ඉඳුදුන්න -48

ඉඳුවරට රියැලිටි තාරකා කිරුළ අහිමිව ගියේ ඔහු එය අපේක්ෂාවෙන් බලා සිටියදී ය.නමුත් ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා වූයේ ඒ පිළිබඳ සිහිනයකින්වත් බලා නොසිටිය දී ය.

“මේ හදිස්සියෙ වෙඩින් එකක් ගන්න ගිහින් අවෝඩ් එකත් නැති වුණා..”

සහස් තමන්ගේ සැබෑ වර්ණ මතු කරමින් තරිඳිට දොස් පැවරී ය.තරිඳි ඔහු දෙස බැලුවේ කෝපාග්නියෙනි.

“වෙඩින් එකෙන් ඔයාට මාකටිං හැදෙනව කියලනෙ කිව්වේ..දැන් මොනවද මේ කතා..”

සහස් එය නෑසුකන්ව හුන්නේ ය.නමුත් ඔහුට සැලසුම් බොහෝ විණ.ඉඳුවරට හදිසියේ පිටුපෑම නිසා තරිඳිව බිහි කළ නාලිකාවේ බොහෝ දෑ ඇයට අහිමිව ගොස් තිබිණ.නමුත් ඇයට කොතැනක හෝ බිමක පැල වන්නට හැකි බව සහස් දැන හුන්නේ ය.

“මට රියැලිටි ස්ටාර් වෙන්න බැරි වුණේ නූලෙන්.ඒ හින්දා අවෝඩ්ස් ලැබිල්ල ගැන මට එච්චර ලොකු විශ්වාසයක් තිබ්බෙ නෑ.ඒ කියන්නේ මට මගේ වාසනාව ගැන ඒ තරම් ලොකු විශ්වාසයක් තිබුණේ නෑ..”

ඉඳුවර සම්මානය ගෙන වේදිකාව මත පැවසී ය.නිවී පරව යන වල්ගා තරුවක් නොදී තමන් මෙන් පවතින තරුවක වන්නට මේ තරුණයාට ඉඩ හැරිය යුතු බව උත්සවය මෙහෙයවමින් හුන් තේමිය සිතී ය.

“ඒත් ඉඳුවරගේ හැකියාව ගැන ප්‍රේක්ෂකයන්ට විශ්වාසයි.මම හිතන්නේ ඉඳුවරට නළුවෙක් වගේම ගායකයෙක් විදියටත් කරන්න සෑහෙන්න වැඩ ගොඩක් තියනව..ඒ විතරක් නෙවෙයි කිඩ්ස් ස්ටාර් වලින් බිඟුන් වගේ ස්ටාර් කෙනෙක් දුලනි වගේ හොඳ ළමා ගායිකාවක් හදපු ඉඳුවරට සංගීත ගුරුවරයෙක් විදියටත් සාර්ථක ගමනක් නැති වෙන්න බෑ..”

ඉඳුවර අහම්බකාරක තරුවක් නොවන බව වේදිකාව මත හිඳ කියන්නට තේමියට ඕනෑ විය.ඔහුට සහස්ට මෙන් කිසිවක් හෝ කිසිවෙකු සම්බන්ධයෙන් තරගයක් තිබුණේ නැත.තේමිය විශ්වාස කළේ තමන්ගේ හැකියාව ය.

“අතිශය කාර්යබහුල වීම හින්දා මගේ අධ්‍යාපනය මගෙන් දුරස් වුණ එකනම් පිළිගන්න වෙනව තේමිය.මගේ අධ්‍යාපන කටයුතු ආයේ පටන් ගන්න කාලේ හරි.ඒ වගේම ප්‍රේක්ෂක විශ්වාසයට ගරු කරලා හොඳ නිර්මාණ කරන්නත් මගෙ බලාපොරොත්තුවක් තියනව..”

ඉඳුවර එසේ කියද්දී සම්මාන රාත්‍රියේ සජීවී විකාශය නිවසේ සිට බලා හුන් අමන්දී සතුටින් පිනා ගියා ය.ඔහු තවදුරටත් සංගීතය හැදෑරීම සතුටකි.

“ඉඳුවර තරුවක් නෙවෙයි,කැම්පස් එකේ ලෙක්චර කෙනෙක් වෙන්න තිබ්බ මනුස්සයෙක්.දැන් ආයේ ස්ටඩීස් පටන් ගැනිල්ල ගැන මට සතුටුයි..”

අමන්දී අවිශ්කට සහ සඳුනිට පැවසූයේ සතුටිනි.

“මම වගේ තමා.ආයේ ඉගෙන ගන්න එකේ වටිනාකම එයත් දන්නව…”

සඳුනි කියන්නේ සැහැල්ලුවෙනි.ඉඳුවරත් අමන්දීත් හඬ නගා හිනැහෙන්නට පටන් ගත් හ.

“ඉඳුවරව දැක්කම කට ඇතුළෙ වචන ඔක්කොම හංගගෙන ගල් ගිල්ලා වගේ ඉන්නව.ඊටපස්සෙ මෙතන කේන්දරත් ගලපනව..”

අමන්දී පවසන්නේ නෑනාගේ දිගු වරලසෙන් අදිමිනි.සඳුනි හඬ නගා හිනැහෙන්නට ගත්තා ය.

“ආ..ඒ මම ගමේකමට ඉන්නව..අක්කා දන් නෑ මගෙ මායං..”

මුළුතැන්ගෙයි සිට කාමරයට යමින් සිටි නයනි දෑත් ඉඟටියේ ගසා සඳුනි දෙස බැලුවා ය.දවස පුරා කෝප ගන්නට කාරණාවක් සොයමින් සිටි ඇයට මේ කතාබහ නිධානයක් සේ අගනේ ය.

“එක එක තේ උඩිච්චියෝ මේ ගේ අස්සෙ රිංගා ගත්තට පස්සෙ උඹත් වල් වෙන්න පුලුවං තරං වල් වෙලා..”

ඇය නැගණියට කඩා පැන්නේ කෝපයෙනි.මවා ගත් කෝපයෙනි.

“ටීවී එකේ ඉන්න ස්ටාර් කෙනෙක් ලස්සනයි කිව්වට දක්ෂයි කිව්වට ඒක වල් වැඩක් යැ..”

සඳුනි පැවසුවේ අක්කාව ගණනකට නොගෙන ය.නයනි ඉන් වඩාත් කෝප වූවා ය.

“උඹට ඉස්සර මෙහෙම මඟුල් තිබ්බෙ නෑ.දැන් තමයි අමාරුවක් හැදිල තියෙන්නෙ.”

සඳුනිටත් නයනිටත් කියවා ගන්නට හැර අමන්දී එතැනින් ඉවත් වන්නට උත්සාහ ගත්තා ය.නයනි වහා අමන්දීට කඩා පැන්නා ය.

“මගෙ නංගිට එක එක මඟුල් ජෝඩු කරන්න නම් ලෑස්ති වෙන්න එපා..අනිත් උන්ට උඹ ලොකු වුණාට මට නම් උඹ ලොකු නෑ.”

අමන්දී මොහොතක් නැවතී බලා සිටියා ය.නයනි ඇයට බොහෝ කුඩුකේඩුකම් කරන්නියකි.ඒ සියල්ල අමන්දී දරා සිටියා ය.බොහෝ තැන් විසඳා ගත්තාක් මෙන් මේ ගැටළුව ද විසඳා ගන්නට කාලය උදා වී ඇත.

“අක්කේ, ඔයා ඉන්නේ සෑහෙන ප්‍රශ්නෙක.මම ඒක පිළි ගන්නව.ඔයාට ඔයා ගැනත් කේන්ති ඇති.අපි එක්කත් කේන්ති ඇති.ඒත් එහෙමයි කියල හැම තිස්සෙම අපිට බැන්නට ඔයාට ලැබෙන දේකුත් නෑ.අපිට ලැබෙන දේකුත් නෑ.මම නංගිට කිසිම නරක වැඩකට උදව් කරලා නෑ.මම එයාට මේ මොහොතෙත් උදව් කරමින් ඉන්නේ කොහොමහරි ඉගෙන ගෙන කැම්පස් යන්න.අන්න ඒ දේවල් වලට එයාව මෙහෙයවන එක වල් වැඩක් කියලා මම දකින් නෑ.”

නයනි අමන්දීගෙන් එවැනි සෘජු පිලිතුරක් අපේක්ෂා නොකළා ය.ඇගේ ආත්ම අභිමානයට පහරක් වැදීම ගැන කෝප වූ ඇය එතැනින් නික්ම ගියේ පසෙක වූ මල් බඳුනක් ද බිම දමා ය.

“අපේ අක්කා මොන විදියට හිතනවද කියන්න මම දන්නේ නෑ.ඒත් අමා අක්ක මේ විදියට කතා කරපු එක ගැන මට මාරම සතුටක් දැනෙනව.මොකද අක්කා හැමතිස්සෙම බලන්නෙ කාවහරි පාගන්න.ඒත් හැමදාම පෑගි පෑගි ඉන්න ඕනත් නෑ අමන්දි අක්කේ.”

සඳුනි පවසන්නේ සිතිවිල්ලට බරව ය.අමන්දී ඇයගේ උරහිසෙන් අතක් තැබුවා ය.

“ඔව් නංගි,නිහඬකම තමයි ගොඩක් ප්‍රශ්නවලට උත්තරේ.ඒත් අපි නිහඬව පාඩුවෙ ඉන්නකොට ගොඩක් අය හිතන්නේ අපි බයයි කියල.මම ඉවසලා බැරිම තැන මේ කතා කරේ.නයනි අක්කා ඉන්නේ පීඩාවෙන් තමයි.ඒත් ඒ පීඩාව මගෙ මූණෙ අතුල්ලන්න ආවා ඇතිනෙ.”

අමන්දී සුසුමක් හෙළුවා ය.අවිශ්ක මේ සියල්ල දෙස බලා සිටියේ නිහඬව ය.ඔහු මොහොතකට මෙතැන සුරේකාව තබා බැලුවේ ය.කාෂ්ටක පරිසරයක ඇතිදැඩි වූ ඇය මේ නිවසේ ලේලිය වූවානම් අමන්දී මෙන් නයනි හුරුබුහුටිව හසුරවා ගන්නට අසමත් වන බව ඔහුට සිතිණ.සියල්ල සිදු වන්නේ යහපත්ව බව ඔහු සිතුවේ ය.නයනි මෙන්ම සඳුනි ද හසුරවා ගත හැකි තරුණියක බිරිඳ කර ගන්නට ලැබීම ගැන ඔහුට දැනුණේ සතුටකි.

“මට සැනසිල්ලක් ඔයාව.අක්කා එක්ක පැටලෙන්න ගත්තා නම් ඕක එළිවෙනකම් ඇදෙන රණ්ඩුවක්.ඒත් ඔයා හැම වෙලාවෙම ප්‍රස්න විසඳන්නෙ පරිස්සමට..”

අමන්දී සැමියාට සුන්දර සිනාවක් තිළිණ කළා ය.

“ඉඳුවර කෝල් කරා අවිශ්ක අද හවස.එයාගෙන් පොඩි ඉන්විටේෂන් එකක් තියනවා.මං මේ ඔයාට ඒ ගැන කියන්න හිටියෙ..”

අමන්දීට ඉන්පසු පවසන්නට තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles