අමන්දී බොහෝ වෙලාවක් අතීතයේ සැරුවා ය.තාරකාවක් ව වැජඹෙන තරුණයා හොඳම මිතුරෙකුව හුන් දවස් සිහිනයක් මෙනි.ඔහු රියැලිටි තරගයේ මුල්ම අදියර ජයගෙන පැමිණි දා අන්සියල්ලන්ම හුන්නේ සතුටිනි.
“ඉඳුවරයා මාර ලස්සනට සින්ග් කරාලු..මට ටීවි එකෙන් බලනකන් ඉවසිල්ලක් නෑ..”
සනුරි ප්‍රීතියෙන් දිව ආවේ පණිවිඩය එතරම්ම මිහිරි බව සිතමිනි.විනිශ්ච මණ්ඩලයේ සිටින නව පරපුරේ ගායකයන්ට ඉඳුවරගේ තෝරා ගැනීම් නොගැළපේවායැයි පතමින් හුන් අමන්දී තිගැස්සුණා ය.ඇගේ අවසන් බලාපොරොත්තුව වූයේ එය ය.ඔහු තාරකාවක් විය යුතු නැත.තාරකා වන්නට යන බොහෝ යෞවනයන් දේදුනු සේ අහසේ ඇඳී මැකී යන බව අමන්දී විශ්වාස කළා ය.අනෙක් අතට ඔහු රට පුරා තරුණියන්ගේ සිහින කුමරා වීම දරා ගන්නට ඇයට නොහැකි විණි .
“ජජ් පැනල් එක ඉඳුවරයා එයාලගෙ ටීම් එකට ගන්න මාර ෆයිට් එකක් දීලා.ඉඳුවර ගීත්ගෙ ටීම් එක තෝරාගෙන.එයාට ඉතිං හීනෙ තියෙන්නෙත් ගීත් වගේ වෙන්නනෙ..”
සනුරි කියවාගෙන යද්දී තමන් ඉවත බලා හුන් අන්දම අමන්දීට තවම මතක ය.
“ගීත් වගේ වෙන්න රියැලිටිවල නටලා හරියන් නෑනෙ.මහන්සි වෙන්න ඕන.කොහොමත් දක්ෂ එකේ ඒක අමාරු නෑනෙ..”
ඇය සනුරිට පැවසුවේ තරහිනි.සනුරි ඒ කතාව පිළිගත්තේ නැත.
“ගීත් කියන්නෙ මේ රටේ ජනප්‍රියම මියුසීෂියන් කෙනෙක්ගෙ පුතෙක්.තාත්තා අම්මා ෆීල්ඩ් එකේ නම් ඒකට එන එක අමාරු නෑ.ඔය කාව්‍යාට එහෙම සින්දු කියා ගන්නත් බෑ.ඒත් උන් තරුනෙ.ගීත් දක්ෂ නිසා හිට් උනාම කියන්න බෑනෙ.මොහාන්ගේ පුතා කියන එකත් ගීත්ට බලපෑවා.ඉඳුවර මෙතන බැච් ටොප් වෙන එකා,කැම්පස් එකේ කොන්සට් රන් කරන එකා වගේ ඒවා එළියේ ලෝකෙ මිනිස්සුන්ට වැඩක් නෑ අමා..මිනිස්සු ඊට වඩා තරුවලට කිට්ටුයි.තරුවක් වෙලා දක්ෂයෙක් වෙන එක අපේ පරම්පරාවේ උන්ට වටිනව.ඉඳුවර තෝරා ගත්ත පාර හරි..”
සනුරි කියද්දී අමන්දී එතැනින් නැගිට ගියේ තරහිනි.සනුරි පිටුපසින් විත් ඈ අල්ලා ගත්තා ය.
“මට ඇත්ත කියනවා අමා..”
අමන්දී හිස සැලුවා ය.ඒ ඇත්ත අහන්නට සනුරි පමා වූවා හොඳටම වැඩි ය.
“අපේ උන් තරගෙට ඇප්ලිකේෂන් දානකොට ඉඳුවර උඹටත් යං කීවා.උඹලගෙ අම්මා ඒකට අවසර දුන්නෑ නේද? උඹ මේ තරහෙන් ඉන්නෙ ඒකද? මගෙ නම් තුන් හිතකවත් රියැලිටි තිබ්බෙ නෑ.මට ඒ වැඩේ කරන්න බෑ.මං ආසා එකතැනකට වෙලා ඉඳන් පාඩුවෙ සින්ග් කරන්න, ප්ලේ කරන්න.එන්ටටේන් වැඩ මට හරියන් නෑනෙ.උඹ මේ ඉන්නේ ජෙලස් එකකින් නේද?
අමන්දිට ඉකි බිඳ හැඬිණ.එය වේගයෙන් ඉකි ගසන්නට ගත්තා ය.
“ඔව් ජෙලස් තමයි..ජෙලස් .මං ඉඳුවරට ආදරෙයි.මං එයාට හරි ආදරෙයි.රටේම ඉන්න නැට්ටිච්චියො ඉඳුවර අයියා මගෙ ක්‍රෂ් එක ගගා වැලලෙනකොට මං කොහොමද දරා ගන්නේ?”
එදා තමන් එසේ හඬද්දී සනුරි ශෝකයෙන් මුසපත් වූ අන්දම අමන්දීට තවමත් මතක ය.ඈ අමන්දීගේ දෙවුරින් අල්ලාගෙන බොහෝ වෙලාවක් හුන්නා ය.
“අනේ අමා..මෙච්චර කාලයක් හිටියා.ඇයි මට නොකිව්වේ..කිව්වනම් මම කොහොමහරි මොකක්හරි කරනවනෙ..”
සනුරිට එය පසුව හෝ කියන්නට තිබුණු බව අමන්දීට සිතේ.එසේ නම් ජීවිතය මේ අන්දමින් වෙනස් වන්නේ නැත.අමන්දී බොහෝ වෙලා අවදියෙන් අතීතයේ සක්මන් කළා ය.අවිශ්ක සිහිනයෙන් කෙඳිරිලි නඟයි.ඔහු වෙහෙසට පත්ව ය.
කොට්ටයකින් දෙකන් වසා ගත් අමන්දී නිදන්නට තැත් කළේ අවිශ්කගෙන් බොහෝ ඈතට වී ය.
ඉඳුවර අවදි වූයේ දුරකථනය නාද වෙද්දී ය.ඉතා කාර්යබහුල කාලසටහනක හිර වී සිටි බැවින් ඇමතුම් පවා කරදරයකි.කොහේ හෝ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් ආරාධනාවක් වන්නට ඇත.ටෙලි නාට්‍යය විකාශය වීම සමඟ රඟපෑමේ ආරාධනා ද අඩු නැත.
“නිදි නේද?”
එහා ඉම හුන් කටහඬ ඇසී ය.ඔහු වහා යහන මත හිඳ ගත්තේ ය.
“සනුරියා..කියහං සනූ..”
තවම අත නොහැරි මිත්‍රත්වයක හඬට ආදරයෙන් ඉඳුවර පැවසී ය.
“ඊයේ ඩ්‍රාමා එක බැලුවා..නියමයි ඉඳුවර.හැමදේම සාර්ථක වෙන්නෝනෙ..”
ඉඳුවර සුසුමක් හෙළී ය.මිතුරන්ගේ ආදරය කිසි දිනෙක නිමා වන්නේ නැත.
“මං ඊයේ අමාට ගත්ත..ඩ්‍රාමා එක බැලුවද අහන්න..එයා බලලා නෑ..”
ඉඳුවරගේ සිහින් හිනා හඬ සනුරිට දුරකථනය තුළින් ඇසිණ.එය පැවසීම ගැන ඇයට පසුතැවීමක් ඇති විණි.නමුත් දැන් සත්‍යය පවසන්නට සිදු වේ.
“ඔයා නිකං චැනල් එකකට විකිණෙනව කියල එයා දුකින් ඉන්නෙ..”
එවර ඉඳුවරගේ සිනාව උස්ව නැඟී ආවේ ය.සනුරි ශෝකයෙන් ඒ හඬ අසා සිටියා ය.
“ඔයා කොච්චර කීවත් අමා මට ආදරේ කරා කියල මට ඇත්තටම ඒක විශ්වාස නෑ සනූ..ආදරේ නම් අනිත් මිනිහගේ හීනවලට ඉඩ දෙන්න ඕන.අමන්දිට කවදාවත් හිතුනෙ නෑ..එයා එදා මං ඇප්ලිකේෂන් එක දාන්න යනකොට එච්චර වලියක් නොදා හිටියනම්..එයාට කියන්න දෙයක් මට තිබුණා සනු..”
සනුරි මේ කතාව යළි ඇසෙද්දී ශෝකයට පත් වූවා ය.අමන්දිට ඇය කිසිදා නොකී කාරණාවක් විණි.අමන්දී ඉඳුවරට ආදරය කරන බව කියමින් හැඬූ දා සනුරි ඉඳුවරට ඒ බව පැවසුවා ය.
“මමත් එයාට මීට සති දෙකකට කලින් දවසක් වෙනකම් ආදරේ කරා සනු.ඒ කියන්න විතරයි තිබුණේ.ඒත් මගෙ හීනෙ ගැන අහලා ඒකට එච්චර තදට එයා විරුද්ධ වෙනකොට මං තේරුම් ගත්තේ එක දෙයයි..මට මෙයාව හරියන්නේ නෑ..”
අමන්දීට කිසිදාක ඒ කතාව නොකියන්නට සිතුවද සනුරිට ඒ වාක්‍ය කිහිපය අමතකව යන්නේ නැත.
“එයා බය වුණු විදියටම අද ඔයා රටෙන් බාගයක් කෙල්ලන්ගෙ ක්‍රෂ් එක ඉඳුවර.අමා අකමැති උනේ ඕකට..”
සනුරි තම මිතුරිය නිවැරදි කරන්නට සිතුවා ය.
“සින්ගර් කෙනෙක්, ඇක්ටර් කෙනෙක් , ක්‍රිකටර් කෙනෙක් වෙන්න ඕන නෑ බං කෙල්ලන්ගෙ ක්‍රෂ් එකක් වෙන්න.ඔෆිස් එකේ, කැම්පස් එකේම කෙල්ලන්ට කීයක් ක්‍රෂ් තියනවද? තමන්ගේ කොල්ලා කාගෙවත් ක්‍රෂ් එකක් නෙවේ කියලා සතුටු වෙන්න මොන කෙල්ලෙක්ටවත් බෑ.එහෙම උනා කියල හානියකුත් නෑනෙ.වෙන්න ඕන එකම දේ ඒවා තමන්ගෙ රිලේෂන්ශිප් එකට බාධාවක් නොකරගන්න.අමා හිතුවේ මාව කොටුවක් අස්සෙ දාලා රකින්න.මම කැම්පස් එකේ ලෙක්චර කෙනෙක් වුණත්,කලායතනයක් දැම්මත්, ඉස්කෝලෙක ඉගැන්නුවත් මගෙ ගෝලයන්ට මං ගැන සීක්‍රට් ක්‍රෂ් තියෙන්න බැරිද? අමාට ආදරේ කරන මිනිහට වෙන්නේ රපුන්සල් වගේ ටවර් එකක හිර වෙලා ඉන්න..”
ඉඳුවර දුරකථනය තැබුවේ එසේ කියමිනි.සනුරි සුසුමක් හෙළා අවිශ්කව සිහි කළා ය.ඔහු වැන්නෙකු නිසාවත් අමන්දීට එවැනි සිතුවිලි නැති ජීවිතයක් උරුම නොවේදැයි ඇය අනතුරුව සිතුවා ය.කිසිදු දිස්නයක් නැති අවිශ්ක හිතේ කරදරයකින් තොරව අමන්දීට ප්‍රේම කරන්නට සුදුසුම මිනිසෙකි.