“මේ බ්ලවුස් එක මේ ට්‍රවුසර් එකට මැච්ද?”
ඇඳ උඩට ඇඳුම් කීපයක් දාගෙන සකුනි ඇහුවේ මලීෂාගෙන්.මලීෂා සකුනිට ඇඳුමක් තෝරලා දුන්නේ හොඳට හිතලා මතලා.
“මේකට ඇඟ වැහිලා වැඩියි අයියෝ..”
සකුනි කියන්නේ මුහුණ නරක් කරගෙන.
“ඔයාට ඉතින් ස්ලීව්ලස් ඇඳුම් ලස්සනයි තමයි.ෂේප් ඇඟක්නෙ තියෙන්නේ.ඒත් ඔෆිස් වැඩකට නිසා මම ඕක තේරුවේ..”
මලීෂා කිව්වේ අහිතක් නැතිව.ලස්සනට අඳින්න,ලස්සනට ඉන්න, විලාසිතා කරන්න ගෑනු ළමයි උනන්දු වීම මොනතරම් දෙයක්ද කියලා මලීෂා දන්නවා.
“ඔෆිස් වැඩක් නිසා තමයි පොඩ්ඩක් සෙක්සි වෙන්න ඕන..”
සකුනි කිව්වේ උස් හඬින් හිනා වෙන ගමන්.සකුනිගේ කාර්යාලයට අලුත් පත්වීමක් අරන් ආව හැඩවැඩ තරුණයාව මලිෂාට මතක් වුණේ එක්වරම.
“එහෙනම් ඒකයි මේ..”
අසල්වැසි මිතුරියන් නිසා මලීෂා සහ සකුනි පුංචි කාලේ ඉඳලා හැම රහසක්ම බෙදා ගත්තා.මලීෂා ෂෙහාන්ගේ ෆොටෝ එකක් මුලින්ම පෙන්නුවේ සකුනිට.සකුනි ඒ දිහා බලා ඉඳලා කිව්ව කතාව මලීෂාට තාම මතකයි.
“පොඩි ලුක් එකක් තියනව.වාහනයක් එහෙම තියනවද?”
ෂෙහාන් තාම රස්සාව පටන් ගත්තා විතරයි නිසා තාම ඉලක්ක සපුරාගෙන නැති බව කියද්දී සකුනි මුහුණ ඇද කරපු හැටිත් මලීෂාට මතකයි.
“අපෝ..ලෝන් දාලා ගෙවල් හදලා ලීසින් කර කර වාහන අරන්..එපා වෙයි හොඳේ..”
සකුනිගේ ජීවන දැක්ම වෙනස්.ඒත් ඒ දැක්ම තමන්ගේ ජීවිතේට බාධාවක් නොවන හින්දා මලීෂා ඒ ගැන හිතන්නේ නෑ.ෂෙහාන් එක්ක එක වහලක් යට ජීවිතය පටන් ගන්න ඕන තමන් නිසා මලීෂා හිතුවේ ඔහුගේ ගතිගුණ සහ හැසිරීම ගැන විතරයි.දෙන්නාටම හොඳ ස්ථාවර රැකියා ඇති හින්දාම ලුණුත් බතුත් කන ජීවිතයක් නොලැබෙන බව මලීෂා දන්නවා.ඉතින් හෙමින් සීරුවේ භෞතික සාධක සම්පූර්ණ කර ගන්න ඇය සූදානම්.
“අහන්නකො.අර ඔයා එක්ක නිතර ඔෆිස් සෙල්ෆි දාන සුදු කොලූට පේන්න නේද මේ ලස්සනට අඳින්නේ..”
මලීෂා ඇහුවේ සකුනිගේ කම්මුලක් මිරිකනගෙන.සකුනි හිනා වුණේ සමච්චලේට වගේ.
“යොමාල්ට පේන්න..විකාරද? ඌ ඔෆිස් එන්නෙත් බස් එකේ.නැත්නම් ඇඳුම් පොඩි කරගෙන ට්‍රේන් එකේ..”
