“ඔයාගේ කට්ලට්ස් සැන්විචස් ටික නම් මාර රසයි සමා..”
රාධිකා මම ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන.මම හිනාවෙලා එයා දිහා බැලුවා.
රසයි නම් තමයි..ඒත් අනේ ඕව හැදුවේ මම නෙමෙයි.”
මම එහෙම කියද්දී කෞෂි පුටුව කරකවලා අපේ පැත්ත හැරුණා.කෑම සම්බන්ධයෙන් කතාවක් තිබුණොත් එයා අනිවාර්යෙන්ම එතන.
“එහෙනම්? දසුන්ලගෙ අම්මද හැදුවෙ..ඇත්තටම රසයි අනේ..”
කෞෂිත් කියනවා.මට ඒවා කරන්න වෙලාවක් නොතිබුණු බවත් කෑම ඔක්කොම මිලට ගත් ඒවා බවත් මම එයාලට කිව්වා.ස්වයං රැකියාවක් විදියට කෑම හදන ජානකී නංගි ඉන්නේ අපේ ගෙවල් ළඟමයි.අනතුරකින් සැමියා නැති වුණාට පස්සේ එයාගේ බිස්නස් එක ඒක.අනිත් අයට අතනොපා ලස්සනට ජීවත් වෙන ජානකි හරිම රසට කෑම හදනවා.
“කොහොමත් අවාසියක් නෑ.මම බඩු අරගෙන හැදුවත් ඔය ගාණ යනවනෙ..”
මම තව දුරටත් කිව්වා.කෞෂි මූණ ඇද කරගෙන මං දිහා බැලුවා.
“wedding anniversary එකට ඔයාගේ අතින් කෑම හදන්න බැරිනම් මොකක්ද අනේ වැඩේ..”
රාධිකා නළල රැලි කරලා කෞෂි දිහා බැලුවේ එහෙම කියන්න එපා කියලා ඉඟි කරන්න වෙන්න ඕනේ.ඒත් කෞෂි දිගටම ගෘහනියකගේ වගකීම් මට පැහැදිලි කරන්න පටන් ගත්තා.
“ඔයාලගේ කේක් එක rainbow cake එකෙන් ඕඩර් කරලා නේද? අනේ එයාලගේ වැඩ මාර නීට්.මමත් ආසාවෙන් ඉන්නේ අපේ චූටි දූගේ බර්ත්ඩේ එකට ඒගොල්ලන්ගෙ කේක් එකක් ගන්න.කෙල්ල හරියට ආස වෙයි..”
රාධිකා කියන්න ගත්තා.
“ඔයා ඒ දරුවාගේ අම්මා නේද? එයාට බර්ත් ඩේ කේක් එක ඔයා හදන්න..”
කෞෂි ඒ ගමන රාධිකාට සැර දාන්න ගත්තා.
“මට ඔයාලව තේරෙන්නෙ නෑ අනේ.පුදුම කම්මැලි ගෑනුනේ.අඩුම තරමේ ජීවිතයේ වැදගත් දවසකටවත් ඔයාලගේ අතින් මොනවා හරි හදන්නකෝ..”
කෞෂි කතා කළා ඇති කියලා කියල මට හිතුණා.
“මෙහෙමනෙ කෞෂි..අනිත් හැම දවසකම අපි උයනවනෙ..ඒ දවසකටවත් වෙනසක් තියෙන්න ඕන.දැන් මම ඊයේ ලන්ච් එකට දසුන් ආසම මෙනු එක හැදුවා.අපි ඩිනර්වලට එළියට ගියා.ඔයාලට ගේන්න කේක් එකක් මම හදාගෙන අනිත් ජාති අර ජානකී නංගිට කියලා හදා ගත්තා…ඔක්කොම මම කරන්න ගියාම මට හරිම මහන්සී..”
කෞෂි අපි ළඟින් අයින් වුණේ මුහුණ නරක් කරගෙන.
කෞෂි මම දකින පරිපූර්ණ ගෘහණියක්.ඇත්තටම නිදහස් වෙලාවට එයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක දිහා බලාගෙන ඉන්න මම හරි ආසයි.කෞෂි එක එක ජාතියේ කෑම හදනවා.කුණු බිංදුවක් නැති වෙන්න ගේ අස් කරනවා.මල් වවලා පළතුරු ගස් හදලා මිදුල පුදුමාකාර සුන්දරයි.”කෞෂියෝ..අහවල් කෑම ජාතිය හදන්නෙ කොහොමද?” අපි කෑම හදන්න සම්පූර්ණයෙන් උපදෙස් ගත්තේ එයාගෙන්. යූ ටියුබ් චැනල් වලටත් වඩා අපිට එයා ගැන විශ්වාසය තිබ්බා.
හැබැයි එයාගේ එක නරක දෙයක් තියෙනවා!
හැම ගැහැනියක්ම තමන් වගේ විය යුතු බව කෞෂි හිතනවා.කඩෙන් කන එක එයාට අනුව මහා අපරාධයක්.
“හැමදාම කඩෙන් කන්නේ බෝඩිමේ ගෑස් ලිපක් තියා ගන්න ළමයෝ..”
කෞෂි අලුතෙන් රැකියාවට ආපු නංගි කෙනෙකුට දවසක් එහෙම උපදේශයක් දුන්නා.පුංචි කාමරයක උයන්න ගියාම කරදරයි කියලා ඒ ළමයා කිව්වම කෞෂි අපිත් එක්ක දවස් ගානක් එයාට බැන්නා.
“අද මට ඇහැරෙන්න හොඳටම පරක්කු වුණා.අනේ සාගර තමයි අද උයල තියෙන්නෙ..”
රාධිකා එහෙම කියපු දවසක එයාගෙ කසාදෙ ගැන මීට වඩා හිතන්න කියලා කෞෂි උපදෙස් දුන්නා.
“ඊයෙ අර රිපෝට් ටික හදන්න ගිහින් මට හොඳටම රෑ වුණා.ඒකයි අනේ නින්ද ගියේ.සාගරට ඕක තේරෙනවා..”
රාධිකා එහෙම කිව්වම රස්සාව සහ කුස්සිය සමබර කර ගන්න ඕනෑ ආකාරය ගැන කෞෂි ලොකු දේශනයක් දුන්නා.
“විකාර අනේ.මමයි සාගරයි එකම ඩිග්‍රියක් ගත්තු අය.මගේ රස්සාවෙ අමාරු තැන් එයාට තේරෙනවා.කසාදෙ කියන්නේ දේවල් බෙදා ගැනීම.කොහොමත් අපි එකතු වෙලා තමයි ගෙදර වැඩ කරන්නෙ..”
රාධිකා එදා තදින් කතා කළා.
“මොනවා වුනත් අපේ ජීවිතේ සම්පූර්ණ නෑ කියලා මට හිතෙනවා.”
දවසක් සෙව්වන්දි කිව්වේ හිතේ අමාරුවෙන්.අපි එයාගේ ප්‍රශ්නය අහන්න ලෑස්ති වුණා.
“මට හිතෙනවා මම පිළිවෙළ මදි කියලා.exam එකට ලෑස්ති වෙන හින්දා මං ගොඩක් වෙලාවට බල්ක් කුකින් කරනවා.ගේ නීට් එකට අස්කරන්න, මල් වවන්න ,කුස්සිය හැමදාම mop කරන්න අනේ මට වෙලාවක් නෑ.කෞෂි එක්ක බැලුවම අපි මාරම අසම්පූර්ණ ගෑනු..”
සෙව්වන්දි කියන්නේ ඇත්තටම අවුල් සහගතව.
“සෙව්, එහෙම එකක් නෑ.එක්කෙනාගෙ lifestyles වෙනස්.ඇත්තටම කෞශිගේ වැඩ නියමයි.එයා ඒකට පුරුදු වෙලා.ගෙදර අයත් එයාගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙනවා.ඒත් අපේ විදිහ වෙනස්.මට හොඳට උයන්න පුළුවන්.අනිත් එක මම හැඩි වෙච්ච ගෙවල් වලට ආස නෑ. මම ගොඩක් වෙලාවට උයනවා.ඒත් දසුන්ටයි බබාලාටයි කඩෙන් කන්න හිතුණු දවසට මම කඩේ මෙනූස් ගෙදර හදන්නේ නෑ .අපි එලියට ගිහින් කාලා එනවා.මම කොච්චර ආස නැති වුනත් මහන්සි දවසට මම ගෙවල් අස් කරන්නේ නෑ.හැබැයි ඉක්මනටම අස්කරගන්නවා.මේ වෙලාවේ ඔයාගේ අරමුණ වෙන්න ඕනේ ඔය එක්සෑම් එක හරියට කරගන්න එක.අපි කවුරුත් නරක ගෑනු නෙමෙයි.ආවත් අනුකරණය කරලා අපේ ජීවිත හදාගන්න අපට බෑ.අපේ විදිහට ජීවත් උනාම ඉවරයි..”
මම සෙව්වන්දිට දිග දේශනාවක් දුන්නා.ඇත්තටම අපි කාට කාටත් අනන්‍ය හීන තියෙනවා.අපි එකිනෙකා එකිනෙකාට වෙනස්.ඒ නිසා අපි අපේ ගමනක් යාම තමයි කළ යුතු වෙන්නේ.කෞෂි මොනතරම් පිළිවෙල වුණත් එයාගේ තියන වරද ලෝකයේම ඉන්න ගැහැනු එයා වගේ වෙන්න ඕන කියලා එයා විශ්වාස කරන එකයි.
කෞෂි ආයෙමත් ප්‍රෙග්නන්ට් වුණේ ඔය අතරේ.වෙනදාට වඩා හෝන්දුමාන්දුවෙන් ඉන්න එයාට අපි කෑම හදන්න ගත්තේ තරගෙට වගේ.ඒත් කෞෂි ඉන්නේ එපා වුණු තාලෙට.
“ඔයාට අසනීපයක්ද කෞෂි?”
බැරිම තැන මම ඇහුවා.කෞෂි ඇස්වලට පිරුණු කඳුළු පිහදා ගත්තේ අමාරුවෙන්.
“මට හරිම මහන්සී සමා..ඇත්තටම හරියට මහන්සී..”
ඒක ඉතින් සාමාන්‍ය දෙයක් බව මම එයාට පැහැදිලි කළා.අපි තව ජීවිතයක් දරන කාලයක්නෙ ඉතින් ඒ කාලේ.
“මට මහන්සි ගෙදර වැඩ කරලා.දේවක කිසිම වැඩකට උදව් වෙන්නේ නෑ.එයා කඩෙන් කන්න ආසත් නෑ.පුතත් ඉපදුණු දවසේ ඉඳලම කඩ කෑම කාලම නෑ.එයාටත් මං උයන්නම ඕන..අනික ඉතිං ගේ පොඩ්ඩක් හැඩි වුණත් මට හිතට හරි නෑ.අනික දේවකත් බනිනවා අනේ..අපිළිවෙලට ඉඳල පුරුදු නෑලු.ඇත්තටම එයාටත් ඔය පිළිවෙල පුරුදු කරේ මං..මට මහන්සී සමා..ඉස්සර වගේ වැඩ කරන්න බෑ..”
මම එයා දිහා බලා හිටියේ අනුකම්පාවෙන්.කෞෂි එයාගෙම ජීවන රටාව ඇතුළේ හිරවෙලා.
“ඔයාට ටිකක් සනීප වෙනකන් සර්වන්ට් කෙනෙක්වත් හොයාගමු..”
මට කියන්න වෙන දෙයක් තිබුණේ නෑ.අපි ජීවිතේ එකම රාමුවකට හිර වෙන්න නරකයි.අන්තිමට ඒක අපටම පාරාවළල්ලක් වෙන්න බැරි නෑ.පරිපූර්ණ නොවුණත් කමක් නෑ.සතුටින් ජීවත් වෙන්න ලැබුණොත් ඒ මදැයි.ජීවිතය තියෙන්නෙ සතුටින් ඉන්න.සම්පූර්ණ අසම්පූර්ණ හැම විදියටම ජීවිතය සමහර කාල පහු කරන්න අපට සිද්ධ වෙනවා.ඒ හැම කාලයක්ම බාරගන්න අපි හිත හදාගන්න ඕන.
අපට වසන්තය වගේ පෙනෙන සමහර දේවල් සමහරුන්ට ග්‍රීස්මය වෙන්න පුළුවන්.