ඉඳුදුන්න -09

අමන්දී එදින රාත්‍රියේ සඳුනි සමඟ තරු රියැලිටිය බලන්නට හිඳ ගත්තා ය.අවිශ්ක සිටියේ ජංගම දුරකථනයේ ක්‍රීඩාවක නිමග්නව ය.සුරංග පුරුදු කළ ඒ ක්‍රීඩාවට ඔහුගේ ඇති ඇල්ම අමන්දීට සිනා උපදවන සුළු ය.නමුත් හරිහැටි බලද්දී අවිශ්ක කුඩා ලෝකයක් අයත් අහිංසක මිනිසෙකු බව අමන්දීට සිතිණ.

“අනේ අන්න ඉඳුවර..”

සඳුනි කෑගසන්නට ගත්තා ය.අමන්දී කාලයකට පසු රූපවාහිනී තිරයෙන් ඔහු දෙස බලා හුන්නා ය.

“අම්මටසිරි! මේ ඉඳුවර අයියා සින්ග් කරනවා..එනවා බලන්න.පිස්සුවක් එයා..”

ඉඳුවර රියැලිටියේ පළමු වටයේ ගී ගයන දා මල්ලී කාමරයට එබුණු අන්දම අමන්දීට මතකයේ ඇත.ඇය සටහන් පොතකට මුහුණ ඔබා ගත්තේ අත්‍යවශ්‍ය පාඩමක් සේ පෙනෙන්නට ය.

“ඇවිල්ලා අරක බලලා යනවා අක්ක..තමුසෙගෙ යාලුවා නේද?”

මල්ලි වඩා පෙරැත්ත කළ අන්දම ඇයට මතක ය.

“ඇහෙනවා..අවුට් සින්ග් කරන්නේ..”

අමන්දී පැවසුවේ තරහිනි.මල්ලී, අමින්ද මහ හයියෙන් හිනැහුණු අන්දම මේ දැන් පවා ඇගේ දෙසවනේ දෝංකාර දෙයි.

“අනේ තමුසෙගෙ ඉරිසියාව.අර මාරෙට සින්ග් කරන මනුස්සයා අවුට් කියනවලු.ඔච්චර ටැලන්ට් එකක් තියාගෙන තමුසෙටත් යන්න තිබ්බනෙ අක්කා.දැන් මෙතන ෆැකල්ටි එකේ උන්ට පද හදන්නේ..අන්න අදීෂ අයියත් ඉන්නවා..”

අමන්දී එදා අදීෂ ගී ගයන අන්දම බලන්නට කාමරයෙන් එළියට ආවා ය.ඔහු අනිවාර්යයෙන් දිනිය යුතු බවට විවරණ දුන්නා ය.අමින්ද ඈ දෙස බැලුවේ සෝපහාසයට බර බැල්මකිනි.

“අච්චර ලස්සනට කියපු ඉඳුවර අයියා නරකයි..මේකට වඩා ඒක දැනෙනව හලෝ..අදීෂ ඔයාගෙ කොල්ලද?”

එදා මල්ලීට බැන වැදුණු අන්දම අමන්දී සිහි කළා ය.තරුවක වන්නට සැරසෙන ඉඳුවර සම්බන්ධයෙන් සිතට ආ පීඩනය අමින්දගෙන් පිට විණි.ඒ තමන්ගේ මල්ලී ය.නමුත් අද නෑනන්ඩියගෙන් පීඩනය පිට කරන්නට නොහැක.අමන්දී නැගිට ගොස් අවිශ්ක අසලින් හිඳ ගත්තා ය.

“දැන් ලංකාවෙ අයත් හරි දක්ෂයි නේද..මේ කැපෙන අය පවා දක්ෂයිනෙ..”

වැඩසටහනක කන අලවාගෙන හුන් අවිශ්ක බිරිඳට කීවේ ය.එයට පිළිතුරු දුන්නේ සඳුනි ය.

“ඉඳුවරගෙ කැම්පස් කාලේ වීඩියෝ එකේ අක්කා දැක්කම මට හිතුණෙ අක්කා ඇයි තරගෙට නොගියෙ කියල.අක්කා මාරම දක්ෂයිනෙ..”

අමන්දී හිනැහුණා ය.තමන්ට නිවසින් අවසර නොලැබුණු බව පමණක් කියා ඇය නිහඬ වූවා ය.එවර මුව විවර වූයේ පුටුවකට වී නිදි කිරමින් ඉඳහිටක රූපවාහිනිය ගැන විමසිලිමත් වන ශාන්තිගේ ය.

“ඕවට වැදගත් ගෑනු ළමයි යන් නෑ.ඇත්ත ඉතිං කොළඹ අක්කලා කියල තියෙන්නෙ.අර කෙල්ල ඇඳන් ඉන්න සායේ දිග..තව කැමරාව යටිනුත් අල්ලනව.විලි සංගෙ ඔක්කොම නැති කරගන්නව.ඊට වඩා ගෑනුළමයෙක්ට කොච්චර වටිනවද තමන්ගෙ ආත්ම ගෞරවේ..”

සඳුනි අම්මා වෙත හැරුණේ නොකැමැත්තෙන් ය.ඩෙනිමක්වත් අඳින්නට නොදෙන අම්මා ගැන ඇය හිඳින්නේ තරහෙනි.

“අර වෙලේ ගෙදර අක්කා, සාරි ඇඳන් වැඩට යන්නෙ..ඒ උනාට කැරැට්ටුව ඉතිං අහන්න දෙයක් නෑ..අද එන කොල්ලා නෙවෙයි හෙට එන්නෙ..කන් ඇහෙන් නැති කිරි අම්මා දන් නෑ උන් ආපහු යන්නෙ පහුවදාට..”

සඳුනි ඉතා ශබ්දයෙන් කියා රූපවාහිනියේ හඬ තීව්‍ර කළා ය.ශාන්ති නැගිට විත් දියණියගේ උරහිසට තද පහරක් ගැසුවා ය.

“අයියා ඉන්න තැන මොනවද උඹ ඔය කියන අවලං කතා..කිසිම කමසෙයියාවක් නෑ කටට..”

සැබෑවටම හිත අලවන ගායනයක් වෙත ඇස අලවා හුන් අමන්දීට නැන්දම්මා ගැන සිනා පහළ විණි.ඇය සඳුනිට පහරක් ගැසුවේ තව කෙනෙකුට කතන්දරයක් කීම ගැන නොවේ.ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැන වැඩිමහල් සහෝදරයා ඉදිරියේ හෙළි කිරීම ගැන ය.

“දුවේ, ගෑනු ළමයි අසනීප උනාම අඳින ඒව ඉල්ලුවම හොඳට පත්තර කොලේක ඔතලා දෙන්න.උන් ආපහු මෙහෙට ඇවිල්ලා පත්තර ඉල්ලනව දුව සොපිංවල දාලා දෙනව කියලා..”

නැන්දම්මා අමන්දීට එසේ පැවසුවේ දහවලේ ය.අමන්දී සිල්ලර කඩයට වී කැෂියර්කම් කර ගෙදරට ආ මොහොතේ ය.සනීපාරක්ෂක තුවා පැකැට්ටුවකට නැන්දම්මා දුන් දිගු නම ද ඒවා සම්බන්ධයෙන් මෙහි යුවතියන්ට ඇති ලැජ්ජාව ද ගැන අමන්දීට සොවක් හට ගත්තේ ය.දිනක් අවිශ්ක කඩයේ හිඳිද්දී කඩයට නොයා මිදුලේ තාවර වූ දැරියක ඇයට සිහි විණි.අවිශ්කගේ කල්කිරියාව හරියටම නොදන්නා අමන්දීට එදා ඇති වූයේ සැකයකි.ඇය එදෙසට ගියේ එනිසා ය.