එහෙම කියපු සකුනි මලීෂාට හොඳටම ළං වුණේ රහසක් කියන්න.කාමරේ දොරත් වහලා සකුනි මලීෂා ළඟින් ඉඳ ගත්තා.
“මම මේ ට්‍රයි කරන්නේ අපේ ඩිපාට්මන්ට් එකේ හෙඩ්ව අල්ලා ගන්න මලී..”
මලීෂාට මතක හැටියට ඔහු විවාහක කෙනෙක්.ඒත් මේ වෙනකොට මොකක් හෝ හේතුවකට ඔහු දික්කසාද නම් සකුනි ඔහුට ආදරය කිරීම ගැටලුවක් නෙවෙයි.තමන්ගේ ජීවිතේ ගැන යහපත් තීරණ තමන්ට ඕනෑ හැටියකට ගන්න ඕනෑ කෙනෙකුට අයිතියක් තියනවා.
“එයා දැන් ඩිවෝස් ද?”
සකුනි ඒ ප්‍රශ්නයට හඬ නගා හිනා වුණා.
“ඩිවෝස් කරවන්න තමයි අනේ මේ මහන්සි වෙන්නේ..”
අංශ ප්‍රධානියාගේ බිරිඳ කාර්යාල සාදයකදී හමු වූ බව සකුනි මලීෂාට පැවසුවා.
ඇය “බැරල් එකක් වගේ” කියලා සකුනි කිව්වේ මුහුණ අපහාසාත්මක බැල්මකින් පාට කරගෙන.පොඩි පුතා පස්සේ වැටිලා ඉන්න ඇයගෙන් ප්‍රධානියා මුදවා ගන්න තමන් සූදානම් බවත් සකුනි කියන්නේ ගැලවීමේ දේවතාවියකගේ වෙස් අරගෙන.
“එයාලා අතරේ ප්‍රශ්න තියනවලුද?”
මලීෂා ඇහුවේ හිතට අපුලක් දැනෙන්න ගත් නිසා.
“නෑ..මං මේ ප්‍රශ්න හදන්න තමයි හදන්නේ. “
ආදරය උපදින්න මහා ලොකු හේතු අවශ්‍ය නෑ.ඒත් ආදරය සහ ලෝබකම අතරේ ලොකු පරතරයක් තියෙන බව මලීෂා හිතුවේ වේදනාවෙන්.සකුනි ප්‍රධානියාට ආදරය නොකරන බවත් ඔහුගේ ධනස්කන්ධයට ආදරය කරන බවත් පැහැදිලි වෙනකොට මලීෂාට තමන්ගේ මිතුරිය ගැන බයක් වගේම දුකක් ඉපදුණා.
“එයා ඔයා එක්ක යාලු වුණාම කියමුකො.ඒත් වයිෆ් ඩිවෝස් එක නොදුන්නොත්..ඔයා නිකම්ම නිකන් අනියම් බිරිඳක්.”
මලීෂා අනතුරු ඇඟෙව්වා.ඒත් සකුනිගේ සම්පූර්ණ උත්සාහය වැය වුණේ තමන්ගේ ප්‍රධානියා වුණු අරවින්දගෙ පවුල් ජීවිතේ විනාස කරන්න.ඉන්පසු ඔහු පහසුවෙන් දිනා ගත හැකි බව ඇය විශ්වාස කළා.
“හෙලෝ..මේ මිස්ට මෙන්ඩිස්ගේ වයිෆ් නේද?අද සර් කලින් ඔෆිස් එකෙන් ගියා.එයාගේ ඔෆිස් එකේ ගෑනු ළමයා සකුනි එක්ක අවුටින් එකකට.ආ..හරියටම තුනට ගියේ..”
දවසක් ඔෆිස් ගිහින් ගෙදර එනගමන් සකුනි පොඩි ජංගම දුරකථනයක් කනේ තියාගෙන එහෙම ඇමතුමක් දෙනවා මලීෂා අහගෙන හිටියේ ඇස් නළලෙ තියාගෙන.
“ඔයාල අද එහෙම කොහෙ හරි ගියාද?”
ඇය මිතුරියගෙන් ඇහුවා.
“පිස්සුද අනේ..ලොක්කා නම් තුනට විතර කොහෙද ගියා.ඒ මනුස්සය මට කතා කරන්නෙත් නෑ..”
සකුනි කියන්නේ සැහැල්ලුවෙන්.
“එතකොට ඔයා මේ මොකක්ද කරන්නෙ..”
“බොස්ගෙ වයිෆ්ව බය කරලා, ප්‍රශ්න ඇති කරනවනෙ.අගේට සෙපරේට් වෙයි.ඊටපස්සේ මගෙ චාන්ස් එක එනවා..”
සකුනි කොහෙන් කොහොම නවතීද කියලා හිතා ගන්න බැරි නිසා මලීෂා කිසිවක්ම කියන්න ගියේ නෑ.නමුත් කාලය ගෙවී ගියා.සකුනි රැකියාවට නොයන බව දුටුව මලීෂා ඇයව බලන්න ගියේ කරදරයක් කියලා ඉව වැටුණු නිසා.
“මට ජොබ් එකෙන් අයින් වෙන්න වුණා..”
සකුනි මිතුරියට කිව්වේ හිස් හැඟීමකින්.
“මං බොස් ක්ලෝස් කරගන්න කරපු ගොඩක් දේවල් ඔෆිස් එකම වගේ දැන් දන්නව.ඉස්සර හොරෙන් හිනා වුණු අය දැන් මූණටම හිනා වෙනව.”
සකුනිගේ හඬ බිඳෙනකොට මලීෂා එයාව වාරු කරගත්තා.
“එයාගෙ ෆැමිලි එක අවුල් වෙලාද?”
මලීෂාගේ ප්‍රශ්නයට සකුනි තේරුමක් නැති හිනාවක් මවා ගත්තා.
“පහුගිය කාලෙම මිසිස් මෙන්ඩිස් දෙවෙනිපාරට ප්‍රෙග්නන්ට් වෙලා ඉඳල තියෙන්නෙ.සර් ඒ කලින් ගිහින් තියෙන්නෙ එයාට අසනීප වුණාම,ඩොක්ට විසිට් තියන වෙලාවට.මං විහිලුවක් වෙලා ඉවරයි..”
කෙනෙකුට ආදරය කිරීම සහ ධනයට ආදරය කිරීම කාරණා දෙකක්.බැඳීමක් කඩා බිඳ දාලා තමන්ගේ සැපපහසුව ගැන හිතන්න ගිය මිතුරිය ඒ වරදට දඬුවම් විඳිනවා.අපහාස වගේම බලාපොරොත්තු කඩවීම එක්ක ඇය ඉන්නේ වේදනාවෙන්.
“ආදර කතාවක් කඩලා බිඳලා අපි කූඩු හදන්න හොඳ නෑ සකූ..පසුතැවෙන දවසක් එනවමයි..අනික ඔයා මිස්ට අරවින්දට වඩා ආදරේ කරේ එයාගේ බිස්නස් වලට,කාර් එකට, ලස්සන ගෙට.ආයේ කෙනෙකුට ආදරේ කරද්දී පුද්ගලයාට ආදරේ කරන්න.භෞතික දේවල් ඕන කෙනෙකුට උපයා ගන්න පුලුවන්.ආදරෙයි, හොඳ හිතයි තමයි හොයා ගන්න අමාරු. “”
සකුනිට ආයෙත් ගොඩ නැඟෙන්න උදව් වෙන්න හිතන ගමන් මලීෂා කිව්වේ ආදරයෙන්.වරදක් නිවැරදි කරගන්න අපි කවුරුත්ම පරක්කු වැඩි නෑ.