නයනිගේ ඇනුම්පද අසමින්,විඳිමින් අමන්දී නව රැකියාවට සැරසුණා ය.ඇය හුන්නේ සතුටිනි.අලුත් ලෝකයකට දොරගුලු විවර වීමම සතුටක් වග ඇය සිතුවා ය.සඳුනි හුන්නේ ඊටත් වඩා සතුටකිනි.අමන්දී අක්කා ගමේ පාසලේ ගුරුවරියක වීම ඇයට සතුටකි.ඇයට දැනුණේ ඈ ගුරු පත්වීමක් ලද තරමේ සතුටකි.

“මට ආයේ ඒ ලෙවල් කරන්න තරම් හිතුණ..”

අමන්දීට සාරි හැට්ට මහන්නට යන්නට එක් වෙමින් සඳුනි කියන්නේ ප්‍රීතිමත් හඬකිනි.අමන්දී ඒ අසා සතුටට පත් වූවා ය.

“ඉතිං කරමුකො..මං උදව් කරන්නං..”

සඳුනිට යළිත් ඉගෙන ගන්නට සිතෙන්නේ නම් ඒ වෙනුවෙන් නොපිරිහෙලා උදව් දිය යුතු වග අමන්දී සිතුවා ය.නයනි දිය කර හරින්නේ ඉගෙනීම අහිමි වූ ශෝකය ය.දෙමාපියන්ට අවශ්‍ය විවාහයක පැටලුණු ශෝකය ය.ඒ විවාහය ගිනි ගොඩක් වූ ශෝකය ය.

නයනිගේ කෝපය අහේතුක විය.එය අමන්දීට දැඩිව පීඩා කරන්නට ඕනෑම මොහොතක නැගී සිටියේ ය.නව රැකියාවට යන්නට අමන්දී ගත් සාරි කිහිපයක් තැනින් තැන කපා දමන අක්කා සඳුනිට අසු වූයේ අහඹු ලෙස ය.ඇය ගිරිය යටින් බෙරිහන් දුන්නා ය.

සඳුනි සමඟ දවසක් පුරා සාප්පු සංචාරයක යෙදී රැගෙන ආ ලස්සනම සාරි වල සිදුරු මතුව ඇති අන්දම අමන්දී බොඳව ගිය නෙතින් බලා සිටියා ය.සඳුනි කෑගසා බනිද්දී නයනිගේ වැඩිමහල් දියණිය පුංචිගේ ඇඟේ එල්ලුණේ කෑගසා හඬමිනි.ශාන්තී එක හුස්මට බැන වදිමින් හුන්නා ය.අවිශ්ක කිසිවක්ම කියා ගත නොහැකිව ගල් ගැසී ගිය අතර ඔහුගේ අප්පච්චි පැමිණ අමන්දී අත මුදල් නෝට්ටු කිහිපයක් තැබුවේ ය.

“කඩවල්වල සාරි නැති වෙන් නෑනෙ.ඔය දුව ආයෙත් ගන්න..”

එහෙත් සඳුනි එයට අප්පච්චිට දුන්නේ ද නෝක්කාඩු බැල්මකි.

“ඒ වුණාට අක්කා ගෙදර ඉන්නවනෙ..”

නයනි ගසාබසා දමා යන්නට ගියා ය.ශාන්ති හුන් තැනම වැටී වැළපෙන්නට ගත්තා ය.

“ඒකි කොහෙ යන්නද පුතේ.නඩුව පටන් ගත්තට පස්සෙ ඒකි කොහොමත් අර මිනිස්සුන්ට අයිති නෑනේ..”

අමන්දී මේවා අසා හුන්නේ කම්පිතව ය.ඇයට ආපසු හැරී ගෙදර දුවන්නට ඕනෑ විය.ඉඳුවර මුණ ගැසී මේ වේදනාවන් බෙදා ගන්නට ඕනෑ විය.අවිශ්ක මේවා දකිමින් නොදුටුවා සේ හිඳීම ම ඇයට ගෙන ආවේ මරණීය වේදනාවකි.

නමුත් අවිශ්ක එසේ හුන්නේ නැත.ඔහු අමන්දීට එදා හවස් යාමයේ ගමනකට හඬ ගැසී ය.අමන්දී ඇඳුමක් මාරු කරන්නට හදත්දී ඔහු පැවසුවේ ඇඳ සිටින ඇඳුම ප්‍රමාණවත් බව ය.ඔහු පිටුපසට වී මෝටර් සයිකලයෙන් ගම ඇතුළට යද්දී මේ යන්නේ කොහේදැයි අමන්දී සිතුවා ය.

“අවිශ්ක මේ මොකක්ද?”

සුද්ධ කරන ලද ඉඩමකට ගඩොල් බාමින් හිඳින තරුණයන් දෙස පුදුමයෙන් බලමින් අමන්දී ඇසුවා ය.අවිශ්ක සුන්දර සිනාවක් තොල් මතට ගත්තේ ය.

“ඔයාගේ අලුත් ගෙදර අමන්දී.මං මෙතන ගෙයක් හදනව..”

ගෙවල් හැදීම පහසු නැත.නමුත් අවිශ්කට ඕනෑ තරම් ඉඩකඩම් ඇති බව අමන්දී දන්නී ය.සමහරවිට ඔහු සතුව මුදල් ද ඇතිවා විය හැකි ය.

“සල්ලි…”

ඇය ඇසුවේ නෙත් විසල් කරගනිමිනි

“ඇයි ටීච නෝනා ලෝන් එකක් ගන් නැතැයි..”

ඔහු එසේ කියා හඬනඟා හිනැහුණේ ය.

“මං ගාව සල්ලි තියනව.අක්කා නඩුවෙන් පස්සෙ ගෙදර නතර වෙනව.නංගියි ඔයයි වගේ සමඟියක් එයා ගාව නෑ.කොහොමත් එයාගෙ විකාර උහුලන්න බැරුව නංගිත් මේ ගෙට එනව මං දන්නව..”

හිරු බැස යමින් තිබිණ.අමන්දී පසෙක වූ ගසකට හේත්තු වී කාර්යක්ෂම තරුණයන් දෙස බලා හුන්නා ය.අහස ගිනියම් රතු පැහැයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදී යයි.හදවත ඉසිලූ දරුණු වේදනාවන් පවා මැකී යාම මොනතරම් සතුටක් දැයි ඈ සිතුවා ය.

“ඔයා ප්ලෑනක් හිතුවද?”

අලුත් අදහස් හදවත වෙළා ගනිද්දී ඈ ඇසුවා ය.අවිශ්ක බිරිඳ දෙස බැලුවේ සිනා කැල්මෙනි.

“ඔයා ආස විදියට හදමු නංගි..හැබැයි ඉතින් මං ගාව මහා සල්ලියක් නෑ හොඳේ..”

අමන්දී අතීතයේ සිහින දුටු කුඩා නිවහන මෙතැන ඇඳ ගනිමින් සතුටින් ද සැනසීමෙන් ද පිරී ගියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here