතැයි මම දිගින් දිගටම සිතුවෙමි.
මගේ අත තරයේ අල්ලා ගන්නට අතක් මට ලැබුණේ සරසවියේ තෙවැනි වසර ගෙවී යද්දී ය.අනුකම්පාව සහ ආදරය පටලා නොගන්නැයි මම ඔහුගෙන් බොහෝ වතාවක් ඉල්ලා සිටියෙමි. ඔහු මගේ අතක් රැගෙන ඔහුගේ කකුලක් මතින් තැබී ය.
ශිවා! ඔහුට දණහිසට පහළ ඇත්තේ බොරු කකුලකි.යුද්ධය ළමා කාලය අහිමි කළ දරුවෙකු අන්ධභාවය ළමා කාලය අහිමි කළ දැරියක දරා ගන්නට පටන්ගත්තේ ය.ඉතින් මම ඔහුගේ දෑසින් ලෝකය දකින්නට පටන් ගත්තෙමි.
“ඔයා කසාද බඳින්න හදන්නේ ඇයි..ශිවකුමාර් දෙමලෙක්.කකුලකුත් නෑ. ඔයා අන්ධයි.ළමයෙක්ගෙ වැඩක්වත් කරන්නෙ කොහොමද? අම්මා මැරෙනකම් අම්මට වද දෙනවකො..”
අමතර පන්ති නිමවී නිවසට පැමිණීම වෙනුවට පෙම්වතා වෙත යාම තෝරා ගත් නංගි කෑගසා බනින්නට ආවේ තෙවැනි දරු කළලය ද කුසේ දරාගෙන ය.
“ඒ කසාදෙ වෙනවා..”
කාලකන්නි අන්ධ දියණිය වාසනාව සොයා ගත් බවට වැටහී සිටි තාත්තා අවසන් තීන්දුව දුන්නේ ය.
පෝරුවේ චාරිත්‍ර ද හින්දු චාරිත්‍ර ද සියල්ලම ඉටු විණි. ඒ සියල්ලම ශිවා ඔහුගේ දෑසින් මට පෙන්වී ය.
අපේ දියණිය උපන් දා මම මා අසල හුන් ශිවාගේ අත තදින් අල්ලා ගතිමි.
“එයාට ඇස් පේනවද ශිවා..”
අපේ කුඩා “නේත්‍රා” දෑස විසල් කරගෙන මදෙස බලා හිඳින බව ශිවා හෙළි කළේ ය.තවත් නොකඩවා සටන් කරන්නට මම තීරණය කළෙමි.දැන් තවත් අරමුණක් මා දරා සිටියි.
තාත්තා සාමාන්‍ය පෙළට පසු අධ්‍යාපනය අහවර කරන්නට තීරණය කළ කාලකන්නි අන්ධ කෙල්ල හෙට රටින් පිටව යා යුතුව ඇත.ඇමරිකාවේ අපේ අලුත් ජීවිතය ඇරඹෙන්නේ මගේ ආචාර්ය උපාධියට අප එහි යා යුතු නිසා ය.
“නේත්‍රාගේ අනාගතේ ගැන හිතලා එහෙ නවතින්න අක්කා.ආයෙ එන්න ඕන නෑ..”
ශිවාගේ නැගණිය රාධා මට කැඩුණු සිංහලෙන් එසේ කියා තවම සුළු වෙලාවක් ගෙවී ඇත.
එහෙත් මට ඇත්තේ නැවත එන තීරණයකි.මගේ නේත්‍රා ලෝකය දකින කෙල්ලකි.එහෙත් ඇගේ අම්මා මෙන් ලෝකය ඇඟිලි තුඩු සහ ශබ්දයෙන් විඳින දරුවන් ද ඇගේ තාත්තා මෙන් ආබාධිත දරුවන් ද මේ රටේ ඕනෑ තරම් ඇත.
ඔවුන්ට යහපත් අනාගතයක් තනන්නට යළි පැමිණෙන සිහිනයක් මට තිබේ.
සටන් කරමින් ජයගත් ගැහැනියක ලෙස මට ඇත්තේ ඒ සිහිනය පමණි.