සුහදිනි -14

“මට තේරෙනව මං කරන්නෙ වරදක් කියල.”

පුහුණුවීම් දවස පුරාම යොදාගත් මහන්සි දවසක හවස් වරුවක අහස්ට අවශ්‍ය වූයේ නිවසට විත් සැනසිල්ලේ හිඳින්නට ය.එහෙත් ඒ සැනසීමට ආයුෂ අඩු වූ අතර සාරණ්‍යා ඔහුගේ නිදන කාමරයට කඩා වැදුණා ය.

“අපි බ්‍රේකප් නෑනෙ.පොඩි බ්‍රේක් එකක්නෙ ගත්තෙ.ඒක දැන් ඉවර කරමු අහස්.”

ඉතා විශාල රංගනයක් කරමින් තමන්ට බොහෝ අපහාස රැගෙන ආ ඇය මේ ලෙස හැසිරෙන්නේ කෙසේදැයි අහස් කල්පනා කළේ ය. සාරණ්‍යාගේ කතා ඇය මැරී ඉපදුණු පරිද්දෙනි.සියදිවි නසා ගන්නට ගත් උත්සාහයේදී පැරණි මතක එහෙම පිටින්ම අමතක වූවාදැයි අසන්නට සිතුණත් අහස් කිසිවක්ම නොපැවසී ය.

“මං තාම රිකවර් නෑ ඒත්.මට එහෙම වෙන්න පුලුවන් වුණාම මම ඔයාට කතා කරන්නන්”

ඔහුට අවශ්‍ය වූයේ සාරණ්‍යා ඉක්මනින් මෙතැනින් පිට කරන්නට ය.ඇය දැකීම පවා හිස රුදා ඇති කරන්නක් වීම මොනතරම් අභාග්‍යයක් අහස්ට සිතෙන්නට විය.

“දැක්කත් ඔලුවෙ කැක්කුම හැදෙන මිනිස්සු ජීවිතේ ඉන්න එක මොනතරම් දුකක්ද? එයාලා කාලෙකට කලින් ළං කරගත්තෙත් අපි වෙච්ච එක තමා ලොකුම දුක.”

අහස් එසේ සිතුවේ සාරණ්‍යා දෙස බලමිනි.ඇය හිඳින්නේ දෑස් දල්වාගෙන ය.ඒ බලාපොරොත්තුවක් වෙනුවෙනි.ඔහු නැවතත් තමන් පිළිගනීදැයි බලාපොරොත්තු සහිතව ය.

“මට ඇත්තටම හිත හදාගන්න කාලයක් ඕන සාරණ්‍යා.ඔයා ඔයාගේ ජීවිතේට ආදරේ කරන්න මුලින්ම.ඔයා ඔයාටවත් ආදරේ නැතුව මට ආදරේ කරන්නෙ කොහොමද? මිනිස්සුන්ට ජීවිතේ හොඳටම කලකිරෙන එපා වෙන තැන් තියනවා.ඇත්තටම ජීවත් වුණා ඇති කියලා හිතෙන තැන් පවා තියනවා.ඒත් ඔයාට එහෙම වෙලාවක් ආවේ නෑ.ඔයා සූසයිඩ් කරගන්න ට්‍රයි කළේ මට හර්ට් කරන්න.මට සමාජෙන් තව ටිකක් පීඩනයක් හදන්න.මං ඒවා දන්නව.මම බබෙක් නෙවෙයිනෙ.”

අහස් සාරණ්‍යාට එසේ කියන්නට සිතුවේ කල් මැරීම ඵල රහිත නිසා ය.ඇය හැසිරෙන්නේ ඇය ඔහු නිසා වේදනාවට පත් වූ ආකාරයෙනි.

“මං ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ අපි දෙන්නට සැනසීමෙන් ඉන්න ලැබෙයි කියලා හිතාගෙන සාරණ්‍යා.ඒත් ඒක එහෙම වුණේ නෑ.ඔයාට මගෙන් වුණු වරදක් නැතුවට මං අවුලින් ඉන්න ෆේල් වෙන හැම වෙලාවකම ඔයා උත්සාහ කරේ මාව පහළටම ඇදලා දාන්න.ඒ ඇයි කියලා මං දන් නෑ.ඇත්තටම මට අදටත් ඒකට උත්තරයක් නෑ.”

සාරණ්‍යාට ඒ කතාවට දෙන්නට පිළිතුරක් නොවී ය.ලෝකයේම අවධානය දිනාගත් ක්‍රීඩකයාගේ ජීවන සහකාරිය වීම මොනතරම් ආස්වාදයක්දැයි ඇය විඳිමින් හුන්නා ය.නමුත් ඔහු අසාර්ථක වෙද්දී ලෝකයේ ජනප්‍රියම මිනිසෙකුගේ බිරිඳ වීමේ සිහිනය අහිමි වේදැයි ඇය බියට පත් වූවා ය.

“ඔයා මාව රිද්දලා ඔයාට රිදුණු විදියට හැසිරෙන එක මට අදටත් ප්‍රශ්නයක්.ඔයා එහෙම කරන්නෙ ඇයි කියල මං අදටත් දන්නෙ නැහැ.ඒත් ඔයාටත් ඒකට හේතුවක් ඇතිනෙ.”

කෙනෙකුට රිදවීමෙන් අනතුරුව රිදවීම් ලැබුවේ තමන් ලෙස හැසිරෙන උදවිය ලෝකයේ සිටින වඩාත් භයානක කොට්ඨාසය බව අහස් කල්පනා කරන්නට විය.එවැන්නන් තමන් අතින් කෙනෙකු රිදවුම් ලබන බවවත් පිළිගන්නට නොසතුටු ය.එය බොහෝ භයානක තත්ත්වයකි.

“ජීවිතේ එක එක විදියෙ මිනිස්සු අපිට හම්බෙනවනෙ සාරණ්‍යා.ඔයායි මායිත් එහෙම මුණ ගැහුණු අය,නොගැළපෙනව කියලා දැන දැනම කසාදත් බැඳලා අපි අතරට දරුවොත් ගේන්න මහන්සි නොවී අපි දැන් තියාම තීරණයක් ගමු.”

අහස් මේ තනන්නේ කොමාවක් තබන්නට නොව නැවතීමක් තබන්නට බව සාරණ්‍යාට පැහැදිලි ය.ඇය ඔහුට තර්ජනයක් කරන්නට සිතුවා ය.සිය දිවි නසා ගන්නට තැත් කිරීම වැනි දේවලින් ඔහු බියට පත් කිරීම පහසු නොවේ.

“ඔයාට වඩා ජනප්‍රිය මිනිස්සු මේ රටේ ඉන්නව.ඔයාලව උඩ දාන්නෙ මැච් එකක් දිනුවම විතරයි.පැරදුණාම බල්ලො බලල්ලු ගාණට ඔයාලව වැටෙනව.ඒත් එහෙම නැතුව හැමදාම මිනිස්සු ආදරේ කරන අයත් ඉන්නව අහස්.”

ඇගේ වෘත්තිය සගයන් එවැන්නන් බව අහස් දනියි.ඔහු ඇයට ඇහුම්කන් දුන්නේ ම මඳහසකිනි.

“මං ඒ වගේ කෙනෙක්ව මැරි කරල සතුටින් ජීවත් වෙනව.”

යන්නට සැරසුණු සාරණ්‍යාගේ අතකින් අහස් අල්ලා ගත්තේ ය.ඇතැම්විට මේ අවසාන අල්ල ගැනුම විය හැකි ය.නමුත් සාරණ්‍යා සිතුවේ ඔහු වහා ඉරිසියාවට පත් වූ බව ය.ඇය කුරිරු මඳහසකින් ඔහු දෙස බැලුවා ය.

“ජනප්‍රිය වෙන්න කිසිම උවමනාවක් නැති ඒත් ආදරේ කරන්න දන්න වැටෙන හැම වෙලාවකම ළඟ ඉන්න ගෑනු ළමයිත් මේ අහස යට ජීවත් වෙනව ඇති සාරණ්‍යා.එහෙම කෙනෙක් මටත් ලැබෙයි.ඔයාගේ ජනප්‍රියකම උතුරන ජීවිතේට මං සුබ පතනව.ජනප්‍රියම නිළිය වෙන ඔයාට දවසක දක්ෂතම නිළියත් වෙන්න පුලුවන් වෙයි.දිගටම මහන්සි වෙන්න.”

සාරණ්‍යා සුළඟක් වී නික්ම ගියා ය.මහත් වෙහෙසක් මිස වේදනාවක් නොදැනෙන හදවතින් අහස් යහන මත හිඳ ගත්තේ ය. සිහිනයේ සැරිසරන යුවතියගේ කඩා වැටෙන කෙහෙ කැරලි ඔහුට පෙනෙන්නාක් බඳු ය.ඇගේ මුහුණ කිසිදා නොදුටුව ද ඇයව දුටුමතින් හඳුනා ගැනීම අසීරු නැතැයි ඔහුට සිතේ.

“ඔයා දවසක දකින්න ලැබෙයි.ඒත් මට තියන ප්‍රශ්නෙ ඔයා මගේ හීනවල ඉන්නව කියල මං කොහොමද ඔයාට කියන්නෙ? අඩුම තරමේ ඔයයි මායි ඉන්න හීනවලට ළඟින් යන චිත්‍ර අඳින ගර්ල්ටවත් ඒක කියා ගන්න මට හයියක් නෑ.”

එහෙත් අහස්ට හදිසි සිතුවිල්ලක් පහළ විය.ඔහු සියුම් අමතන්නට සිතුවේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles