නයනි සෑම මොහොතක්ම පීඩනයෙන් ගෙවා දැම්මා ය.මොකක් හෝ හේතුවක් මත ඒ කාරණා සියල්ලම පිට වූයේ අමන්දී මතිනි.අමන්දී සැනසිල්ලේ ගෙවූ ජීවිතය බිඳී යමින් තිබුණා ය.
“අක්කෙ, ඔයා තාම කාලා නෑ නේද?”
දිනක් සඳුනි ඇසුවේ මුහුණ නරක් කරගෙන ය.අමන්දී නැතැයි කියන්නට හිස වැනුවා ය.
“අන්න අර අපේ අක්කා.වලං පිඟං සේරම හෝදනව.ගෙදර අය කාලා ඉවරයි කියල.”
අමන්දී සිටියේ දැඩි බඩගින්නකිනි.නමුත් අස් පස් කරන්නට තිබූ නිසා ඇය ආහාර ගැනීම පසුවට කල් දමා තිබුණා ය.නමුත් නයනි එසේ කළ හේතුව ඇයට සිතා ගත නොහැකි විණි.
ගෙදර හතර මායිමෙන් එහා නොයන්නැයි අණ ලැබී තිබූ සඳුනි එහා වත්තේ විසු නැන්දණියගේ ගෙදර ගියේ අවසර ගෙන නොවේ.නමුත් ඇය බනිමින් නැවත එද්දී ශාන්තිගේ ඇස ගැටුණා ය.
“කොහෙද ගියේ?”
ඇය කඩා පැන්නා ය.
“අක්කට කන්න ගේන්න..”
සඳුනි කඩා පැන්නේ ඊටත් සැර හඬකිනි.සඳුනි අත තිබූ බත් පිඟාන දෙස ශාන්ති බලා සිටියේ විපිලිසර ව ය.
“අර පේනවද? කුස්සියෙ ඉතුරු බත්.රෑටත් එක්ක හොදි මාලුපිනි තිබ්බද කොහෙද..අපේ අක්කා ඔක්කොම හෝදලා අස් කරල.අමන්දි අක්කට කන්න කෑම නෑ.මම මේ ලොකු නැන්දම්මලගෙන් බත් අරන් ආවා..”
සඳුනි ආවේගශීලීව කියවාගෙන ගියා ය.ශාන්ති තිගැස්මෙන් බලා සිටියා ය.දඩාවතේ යන බලු රැලක් බත් ගොඩක් වටකර ගෙන ය.ඒ අමන්දීගේ දිවා ආහාර පංගුව යැයි සිතීම ම ශාන්තිට මහත් වේදනාවක් විණි.නිවසේ සිටින සතෙකුටවත් ඇය බඩගින්නේ හිඳින්නට ඉඩ තබන්නේ නැත.වැඩිමලිය කළ දේ ගැන ශාන්තීට ලැජ්ජාවකට වඩා දැනුණේ කෝපයකි.
අමන්දී මේ කාරණා ගැන සොවින් බරව හිඳිද්දී ඉඳුවර ද ශෝකයෙන් බර වන්නට කාරණා යෙදී තිබිණ.
තරිඳි නොකා නොබී හැඬුවා ය.සමාජ ජාලා වල පැතිර යන දෑ බලා සිටීමටත් අසෝබන විණි.සමහර ෆේස්බුක් පිටු සහමුලින්ම තරිඳිට වෙන් වී තිබිණ.
“මට හිතෙන්නෙ මේක සල්ලි දීල අරන් යන කැම්පේන් එකක් මචං..”
සිතිජ ඉඳුවර හා පැවසුවේ ය.
“මෙච්චර නටන්නෙ නෑ කවුරුත්.මුංට කීයක්ම හරි දීල කියන එක පැහැදිලියි.නැත්නම් මිනිස්සු ඔච්චර තිරිසන් වෙන් නෑ..”
සිතිජ වැඩිදුරටත් පැවසී ය.සමහර රැලි පැමිණෙන තරමට වේගයෙන් බැස යන නිසා ඒවා ගැන එතරම් සිතිය යුතු නැතැයි ඉඳුවර සිතී ය.නමුත් තරිඳිට ඇද වැටෙන්නට දෙන්නට ද ඔහු නොකැමති විය.
“මිස්ට වික්‍රමබාහු තරිඳිට එන්න කිව්වා..”
නාලිකාවෙන් පණිවිඩයක් පැමිණියේ ය.තරිඳි ඒ ගමන ගියේ ද හඬමිනි.නාලිකා ප්‍රධානියා තමන්ව ටෙලි නාට්‍යයෙන් ඉවත් කරන පණිවිඩයක් ලබා දෙනු ඇතැයි ඇයට සහතික ය.
“ආණ්ඩුවට පොඩ්ඩක් කඩේ ගියාට ඔය චැනල් එක ඔයා වගේ ජරා කෙල්ලො ෆෝම් කරන් නෑ තරිඳි බබා.දැන් චැනල් එකට යන ගමන් නේද? ආපහු එනකොට ඔක්කොම නැති වෙලා තියෙයි..”
ඒ නිර්නාමික දුරකථන කෙටි පණිවිඩය දෙස තරිඳි බොහෝ වෙලාවක් බලා සිටියා ය.ඇයට හැඬෙන්නට ගත්තේ ය.
“චැනල් එක අස්සෙ උන් සම්බන්ධයි මේකට.නැත්නම් ඔයාට එන්න කියපුව පවා දන් නෑනෙ..”
ඉඳුවර කීවේ අප්‍රසන්න හඬකිනි.ඔහු මේ වෙන දේවල් සම්බන්ධයෙන් කලකිරීමට පත් වෙමින් සිටියේ ය.
“තරිඳි, ඒ ඉන්නෙ තරිඳි නෙවෙයි කියල අපි දන්නව.තරිඳිත් දන්නව නේද ඒ තරිඳි නෙවෙයි කියල…”
වික්‍රමබාහු මහතා ඇසුවේ එවැනි ප්රශ්නයකි.ඉඳුවර ඈ සමඟම රැඳුණේ ය.
“සාමාන්‍ය ගෑනු ළමයෙක්ගෙ ජීවිතයක් තරිඳිට ගෙවන්න තිබ්බනෙ.තරිඳි තෝරාගත්තෙ මේ ජීවිතේනෙ.ඉතින් හරි සරලයි.ඔහොම ඒවා ඉස්සරහටත් එනව.අඬ අඬ ඉන්න ගියොත් තරිඳි පරාදයි..දැන් මම එන්න කිව්වෙ විශේෂ වැඩකට..දැන් වෙලාව දහයයි පනහයි.එකොළහට තියනව ලයිව් එකක්.තරිඳි යන්න එතනට..”
තරිඳි පුදුමයෙන් බලා හුන්නා ය.ඇය හැඳ සිටින්නේ සාමාන්‍ය ගවුමකි.සාමාන්‍ය කොණ්ඩා විලාසිතාවකි.තොල් ආලේපනයක් හෝ ගල්වා තිබුණේ නැත.එවැනි පෙනුමකින් සජීවී වැඩසටහනකට පෙනී සිටින්නේ කෙසේදැයි ඇය පුදුමයෙන් බලා හුන්නා ය.
“ඔය ඔයා මේ වෙලාවෙ ඉන්න පෙනුම.චින්තක ප්‍රශ්න අහන්නෙ තරිඳි.ඇඬුණොත් අඬන්න.හිතෙන ඔක්කොම කියන්න.මේ පාර ජනප්‍රිය නිළිය වෙලා නවතින්නෙ.දැන් යන්න..”
වික්‍රමබාහු කියන්නේ නිසංසල හඬකිනි.මේවා මොවුන්ගේම සැලසුම් දැයි ඉඳුවරට සිතිණ.