“අක්කට කඩේට එන්න පුලුවංද?”

ආගන්තුක යෞවනිය ඇසුවා ය.

“අවිශ්ක ඉන්නව කඩේ නංගි..”

සැබෑව දැනගන්නට ඕනෑකමින් අමන්දි වහා පැවසුවා ය.

“ඔව් අක්කේ, සඳා හරි නැන්දා හරි ඔය අලුත් අක්කා හරි එනකං හිටියෙ.මට අරේවා පැකට් එකක් ඕන..ගන්න යන්න ලැජ්ජයිනෙ..”

අමන්දී යුවතියට එය ගෙනවිත් දුන්නා ය.මෙහි පරිසරය වෙනස් බව ඇය ඉනික්බිති වටහා ගත්තා ය.

“අයියෝ තරිඳි කැපුණා..ඒ උනාට අර එයාට ඉඳුවර බදාගෙන සුබ පතනවා..මට හිතෙන්නෙ ඉඳුවර එයාට කැමතියිද කොහෙද..”

සඳුනිගේ කෑගැසීම අමන්දී පියවි ලෝකයට රැගෙන ආවේ ය.ඇය රූපවාහිනිය දෙස බලා හුන්නා ය.ඉඳුවර කලාතුරකින් දෙන කාන්තිමත් ඇස් බැල්ම ඒ තාරකා යුවතිය වෙත එල්ලවීම ඇයට දරා හිඳීම අපහසු විණි.අමන්දී වහා අඳුර ගිලගත් මිදුලට බැස්සා ය.

අවිශ්ක ඈ වෙත ආවේ ඒ මොහොතේ ය.අමන්දී නොදැන හුන්නාට ඇගේ දෑසේ රැඳුණු ඊර්ෂ්‍යාව ඔහු මනාව දුටුවේ ය.

“නංගි..” තනිව හිඳින්නට පැමිණියාට අවිශ්ක තමා අසල බව ඇයට වැටහිණ.

“පොඩි දෙයක් අහන්න වැඩිය හිතන්න එපා..මට අහන්න හිතුණා..” සැමියාගේ හඬ අමන්දී සසල කරන්නට සමත් විණි.ඈ අඳුරටම නෙත අලවා ගත්තා ය.අඳුර ඇගේ මුහුණේ හැඟීම් සඟවන්නට සමත් ය.

“අර අපේ නංගි පිස්සු වැටිලා ඉන්න කොල්ලට ඔයා තරහ ඇයි? මට කැම්පස්වල දේවල් තේරුමක් නෑ..මං ගිහිල්ල නෑනෙ.ඒ උනාට ඔයා ඒ කොල්ලා එක්ක තරහයි කියල තේරෙනව.ඔය තරු ගොඩක් අපේ වෙඩින් එකට ආවට ඒ කොල්ලා ආවෙත් නෑනෙ..මට මතකයක් නෑ..”

අමන්දී අඳුරෙන් නෙත් මුදවා ඔහු දෙස බැලී ය.ප්‍රබල සුසුමක් මුදා හළ ඈ ඇත්ත පවසන්නට සිතුවා ය.නමුත් ඒ පැහැදිලි සත්‍යය නොවේ.අර්ධයක් ඈ අතින් නිර්මාණය වූවකි.

“අවිශ්ක, ඒ තමයි මං කැම්පස් එකේදී ආදරේ කරපු කෙනා..”

නමුත් එහි අසත්‍යයක් ද නැතැයි අමන්දී අනතුරුව සිතුවා ය.ඇය පැවසුවේ තමා ආදරය කළ බව ය.ඔහු ආදරය නොකළ බව ඒ වාක්‍යයේ සැඟව තිබේ.අවිශ්ක කිසිත් නොකියා බොහෝ වෙලා ගෙවා දැම්මේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles