ඉඳුදුන්න -37

දුලනිගේ ඊළඟ වටයට පුහුණු වීම් කරන්නට අමන්දී වෙහෙසුණා ය.දුලනිට වැඩමුළුවකට පිටව යන්නට දෙදිනක් තිබිය දී ඇයව නිවසට කැඳවා පුහුණුවීම් කරන්නට අමන්දී තීරණය කළා ය.නිවසෙන් මඳක් ඈතට වන්නට පිහිටි සියඹලා ගසක් යටට වී ගුරුතුමිය හා සිසුවිය පුහුණුවන ආකාරය බලා හුන් නයනි මුළුතැන්ගෙයට ආවේ ඊර්ෂ්‍යාවෙන් බරව ගිය හදවතකිනි.සඳුනි සිටියේ පළතුරු බීමක් සකසමිනි.නයනි නොඅසාම ඉන් වීදුරුවක් වත් කර තවත් කෝප්පයකට ටිකක් දමා දියණියට හඬ ගැසුවා ය.

“මොකක්ද අක්කෙ ඒ කරේ..මං මේක හැදුවෙ අමා අක්කලට..”

සඳුනි ගස්සාගෙන ඉවතට ගියා ය.දුලනිට මේ දිනවල සිසිල් බීමෙන් වළකින්නැයි අමන්දී උපදෙස් දෙනවා ඇසුණු නිසාම සඳුනි පැණි දොඩම් ගසේ ගෙඩියකින් පානයක් සැකසුවා ය.ඒ වෙළඳසැලේ සිසිල් බීම තිබිය දී ය.

“කොහෙන්වත් කඩාපාත් වුණු ගෑනුයි උන් උඩ දාන හිඟන ළමයින්ටයි කලින් මගෙ උන් කන්න බොන්න ඕන.මාත් කන්න බොන්න ඕන..”

සඳුනි කිසිත් නොකියා කෙක්ක ද රැගෙන පැණි දොඩම් ගස යටට ගියා ය.දුලනිගේ මිහිරි හඬ පරදවා ඇසෙන නෑනාගේ ගී හඬ ඈ අසා සිටියේ ආශාවෙනි.හිටිහැටියේ කෝපයෙන් දැවෙන්නට ගත් විට බොහෝ වෙලාවක් අනුන් සමඟ ඇවිලෙන්නට ප්‍රිය කරන නයනි නැගණිය සොයා ආවා ය.

“පුදුම මහන්සියක්නෙ වෙන්නෙ.මං ළමයෙක් බඩේ තියන් හිටි කාලෙවත් ඔහොම මහන්සි වුණේ නෑ.වඳ ගෑනු උන්ට ළමයි නැති හින්දා රටේ හිඟන්නන්ට සුමේ කරනව.මුනුත් උල්පන්දම් දෙනව..”

සඳුනිට සිනාවක් පහළ වේ.අක්කා දන්නා කාලයක පටන් අනුන් සමඟ වලි ඇල්ලීම ප්‍රිය කළ කෙනෙකි.එයටම ගැළපෙන නැන්දම්මා කෙනෙකු ලැබීම අවසන් වූයේ ඇය දික්කසාද ගැහැනියක කර දමමිනි.අමන්දීට මේ කරන චෝදනාවල පදනම අසන්නට සඳුනිට සිතෙයි.නමුත් ඇය ඒවාට හදිසි වන්නේ ද නැත.

“අමා අක්කා කොහෙන්වත් කඩා පාත් වුණායැ.අපේ අම්මලම ගිහින් තෝරන් ආව ලේලිනෙ..අනික එයා ඇවිල්ල අවුරුද්දක්වත් නෑ.අක්කා කොහොමද වඳ කතා කියන්නේ..”

සඳුනි අසන්නේ ඔලොක්කුවට ය.නයනි සොයුරියට ළං වූයේ බොහෝ කල් අසන්නට හුන් ඕපාදූපයක් අසන්නට ය.

“ඇයි ඒකිත් එක්ක අපේ අම්මා රණ්ඩු වෙන් නැත්තෙ..”

සඳුනි දොඩම්ගෙඩි අහුලාගෙන ගෙට ආවේ සන්සුන්ව ය.අක්කා අසන ප්‍රශ්න ඇයට විනෝදයකි.

“අම්මට රණ්ඩු වෙන්නම හිතුණම ඔය වැටක් ළඟට ගිහිං කා එක්ක හරි ගුස්තියක් අල්ලනවනෙ.අමා අක්කා ඒවට ගැලපෙන් නෑ..”

නයනිට කෝපයක් හට ගනියි.දීග ගිය දා පටන් නැන්දම්මා වහ කදුරු කර ගත් ඇයට අමන්දී “අම්මා..” කියමින් තමන්ගේ අම්මා සමඟ සුරතල් වීම ගැන යස්සයා ආරූඪ වේ.

“එයා එක්ක රණ්ඩු වෙන්න අම්මට හේතුවක් නෑ අක්කා.අමන්දි අක්කා තමන්ගෙ පාඩුවෙ ඉන්නවනෙ..”

සඳුනි දොඩම් මිරිකන්නේ නිස්කාංසුවේ ය.ඒ සන්සුන්කම පවා නයනිට ඇසට වදයකි.

“අක්කා..අමන්දි අක්කා මෙහෙ ආවෙ කැමැත්තෙන් නෙවෙයි..”

සඳුනි පැවසූ කතාව නයනිට සීනිබෝල රහ ආරංචියකි.මල්ලිගේ පවුල කඩා දමන උමතුවක ගිලී හිඳින ඇයට එය ඉල්ලමක් මෙන් දැනෙන්නට විය.

“බොරු කියන්නෙපා..”

“බොරු කියන්නේ මොකටද?”

සඳුනි බීම පිළිගන්වා පැමිණෙන තෙක් නයනි සිටියේ කුතුහලයෙන් ඇලලී ගොස් ය.

“කියනවකො ඉතිං..”

ඇය නැගණියට කියන්නේ කුහුල වෑහෙන නෙත් ඇතිව ය.අක්කාගේ පෙනුමට සඳුනිට සිනා නැගෙන්නට විය.

“එයා කොළඹ කෙල්ලක්.ලොකුම ඉස්කෝලෙකට ගිය කෙනෙක්.කැම්පස් ගිය කෙනෙක්.මෙහෙම කැලේකට කැමැත්තෙන් එනවද?”

සඳුනි සැහැල්ලුවෙන් කියන්නට වූවා ය.

“කැමති නිසානෙ බැන්දේ..”

නයනි පවසයි.අම්මා ඒ මංගල යෝජනාව ගැන වර්ණනා කළ දාම නයනි නුදුටු අමන්දී සමඟ වෛර බැඳ ගත්තා ය.

“අර හිර වෙච්ච ඉඩම් වල ඉන්න කොටු වුණු මිනිස්සු හින්දා අමා අක්කලගෙ අම්මල නම් මේ පැත්තට ආස වුණා.ලෝබත් හිතෙන්න ඇති.අක්කට එහෙම එකක් තිබ්බෙ නෑ.”

සඳුනි ඈ දුටු සත්‍යය පැවසුවා ය.එහි අමන්දීට හානිකර කතාවක් ඇත්තේ නැත.

“සමහරවිට මේකිට කැම්පස් එකේ මිනිහෙක් ඉන්න ඇති.ඒක කඩන්න කසාදයක් කරන්න ඇති දුරකින්.ඔය කැම්පස් යන ගෑනු නාකි මහාචාර්ය කාරයෝ එක්ක එහෙම යාලුවෙනව කියල මං අහලා තියනවා..”

අක්කා පවසන අපුල සහගත වදන් දෙස සඳුනි අප්‍රසන්න සිතක් සහ ඇසක් ඇතිව බලා සිටියා ය.ඇය ඊළඟ කතාව පැවසුවේ අක්කා රිදවන්නට සිතාගෙන ය.එහෙත් ඒ අමන්දීට හිරිහැර ඇති කරන කතාවක් බව සිතන්නට තරම් සඳුනි මේරු මනසක් සහිත වූයේ නැත.

“අමන්දි අක්කා යාලු වෙලා හිටියේ නාකි ලෙක්චර කෙනෙක් එක්ක නෙවේ.අපේ අයියට ළං වෙන්නවත් බැරි මිනිහෙක් එක්ක..”

නයනි වහා නැගණියට ළං වූවා ය.

“මට අමන්දි අක්කා ඒ ගැන කියල නෑ.මං කියන්නෙ මට හිතිච්ච දෙයක්..”

සඳුනි එසේ කියා කාමරයට වැදී දොර වසා ගත්තා ය.ඒ රහස දැනගෙන මේ කොළඹ අංගනාව පලවා හැරීමේ උවමනාවක නයනි ගිලී ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles